රාවය

රජ හොරු

රජ හොරු

ශාන්ති දිසානායක

ඇවිස්සෙන්නට පෙරුම් පුරාගෙන ගුරුපාරේ සැතපෙන දුහුවිල්ල ආණ්ඩුමට්ටු කරන්නට මහ ඇළේ ගලා යන දිය දහරට නුපුළුවන. ඒ හින්දාම කෙල්ලට ඇළට බහින පඩි කීපයේම පහළම පඩිය මත ලගින්නට සිදු වේ. ඇළ දෙගොඩ තලා යන දවසක නම් පහළම පඩියට බහින කෙල්ල දියට හෙළා පහළට ඇදගෙන යන තරමට දිය දහර ප්‍රබලය. උඩහ කුඹුරුවලට දිය ලබා ගන්නා කල ඇළ කෙසඟ වේ. එවන් දවසක පහළම පඩියට බහින කෙල්ල පුංචි බාල්දියට වතුර පුරවා තාත්තාට දිගු කරන්නේ භාරධූර කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරන එකියක සේය. ඇගේ පුංචි බාල්දියත් තමාගේ මහ බාල්දියත් දෑතින් ගන්නා ඔහු ගුරු පාරත් කඩ මිදුලත් තෙමා දමයි. එකවර සෑහෙන වපසරියක් තෙමී යන පරිද්දෙන් ඔහු බාල්දියේ වතුර බිමට හලන අයුරු බලා ඉන්නටද කෙල්ල කැමැත්තීය. එහෙත් මැයි මාරා අතු ඉති අතරින් පෙරී එන ළා හිරු කිරණ පතිතව බබළන දිය දහර වෙතින් ඇස් අහකට ගන්නට ද ඇය නොකැමැතිය.
දියේ කිමිද ඇළ පත්ලේ ගල් කැට ද ඒ මේ අත පිහිනා යන මින් රැළ ද ඒ විස්මිත දෙනයනට ගෙනහැර පාන්නට තරම් මහා හිරු බලවත්ය. තෙද වත්ය. දිය යට ඇබිත්තන් ලෝකයේ රහස් හෙළි දරව් කර ගනිමින් ඇය විඳි චමත්කාරයේ දිග පළල කොතෙක්දැයි ඇයම නොදත්තාය.
හිරු ද දියද රතුම රතු මල් පෙතිද එකට එක් වූ සුන්දර උදෑසනේ ඇය විස්මලන්තයට පා තැබූ ඇලිසාවම වූවාය. දිය දහර කළඹාලමින් දඟ කරන මත්ස්‍යයන්ට මෙන්ම උන් ගොදුරු කරගන්නට මාන බලන පිළිහුඩුවාට ද ඇය එකසේ ඇළුම් කළාය. මනුස්ස ජීවිතයක අරුත ද සතුට ද සැඟවී ඇත්තේ පරිසරය සමඟ බද්ධ වූ තරමට බව ඒ හින්නිකිතර වයසේදීම ඇය පසක් කළාය. එහෙත් සියලු රසබර හැඟුම් සිඳ බිඳ දමමින් එක් උස්ම ස්වරයක් හාත්පස නිශ්ශබ්දතාව සිඳුරු කර දැමුවේය.
“හොරෙක්…..හොරෙක්…..”
අම්මාගේ හඬ හැඳිනගත් කෙල්ල කලබල වූ තරම කොතෙක්ද කිවහොත් ඇළට ඇද වැටුණාය. හිරිගඩු පිපෙන සීතල නොතැකූ ඇය ගින්නකින් බේරී පලා යන්නාක් මෙන් ඇළ දියෙන් ගොඩව පාරට දිව්වාය.
“මොකද…..? මොකද මේ?
හිස් බාල්දිය පසෙකට දැමූ තාත්තා ද කඩ පිලට දිව්වේය.
