රාවය

මාළු සිලිසිලියෙන් උපන් රිදී හොරුන්ගේ කතා වස්තුව

මාළු සිලිසිලියෙන් උපන් රිදී හොරුන්ගේ කතා වස්තුව

දයා නෙත්තසිංහ

උස පැනීම, දුර පැනීම මෙන්ම රිටි පැනීමද ක්‍රීඩාවකි. එහෙත් ‘රිටිපන්න’ එවැනි වර්ගයේ ක්‍රීඩාවක් නොවේ. රිටිපන්න යනු රැකියාවකි. රැකියාවද ඇතැම්විට ක්‍රීඩාවක් වගේය. ‘රිටිපන්න’ ක්‍රීඩාවක් නම් එම ක්‍රීඩාව කරන්නට සිදුවී ඇත්තේ මත්ස්‍යයන් සමගය. නොගැඹුරු මුහුදු ජලයේ සිටින කුඩා මත්ස්‍යයන් සමගය. ‘බිලීබෑම’ කරන්නේ බිලී පිත්තක ආධාරයෙනි. සාමාන්‍යයෙන් ගඟේ ඇළේ, දොළේ, වැවේ හෝ කිසියම් ජලාශයක පිත්තක ආධාරයෙන් මාළු ඇල්ලීමට කියන්නේ ‘බිලී බෑම’ කියාය. එයද, ගං ඉවුරේ හෝ ජලාශයේ බැම්මක් මත සිට කරන දඩයමකි. ‘රිටිපන්න’ ඒ සියල්ලෙන්ම වෙනස්ය. මාළු දඩයම් කරන්නේ පිත්තක ආධාරයෙන් වුවත් රිටිපන්න දඩයක්කාරයෝ සිටින්නේ නොගැඹුරු මුහුදේ රිටක් මතය. රිට මත නැගී කරන ‘පන්නය’ හෙවත් රැකියාව ‘රිටිපන්නය.’ රිටිපන්නය සඳහා ‘ඇම’ භාවිත කරන්නේද නැත. ගඟේ, ඇළේ, දොළේ, වැවේ හෝ ජලාශයේ මාළු දඩයම් කිරීමේදී මාළුන් ග්‍රහණය කරගැනීම සඳහා නැතිනම් රැවටීම සඳහා ‘ඇම’ භාවිත කළත් රිටිපන්නයේදී බිලීකටුවම ඇම වන්නේය. සුදු ඊයම්වලින් නිපදවා ඔපලාගත් පසුව රිදී පැහැයෙන් එය දිදුලයි. මත්ස්‍යයෝ එයම ගිජු ලෙස ගිල දමයි. රිටිපන්නය දකුණු මුහුදු තීරයට ආවේණික මත්ස්‍ය දඩයම් ක්‍රමයකි. ලෝකයත් සමග සැසඳීමේදී තවමත් මේ සාම්ප්‍රදායික දඩයම් ක්‍රමය ක්‍රියාත්මක වන්නේද එහිය. ගාල්ල දළ වැල්ලේ සිට මාතර පොල්හේන දක්වා වෙරළාශ්‍රිත නොගැඹුරු මුහුදේ ක්‍රියාත්මක වූ මේ සම්ප්‍රදාය දැන් නම් කොග්ගල, අහංගම, ගොවියාපාන, හබරාදුව, තල්පේ යන ප්‍රදේශවලට පමණක් ශේෂවී ඇත්තේය. එයිනුත් මෝදරගොඩ, මරඳුවල යන දඩබිම් දෙක පුරාණයේ සිට මේ දක්වාම ක්‍රියාත්මකය.

