ඇමති ඒ ඇම කයිද?

ටිරන් කුමාර බංගගමආරච්චි

වත්මන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ගැන හොඳ නරක ලියන්නට කල් වැඩිය. එහෙත් කල් වැඩිය කියා කල් මැරියද නොහැකිය. එබැවින් කල්තියාම ලිවිය යුතු දෑ ලිවිය යුතුමය. මන්ද එසේ නොවුවහොත් බොහෝ දේ කල් ඉකුත් විය හැකි බැවිනි.
අමාත්‍ය මුස්තාපා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස වැඩ භාරගෙන කළ කතාව හරයාත්මකය. සෑම ඇමැත්තෙක්ම වැඩ භාරගන්නේ එසේමය. එනම් කතා ලොට් එකක් ගෙන හැරපාමිනි. එහෙත් කාලයත් සමග ඔවුන්ගේ වැඩ කයිවාරුවට සීමාවී ඇති බව පෙනෙනුයේ බොහෝ දේ සිදුවූ පසුවය. එවිට වෙන්න ඕනෑ වින්නැහිය සිදුවී අවසන්ය.
අමාත්‍ය මුස්තාපා මුල්ම කතාවෙන් කළ කී දේ සිහි කැඳවිය යුතුය. එහිදී ඔහු අපූරු දෑ කීවේය.
“මගේ පුද්ගලවාදී දෘෂ්ටි කෝණයක් නෑ. මට අවශ්‍ය ප්‍රතිපත්ති පමණයි.” ඒ ඔහු එදා කියූවකි.
ඇමැත්තෝ එන්නේ එහෙම කියාගෙනය. එහෙත් යන්නේ පැදුරටත් නොකියාය. යාම් ඒම් එතරම් දේ නොවේ. එහෙත් ඉන්නා කාලය වැදගත්ය.
ඇමති මුල් දින කතාවේ කියූ තවත් දෙයක් මතක් කළ යුතුය. ඒ “ක්‍රීඩාව දේශපාලනයෙන් තොර කිරීමට පියවර ගැනීම තම අරමුණ බව” කීමය. දේශපාලනයෙන් තොරව ක්‍රීඩාව තබා කිසිවක් පැවතිය නොහැකිය. එහෙත් අවස්ථාවාදී දේශපාලන පිළිවෙත්වලට යට කොට නොගෙන ක්‍රීඩාව නිවැරදි රාමුවේ කරන්නට ඇමැත්තා උත්සුක වුවහොත් ඒ හොඳටම ඇතිය.
ක්‍රීඩා අමාත්‍යවරයා කතාවට කියන දේ ක්‍රියාවේදී පළුදු වේදැයි ප්‍රශ්නාර්ථයක් ඉතිරි වේ. ඒ මෑතකදී වන සිදුවීමක් සමගය.
ඊට පෙර මුල් කතාවේදී කී දෙයක් සිහිකළ යුතුය. එනම් ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් (Forenisic Audit) අවශ්‍ය වුවහොත් එය සිදුකිරීමට මැලිනොවන බවය. පළමු කතාවේදීම අමාත්‍යවරයාට ඔලිම්පික් කමිටුව මතක් වූයේ කෙසේද? එය අපට කිසිදු ප්‍රශ්නයක් නොවනමුත් ප්‍රශ්නය නම් පටන් ගත් තැනම ක්‍රීඩා ඇමතිවරයා තවකකුගේ බළල් අතක්වීමය. මන්ද මීට පෙර ‘වෝහාරික විගණනයක්’ අවශ්‍ය බව කීවේ ඔලිම්පික් ඡන්දයට ඉදිරිපත් වී පරාජය වූ රොහාන් ප්‍රනාන්දු බැවිනි. එසේ නම් ෆයිසර් ඇමතිතුමාගේ කටින් පිටවූයේ රොහාන්ගේ හඬ බව අපට නොරහසකි. එය නම් නැවත පරණ සෙල්ලමටම තල්ලුවීමය. දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමතිවරයා ලෙස ස්වාධීනව කටයුතු නොකර රොහාන් පාර්ශ්වය ගෙන ක්‍රියා කළේය. මේ කැත ක්‍රමයම වත්මන් ඇමතිද කරන්නේ නම් දැනට ස්ථාවරව යන ඔලිම්පික් කමිටුව නැවත පරණ ලෙසම ජාත්‍යන්තර තහනම් අවධානයට ලක්විය හැකිය. පෙර කචල්, බචල් ගතියම මතුවිය හැකිය.
ක්‍රීඩා ඇමතිවරයා නොබෝදා රොහාන් ප්‍රනාන්දුගේ නිවසේ සාදයකට යන්නේ සාමාන්‍ය අරමුණෙන් විය හැකිමුත් රොහාන්ලාගේ අරමුණ වෙනස් බව පැහැදිලිය. ඔවුහු දයාසිරි ලවා බැරිවූ දේ ෆයිසර් ලවා කරගැනීමට මාන බලති.
රොහාන්ලා කරනුයේ දේශපාලනයකි. ඒ දෙරණ සමග එක්ව ගෝඨාභය ගෙන ඒමේ ව්‍යාපෘතියය. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු මන්ත්‍රීවරු එජාපයේ සමහරු සිරස ළඟ දපනේ වැටෙන පරිදිම දෙරණ ළඟ දණ නමති. දයාසිරිලාට මෙන්ම ෆයිසර්ලාටද රොහාන් සමග ඇති බැම්ම එයය. රාජපක්ෂ හිතවාදීකමය. එය ඒ අයගේ දේශපාලනයය. ඒ ගැන අපට කම් කිම්. එහෙත් දේශපාලනය ක්‍රීඩාවට ගාවා නොගන්නා බව කියමින් ගේම්වලට හසු නොවන්නයි අපි ක්‍රීඩා ඇමතිවරයාගෙන් ඉල්ලමු. අපිට ඔලිම්පික් කමිටුව රැකගැනීමේ අමුතු වුවමනාවක් නැත. එහෙත් එය සිව් වසරකට ඡන්ද බලයෙන් පත්වූ නිලධාරීන්ගෙන් සමන්විතය. දිනනවාමයි කියා පිනුම් ගැසූ රොහාන්ලා පරාජය වූ පසුත් ආශාව අත්හැර ගෙන නැත. රොහාන්, ඩයස්, පාලිත, එච්.යූ. එදා සාදයේදී ඇමතිට තෙල බෙදූ බව නොරහසකි. එහෙත් ඇමතිට අප කියනුයේ ඒවා තව සිව් වසරකදී ඡන්දයකදී ක්‍රියාත්මක කරන ලෙසය.
අප පසුගිය සති ටිකේම ක්‍රීඩා ඇමතිවරයාගේ ගුණ දුටුවෙමු. අදද අහිතක් නැත. මේ කල් තියා දුටු දේ දැනුම්දීමකි. එහෙයින් ඇමති ඒ ඇම නොකනු ඇතැයි අපගේ හැඟීමය.