කෙල්ලගේ අම්මා හොරාට පහර දෙමින් නොනවත්වා බැණ වැදුණාය. හොරකම අතටම අසුවීමෙන් ද ඉස්තිරියාවකගේ කොසු පහරට ලක් වීමෙන් ද අන්ද මන්ද වූ හොරා දැක බලා ගන්නට කෙල්ල දැනටමත් එක් රොක් වූ පිරිස අතරින් ඉදිරියට රිංගුවාය.
දිය බිඳු රූරා හැලෙන කෝටු බෝටු සිරුරට රිංගා යන්නට අල්ප වූ ඉඩ කඩක් පවා සෑහේ. දෙපලකින් සිදුරු කළ කාල රෙදි පටියකින් දෑස බැඳි හැඩි දැඩි සොර දෙටුවකු වෙනුවට ඇය දුටුවේ කෙක්කක් වාගේ කෙට්ටුම කෙට්ටු මනුස්ස පරාණයකි. ඔහු අත කිනිස්සක් තබා කෝටු කැබැල්ලක්වත් නොවීය. මුහුණ පුරා වැවුණු දළ රැවුලකුත් එක්ක රෞද්‍ර සොරකු දැක ගන්නට උත්සුක වූ කෙල්ල මලානිකව ගියාය.
“ මගේ ඇස් දෙකටම දැක්කා මේකා කරවල කූරියා මල්ලට ඔබා ගන්නවා.”
කෙල්ලගේ අම්මා හතිලමින් වුව එකම කතාව නැවත නැවත කියන්නීය.
“ ගහල මදි…. ගස් බඳින්ඩ තියෙන්නේ…..”
මේ කලබැගැනිය හේතුවෙන් දිව ආ ගැහැනියක මහත් කෝපයෙන් කියා සිටියාය.
“ අත පය හතර හරියට තියෙද්දිත් හොරකං කොරනවානේ දෙයි හාමුදුරුවනේ මුං…. උල තියන්ඩ ඕනෑ….රජ කාලේ දඬුවං නොදී හරියන් නෑ හොරුන්ට…..”
මිනිසෙක් ද උල්පන්දම් දුන්නේය.
උගුලකට හසු වූ සතෙකු පරිද්දෙන් බයබීතව හුන් හොරා දෙස කෙල්ල බලා සිටියේ අපමණ සන්තාපයෙනි. මේසා අසරණ මේසා කැහැටු හොරෙක් දකින්නට ඇය කිසිසේත් බලාපොරොත්තු නොවූවාය. ඔහු විලි වහගත් කමිසය හා සරමද දිගු කලක් මුළුල්ලේ නිතර සේදීමෙන් හා ඇඳීමෙන් දියව ගිය ගානය. ඒවායේ වර්ණයන්ද සහමුලින්ම වෙනස් වී ඇතුවාට සැක නැත. එක එක්කෙනා එහෙන් මෙහෙන් ඇදීම නිසා ඒ දිරාපත් දියව ගිය කමිසය ඉරී ගොසිනි.
“ රෙදි ගලවලා එල්ලන්ඩ තියෙන්නේ හතරමං හන්දියේ කාටත් පේන්ඩ….”
ඒ කතාවෙන් හොරා පමණක් නොව කෙල්ල ද තිගැස්සුණාය. ගෙදර බඩපිස්සිය වන නංගි හෙළුවෙන් දුව පැන නැටුවද මේ තරම් ලොකු මිනිසකු හෙළුවෙන් ඉන්නවා දකින්නට කෙල්ල කිසිසේත් කැමති නැත.
“ ළමයා අඬනවා නේද?”
කෙල්ලගේ තාත්තා පළමුව කතා කළේ අම්මාගේ ඇඟේ එල්ලී වැටෙන බඩ පිස්සිය ගැනය.
මේ ළමයාත් ඇරං ගෙට යන්ඩ…”
ඔහු දෙවනුව අණ කළේ හඬන දියණිය නොතකා ගල් ගැසී ගිය හොරා දෙස ඔරවා නෙරවා ගත් ඇසින් බලා ඉන්නා බිරිඳටය.
“ මේ මිනිහා මේ දැං කරවල කූරියෙක් හොරකං කෙරුවා…..”
