රාවය

වර්ණ භේදය සහ වර්ගවාදය මහා බොරුවකි!

වර්ණ භේදය සහ වර්ගවාදය මහා බොරුවකි!

ප්‍රභාෂ්වර

19 වැනි සියවසෙහි මුල් භාගයේ, ඇමරිකාවේ ෆිලඩෙල්ෆියාවෙහි විසූ, සැමුවෙල් ජෝර්ජ් මෝටන් (1799-1851) වෘත්තියෙන් වෛද්‍යවරයකු වුවද එකල ජීවත් වූ ප්‍රධාන පෙළේ ස්වභාවික විද්‍යාඥයකු ලෙස නමක් දිනා සිටියේය. මානව වර්ගයාට අදාළ විවිධ පර්යේෂණයන් සිදු කිරීම සඳහා මියගිය පුද්ගලයන්ගේ කපාල (හිස් කබල්) එකතු කිරීම මෝටන්ගේ අධ්‍යයනයන්හි ප්‍රධාන අංගයක් විය. සොහොන් බිම්වලින්, යුද බිම්වලින් හා ස්වභාවික විපත් සිදුවූ තැන්වලින් සොයා ගත් හිස් කබල් රාශියක් ඔහු සතුව තිබුණි. ලොව විවිධ ස්ථානවලින් එකතු කරගත් මෙම මිනී ඔළුවල දිග, පළල මනිමින් නානා මාදිලියේ හැදෑරීම් කළ සැමුවෙල් මෝටන්, අවසානයේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර අපූරු නිගමනයකට එළැඹියේය. සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින්, උසස් හා පහත් ලෙස වර්ග කරමින් මිනිසුන් මැවූ ක්‍රමවේදය සියයට සියයක්ම නිවැරදි වග තම පර්යේෂණ හරහා ඔප්පු වූ බව හෙතෙම අවධාරණය කර සිටියේය. ඒ අනුව, මහා බුද්ධිමතුන් වන්නේ කොකේසියානුවන් හෙවත් ලොව වෙසෙන ‘හම සුදු’ මිනිසුන්ය. බුද්ධිය අතින් දෙවැනි තැන හිමිවන්නේ නැගෙනහිර ආසියානුවන්ට හෙවත් මොංගෝලියානු ජාතිකයන්ටය. තුන්වැනි ස්ථානයේ සිටින්නේ අග්නිදිග ආසියානු ජාතිකයන්ය. අවසාන තැනට වැටෙන ලොව පහත්ම හා මෝඩම ජාතිය, අප්‍රිකානු හා ඉතියෝපියානු සම්භවයක් සහිත ‘හම කළු’ උදවියයි. අප්‍රිකානු රටවලින් ඇමරිකාව වෙත කළු ජාතික වහලුන් ගෙන්වූ ඇමරිකානු රදළ ධනවත්තු, සැමුවෙල් මෝටන්ගේ මෙම ‘විද්‍යාත්මක’ සොයාගැනීම පිළිබඳව ඉහළින්ම සතුටු වූහ. කළු වහලුන් යනු සිත්පිත් නැති තිරිසනුන් වන් ජන කොටසක් වන හෙයින්, ඔවුන් වහල් සේවයේ යෙදවීම ඉතා සාධාරණ බව මෝටන් වැනි කීර්තිමත් විද්‍යාඥයකු පැවසීම ඉතා කලෝචිත යැයි කියමින් වහල් හිමියෝ උදම් ඇනූහ. රජරට වකුගඩු රෝගය පැතිර යෑම හා සම්බන්ධ ප්‍රධාන සාධකය, එම කලාපයේ ජලයට ආසනික් මිශ්‍රවීම මිස වෙනත් කරුණක් නොවේයැයි තමා සොයා ගත්තේ නාථ දෙවියන් වෙතින් ලැබුණු මගපෙන්වීමක් අනුව වග 2012 වසරේදී නලින් ද සිල්වා කී අයුරු අපට මතකය (බලන්න 2012 ඔක්තෝබර් 23, දිවයින) මෝටර්න්ගේ මානව වර්ගීකරණයද මීට සමානය. අදටත් සැමුවෙල් මෝටන්ව හඳුන්වනු ලබන්නේ විද්‍යාත්මක වර්ගවාදයේ පියා ලෙසය. එක් ජාතියක් අනෙක් ජාතීන්වලට වඩා උතුම් යැයි සැලකීම නිසා ලොව පුරා ඇවිළ ගිය සංග්‍රාම සංඛ්‍යාව ගණන් කළ නොහැකි තරමට විශාලය. මෝටන්ලා තටු දුන් අවිද්‍යාව හේතුවෙන් අදටත් තැන් තැන්වල ලෝවාසීහු ගහමරා ගනිති.

ඇත්ත කුමක්ද?