කොක් කකුලේ හැඬේ

රිටිපන්නයේදී ආධාරකය ලෙස යොදා ගන්නා රිට නොගැඹුරු මුහුදේ හුණුගල් අතර ඍජු ලෙස ස්ථානගත කරන්නේ කොකා තනි කකුලෙන් සිටගත් විට පාද පිහිටන රහස අනුවය. මේ පන්න ක්‍රමයේ ඉතිහාසය කියන්නට මේ දඩබිම්වල සිටින දඩයක්කාරයන් දන්නේ නැත. දන්නේ තමන්ගේ පරම්පරාවම මේ රිට මත නැග මේ රස්සාව කළ බවය. අඩුම තරමේ මේ පන්න ක්‍රමය අවුරුදු හත්අටසීයක් පැරණි බවට සැක නැත. ඊයම් බිලියට පෙර ‘යකිනාරං කටු’ මත්ස්‍ය දඩයමට යොදා ගත් බව තමන් තමන්ගේ සීයාගෙන් අසා දැනගත් බව මරඳුවල ස්ටීවන් අප සමග කීවේය. ඒ නම් ඉතාමත් ඈතක විය යුතුය. මුහුදේ සිටුවන රිටට වැඩිපුරම ගන්නේ දොඹ ලීයය. ඉස්සර හරස්ලීය ගැට ගැසුවේ වේවැල් වලිනි. දැන් නම් කොහු ලණු වලිනි.
රිටිපන්නයේ යෙදෙන්නේ කවදාද? කොපමණ පැය ගණනක් රස්සා කරනවාද යන්න තීරණය කෙරුණේ මත්ස්‍යයන්ගේ හැසිරීම මිස දඩයක්කාරයන්ගේ කැමැත්ත අකමැත්ත මත නොවේ. තවත් සරලව කියන්නේ නම් රිට මතට නගින්නට හේතු හදන්නේ දඩබිමේ ගැවසෙන මාළු සිලිසිලිය මිස අන් කවරක්වත් නොවේ. එයද දැන් නම් දෙයාකාරය. පුරාණයේ මාළු නිසාම රිට මතට නැග්ගත්, දැන් නම් ඒ මතට නැගීමට සුද්දන්ද හේතුවන්නේය.

පතපොතේ නැත පුතේ

රිටිපන්නය ජයටම කෙරෙන්නේ අප්‍රේල් මාසයේ අග සිට අගෝස්තු දක්වාය. මුහුදේ සිටුවා ඇති සෑම රිටක්ම සම්පූර්ණ වී පෙනෙන්නේ එසමයෙහිය. ගාල්ල, මාතර වෙරළබඩ මාර්ගයේ ගමන් ගන්නා මගීන්ගේ ඇස් පිනවන මේ දසුන මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගන්නේය. අලුයම් කාලයේ සිට මධ්‍යහ්නය දක්වාත්, රිටිපන්න මෙහෙයුම් ක්‍රියාත්මකය. ජී.එච්. පේමරත්න මහතා මරඳුවල දඩබිමේ පැරණිම සාමාජිකයාය. ඔහුගේ හත්මුතු පරම්පරාවම රිටිපන්නයෙන් නැගී සිටියවුන්ය. මේ පන්නයේ බොහෝදෙනකු නොදන්නා රහස් එම පරම්පරාව සතුය. අත්දැකීමෙන් ලද දේ මිස ඒවා පොතපතින් හිමිකර දුන් දේ නොවේ.

අන්නාසි පීල්ල දිගේ

“මේ බිලිය කඩෙන් ගන්න නෑ.. මේක හදන්නෙත් අපිම තමයි.” ජී.එච්. පේමරත්න මහතා සිය ක්‍රියාන්විතය පිළිබඳව විස්තර කළේය. “ඉස්සර අද වගේ තංගුස් නූල් තිබුණේ නෑ. අන්නාසි පීල්ලේ කෙන්දෙන් තමයි නූල හදාගත්තේ. කළු ඊයම් උණු කරලා මෙන්න මේ අච්චුවට වක්කරලා තමයි බිලිය හදාගන්නේ.” ඔහු තමන් සතු පරම්පරා ගාණක් පැරණි බිලී අච්චුවක් අප දිරියේ දිගහැරියේය. අච්චුවකට වත්කර සාදා ගත් සියුම් බිලිය ඉන් අනතුරුව බෝතල් හෝ පිඟන් කටුවකින් ඔපලා ඊට දිස්නය දෙන්නේය. දිස්න දීමෙන් පසුව එය බිලී කටුවකට වඩා වෙනස් හැඩයකි. අපට එය කෙසේ වෙතත් මේ බිලිය ගිජු ලෙස ගිල දමන මත්ස්‍යයන්ට නම් එය පෙනෙනවා ඇත්තේ තමන්ගේ ප්‍රියතම ආහාරය ලෙසිනි. ඇමුණුමක් නැති බිලියකින් මාළු අල්ලන්න පුළුවන්ද…? අපේ සිතේ නැගෙන පැනය සෝමරත්න මහතාට යොමු කළෙමු. ඔහු දුන්නේ මෙවැනි පිළිතුරකි.
“මේ පන්න තනිකරම අතේ සාස්තරේ.”
බිලිය මාළු රෑන ඉන්න තැනට දාලා පොඩි ගැස්සීමක් කරනවා. ඒක කරන්නේ අතින්. ඒ ගැස්සීමට තමයි මාළු අහුවෙන්නේ. මේ වැල්ලේ ඉන්නේ ඒවා හොඳට හුරුපුරුදු මිනිස්සු.”
රිටිපන්නය දකුණු වෙරළේ ස්ථානගතවීමට විශේෂ තත්ත්වයක් තිබේ. එක් පැත්තකින් පළල් නොගැඹුරු සමුද්‍රීිපික තටාකයය. හුණුගල් ස්ඵටික සහිත මුහුදු පතුළ හා රළ බාධක සහිත ගල්පර පිහිටා තිබීමද රිටි පන්නයට ආශිර්වාදයකි. නොගැඹුරු මුහුදු පතුළට හිරු එළිය වැටීමෙන් මුහුදු පැළෑටි හටගැනීම වැදගත්ම තත්ත්වයයි. මාළු රංචු පිටින් පැමිණෙන්නේ මේ පැළෑටි හා ඒ ආශ්‍රිත ජීව ප්‍රජාව ගොදුරු කොට ගැනීමටයි.