හොරාට දඬුවම් දෙනවා වෙනුවට හොරා අතටම අල්ලා ගත් තමා පලවා හරින්නට වෑයම් කරන සැමියා දෙස නොමනාපයෙන් බැලූ ඇය නොරිස්සුම් සහගත හඩින් පැවසුවාය.
“හරි හරි…. මං ඒක බලාගන්නං…..ඔයා ඇතුළට යන්ඩ”
“බලයි බලයි….ඔයාගේ හැටි මං දන්නැද්ද….. ඔයා තව හැම තුන පහක් මල්ලට දාලා මේ පට්ට හොරාට යන්ඩ දෙයි….එහෙම මිනිහා……”
කෙල්ල කෝකටත් තියා තාත්තාගේ සරමේ එල්ලුණාය. තමා හැකිතාක් ළං වූ තරමට ඔහුගේ කේන්තිය තුනී වී යාමට ඉඩ තිබෙන බව හඟිමින් නොවේ. මේ අසීරු හා අප්‍රසන්න අවස්ථාවේ ඇයට පිහිට ඔහු මිස මේ දැන් නංගි වඩා ගත් අම්මා නොවේ.
“මට කියන්නේ මේ මිනිහා මරන්ඩ කියලාද….? කරවල කූරියෙක් හොරෙන් ගත්තා කියලා….මිනිහෙක් මරන්ඩෝනද…..?
තාත්තා මහ හඬින් ඇසූ කල නංගි නැවතත් හඬා වැටුණාය.
“යනවද නැද්ද ගෙට…..”
ඒ ගර්ජනාවෙන් තැතිගත් ගැහැනිය හැරි හැරි බල බලා ගෙතුළට වැදුණාය.
අම්මා සමඟ යන්නේ ද තාත්තා සමඟ ඉන්නේදැයි නිනව් නොවූ කෙල්ල නිය විකන්නට පටන් ගත්තාය. එක් රොක් වූ පිරිස වෙතින් කරවල හොරා බේරා ගැන්ම පහසු නොවීය.
“හොරා අපිට බාර දෙන්ඩ මුදලාලි…..”
“ අතටම අහුවෙලත් දඬුවමක් නොදී යන්ඩ අරින එක නං මහම මහා ඔලමොට්ටල කමක්”
“ එක්කෝ ගස් බදින්ඩෝනෑ…. එක්කෝ පොලීසියට බාර දෙන්ඩෝනෑ…..”
කෙල්ල තමාට වඩා බොහෝ උස මහත ගැහැනු මිනිසුන් දෙස බලා සිටීමෙන් විඩාපත් වූවාය. ඒ සඳහා දෙපයේ ඇඟිලි තුඩින් ඉස්සී හැකිතාක් දිගු කර ගත් ගෙලින් උඩ බැලිය යුතුය. හතර වටේ කැරකි කැරකි උඩ බලන කල රිදුම් දෙන ගෙල නොතකා, හොරා හතරට ඉරන්නට පොරකන සුද්දවන්තයින් අතරේ ඇඩිවිල්ලියකම වූවාය.
“ හරි හරි……. ගත්තේ මගේ කරවල කූරියානේ…..ඒක මං බලාගන්නං…..”
කඩ හිමියා මේ පට්ට හෙරාට නිය පිටින් පහරක් නොගැසීම වටහාගත නුහුණු පිරිස විසිර ගියේ මන්තර මතුරන්නාක් මෙන් මොන මොනවාදෝ මුමුණමිණි.
“හෙ….. පොලිසියට නං භාර දෙන්ඩෙපා බුදු මුදලාලි…..ළමයින්ට හො…. හොද්දක් හදලා දෙන්ඩ කියලා….”