පුද්ගල සෛල සාම්පල්වලින් ඩීඑන්ඒ දාම උකහාගෙන ජාන පරීක්ෂණ (ජානයක් යනු ඩී.එන්.ඒ. අණුවක කොටසකි. ) සිදුකිරීමේ තාක්ෂණය, 1984දී සොයා ගනු ලැබුවේ බි්‍රතාන්‍ය ජාන විද්‍යාඥයකු වන ඇලෙක් ජෙෆ්රීස් විසිනි. ජීවියකුගේ ප්‍රවේණි ද්‍රව්‍ය හෙවත් ජෙනෝම ගැන ගැඹුරු හැදෑරීමක් සිදු කළ ඇමරිකානු ජාන විද්‍යාඥ ක්‍රේග් වෙන්ටර් 2000 ජූනි මාසයේදී විද්‍යාත්මක සාක්ෂි අතැතිව මෙසේ කියා සිටියේය. “ජාතිය ලෙස අප ලොකුවට ඔසවා තබන සංකල්පයට කිසිදු ජානමය හෝ විද්‍යාත්මක පදනමක් නොමැත.” පසුගිය දශක කිහිපය තුළ සිදුකරන ලද ජාන පර්යේෂණවලට අනුව, මූලික සත්‍යයන් දෙකක් හෙළිවී තිබේ.
(පළමු සත්‍යය) ජානමය වශයෙන් ලොව වෙසෙන සියලුම මිනිසුන් බොහෝ දුරට එක සමානය. දෙවැන්න, වත්මනෙහි ජීවත් වන සියලු මිනිසුන් සැබැවින්ම අප්‍රිකානුවන් වීමයි. මන්ද, මුල්ම මනුෂ්‍යයන් වන හෝමෝ සාපියන්ස් පරිණාමය වී ඇත්තේ අප්‍රිකාවේදීයි. මොරොක්කෝවෙන් මෑතකදී සොයාගත් පොසිල පරීක්ෂා කළ විට හෙළිදරව් වූයේ නවීන මානවයාගේ ඉතිහාසය වසර ලක්ෂ 03ක දුරට විහිදෙන බවයි. එයින් වසර ලක්ෂ 02ක්ම මානවයා වාසය කර තිබෙන්නේ අප්‍රිකානු මහාද්වීපය තුළය. වත්මනෙහි තමන් අප්‍රිකානුවන් යැයි නොසලකන සියලුම ජන කොටස්, මීට අවුරුදු 60,000කට පෙර අප්‍රිකාව අතහැර ලොව වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වූ මනුෂ්‍යයන් බැව් මේ වනවිට විද්‍යාත්මක ජාන පර්යේෂණ හරහා නිසැකවම තහවුරු කොට තිබේ. ඉතින් ජාතීන්ගේ උස් – පහත් භේදය පිළිබඳ සැමුවෙල් මෝටන්ගේ න්‍යාය, දැන් සුනු විසුනු වී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ.