නමස්කාරය

“මේක අපි විනෝදයෙන් කරන රස්සාවක්. මාළු ඉන්න කාලෙට උදේ වරුවට මාළු කිලෝ හතඅටක් බාගන්නවා. හවසටත් එහෙමයි.” තමන් ලබන අස්වනු ගැන සෝමරත්න මහතා කීවේ එවැනි කතාවකි. රිටිපන්න කරන්නන් අලුයමින් පිබිදෙන්නෝය. අලුයමින් පිබිදී ආම්පන්නද රැගෙන රැකියාවට පිටත්වන්නේ අලුයම තුනක් පහත් අතරය. බුලත්විටක්, සුරුට්ටුවක්, බීඩියක් ගිනි පෙට්ටියක් වරදින්නේම නැත. ඒවා තිබෙන්නේ හිසවටා බඳින තලප්පාවේය. බිලී හැඹිලිය, බිලී පිත්ත, පන්මල්ල, වතුර බෝතලයද අමතක නොකර රැගෙන යති. රිට මත නැග ගත් පසුව මද විවේකයක් ගන්නේ එක්කෝ බුලත්විට නැතිනම් බීඩිය හෝ සුරුට්ටුව මුව තබන්නටය. නැතිනම් වතුර උගුරක් පානය කරන්නටය. අන් සැම මොහොතකම මාරුවෙන් මාරුවට වමතත්, දකුණතත් සෙමෙන් ගැස්සෙන්නේය. රිටිපන්න බිලියට හසුවූ මත්ස්‍යයා පමා නොකර පන් මල්ල තුළට දමා ගත යුතුය. නැතිනම් ඌ යළිත් මුහුදටම පනින්නේය. කාලය මනින්න දන්නේ මේ දඩයක්කාරයන්ම මිස වෙනත් කිසිවකු නොවේ. අලුයමින් දඩබිමට යන රිටිපන්නකාරයෝ මුලින්ම මුහුදට නමස්කාර කිරීම සම්ප්‍රදායයි. මුහුදට යද්දීත් එද්දීත් ඒ කටයුත්ත නොවලහා ඉටු කරති. ඇතැම් දිනක රුපියල් හත්අටසීයක් වන ආදායම තවත් දිනෙක රුපියල් හාරපන් දහසද ඉක්මවා යන්නේය.

අල්මාරි මාළු

රිටිපන්නකාරයෙක් තමන් දඩයම් කරන මාළුවලට කියන්නේ ‘අල්මාරි මාළු’ කියාය. එයින් අදහස් කර ඇත්තේ රස්සාව කරගන්න පුළුවන් නම් ආදායම නොවරදින බවය. තවත් සරලව කියන්නේ නම් ඕනෑම වෙලාවක අල්මාරියේ ඇති මුදල් මෙන් දඩබිමේ මාළු නොවරදින බවය. රිටිපන්න දඩබිම ආශ්‍රිතව වැඩෙන මුහුදු පැළෑටි කෑමට පුරුදුව සිටින්නේ ‘කොරලවා’ නමැති කුඩාම මත්ස්‍යයෙකි. කොරලවා දඩයම් කරගැනීම සඳහා කොරඹුරු, බෝල්ලෝ සහ පරව් පැටව් පැමිණෙති. රිටිපන්නකාරයන්ගේ පන්මල්ලට යන්නේ ඔවුන්ය. පුරාණයේ පන්මල්ල, හැඹිලිය අනිවාර්යය අංගයක් වුවත් දැන්නම් ඒ සඳහා වෙනත් විකල්පය. අලුයම් කාලයේ ගැඹුරු මුහුදේ සිට ගොඩබිම ආසන්නයට එන මාළු රංචු නැවත ගැඹුරු මුහුද දෙසට යන්නේ ඉර අවරට ගිය පසුවය. මේ මාළු එන යන වෙලාව හරියටම දන්නේ රිටිපන්නකාරයන්ය. රිටිපන්න ක්‍රමයේ යෙදුණු පවුල් විශාල ප්‍රමාණයක් දකුණු මුහුදු තිරයේ පුරාණයේදී සිටියත් දැන් නම් එම ප්‍රමාණය සියයකටත් වඩා අඩුය. වැඩි පිරිසක් සිටින්නේද රිටිපන්නයෙන් මාළු බෑමට නොවේ සුද්දන් බෑමටය.

