නීතිය නිර්වස්ත්‍ර කිරීම.

සරත් සඳගෝමි.

ජනයා මෑතක සිට අධිකරණ එහි රාජකාරි කරන විනිසුරුතුමන්ලා වන් අය ගැන කතා වෙනවා. ඒ වර්ජන ගර්ජන නිසා නං නොවෙයි. මේ විවේචනවලත් ඉදිරියෙන්ම ඉන්නේ අධිකරණවලම ඉන්නා නීිතිඥයොයි.
ස්වයංවිවේචනය හොඳ දෙයක්.
සබ්බේ නිස්සරණී කියා සියල්ල අතහැර නිවනම සොයනා යතිවරුත් මේ තණ්හා වෛර මඩ ගොහොරේම ගිලෙන කාලයක අධිකරණයට ඒ තුළින් මතුවී පිපෙන මඩ නොතැවරුන පියුමක් වෙන්න බෑ.
ඒත් අද කාට වුණත් බලයට, ධනයට, අසාධාරණයට එරෙහිව යුක්තිය සොයා යන්න ඉතිරිව තියෙන්නේ අධිකරණය විතරයි. ඒක තාමත් විධායකයේ ව්‍යවස්ථාදායකයේ වගේම නේක කොමිෂන් සභාවල පිහිට පතනවට වඩා ප්‍රායෝගිකයි. ප්‍රතිඵලදායකයි.
අධිකරණයත් සමාජ සංස්ථාවක්. එහි ඉන්න විනිසුරෝ නීතිඥයෝත් තණ්හා මද මානවලින් පෙළෙන සමාජ සත්වයෝම වෙනවා.
නීතිඥයෝ තමන්ට නගන චෝදනාවලට පිළිතුරු දුන්නට විනිසුරන් එහෙම නෑ. හොඳ වෙලාවට අධිකරණයට මාධ්‍ය ප්‍රකාශකලත් නෑ. මේ නිසා අධිකරණයට පක්ෂව වගේම විපක්ෂව කරුණු කියන අය වගකීමෙන් ඒක කරන්න ඕනෑ. විසඳුම් නොපෙන්වා කරන අපහාසාත්මක විවේචන හුදු ද්වේශසහගත රංගනම වෙනවා. මේවට පිළියම් සොයන්න මේ රංගධාරීන් ඇමතිලා, අගමැතිලා, ජනපතිලා වෙනකං බලා ඉන්නත් බෑ. ඒත් මේවා රකින්න ඉන්න ආයතන අධිකරණය රැකීමේ මුවාවෙන් ඒ අයව ඔවුන් දොස් දකින අධිකරණය වෙතම ගෙනිහින් දඬුවම් පමුණුවන්න හදන එක ඒතරම් උචිත නෑ.
අද අධිකරණ තමන්ට අපහාස අවමාන කරන අය දිහා පවා කරුණාවෙන් බලනවා. නීතියට කරුණාව මුසු වුණුහම තමයි සැබෑ යුක්තිය සාධාරණත්වය ඉස්මතු වෙන්නේ.
විනිසුරන් එලෙස සානුකම්පිතව කටයුතු කළාට කාටවත් යටවෙන්නේ නෑ. වැඩි පඩි, අතිකාල, දරුවන්ට නමගිය පාසල් ඉල්ලන්නෙත් නෑ. අර වැඩ කළොත් මරණය කියපු කාලෙත් විනිසුරෝ තම රාජකාරිය කළා. සමහරු දවස පුරා නඩු අහලා රෑ පුරා වෙහෙසිලා තීන්දු ලියනවා. සමහරු යුක්තිය ඉටු කරන්න ගිහිල්ලා මැරුන් කනවා.
තවත් අය අපහාස අවමාන විඳිනවා. ඒ හැම වෙලාවකම රටේ යුක්තිගරුක ජනයා ඉදිරිපත් වෙලා විනිසුරන්ව රකිනවා. මේ වල්බූරු යහපාලන නිදහස තුළ දෙවියන්ටත් අභියෝග කරන බොහෝදෙනා සුදුවෑන් ඇවිත් විනිසුරන් තනතුරුවලින් ඇද දාපු කාලේ කොහේ හිටියද දන්නේ නෑ.
