රාවය

අවිනිශ්චිත වන ක්‍රිකට් ඡන්දය

අවිනිශ්චිත වන ක්‍රිකට් ඡන්දය

රජිඳු කාශ්‍යප

ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත වන්නේ කෙසේද ඊට සමාන ලෙසින් ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලකයන් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන නිලවරණයේ තොරතුරු ද අවිනිශ්චිතවෙමින් පවතී. ඊට අනාවැකි කීමේ හැකියාවක් කිසිසේත්ම නොමැති බැව් නිමාවන සතිය අපට පෙන්වා දෙයි.
නිලවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට ම ක්‍රිකට් අරබයා නිශ්චිත, නිශ්චීය ප්‍රවෘත්තියක් නොලැබුණ ද ලැබෙන ප්‍රවෘත්තීන් තටු ගසා ඉගිලුණේ පාර්ශ්වයන් අතර දැඩි උද්යෝගයක් ඇතිවෙන අයුරිණි. එහෙත් ක්‍රිකට් නිලවරණයේ පුමුඛ ප්‍රවෘත්ති සපයන්නා වූයේ ක්‍රිකට්වලට කිසිදු සම්බන්ධයක් නොමැති නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ය. ඔහුගේ ප්‍රවෘත්ති සැපයීම නතර වූයේ එෆ්සීඅයිඩීයට ද යෑමෙන් අනතුරුව ය. එහෙත් මේ දක්වා ම සිදූ වූ දෙයක් නැත.
රන්ජන් රාමනායකගේ සියලු චෝදනාවන් පාලක තිලංග සුමතිපාලට එරෙහිව ම විණි. ඔහු වෙනත් කිසිවෙක් වෙත නමක් හෝ සඳහන් කරමින් වෙනත් කෙනෙක්ට සහයෝගයක් ලැබෙන තත්ත්වයේ ප්‍රවෘත්තියක් සැපයූවේ නැත. අනෙක් අතට රන්ජන් රාමනායකගේ චෝදනාවන් දඩමීමා කරගනිමින් තමන්ගේ ඡන්ද ව්‍යාපාරය කරගෙන යෑමට ඉතාම හොඳ මාර්ගයක් විවෘත ව තිබුණ ද ඊට කිසිවකුත් ඉදිරියට පැමිණියේ ද නැත.
එවන් තත්ත්වයක දී වූව ද එදා සිට ම මේ රේස් එකේ නිරතවූයේ තිලංග සුමතිපාල ම පමණි. දැනටමත් දරන තනතුර යොදා ගනිමින් තිලංග සුමතිපාල තම ඡන්ද ව්‍යාපාරය හරි අපූරුවට ගෙන යන බව දැක්ක හැකිය. ප්‍රවෘත්ති සාකච්ඡා පවා පවත්වමින් තමන්ගේ පුරාජේරුව රටපුරා බෙදා හැරියේ ය. ඒ අවුඅස්සේ තමන්ට විරෝධතාවක් මතුවේ නම් ඊට මුහුණදීමේ සූදානමින් සෙවණැලි කණ්ඩායමක් ද සූදානම් කළේ ය.
ඒ අනුවය මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ සභාපති තනතුර සඳහා සිවුකොන් තරගයක් නිර්මාණය වන්නේ. තිලංග සුමතිපාල, ජයන්ත ධර්මදාස, නිශාන්ත රණතුංග සහ මොහාන් ද සිල්වා ඒ සිවුදෙනා ය. මොවුන් සිවු දෙනා ම මීට පෙර ක්‍රිකට් පරිපාලනයේ යෙදී සිටි තැනැත්තෝ ය. ක්‍රිකට් පරිපාලනයේ දී කිසියම් හෝ පාර්ශ්වයක් නියෝජනය කරමින් පරිපාලනයට එන්නට ම දඟලන්නෝ ය.
ඇත්තට ම මෙතැන ඇත්තේ සිවුකොන් තරගයක් ද? තිලංග සුමතිපාල සේ ම මොහාන් ද සිල්වා නියෝජනය කරනුයේ එක් පාර්ශ්වයක් යන්න කාටත් රහසක් නොවේ. මොහාන් ද සිල්වා යනු තිලංග සුමතිපාලගේ සෙවණැලි කණ්ඩායමේ ප්‍රමුඛයා ය. අද දවසේ ඔවුහු එක මේසයේ සිටිමින් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වති. එතැන දී එක් මතයක් වෙනුවෙන් පෙනී සිටින මොවුහු සභාපති තනතුරේ දී වෙන් වෙන් ව තරග වදිති. නැවත ලේකම් තනතුර වෙනුවෙන් සහ උප සභාපති තනතුර වෙනුවෙන් තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් ම තරග වැදීමට සූදානමින් සිටී. ඔවුන්ගේ හරි අපූරු ක්‍රිකට් දේශපාලනය එසේ ය.
ජයන්ත ධර්මදාස සහ නිශාන්ත රණතුංග වෙනත් පාර්ශ්වයන් නියෝජනය කරනු ලැබූව ද ඔවුහුද කලක් එක්ව සිට ක්‍රිකට් පාලනය කළ තැනැත්තෝ ය. මොවුන් දෙදෙනා ම තිලංග සුමතිපාලගේ සම්ප්‍රාප්තියත් සමගින් විශ්‍රාම ගැන්වූ ක්‍රිකට් පාලකයෝ ය.
