ඉරානයට අමෙරිකාවෙන් සම්බාධක

එස්. නන්දලාල්

අමෙරිකා එක්සත් ජනපදය පසුගිය 08දා ඉරානය සමග අත්සන් කොට තිබූ නිර්ප්‍රාගුණ්‍ය ගිවිසුමෙන් ඉවත් විය. ඒකාබද්ධ අවබෝධතා ක්‍රියාත්මක සැලැස්ම හෙවත් ‘ඉරාන න්‍යෂ්ටික හසුරුවනය’ නම් වූ එම ගිවිසුම එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් වන සහ පංච මහා බලවතුන් සේ පිළිගැනෙන අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, චීනය, මහා බි්‍රතාන්‍යය සහ ප්‍රංශය ද ජර්මනිය ද යුරෝපා සංගමය ද එක්ව ඉරානය සමග 2015 ජූලි මස 04 දින අත්සන් තබන ලද අතර 2015 ඔක්තෝබර් 18 දින සිට බලපැවැත්විණි. ගිවිසුමේ අනෙක් පාර්ශ්වකරුවන් විරෝධය පළ කරද්දී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඒකපාර්ශ්විකව ගිවිසුමෙන් ඉවත් වූයේය. සමහරවිට ඒ ඊස්‍රායෙලය සනසන්නට විය හැකිය. එමෙන් ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජාරෙඞ් කුශ්නර්ගේ උපදෙස් අනුව ද විය හැකි ය. ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට සම්බාධක තොගයක් පනවනු ලැබ තිබේ. ඒ අනුව ඉරානයේ මහ බැංකුව පවා අමෙරිකාව විසින් පිළිනොගනු ඇත.
විකිරණශීලී මූලද්‍රව්‍යවල පරමාණුවල න්‍යෂ්ටිය බිඳීමෙන් ශක්ති උත්පාදනය කළ හැකි බව 1932 වසරේ අර්නස්ට් රදෆඞ් නමැති විද්‍යාඥයා විසින් සොයා ගන්නා ලදි. මේ පිළිබඳව භෞතික විද්‍යාඥයන් විසින් නොයෙක් පර්යේෂණ පවත්වන ලද අතර එම සංකල්පය ඇල්බට් අයින්ස්ටයින් විසින් විද්‍යාත්මක නියම බවට පත් කරන ලදි. 1939 වසර වන විට දෙවැනි ලෝක මහා යුද්ධය ඇරැඹී තිබුණු අතර නාසින් න්‍යෂ්ටික බලය බෝම්බ සහ අවි නිෂ්පාදනය සඳහා උපයෝගි කරගනිමින් සිටින්නේ ය යන ප්‍රවාදයක් පැතිර ගියේ ය. මෙය ව්‍යාප්ත කරන ලද්දේ අමෙරිකාවට පලා ආ සරණාගත යුදෙව් විද්‍යාඥයන් විසිනි. මේ වනවිට අමෙරිකානු යුදෙව්වකු වූ අයින්ස්ටයින්ට ලොව සුපතළ කීර්තියක් තිබිණි. එම සරණාගත විද්‍යාඥයෝ අයින්ස්ටයින් හමුවී හිට්ලර් වෙතින් එල්ල වන ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාරයක් එල්ල කළ හැකි දෙයක් ගැන ඔහුගේ අවධානය යොමු කළෝ ය. අයින්ස්ටයින් යුදෙව්වකු වූ නමුත් දැඩි යුද විරෝධියකු විය. කෙසේවෙතත් අවසානයේ අයින්ස්ටයින් ලවා එවකට අමෙරිකානු ජනාධිපති රූස්වෙල්ට්ගේ අනුමැතිය ලබාගන්නට එම විද්‍යාඥයෝ සමත් වූහ. හිට්ලර් පරමාණු බෝම්බයක් නිෂ්පාදනය කළ බවට සඳහනක් නොමැති නමුත් ඔහුට එරෙහිව සටන් වැදුණු මිත්‍ර පාර්ශ්වයේ බලකණුවක් වූ අමෙරිකා එක්සත් ජනපදය පරමාණු බෝම්බ නිපදවා ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙළී ය. ඒ 1945 අගෝස්තු මුල් සතියේ ය. මෙයින් නාසි පාර්ශ්වයේ සොල්දාදුවන් මෙන් තුන්හතර ගුණයක් අහිංසක ජපනුන් මරුමුවට පත්වූ අතර තවත් අසංඛෙයක් විපතට පත්වූහ. මියගිය මු`ඵ සංඛ්‍යාව ලක්ෂ 4 පමණ බව සඳහන් ය. වසර 73ක් ඉක්ම ගියත් අදත් එම බෝම්බයේ ප්‍රතිඵල දැකිය හැකි ය.