නිර්භීත නුවණැති නීතිඥයෝ රස්සා, වැඩි පඩි, බදුරහිත වාහන, නඩු තියා ගාස්තු ඉල්ලන්නෙත් නෑ. උසාවිවල හුඟක් කටයුතු වෙන්නේ තරගයක් විදිහට නිසා ඒ අය අතරින් නුවණ වීරිය තියෙන අය ඊට මුහුණ දීලා හරි හම්බ කරං සමාජයේ ඉහළින් වැජඹෙනවා. ඒකත් අර දක්ෂ නළුවෝ, ගායකයෝ වගේ. මේකටත් මහ ඉහළින් විභාග සමත් වුණාට මදි. සමහර මහාචාර්යවරුන්ටත් නඩු නෑ. මේකට දැනුමට වඩා නුවණ තියෙන්න ඕනෑ. ඒ හැමට වඩා ඉවසීම, නිහතමානීකම තියෙන්න ඕනෑ. එහෙම අය ඉන්දියාවෙන් සිංගප්පුරුවෙන් නොවෙයි දිව්‍ය ලෝකෙන් නිතීඥයෝ ආවත් තරගෙට යන්න බය නෑ.
විනිසුරනුත් එහෙමයි. පිටරට විනිසුරන් එනවටත් බය අපේ දේශපාළුවෝ මිස එතුමන්ලා නොවෙයි.
විනිසුරු වැඬේ ලේසි නෑ. දෙගොල්ලක් දෙපැත්තකට වෙලා දිනන්නම කරන තරගයකදී අධිකරණයට ඒ අය ඉදිරිපත් කළ දෙයින්ම දිනුම පැරදුම තීරණය කරන්න වෙලා. තරගකරුවන්ගේ දක්ෂකමුත් මේකට බලපානවා. ඉතිං දින්න පැත්ත නටන කොට පැරදුණු පැත්ත වැළපෙනවා. අද මේ හැමෝම කතාවෙන පවතින ආණ්ඩුව පැවති ආණ්ඩුවේ අයට දාපු නඩු දිහා බලමු. පැවති ආණ්ඩුවෙ අය මේවා බොරු නඩු කියනවා. පවතින ආණ්ඩුවේ අය සැකයේ වාසිය පැමිණිල්ලට දීලා විත්තිය වැරදිකාරයෝ වෙනකං ඉවසිල්ලක් නැතිව බලා ඉන්නවා. ඒත් නීතිය අනුව විනිසුරුතුමාට අවසානයේ සැකයේ වාසිය දෙන්න වෙන්නේ විත්තියටයි.
ඉතිං නීතිය නොදත් නිවටයෝ අධිකරණය සැක කරනවා.
යුක්තිය පසිඳුවාලීම තරගයක් ලෙසින් වන තැන කවුරුත් දිනන්න කළ හැකි හැමදේම කරනවා. දක්ෂ නීතිඥයන්ව ගිනි ගණන් දීලා අල්ලනවා. අනිත් පැත්තේ නීතිඥයෝ වගේම විනිසුරන්වත් අයුතු ලෙස අවනත කරගන්න බලනවා. ඒත් ඒවට යට නොවී රජුට එරෙහිව වුණත් සටන්කර දුබලයා රකින නිතීඥයන් එමටයි. නීතිඥයන් වංචාකාරයින් බව කියන අය රකින්නත්, නීතිඥයන් සටන් කරනවා. ඒ අය අපට පහසුකම් නෑ, ආරක්ෂාව නෑ කියලා මැසිවිලි කියන්නේ නෑ.
අපි නීතිඥයන් බිහි කරන ක්‍රමවේදයේ අඩුපාඩු එමටයි. අද වෙනකොට නීති උපාධි පිරිනමන රජයේ වගේම පෞද්ගලික ආයතන එමටයි. සමහර ඒවා ප්‍රමිතියට නෑ. අනෙක උපාධිය දැනුම පිළිබඳ සහතිකයක් මිස නුවණ පිළිබඳ සහතිකයක් නොවෙයි. වෛද්‍යවරු නම් තම වෘත්තියේ ප්‍රමිතිය වෙනුවෙන් මහා සටන් කරනවා. නීතිඥයෝ එහෙම නෑ. හොර සහතිකේ අරන් හරි තරගෙට වර කියනවා. හැබැයි මේවා නිසා තරගය ටිකක් වල් වැදිලා. හොඳ වෙලාවට නීතිඥයෝ වැඩි හරියක් වෙනත් රැකියා කරනවා. බොහොමයක් දේශපාලනයත් කරනවා. ඒ අයට නං හරි සාරයි.
අනේ නඩු නැතිම අයත් ඉන්නවා.