අඳ ගොළු බිහිරි වෘතය අත්හළ හොරා හැඬුම්බර හඬින් අයැද්දේය. නිහඩවම කඩය තුළට වන් තාත්තා බාර්ලි බෝතලයක් අතින් ගත්තේය.කෙල්ලගේ කටට කෙළ ඉනුවේය. ඇගේ කෑදර බැල්ම නොදුටුවාක් මෙන් තාත්තා ඔරෙන්ජ් බාර්ලි පිරවූ වීදුරුව හොරාට පිරිනැමුවේ ය. ඔහුගේ පමණක් නොව කෙල්ලගේ ද ඇස් ගෙඩි කොතරම් විශාල වීද කිවහොත් නහය කට පවා මොහොතකට අතුරුදන් වූවාක් මෙනි. ඒ ළමා මුහුණේද වැඩිහිටි මුහුණේ ද අනෙකුත් අංගෝපාංග අතුරුදන්ව ඇස් ගෙඩි ඉතුරු වීය….?
“බොනවා බොනවා…..”
තාත්තා අණ කළේ මළගිය පරාණකාරයකු තරමට සුදුමැලිව ගිය හොරාටය.
“ආ…..අනේ මුදලාලි. අතේ සල්ලි මදි කරවල කෑල්ලක් ගන්ඩ…. ඒ හිංදා තමා…. එහෙම නැතුව හොරකං කරන්ඩ බලාගෙනම ආවා නෙමේ. ළමයි නං කොහොම හරි ඔය මොනවා හරි කයි. ළමයින්ගෙ අම්මා ආයෙත් බඩිං…. වදන්ඩ ඔන්න මෙන්න කියලා…… මේ ටිකේම හරියකට කටට රහට කන්ඩ දෙයක් ගිහිල්ලා දෙන්ඩ බැරි වුණා. ළමයෙක් හම්බ වෙන එකත් ලේසි වැඩක් යැ…. එගොඩ යයිද මෙගොඩ වෙයිද දෙයියො තමයි දන්නේ….. ඒ…. ඒ හිංදා තමා මුදලාලි…… මං….. මං…..”
ඔරෙන්ජ් බාර්ලි වීදුරුව දැතින් ගත් හොරා තටමන්නට විය. ඔහුගේ ඇසින් රූරා හැලුණු කඳුලක් ඒ පැහැබර ප්‍රණිත දියරය මත පතිත විය.
“ ඕක බීලා ඉන්නවා මනුස්සයෝ…..තාත්තා කීවේ කට ඇරගෙන බලා ඉන්නා කෙල්ලටත් බීම වීදුරුවක් දෙමිනි. ඒ මනුස්සයා කොහොම වුණත් කෙල්ල ඒ අණට අවනත වූවාය. එහෙත් ඒ වෙනදා මෙන් බිඳුවෙන් බිඳුව උගුරින් උගුර නොවේ. මේ කෙටි ජීවිතයේ මුල්ම වතාවට ඇය ඒ හා මිහිරි බීමක් එක හුස්මට බීගෙන ගියාය. ඇගේ කැහැටු හොරා ද බීම විදුරුව හිස් කළේය. ඒ සැනින් බිම ඇණ තියාගෙන හඬන්නට පටන් ගත්තේය. කෙල්ලද ඔහු අනුගමනය කරමින් ඔහු අභියස දණින් වැටී කඳුළු සලනවා වෙනුවට ඉකි ගහන හොරෙක් දෙස අයාගත් ඇසින් බලා සිටියාය.
“නැගිටිනවා….. නැගිටිනවා”
කී තාත්තා ලහි ලහියේ බඩු කිරන්නට විය.
කඩ පිලෙහි ඉකි බිඳින හොරාත් බෙරි කරගත් මුහුණින් බලා ඉන්නා කෙල්ලත් අපූරු දර්ශනයක්ම විය.අන්තිමේදී බඩු මල්ලක් ද උස්සාගෙන ආපසු යන්නට පෙර ඔහු තදින් හිස සැලුවේය.
“හෙට ඉදලා එනවා හේනට. මේ දවස්වල මිරිස් කැඩිල්ල තියනවා ජයටම…..”
කෙල්ල හිස් වීදූරුව බිම තබා තාත්තාගේ දුහුවිල්ලෙන් වැසි දෙපා බදා ගත්තාය.
“ ඒ හොරෙක් නේද තාත්තේ…..?”