ප්‍රතිඵලවල භයානකකම නිසා මේ බෝම්බ දෙක ලොව ම තිගැස්ස වූ බව පැහැදිලි ය. සිදුවිය හැකි හානිය ගැන සලකා එයට එරෙහි විරෝධතා ලොව දස දෙසින් ම එල්ල වන්නට විය.
ඉන්පසු ලොව කොතැනකවත් මිනිස් වාස මතට පරමාණු බෝම්බ හෙලූ බවක් සඳහන් නැත. එහෙත් පරමාණුක අවි නිෂ්පාදනය නම් ජයට කෙරීගෙන ගියේ ය.
එවකට පැවැති ලොව ප්‍රධාන බලකඳවුරු දෙක වන අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සහ සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී රටවල් තරගයට මෙන් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය හෝ නිෂ්පාදනය සඳහා තැත්කිරීම හෝ දැකිය හැකි විය.
එක්සත් ජාතීන් වෙත ද නොයෙකුත් යෝජනා ඉදිරිපත් වූයෙන් න්‍යෂ්ටික බලය සීමා කිරීමේ අවශ්‍යතාව පැන නැගුණේ ය. සීතල යුද්ධය ද මෙයට විශාල වශයෙන් බලපාන්නට ඇත. කිසියම් ආකාරයකින් ලොව රටවල් දෙකක් අතර යුද්ධයක් ඇති වී මහ බලවතුන් දෙපාර්ශ්වයට බෙදී අදාළ රටවල් දෙකට සහාය පළ කරන්නට ඉදිරිපත් වුණොත් සහ ඔවුනොවුන්ගේ බලය පෙන්වීම සඳහා න්‍යෂ්ටික අවි භාවිත කළොත් යන බිය ලොව පුරා පැතිර ගියේ ය. ඒ අනුව න්‍යෂ්ටික අවි සීමා කිරීම සඳහා සම්මුතියක් සකස් කොට අත්සන් ලබා ගත යුතු බව තීරණය විය. ඒ සඳහා ප්‍රඥප්ති සකස් කිරීමට එක්සත් ජාතීන්ගේ කමිටුවක් පත්විය. රටවල් 18ක රාජ්‍ය නියෝජිතයන්ගෙන් සහ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන්ගෙන් සමන්විත වූ ඒ කමිටුව විසින් සකස් කරන ලද ප්‍රඥප්තිය එක්සත් ජාතීන් විසින් අනුමත කිරීමෙන් පසු අත්සන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලදි. ඒ 1968 ජූලි 01 දින ය.
මේ ප්‍රඥප්තියට අනුව 1967 ජනවාරි 01 දිනට පෙර න්‍යෂ්ටික අවි සතුව තිබූ රටවල් ලෙස අමෙරිකා එක්සත් ජනපදය, මහා බි්‍රතාන්‍යය, සෝවියට් සංගමය, ප්‍රංශය සහ චීනය පිළිගන්නා ලදි. එම රටවලට ගිවිසුමෙන් සීමා කිරීම් නොමැත. අදත් එම රටවල න්‍යෂ්ටික අවි නිපදවීම කෙරෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමාජික රටවලින් ඉන්දියාව, පාකිස්තානය සහ ඊස්‍රායෙලය ඊට අත්සන් නොතබන ලද අතර උතුරු කොරියාව ආරම්භයේ දී අත්සන් තැබුවත් පසුව එයින් ඉවත් විය.