පොලිසිය ලවා නඩු ගන්න අය වගේම නේක සංදර්ශන (gallery shows) තියලා නඩු ගන්න අයත් ඉන්නවා. සිවිල් අධිකරණවලට පොලිසියේ බලපෑමක් ඇත්තෙම නෑ. මෙවන් දේ හැම වෘත්තියෙම වෙනවා. පිස්සු දොස්තර කෙනෙක් වුණත් නිතර නිතර මාධ්‍යයෙන් පිස්සු දෙඩුවහම පිස්සෝ එයාගෙන් බෙහෙත් ගන්නවා.
කොහොම වුණත් කවුරුවත් අදක්ෂයන් අල්ලලා නඩු පරදින්න කැමති නෑ. දක්ෂයෝ හැමදේටම දක්ෂයි.
අධිකරණ කාර්යයන් තුළ හුඟක් දූෂණ අක්‍රමිකතා ඇති වෙන්නේ තියෙන අවම සම්පත්වත් කාර්යක්ෂම ලෙස කළමනාකරණය නොකරන නිසයි. පාලකයෝ මේවා කරනවා වෙනුවට කොමිස් ගහගන්න තරගෙට උසාවි ගොඩනැගිලි හදනවා. ඒවට වැඩකට නැති පත්වීම් දෙනවා. ඉතිං නඩු පොතක් උඩ පහළ ගෙන යන්න සේවකයන් විස්ස තිහ ඉන්නවා. ඒත් ඕන වෙලාවට නඩුව හොයා ගන්න බෑ. මේවා දූෂණයට ඉඩ හදනවා. මේවත් පාලනය කරන්න වෙන්නේ නඩුත් අහන විනිසුරුතුමාටමයි.
අපි නඩු විභාග කටයුතු සඳහා නව නුවණේ තාක්ෂණය යොදා ගන්නේම නෑ. අධිකරණ කාර්යයට පදනම සපයන විමර්ශන කාර්යයත් එහෙමයි. බොහෝ අපරාධ නඩු රඳා පවතින්නේ පොලිසියෙ රාළහමිලා කියවන්න බැරි අකුරින් ලියා තබන සාක්කිකාරයන්ගේ ප්‍රකාශ මතයි. ඒත් මේවා භාවිත කළ හැක්කේ නඩු විභාගයේදි යමෙක් කියන දේට පරස්පර දෙයක් කියූ බව පෙන්නන්න විතරයි. විත්තිකාරයෙක් පොලිසියෙදි කැමැත්තෙන් වරද පිළිගත්තත් ඒකෙන් වරද කළා කියල ඔප්පු කරන්න බෑ. නීතියට පොලිසිය එතරමටම අවිශ්වාසයි.
ඇත්තටම මේ වගේ දේවල් විස්වසනීය විදිහට වෙනවනං, ඒ කියන්නේ ස්වාධීන පරිසරයක සජීවි පටිගත කිරීමක් ලෙස වෙනවනං මේ ප්‍රශ්න විසඳෙනවා. එතකොට වරද පිළිගත් අය පස්සේ නිවැරදිකරු කියන්නේ නෑ. ප්‍රබල සාක්කි සජීවීව පටිගතව තියෙනවා දැක්කහම අතිදක්ෂ නීතිඥයෝ වුණත් නඩු යන්න බයයි. ඒ කවුරුත් වැඩිමනත් නඩු දිනන්නේ සාක්කිකාරයෝ උසාවියේ කියන දේ ඊට කල්ප කාලයකට පෙර පොලිසියට කියු දෙය එක්ක පරස්පර කරලයි.
ඒ පාර නඩු විභාගයේදී කියන සාක්කිත් පළමුව ලඝු ලේඛනය කරලා පසුව යතුරුලියනය කරනවා. ඉතිං කියන කොට (ඇත, කළා) වගේ වචන ලියන කොට (නැත, නොකළා) වෙනවා. මේ නිසාත් අසාධාරණකම් වෙනවා. මෙතරම් තාක්ෂණය සුලබ යුගයක මුළු නඩු විභාගයම වීඩියෝ පටිගත කරලා අන්තර්ජාලයේ පළ වෙනවනං ඒවාට ඉඩ ලැබෙන්නේ නෑ. එතකොට හැමට හැමවිට උසාවියේ හැමෝම කරන්නේ මොනවද කියලා සියැසින් දැකගන්න පුළුවන්.
අනෙක අධිකරණයක කියවෙන සාක්කි, කරන නියෝග, දෙන දඬුවම්, නියම කරන දින විනිසුරුට අධිකරණ කොමිසන් සභාවට වගේම ජනයාට ඕනෑම මොහොතක ඕනැ තැනක ඉඳන් එකවර බලාගන්න පුළුවන් වෙන්න ඒවා අන්තර්ජාලයේ පළවෙනවනං ඒවායින් අයුතු ප්‍රයෝජන ගන්න කාටවත් බැරිවෙනවා. එතකොට කාටවත් 100000 දඬේ 1000 කරන්න බෑ.