හොරාට දඬුවමක් වෙනුවට බඩු මල්ලක් පුරවා හැම තුනපහ ලබා දුන් තාත්තාගෙන් අසන්නට තවත් බොහෝ දෑ තිබුණද ඇය හීන් හඩින් ඇසුවේ එපමණකි.
“ ඒ මනුස්සයෙක් පුතේ”
අම්මාගේ හොරා තාත්තාට මනුස්සයෙක් ම විතරක් වුණේ කොහොමදැයි කෙල්ල අන්දුන් කුන්දුන් වී ගියා නිසැකය.
මෙදා ඇය අන්දුන් කරවන්නට රළු හොරු සමත්ව සිටින බව අමුතුවෙන් කිව යුතු නැත.
ඉන්දියන් සාගරයේ මුතු ඇටය චෞර රාජධානියක් යැයි ඇඳින්විය හැකි තරමට අනන්ත අප්‍රමාණ හොරකම් අපේ ඇස් පනාපිට සිදු වේ. ඒ හොරකම් ද සුළුපටු ඒවා නොවේ.
ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේ දී අත් අඩංගුවට ගත් බව මේ වන විට මුළු රටම දනී. අල්ලස් දැලට පැටළුණු මේ තෝරු මෝරු හුවා දක්වන සත්‍යයේ බරපතළකම හා බිහිසුණු බව ගිණිය මිණිය නොහැකි තරම්ය.
විදෙස් ආයෝජන හා ආයෝජකයන් ගැන කතා තිත්ත වන තරමට මෙරට පුරවැසියන් අසා ඇතුවාට සැක තැත. ජනපති අගමැති ලෝකය වටා සංචාරය කරමින් කියන්නේ ද නව ආයෝජන ගෙන එන බවයි. ඒ කියන තරම් නොවූවද විදෙස් ආයෝජකයින් මෙරටට පැමිණියද රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයන් එකට එක්ව කප්පම් ගනිමින් එකී ආයෝජකයන් අධෛර්යයමත් කොට ආපසු යන තැනට වැඩ කටයුතු සලස්වති. රට ගැන අංශු මාත්‍රයක හෝ හැඟීමක් ඇත්තේ නම් මෙබඳු නිහීන ක්‍රියා සිදු කළ හැකිද? නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉහළ පුටු හොබවන රාජ්‍ය නිලධාරීන් මේසා ආත්මාර්ථකාමී හා තක්කඩි වන්නේ කෙසේ ද? අප ජීවත් වන්නේ මේසා ජරාජීර්ණව ගිය රටක බව හැඟී යන කල මහත් සංවේගයක් උපදින්නේ අනාගත පරපුර පිළිබඳ නොවේ ද? අපේ දරුවන්ට අප ඉතිරි කර යන්නේ දූෂිත හා කාලකණ්ණි රටක් බව අප තරයේ සිහි තබා ගත යුතු වෙමු.
බොහෝ ආසියාතික රටවල් ශ්‍රී ලංකාව පසුකොට වේගයෙන් ඉදිරියට යන බව දැක දැක ජාති කුල ආගම් වාදයන්ගෙන් බෙදී වෙන් වී ඇණ කොටා ගනිමු. පොදු ජනතාව බෙදී වෙන් වී නිවන හෝ ස්වර්ගය සොයා ආගම දහමට වැඩි වැඩියෙන් නැඹුරුවන තරමට පාලකයන් හා දූෂිත නිලධාරී යාන්ත්‍රණයට රට පුරා කා සුරපුරයක සුව විඳීමට ඉඩ ප්‍රස්ථාව නිතැතින්ම උදා වේ.
ළදරු පාසලේ සිටම ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාවයි යන මිථ්‍යාව පුනරුච්චාරණය නොකොට රටේ සැබෑ තතු හා අසාර්ථක බව වටහා දෙමින් වඩා යහපත් රටක් ගොඩනඟන්නට වෙර දරන දරු පරපුරක් බිහි කිරීම විනා මේ ඇටුවම් බැහැපු හොර තක්කඩියන් පුනරුත්තාපනය කළ නොහැකි බව වටහා ගනිමු.