පරිසරයට හැඩ ගැසීම

අප්‍රිකාවෙන් පිටවී මැදපෙරදිගට, ඕස්ටේ්‍රලියාවට, සයිබීරියාවට හා දකුණු ඇමරිකානු කලාපයට පැමිණි නවීන මානවයාගේ මුතුන් මිත්තන් ජානමය වශයෙන් තමා අලුතෙන් පදිංචි වූ පරිසරයට අනුව හැඩගැසෙන්නට විය. ඔක්සිජන් අඩු ඉතියෝපියානු, ටිබෙට් හා ඇන්ඩියන් කඳුකර පෙදෙස්වල පදිංචි වූ අයට එම තත්ත්වයට මුහුණදෙමින් ජීවත් විය හැකි ආකාරයේ ජාන විපර්යාසයක් ස්වභාවිකවම සිදුවුණි. සීත ප්‍රදේශවල විසූ මානවයන් හා සැසඳීමේදී නැගෙනහිර ආසියානුවන්ගේ සිරුරුවල දහදිය ග්‍රන්ථි වැඩි ප්‍රමාණයක් තිබීම උෂ්ණාධික කාලගුණය සඳහා ඔවුන්ව හැඩගැස්වීමක් සේ තමා දකින වග පෙන්සිල්වේනියා වෛද්‍ය විද්‍යාලයේ ජාන විද්‍යාඥ යානා කැම්බෙරොව් පවසයි. හිරු රශ්මිය අධික වශයෙන් ඇති කලාපවල වෙසෙන අයගේ හම කළු පැහැ ගැන්වීම මගින් ඔවුන්ගේ සිරුරුවල පටක, පාර ජම්බුල කිරණවලින් ආරක්ෂා කිරීමට සොබා දහම ක්‍රියා කළේය. එමෙන්ම සූර්යයාලෝකය ඉතා අඩුවෙන් පතිත වන ප්‍රදේශයන්හි විසූ අයගේ හම සුදු පැහැ ගැන්වුණේ, සිරුරට අවශ්‍ය ප්‍රමාණයට පාරජම්බුල කිරණ අවශෝෂණය කොටගෙන එමගින් විටමින් ඩී නිපදවීමටයි. ඇටකටු සහ ප්‍රතිශක්තිකරණය සවිමත් කෙරෙන්නේ විටමින් ඩී මගිනි. එහෙයින් කෙනකුගේ සම සුදු, කළු හෝ දුඹුරු වන්නේ දේශගුණයට අදාළව සිදුවන ජෙනෝම විපර්යාසයක් නිසා මිස දෙවියන් වහන්සේගේ තීරණයකට අනුව නොවන බව, සින්සිනම් සරසවියේ අණුක මානව විද්‍යාඥ හෙදර් නෝටන් අවධාරණය කරයි. ඇමරිකාවේ වෙස්ට් චෙස්ටර් සරසවිය විසින් 2006දී ‘ඩී.එන්.ඒ. සාකච්ඡා ව්‍යාපෘතිය’ නමින් වැඩසටහනක් ආරම්භ කරන ලදි. එය මෙහෙයවූයේ මහාචාර්ය ඇනිටා ෆෝමන්ය. ඊට සහභාගි වූ සිසු සිසුවියන්ට ඔවුන්ගේ මුතුන් මිත්තන් හා පවුල් ඉතිහාසය ගැන සියලු විස්තර ඉල්ලන පෝර්මයක් පිරිනමන ලදි. සහභාගිකයන් සියල්ලන්ගෙන් ඔවුන්ගේ පවුල් ගසේ අතීතය ගැන තොරතුරු එක්රැස් කරගත් පසුව ඒ අයගේ කෙළ සාම්පල් උකහාගෙන ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදුකරන ලදි. ඩී.එන්.ඒ. පරීක්ෂණයන්හි නිගමන, සහභාගිකයන්ව අන්දමන්ද කිරීමට සමත් විය. තම සියලු පරම්පරාවන් ඉන්දියාව නිජබිම කරගත් අය යැයි දැඩිව විශ්වාස කළ ඉන්දියානු සරසවි සිසුවියකගේ මුල්ම පුරුක් ඇත්තේ අයර්ලන්තයේ බැව් ජාන පරීක්ෂණයෙන් තහවුරු විය. යුදෙව් විරෝධී සිසුන් දෙපළකගේ සම්භවය ඊශ්‍රායලයේ සිදුව ඇති බැව් අනාවරණය වූ සැණින් ඔවුහු මහත් අපහසුතාවකට පත්වූහ. රට, ජාතිය, ආගම සහ සිය මුල් පුරුක් ඇත්තේ අප්‍රිකාවේ වග දැනගෙන කටයුතු කිරීම නුවණට හුරු යැයි මහාචාර්ය ඇනිටා ෆෝමන් කියයි.