පෙර දඬුවම කැරැට්ටු වැනි දත්ත වෙබ් අඩවිවල සටහන් වෙනව නං කාටවත් ඒ සම්බන්ධයෙන් කව්රුවත් නොමග යවන්න බෑ. අධිකරණ කාර්යයට අනුෂාංගික ප්‍රායෝගික කාර්යය පටිපාටි එමටයි. මේවා බොහෝ විට අධිකරණයෙන් අධිකරණයට වෙනස් වෙනවා. සමහර උසාවි දවල් වෙලා පටන් අරන් රෑ වෙනකං නඩු අහනවා. මිනිස්සු පයින් ගෙදර යනවා. හැමට මුදලින් ඇප නියම කරනවා. තවත් තැනක ඒ වරදටම ඇපකරුවන් ලෙස ලේ නෑයන් ඉල්ලනවා. එකම වරදට වෙනස් විදිහට දඬුවම් දෙනවා. මෙවන් දේ අධිකරණ අභිමතය මත විය යුතු වුණත්, ඒවා යම් පොදු මගපෙන්වීමකට යටත් වෙනවනං හොඳයි. එංගලන්තේ එවන් දඬුවම් ප්‍රතිපත්තියක් තියෙනවා.
ජනයාට ඍජුව බලපාන අධිකරණ පරිපාලන කටයුතු ඊට අදාළ හැම අංශම නියෝජනය වෙන කමිටුවක මගපෙන්වීමෙන් වෙලා ඒවා අන්තර්ජාලයේ පළවෙනවනං ඒක කාටත් සහනයක් වෙනවා. කාලය, ශ්‍රමය, ධනය ඉතුරු කරනවා. දූෂණ වළකනවා.
මෙවන දේ පිළිබඳ තීන්දු ගන්නා නිලධාරීන් කාගේ වුණත් හැසිරීම, නුවණේ තරම (IQ) සහ හැඟීම්වල තරම (EQ) කාටත් පේනකොට එතන මනා විනයකුත් ඇති වෙනවා.
අද විවෘත අධිකරණයක් (open court) කියන්නේ එලෙස හැමට හැමවිට ඇරුණ ක්‍රියාවලියකට මිස ටික දෙනකුට දොර ඇරුණ විවෘත අධිකරණ ශාලාවකට නොවෙයි. මිනිස්සු සාධාරණත්වය පතා යන අධිකරණය ඒ අයට අසාධාරණ ලෙස සලකනව නම් ඒක අධිකරණය විසින්ම අධිකරණයට අපහාස කරගැනීමක්.
මේ පහසුකම් කිසිවක් නැතත් බොහෝ විනිසුරන් නුවණින්, කරුණාවෙන් කාර්යක්ෂමව උසාවි පරිපාලනය කරනවා. ඒ විදිහට යුක්තියත් පසිඳුවාලනවා.
ඒත් ඒ කාට කාටත් වැරදි වෙනවා.
එහෙම වෙන වැරදි ඒ වෙලාවෙම මැදිහත්ව පෙන්නා දෙන නීතිඥයෝ ඉන්නවා. හොර පෙත්සම් ගහන අයත් ඉන්නවා. දැන් ඒකම මාධ්්‍ය සංදර්ශනවලදී වගේම සමාජ මාධ්‍ය තුළින් පෙන්නා දෙන අයත් ඉන්නවා.
අධිකරණ මුහුණ දෙනා නේක සංකීර්ණ ප්‍රශ්න ගැන හරි අධ්‍යයනයක් කරලා ඒවට පිළියම් සොයනවා වෙනුවට හුදු දොස් දැකීමෙන් වෙන යහපතක් නෑ. එවන් අය එක්ක තරගෙට හැපි හැපි අධිකරණය රකින එකත් එහෙමයි. විනයක් දැක්මක් නැති විධායකයකට ව්‍යවස්ථාදායකයකට මේවට විසඳුම් දෙන්න බෑ.
මේකට යුක්තිගරුක නැණවත් ජනයා අතර පළල් සංවර සංවාදයක් ඇති විය යුතුයි. ඒත් කාටවත් ඒක නීතිය නිර්වස්ත්‍ර කරලා පාරේ දක්ක දක්ක කරන්න බෑ.