අයිස්ක්‍රීම්වලට චිලිපේස්ට් දැමීම – වෛෂ්ණාවී

අනුර දහනායක(horror)

ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාගේ ලිපිගොනු අතර තිබූ වස්තු බීජයක සටහන් කිහිපයක් මීට දහ අට වසරකට පෙර සුමිත්‍රා පීරිස් සිනමාවේදිනියට හමුව තිබේ. එය වෛෂ්ණාවි කතාවේ සටහන් කිහිපයකි. සුමිත්‍රා එය සිනමාවට නැගිය යුතු යැයි පවසද්දී ලෙස්ටර් තව ටිකක් සිතා බලන්නැයි පැවසූ බව ද ඇය පවසන්නීය.
ටෝනි රණසිංහයන් අතින් තිර පිටපත ලියැවී ඩිජිටල් තාක්ෂණයෙන් වෛෂ්ණාවි තිරගත වූයේ ලෙස්ටර් ගේ 99 වන උපන්දිනයට ඔහුට පිදෙන ත්‍යාගයක් බව පවසමිනි. මේ ත්‍යාගය අත්වින්දේ සිනමා ප්‍රේක්ෂකයින් ය. ත්‍යාගයේ ආරම්භය අපූර්වත්වයෙන් පිරී පවතී. රූකඩ කර්මාන්තය කරන තරමක් ධනවත් රූකඩ ශිල්පියකුගේ ඥාති පුතා ධනවත් ව්‍යාපාරිකයකුගේ දියණියක් විවාහ කර ගැනීමට යයි. මේ වන විට එම ධනවත් දියණිය තම පියාගේ ව්‍යාපාරික ස්ථානයේ තරුණ කළමනාකරු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යයි. එයට ගෙදරින් පළකරන විරුද්ධත්වය නිසා ම ඉක්මන් විවාහයක් ලෙස රූකඩකරු විවාහකරදීමට ඇගේ මාපියෝ සැරසෙති. මේ රූකඩ හිමි තරුණයාද ඇය තුළින් දකින්නේ ඔහුගේ සිතේ ඇඳි කාන්තා රුවට සමාන හැඩයකි. එහෙයින් තරුණයා ඇයට වශී වෙයි. එහෙත් ඇයට ඇගේ ප්‍රේමය හේතුවෙන් ඔහුව පෙනෙන්නේ රූකඩ ශිල්පියෙක් ලෙස නොව රූකඩයක් ලෙස ය. ඇය තම පෙම්වතා සමග යාමට තීරණය කර වස්තුවද පොදි බැඳගනී. ඇය ඔහු එනතෙක් මහ පොළොවේ එක් කෙළවරක සිටින්නීය. සංකේත භාවිතය හරිම චමත්කාරය. ඒ ඉමෙන් එහා මුහුදය. පර්වත අතර ඇය තනිවේ. එහෙත් ඔහු පැමිණ ඇත. ඇගේ කතාව එතැනින් නිමා වේ.
රූකඩ ශිල්පී තරුණයා තනිවේ. ඔහු ඔසඳා ය. වෛෂ්ණාවි යනු ඔසඳා ගේ කතාවය. මෙතෙක් ගලා පැමිණි ඔසඳාගේ රූප රචනය විචිත්‍ර ය. චරිත හඳුන්වා දීම, වරිත ගොඩනැගීම ඉතා සරල සෞන්දර්යාත්මක හැඩයක් ගනී. යථාර්ථවාදීව චරිත ගලා යයි. ඔසඳා ට සිය දිවි නසා ගැනීමට සිත් දෙයි. ඔහුගේ ආදරය අපේක්ෂාවෙන් කුඩා කළ සිට ම ළඟ සිටි ඥාති නැගනිය ස්නේහයෙන් තවමත් ඔහුව ම පතන්නීය. ඇය රුචිරා ය. මේ චිත්‍රපටයේ සියලු ශිල්පීන්ගේ රංගන දායකත්වයත් ඩොනල්ඞ් කරුණාරත්න ගේ කැමරා දායකත්වයත් ගැන කතා දෙකක් නැත. ඉතා ඉහළය. තුමිදු දොඩන්තැන්න, සමාධි අරුණචායා, යශෝධා විමලධර්ම, ජයලත් මනෝරත්නගේ සිට කුඩා චරිතයන් දක්වා ඔවුන් තම කාර්යයේ මැනවින් සමවැදී ඉටුකර ඇත. මෙතෙක් යථාර්ථවාදී දෘෂ්ටිකෝණයෙන් පැමිණි සිතුවම එක්වරම යථාර්ථයෙන් බැහැර වන්නේ ඔසඳාගේ මානසික ව්‍යාකූලත්වය සමඟ ඔහු විසින් කපා ඔපදමා නිර්මාණය කරන ලද නග්න නාරි