පරමාණු අවි නිපදවන්නේය යන චෝදනාව නිසා එක්සත් ජාතීන් විසින් ඉරානයට අතිවිශාල සම්බාධක සංඛ්‍යාවක් පනවා තිබිණි. ඊට හේතුව නිර්ප්‍රාගුණ්‍යයට එකඟවෙමින් ඉරානය ඉහත සඳහන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් තැබූ නිසාවෙනි. මෙහි දී වැදගත් කරුණක් වනුනේ න්‍යෂ්ටික බලය භාවිත කළ හැක්කේ අවි නිෂ්පාදනය පමණක් නොවන බවයි. එය බලශක්ති අර්බුදයට යහපත් පිළියමක් ලෙස පිළි ගැනේ. එසේම ෆොසිල ඉන්ධන දහනයේ දී විමෝචනය වන කාබන් සහ එය අඩංගු වායු පරිසරයට එකතුවීම පිළිබඳ ගැටලුවක් ද මෙහි දී ඇති නොවේ.
ඉරානය කියන්නේ තමන් න්‍යෂ්ටික බලය උපයෝගී කරගනු ඇත්තේ බලශක්ති නිෂ්පාදනයට පමණක් බවයි. ඊස්‍රායෙලයට න්‍යෂ්ටික බලය ඇතත් එහි ප්‍රමාණය කොතෙක්ද කියා කිසිවකු දන්නා බවක් හෝ ප්‍රශ්න කෙරෙන බවක් හෝ නොමැත. එහෙත් ඉරානයේ සහ උතුරු කොරියාවේ න්‍යෂ්ටික බලාගාර ගැන නම් නිරන්තරයෙන් සාකච්ඡා කෙරෙන අතර ලොව අනෙක් රටවලට හිරිහැරයක් වන තරමට ඒවාට සම්බාධක පැනවීම ද සිදු කෙරේ.
මෙයින් අපේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවට පවා බලපෑම් ඇති වූ අයුරු සිහිපත් වේ. සපුගස්කන්දේ පිරිපහදු කරන ලද්දේ ඉරානයෙන් ආනයනික බොරතෙල් වන අතර සම්බාධක නිසා අප රටට ඒවා ලබා ගත නොහැකි වීමෙන් ඉන්ධන මිල ඉහළ යන්නට හේතු විය. එයින් පොදු ජන ජීවිතයට එල්ල වන බලපෑම අමුතුවෙන් කිවයුතු නොවේ.
මේ වනවිට අමෙරිකාව ‘ඉරාන න්‍යෂ්ටික හසුරුවනය’ ගිවිසුමෙන් ඉවත් ව ගොස් සිටින හෙයින් නැවත සම්බාධක පනවන්නට එක්සත් ජාතීන්ට සිදුවනු ඇත් ද යන පැනය මෙහි දී පැන නගී. පෙන්වා දෙනු ලැබ ඇත්තේ අනෙකුත් පාර්ශ්වකාර රටවල් ගිවිසුමෙන් ඉවත් ව නොමැති හෙයින් ගිවිසුම අවලංගුවීමක් සිදු නොවනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සම්බාධක ඉවත් කිරීම ද එලෙසින් ම වලංගු ව පවතිනු ඇති බවත් ය. එහෙත් අමෙරිකා එක්සත් ජනපදය පෞද්ගලික ව ඉරානය මත අලුතින් සම්බාධක පැනවීමක් සිදු කොට ඇත.
‘ඉරාන න්‍යෂ්ටික හසුරුවනය’ ඔබාමා පරිපාලනය යටතේ අමෙරිකා එක්සත් ජනපදයේ මෙහෙයවීමෙන් අත්සන් තබන ලදි. ඔබාමා පරිපාලනය විසින් කරන ලද දෑ වෙනස්කිරීමේ උණකින් ට්‍රම්ප් පරිපාලනය පෙළෙන බවද මේ වනවිට ප්‍රකට කරුණකි. එම එකඟතාව අනුව එක්සත් ජාතීන් විසින් ඉරානයට එරෙහිව පනවා තිබූ සම්බාධක ඉවත් වූ අතර එයින් ඉරාන ආර්ථිකයට නවෝදයක් උදාවෙමින් පැවැතිණ. එහෙත් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ අදහස මැදපෙරදිග කලාපය එකම අවුලක් කිරීම සඳහා ඉරානය එම නවෝදයෙන් ලැබුණු ධනය යොදවන බවයි. ලෙබනනයේ හිස්බුල්ලා කල්ලියට, යේමනයේ හවුති කල්ලියට, ඇෆ්ගනිස්තානයේ අල්-ඛයිදා සහ තලේබාන් කල්ලිවලට යනාදී වශයෙන් ඉරානය සියලු ත්‍රස්තයන්ට උඩගෙඩි දෙයි. ඒ මදිවාට සිරියාවේ මිනීමරු ආණ්ඩුවට ද මූල්‍යාධාර මෙන් ම අවි ද සපයයි.
ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණයට හේතුව සරල වශයෙන් ම ඉරානයේ ක්‍රියා නිසා අමෙරිකානු ජනතාවගේ ආරක්‍ෂාව අනතුරේ හෙළෙමින් පැවතීම බව පොම්පියෝ තවදුරටත් පවසයි.
ජනාධිපති ඔබාමා අමෙරිකානුවන්ගේ ආරක්‍ෂාව පරදුවට තබා ඉරානයට උදව් කළේ ය. එහි ප්‍රතිඵලය ප්‍රකට ය. ඒ නිසා 2015 අත්සන් කරන ලද ගිවිසුමෙන් අමෙරිකානු ජනතාව ඉවත් වනවා ඇත. ඉරානයේ ජනතාව ද සැලකිල්ලට ගත යුතු කාරණයක් ඇත. ඔබලාගේ නායකයන් රටේ පොදු දේපළ කොල්ලකන බව ය ඒ.
එහෙත් අන්තර්ජාතික පරමාණුක බලශක්ති අධිකාරය විසින් කරන ලද පරීක්‍ෂණවලදී ඉරානය ගිවිසුම් කඩ කළ බවක් හෙළිදරව් වී නොමැත.
ඉරානය වරදක් නොකරන්නේ නම් ගිවිසුමට සම්බන්ධ අනෙක් රටවලට ඉරානයට ආර්ථික සම්බාධක පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බව පැහැදිලි ය. ප්‍රශ්නය ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයට ම පමණි.
අමෙරිකා එක්සත් ජනපදයට පෙර ප්‍රශ්නය ඇත්තේ ඊස්‍රායෙලයට බව ද එසේ ම පැහැදිලි කරුණකි. එය කලාපයේ බලතුලනය පිළිබඳ ප්‍රශ්නයකි. ඉරානය ඊස්‍රායෙලයට වඩා සම්පත් බහුල රටකි. එය කලාපයේ ඊස්‍රායෙලය සිතා සිටින ආධිපත්‍යයට මදිපුංචිකමකි. ඊස්‍රායෙලය ගාසා තීරයේ තමන්ට ලැබී ඇති බිමට වඩා ප්‍රමාණයක් අල්ලාගෙන සිටින්නේත් නිරායුධ පලස්තීනුවන්ට මරණීය ප්‍රහාර එල්ල කරන්නේත් තමන්ට නොඅඩුව ලැබෙන අමෙරිකා එක්සත් ජනපදයේ පිටුබලය නිසා බව ප්‍රකට කරුණකි.
මේ අතර 1968 නිර්ප්‍රගුණය ගිවිසුම අනුව වරලත් අමෙරිකාව සහ රුසියාව තවදුරටත් න්‍යෂ්ටික අවි නිෂ්පාදනයේ යෙදෙමින් සිටින බව රහසක් නොවේ. පසුගිය ජනාධිපතිවරණයට පෙර ව්ලදිමීර් පුටින් සිය රට සතුව ඇති න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් පුරසාරම් දෙඩී ය. අමෙරිකා එක්සත් ජනපදයේ න්‍යෂ්ටික අවි 8,000ක් ඉක්මවන සංඛ්‍යාවක් ඇති බවත් පෘථිවිය තුන්වරක් විනාශ කරන්නට තරම් ඒවා ප්‍රමාණවත් බවත් අමෙරිකානු විද්වතුන් විසින්ම පෙන්වා දෙනු ලැබ ඇත.