රාවය

මැලේසියාව සහ ලංකාව – II

මැලේසියාව සහ ලංකාව – II

ජයදේව උයන්ගොඩ

මැලේසියාවේ සහ ලංකාවේ දේශපාලන වෙනස්වීම් ගැන ගිය සතියේ අප මතුපිටින් ආරම්භ කළ සාකච්ඡාව තරමක් ගැඹුරු කරමින් ඉදිරියට ගෙන යා යුතුය. එහිදි අපට කළ හැකි ආරම්භක තීරණ තුනක් තිබේ. ඒවානම්,
*මැලේසියාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රශ්නය ලංකාවේ ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රශ්නයට වඩා බොහෝ බරපතළ හා දුෂ්කර වන්නේය.
* දැනට අලුත් නායකයා වශයෙන් හා මැලේසියාවේ ප්‍රශ්නවල විසඳුම්කරුවා ලෙස ඉදිරියට පැමිණ සිටින අලුත් අගමැති මොහොමඞ් මහතීර් ඇත්ත වශයෙන්ම මැලේසියාවේ ප්‍රශ්නයේ කොටස්කරුවකුද වේ.
* මැලේසියාවේ සිදු වූ දේශපාලන වෙනසේ සැබෑම වීරයා මහතීර් නොව හිරෙන් නිදහස් වූ අන්වර් ඊබ්‍රාහිම්ය.
මෙම සාකච්ඡාව පුද්ගලික කරුණකින් ආරම්භ කරමි. මැලේසියාවේ දේශපාලන පරිවර්තනයේ ප්‍රධාන රංගධරයන් දෙදෙනකු වූ මහතීර් සහ අන්වර් ගැන තරුණ කාලයේ සිටම මගේ පුද්ගලික උනන්දුවක් තිබිණ. 1982 දී හාවඞ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්ත කාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ ඔහුගේ අල්ලපු කාමරයේ සිටියේ මැලේසියානු ශිෂ්‍යයෙකි. අග්නිදිග ආසියාවේ දේශපාලනය පිළිබඳ පාඨමාලාවක් මගේ පළමුවැනි සෙමෙස්තරයේ පාඨමාලා තුනෙන් එකක් විය. නූතන මැලේසියාවේ දේශපාලනය ගැන ශාස්ත්‍රීය පොත පත කියවන ගමන්ම අල්ලපු කාමරයේ සිටි මැලේසියානු මිතුරා සමඟ මැලේසියානු දේශපාලනය ගැන කතා කරන්නට පටන් ගත් විට මට පෙනුනේ ඔහු දේශපාලනය ප්‍රිය කරන්නෙකු ද බවයි. මහතීර්ගේ පක්ෂයේ තරුණ සම්මේලනයේ ක්වාලම්පූර්හි මලයන විශ්ව විද්‍යාල ශාඛාවේ පහළ මට්ටමේ නායකයකු වූ ඔහු මහතීර්ගේ අලුත් ආණ්ඩුව සමඟ ළඟින් සම්බන්ධතාද තිබුණු කෙනෙකි. ඔහු සමඟ කළ කතාබහ වලින් ටික කලකින් එළිදරව් වූ දෙයක් නම් ඔහුගේ නියම නායකයා මහතීර් නොව අන්වර් ඊබ්‍රාහීම් නම් වූ උම්නෝ (Umno) පක්ෂයේ, තරුණ සම්මේලනයේ නායකයාය යන්නයි.
1982 වන විට අන්වර් මැලේසියාවේ ඉස්ලාමීය සම්මේලනයක් ද තම නායකත්වය යටතේ ගොඩ නගා තිබුණි. අන්වර් ගැන මගේ මිත්‍රයා කතා කළේ ඔහු ඉතා දක්ෂ, කැරිස්මාවක් සහිත දීර්ඝ දේශපාලන ගමනක් යා හැකි තරුණ නායකයකු බවයි. ඔහු කියූ එක් දෙයක් මගේ හිතේ තවමත් රැව් දෙයි. “අන්වර් කවදා හරි මැලේසියාවේ අගමැති වෙනවා.” අගමැති වෙනවා වෙනුවට අන්වර් තවමත් කර ඇත්තේ අවුරුදු දහයක් හිර ගෙදර දුක් විඳීමය. අන්වර්ගේ සිර ගෙදරට දෙවාරයක්ම යෑමත්, අගමැති වීමේ ශක්‍යතාවත් එකිනෙකට සම්බන්ධ ක්‍රියාවලියක පැති දෙකක් පමණක් බව,1982 සිට මැලේසියාවේ දේශපාලන ඉතිහාසයෙන් තදින්ම පෙනේ.