මේ අතුරින් ජයන්ත ධර්මදාස යනු ක්‍රිකට් පරිපාලනයේ දී අවිනිශ්චිත චරිතයක් බැව් ය පිළිගැනීම. ඔහුගේ පරිපාලනයේදී වඩාත් වැදගත් තැන්වල දී ඔහු අස්ථාන ගත ය. පෙනී සිටියෝ වටේ සිටි කේවට්ටයෝ ය. ව්‍යාපාරිකයෙක් ලෙසින් ජයන්ත ධර්මදාස දක්ෂයෙක් වූවද ක්‍රිකට් පාලනයේදී ඔහු වෙතින් පෑ උදාසීනත්වය ක්‍රිකට් පැවැත්මට එතරම් ගෝචර වූයේ නැත. මේ නිසා වල් ආසියන් ද පිටියේ පෙරැළි කරන්නට වුණි.
එකී කඳවුරේ සිටි නිශාන්ත රණතුංග ක්‍රිකට් පරිපාලනයේ මහා දැනමුත්තෙක් වෙන්නේ ඒ හේතුවෙනි. රණතුංග කඳවුරේ ප්‍රබල ක්‍රිකට් බලකණු ක්‍රිකට් පරිපාලනය තුළ නිර්දය ලෙසින් විවේචනය වෙද්දී පවා බේරී සිටීමට හැකි වූ එක ම චරිතය නිශාන්ත රණතුංග ය. එතැනදී තමන්ගේ ප්‍රතිරූපය නංවා ගැනීම නිශාන්ත රණතුංග සමත් වෙන්නේ ය. එහෙත් එසේ වූව ද ක්‍රිකට් පරිපාලනයේ දී තිලංග සුමතිපාල සමගින් නිශාන්ත රණතුංගට පෙර සිදුවූයේ පරාජය වීමට ය.
ඒ කෙසේ වෙතත් මෙවර ක්‍රිකට් නිලවරණයේ සැබෑ ප්‍රතිවාදියා වී සිටින්නේ නිශාන්ත රණතුංග ය. පවතින තිලංග සුමතිපාලගේ බලඅධිකාරියත් සමගින් නිශාන්ත රණතුංග ගෙන ඇත්තේ විශාල අභියෝගයකි. එකී අභියෝගය වෙනුවෙන් හෙට දිනයේ දී අමුතු ප්‍රවෘත්තියක් මතුවීමේ ඉඩක් ද ඇත. එහෙත් එය කල් තියා පැවසීමට ඉඩක් නැත්තේ ක්‍රිකට් සේ ම ක්‍රිකට් නිලවරණයේ ප්‍රවෘත්ති ද අවිනිශ්චිත වන බැවිනි.
මේ තත්ත්වයන් එසේ වෙද්දී ක්‍රිකට් නිලවරණය වෙනුවෙන් විශේෂ අවධානයෙන් කටයුතු කරන ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා කොළේ වසා ගැසීමට සූදානම් වන බවකුයි ක්ෂේත්‍රයේ ආරංචිය. අනෙක් අතට මෙරට ක්‍රීඩාව සංසරණය වෙන්නේ ද එක් එක් ක්‍රීඩා ඇමතිවරයාට ඇවැසි ආකාරයට බැවින් ක්‍රිකට් නිලවරණයේ දී ඊට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බවක් ද පැවැසෙති.
“තිලංග සුමතිපාලට සමහර ක්‍රීඩා ඇමතිවරුන්ගේ කාලයේ දී ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වෙන්න සුදුසුකම් තිබුණේ නැහැ. ඒවා ඉදිරිපත් කරනව නාමයෝජනා ප්‍රතික්ෂේප කළා. එහෙත් සමහර ක්‍රීඩා ඇමතිවරුන් තිලංගට ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වෙන්න ඉඩදෙමින් ඉන් දිනුවට පස්සේ ප්‍රසිද්ධියේ වැළඳ ගන්නවා. එක ම පුද්ගලයෙක්ට මෙහෙම වෙන්නේ කොහොම ද? දැන් ක්‍රීඩා ඇමති වුණත් ඊට වඩා දෙයක් කරන්නේ නැහැ කියලයි අපිට විශ්වාස. ” ක්‍රිකට් නිලවරණය වාරණය වෙමින් අතුරු කමිටුවක් පත් වෙතැයි විශ්වාස කරනු ලබන සහ ඒ වෙනුවෙන් තවමත් උත්සාහයේ නිරත පාර්ශ්වයේ නම සඳහන් කිරීමට අකැමැති ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ පුද්ගලයෙක් පැවැසුවේ ය.
මේ කතාවලින් අපට හැඟෙන්නේ ක්‍රිකට් නිලවරණය අවසාන මොහොතේ හෝ නවත්වා ගැනීම ඇතැමුන්ගේ අභිප්‍රාය බවයි. කෙසේ වෙතත් මේ වන විට ක්‍රිකට් නිලවරණයේ අළු යට ගිනි පුපුරු කුමන මොහොතක මතු වේදැයි යන අවිනිශ්චිත බිය සෑම පාර්ශ්වයක් තුළ ම මතුවීම වැළැක්විය නොහැක. අවසාන සතිය තීරණාත්මක ය. එකී සතියේ දී ක්‍රිකට් නිලවරණය කෙසේ හෝ පැවැත්වීමත්, කෙසේ හෝ වාරණය කරගැනීමත් මේ පාර්ශ්වයන් හී බලාපොරොත්තුව ය.
ඒ ක්‍රිකට් වෙනුවෙන් නම් නොවේ. තම තමන්ගේ බලය වෙනුවෙන් ය. එකකු තමන් සතුව ඇති බලය ආරක්ෂා කර ගැනීමට දඟලන අතර තවකකු බලයට ඒමට පිඹුරුපත් සකසති. මේ සටනින් කවුරුන් ජයග්‍රහණය කළ ද එකී ජයග්‍රහණය ක්‍රිකට් වෙනුවෙන් විය යුතුය. එහෙත් පවතින තත්ත්වය අනුව නම් එවැන්නක පෙර නිමිති අහලකවත් නැත.