රූපයට පණ ඒමත් සමග ය. එවිට මෙම චිත්‍රපටය අද්භූත සිනමාපටයක් හෝ බිය උපද්දවන සිනමාපටයක් (horror) තත්ත්වයට ගමන් කරයි. එහෙත් මෙය රැගෙන යන ආඛ්‍යාන රටාව යථාර්ථවාදී රටාවයි. එවිට සුමිත්‍රාට සිදුවන්නේ අද්භූත කතාව සත්‍යයක් කිරීමට ය. කැලයට ගොස් දැවැන්ත රුක්අත්තන වෘක්ෂයක් කපන්නට ගොස් වෘක්ෂ දේවතාවියක් වැඩ සිටින ගසක් කපා හෙළන බව පෙන්වයි. එතැන් පටන් ගොඩ නැගෙන පුදුම උපද්දවන විශ්මයජනක ආශ්චර්යමත් අද්භූත තත්ත්වයක් දක්වා චිත්‍රපටය එක්වරම ගමන් කරයි. රූකඩයට පණ එයි. රූකඩය ලක්ෂ්මී වෙයි. ඔසඳාව අයිති කර ගැනීමට සිතා කේන්ති ගනියි. ගිරවා මරා දමයි. බළලා අතුරුදහන් කරයි. රුචිරාගෙන් පළිගනියි. ඔසඳා පණ ඇති දේවතාවිය අල්මාරියට දමා වසා තබයි. යථාර්ථවාදී රටාව සමග මේ සෙල්ලම කිරීමේදී සුමිත්‍රා පීරිස් පරාජිත ය. සිනමාව නමැති මායාව තුළ වෘක්ෂ දේවතාවගේ ඉදිරිපත් කිරීම ඇයට වෙනස් වූ ආඛ්‍යාන රටාවක් ඔස්සේ රැගෙන ඒමට තිබුණි. පිනෝකියෝට පණ ආවද එය අපූරු සුරංගනා කතාවකි. ටෝනි රණසිංහගේ පිටපතේම ලක්ෂ්මිට පණ දී රැගෙන ඒම තුළ ඔසඳාගේ චරිතය ප්‍රපාතයකට ඇද දමා තිබේ. දේවතාවිය ඔසඳා සමග ලාංකීය පවුල් දිවියක් ගත කිරීමට යාමත් සමග ඔසඳා බිය වෙයි. ඔසඳා එයට කැමති නැත. දේවතාවිය කෝප වෙයි. මෙතෙක් වේලා අයිස්ක්‍රීම් රසය විඳි ප්‍රේක්ෂකයාට චිලී පේස්ට් උඩින් දමයි. අයිස්ක්‍රීම් සමග චිලී පේස්ට් නොගැළපේ. ඔසඳා හා ඔසඳාගේ මනෝ ලෝකය තුළ සැරිසරණ ගැහැනිය නමැති අති සුන්දර මාතෘකාව මකා දැමීමට තරම් ‘ලක්ෂ්මි‘ නමැති පණ ඇති මායාකාරිය ඉදිරියට රැගෙන ඒමට අධ්‍යක්ෂවරිය ලද බොළඳ වී තිබේ. මේ වෛෂ්ණාවි සමග ම අනෙක් මණ්ඩලයෙන් පැමිණියේ ‘යමරජසිරි’ චිත්‍රපටයයි. එයටද අද්භූත සිද්ධි යොදාගෙන තිබිණි. යමරජසිරිහි යම රජුට, රැජිණට හොරා කහ කෑල්ලක් (ශ්‍රී ලාංකීය ගැහැනියක්) රැගෙන ඒමට දූතයින් එවන විකාරයක් වටා කතාව ගෙතී තිබුණි. එය හාස්‍යය (විකට) ශෝනරයෙන් රැගෙන ආ ප්‍රාථමික කතාන්දරයකි. වෛශ්ණාවිහි යථාර්ථවාදී සමාජයමය කතාන්දර ශෝනරය තුළට අද්භූත තත්ත්වය පැමිණි විට ප්‍රේක්ෂකයාට අත් විඳින්නට වන්නේ ද ඉහත සඳහන් කළ ජුගුප්සාජනක තත්ත්වයකට ය. වෘක්ෂ දේවතාවියට තවම යම රජු මුණ ගැසී නැත. මේ දෙදෙනාම මුණ ගැසී ඇත්තේ අහිංසක ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් වෙත ය. සුමිත්‍රා පීරිස් සිනමාවේදිනිය සිනමාවේ යෝධයෙක් වුවත් ඇයට වැරදී ඇති බව සිතේ. ලෙස්ටර් මහතා පවසා තිබූ පරිදි සුමිත්‍රා මැතිනිය තව ටිකක් සිතා බැලුවේ නම් ඇගෙන් ඉතා හොඳ නිර්මාණයක් බිහිකිරීමේ හැකියාව මග හැරී නොයනු ඇත.