සංහිඳියාවේ අගය

නැගෙනහිර නයිජීරියාවේ බෙනු ප්‍රාන්තය තුළ සොන්ගෝ හා දවුදු යන නම්වලින් හැඳින්වෙන විශාල ගම්මාන දෙකක් ඇත. සොන්ගෝහි වෙසෙන්නෝ ටිව් ගෝත්‍රයට අයත් කතෝලිකයෝය. මේ අයගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනය. දවුදු යනු මුස්ලිම් එfඬ්රුන් වෙසෙන ග්‍රාමයකි. දශක ගණනාවක් සමඟිසම්පන්නව විසූ මෙකී ගම්වාසීහු, 2014 වසරේදී හටගත් නියඟයත් සමග නයි – පොළොඟුන් මෙන් එකිනෙකා සමග වෛර බැඳ ගත්හ. බෙනූ ප්‍රාන්තයේ ජනගහනය ඉහළ යෑමත් සමග ඉඩකඩම් වැනි භූමි සම්පත්වල දැඩි හිඟයක් හටගත්තේය. ආහාර හා ජල හිඟය ප්‍රශ්නය තව තවත් තීව්‍ර කළේය. නොමනාපකම් හටගත්තේ සීමිත සම්පත් ප්‍රමාණයක්, අසීමිත ජනගහනයක් අතර බෙදාගැනීමට තැත් කිරීම නිසා වුවද, අර්බුදය බාහිරව පැන නැගුණේ ආගමික හා ගෝත්‍රික යුද්ධයක් ලෙසිනි. 1994දී හුටු ගෝත්‍රිකයන් හා ටුට්සීන් අතර රුවන්ඩාවේ හටගත් සිවිල් යුද්ධයද ආරම්භ වූයේ මේ අයුරින්මය. තෙමසක් ඇතුළත රුවන්ඩානුවන් මිලියනයක් පමණ එම සංග්‍රාමයට බිලිවිය. එහෙත් නයිජීරියාවේ බෙනූ ප්‍රාන්තය තුළ ඇති ගම්මාන දෙක අතරේ හටගත් සිවිල් යුද්ධය එතරම් දුරදිග යන්නට පෙර නවත්වා ගැනීමට ලොව ධනවත් රටවල් කිහිපයක්ම මැදිහත් විය. ඒත් 2014 සිට 2015 දක්වා වරින් වර ඇවිල ගිය ගැටුම් හේතුවෙන් සොන්ගෝ හා දවුදු ගම්වාසීන් සියයකට ආසන්න සංඛ්‍යාවක් මරු මුවට පත්වූහ. මෙවර සොන්ගෝ, දවුදු ගැටුම මැඬලන්නට පෙරට ආවේ එංගලන්තයේ, ඇමරිකාවේ, ප්‍රංශයේ හා ඕස්ටේ්‍රලියාවේ සරසවි සිසුන් හා ආචාර්යවරුන් වීම ඉතා සුවිශේෂී තත්ත්වයකි. බොහෝ කලක් තිස්සේ නයිජීරියාව තුළ සමාජ හා ප්‍රජා සේවාවන් දියත් කළ ‘මර්සි කෝප්ස්’ නමැති රාජ්‍ය නොවන සංවිධානය සමග එක්වූ ධනවත් රටවල සරසවි ප්‍රජාව මෙකී දිළිඳු ගම්මාන දෙක නගා සිටුවීම පිණිස දැවැන්ත භාරකාර අරමුදලක් ගොඩනැගීය. ගම්වාසීන් අතට මුදල් ආධාර දීම වෙනුවට ඔවුහු සොන්ගෝ, දවුදු ග්‍රාමයන්හි දිගින් දිගටම රැඳී සිටිමින් ගොවීන්ට වගා ළිං, නළ ළිං සහ ඵලදායීත්වය ඉහළ නංවාගත හැකි නවීන කෘෂි ක්‍රමවේද නොමසුරුව පිරිනැමූහ. ඊට අමතරව සාකච්ඡා මගින් ගැටුම් නිරාකරණය කරගත හැකි සරල ක්‍රමවේද ගම්වාසීන්ට මැනවින් උගන්වනු ලැබිණි. නිසරු පස, සරු කරගන්නා තාක්ෂණය ගොවීන්ට කියා දුන්නේ ඕස්ටේ්‍රලියානු කෘෂි විද්‍යාඥයන් විසිනි. මුස්ලිම් එfඬ්රුන්ට නවීන සත්ව පාලන තාක්ෂණය උගන්වනු ලැබිණි. 2015 මැද භාගයේදී ගෝලීය සරසවි ප්‍රජාව විසින් ආරම්භ කළ මේ දැවැන්ත ග්‍රාම සංවර්ධන ව්‍යාප්තිය හේතුවෙන් බෙනු ප්‍රාන්තයේ සිට මුළු නයිජීරියාව පුරා ඇවිලී යන්නට ඉඩ තිබුණු සිවිල් යුද්ධයක් නතර වූවා පමණක් නොව නයිජීරියානු ගොවීන්ට හා එfඬ්රුන්ට බටහිර වෙළෙඳපොළක්ද විවෘත විය. පන්ති කාමරවලට හා අතොරක් නැති න්‍යායයන්ට හිරවී සිටිනවාට වඩා නයිජීරියානු ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතියට ක්‍රියාකාරීව සහභාගි වී, ගොවීන් හා එfඬ්රුන්ට බටහිර වෙළෙඳපොළක්ද විවෘත විය. පන්ති කාමරවලට හා අතොරක් නැති න්‍යායන්ට හිරවී සිටිනවාට වඩා නයිජීරියානු ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතියට ක්‍රියාකාරීව සහභාගි වී, ගොවීන් හා එfඬ්රුන් දිළිඳු බවේ රේඛාවෙන් ඉහළට ඔසවා තබා බෙනූ ප්‍රාන්තය තුළ සාමය ස්ථාපිත කිරීමට හැකිවීම තමා ලද විශිෂ්ට ජයක් බව ඇමරිකාවේ ඉලිනොයිස් සරසවියේ තෙවැනි වසරේ ශිෂ්‍ය ක්‍රිස් ග්‍රේඞ් පැවසීය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යනුවෙන් ශ්‍රී ලාංකීය ජාතිය බෙදා වෙන්කරමින් තම ඡන්ද මැෂිම ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන දෙස්පාලුවන්ගෙන් ලංකාවට අඩුවක් නොමැත. ජාන තාක්ෂණ දැනුම හරහා ජාතිවාදය හා වර්ණභේදය ලොවින් තුරන් කිරීමට අපි සැවොම එක්වෙමු!