ඇද නැති පිත්ත

රිටිපන්නය සඳහා භාවිත කරන බිලීපිත්තද සාමාන්‍ය බිලී පිත්තක් මෙන් වක් වූවක් නොවේ. කිතුල් පිත්ත දුමේ තබා ඇද හැර පදම් කරගැනීමෙන් පසුව භාවිතයට ගනී. ඒවා වැල්ලේ නැතත්, වැල්ලට නුදුරු ගම්මානවල තිබේ. සැහැල්ලුව නිසා පදම් කළ වියළි කිතුල් පිත්ත හැසිරවීමට පහසුය. බිලී පිත්තට ඇම හෙවත් බිලී කොක්ක අමුණන්නේ නූලකිනි. අද සියුම් තංගුස් නූලක් ඒ සඳහා යොදා ගත්තත් පුරාණයේ භාවිත කළේ අන්නාසි පීල්ලේ කෙඳිය. බිල්ල නූලට සවිකරන්නේ ‘නියගැටේ’ ගැසීමෙනි. ඒ ගැටේ ගැන දන්නේ රිටිපන්නකාරයෝය. ඉතා සියුම් ගැටයකි. නියපොත්ත භාවිත කරමින් ගසන ගැටයකි.

ඩොලර් දඩයම

රිටිපන්න දඩයම වසර පුරාම ක්‍රියාත්මකවන්නේ නැත. අප්‍රේල් සිට අගෝස්තු දක්වා සත්‍ය වශයෙන්ම මත්ස්‍ය දඩයම සඳහා ක්‍රියාත්මක වන සමයයි. සෙසු මාසවල ක්‍රියාත්මක වන්නේ ‘සුද්දන් දඩයමය’ රිටිපන්න ධීවරයන්ගේ වෙස් ගන්වා ගත් පිරිසක් උදෑසනත් සවස් කාලයේදී රිට මත නැග සිටිති. විදේශීය සංචාරකයෝ පැමිණ ඡායාරූප ගනිති. සංචාරකයකුට රිට මත නැගී ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය නම් රුපියල් පන්සියයක් ගෙවීමට සිදුවේ. ‘Stick Fishermen’ බෝඞ් ගසා ඇති තැන්වල කෙරෙන්නේ එයයි. මේ නිරූපණයන් සඳහා කණ්ඩායම් සිටී. එවැනි කණ්ඩායම් සිටින තැන්වලට සංචාරක බස්රථයක් විසින් රුපියල් දෙදහසක මුදලක් ගෙවිය යුතුය. ඇතැම්විට මේ දඩබිම්වල කණ්ඩායම් නායකයකු සිටී. ඔහු විසින් රිටිපන්න දඩයම්කරුවෝ කණ්ඩායමක් සූදානම් කර රිටි මතට නංවා මේ රැකියාව කරන ආකාරය සුද්දන්ට නිරූපණය කරයි. ඉන් ලැබෙන මුදල් කණ්ඩායම අතර බෙදා ගනී. අවාරේ මේ දඩබිම්වල මත්ස්‍යයන් නොමැති නිසා කුඩා මත්ස්‍යයන් වෙනත් ප්‍රදේශවලින් මිලට ගෙන හෝ බිලියේ අමුණා මේ සංදර්ශන පැවැත්වීමද විශේෂත්වයකි. හැඩි දැඩි පිරිමි හිසේ තලප්පාවක් බැඳ රිට මත නැගී බිලීපිත්ත සොලවමින් යෙදෙන රංගනය වෙනුවෙන් ඔවුන්ට මුදල් ලැබේ. සංචාරක කර්මාන්තයේදී මෙවැනි තත්ත්වයන් නීති විරෝධී වන්නේ නැත. එනමුදු එම තත්ත්වය සංචාරකයන්ට අප්‍රිය නොවන ලෙස පාලනය විය යුතුය. රිටිපන්නයේ ඇත්ත දඩයක්කාරයන්ටද ඉන් බාධා නොවිය යුතුය. මක්නිසාදයත් මේ තනි කණුවේ දඩයක්කාරයා තවමත් ශේෂවී සිටින්නේ දකුණු වෙරළ තීරයේ බැවිනි.