දේශපාලන විද්‍යාවෙන් ශාස්ත්‍රපති උපාධිය අවසන් කළ මගේ මිත්‍රයා ආපසු මැලේසියාවට ගියේය. අන්වර් යටතේ ආණ්ඩුවේ තනතුරකට බැඳුණු ඔහු, අන්වර්ගේ ඉස්ලාමීය තරුණ ව්‍යාපාරයේ ඉහළ නිළධාරියකු බවටද පත් විය. කල් යාමේදී අප දෙදෙනා අතර ලියුම් හුවමාරුවද නැවතිණි. අන්වර් අගමැති වූයේද නැත. ඒ වෙනුවට ඔහුට සිදු වූයේ වාර දෙකක් අවුරුදු දහයක පමණ කාලයක් බොරු නඩුවලට හසු වී හිරේ සිටීමටය. ඇත්තටම ඒවා බොරු චෝදනා වලට ඔහු හසු කළ දේශපාලන පළිගැනීමේ නඩුය. ඒ නඩු දෙකම ඔහුගේම අගමැතිවරුන් ඔහුව විනාශ කිරීමට යෙදූ දේශපාලන උපක්‍රමය. අන්වර්ට එසේ කළ පළමුවැනියා සති දෙකකට පෙර ඔහු හිරෙන් නිදහස් කිරීමට මුල් වූ මහතීර්ය. දෙවැන්නා අගමැති ධූරයෙන් පරාජය වූ නජීබ් රසාක්ය.
මහතීර්,අන්වර් සහ නජීබ් යන තිදෙනා වනාහී 1981 සිට මැලේසියාවේ දේශපාලනයේ ඇති වූ පරිවර්තන, බල අරගල හා ඉස්ලාමීයකරණය පිළිබඳ ක්‍රියාවලියේ ප්‍රධාන රංගධරයන් තිදෙනාය. මැලේසියාවේ දේශපාලන තනි පක්ෂ අධිකාරවාදී ව්‍යුහයක් මත ගොඩ නැගීම මුල් බැස ගොස් ශක්තිමත් වූයේ මේ කාලයේය. පුරවැසි නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පස්සට දමමින් ජාතික ආරක්ෂණ රාජ්‍යක් බවට තහවුරු වී, “පරිණත” වූයේ මේ කාලයේය. කීර්තිමත් ඉතිහාසයක් තිබුණු මැලේසියාවේ අධිකරණය, අගමැති ඇතුලු කැබිනට් මණ්ඩලය යටතේ ඇති දේපාර්තමේන්තුවක් වැනි තත්ත්වයට පිරිහී, නඩුකාරවරුන්, රජයේ නිලධාරීන්ගේ තත්ත්වයට පත් වූයේද මේ කාලයේය. ඒ අතරම නව කාර්මික රටක් හැටියට ශීඝ්‍ර ලෙස දියුණු වෙමින්, මැලේසියාව ආර්ථික සෞභාග්‍යයට පත් වූයේ ද මේ කාලයේය. අලුතින් අගමැති වී සිටින මහතීර් මේ සියල්ලේම කතෘකයෙකි.
මැලේසියාවේ නිර් ප්‍රජාතන්ත්‍රවාදී අධිකාරවාදී දේශපාලන පරිවර්තනයේ ආරම්භකයා මහතීර් නොවේ. එම ක්‍රියාවලිය ආරම්භ වූයේ 1960 ගණන් වල අගදී හා 1970 ගණන් වල මුලදී තුන්කු අබ්දුල් රසාක් යටතේය. මහතීර් කළේ එය ඉදිරියට ගෙන යාම සහ මස්තකප්‍රාප්ත කිරීමයි. දැන් මැලේසියාව ඉදිරියේ තිබෙන දේශපාලන ප්‍රතිසංස්කරණ සහ පර්වර්තන පිළිබඳ බලවත්ම අභියෝගය නම්, මෙම අධිකාරවාදී දේශපාලන ව්‍යුහය කඩාබිඳ දමා, වහල, බිත්ති සහ පදනම් ද ඉවත් කිරීමයි. අන්වර්ගේ නායකත්වයෙන් ආරම්භ වූ රිෆෝමාසි නමින් මැලේසියාවේ හඳුන්වන දේශපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ඉදිරියට තිබෙන්නේ සුළුපටු අභියෝගයක් නොවේ. මැතිවරණයකින් නොව විප්ලවයකින් කළයුතු තරමේ භාරධුර ඓතිහාසික කාර්යයකි.
මැලේසියාව සහ ලංකාව අතර සැසඳීම කරා ආපසු යෑමට දැන් අපට අවස්ථාව ලැබේ. 2015 ජනවාරි මාසයේ සිට ලංකාව මුහුණ දුන් ප්‍රතිසංස්කරණ අභියෝගය අද මැලේසියාව මුහුණ දෙන අභියෝගය තරම් බරපතළ සහ දුෂ්කර එකක් නොවේ. 2015 වන විට ලංකාවේ ගොඩනැගී තිබුණේ අධිකාරවාදී, ජාතික ආරක්ෂණවාදී රාජ්‍යක පළමු ආරම්භක අදියරයි. සිරිසේන, වික්‍රමසිංහ දෙදෙනා මහජන වරමක් ඉල්ලා සිටියේ මෙම සාපේක්ෂ වශයෙන් දුෂ්කර නැති දේශපාලන පරිවර්තනය සිදු කිරීමටය. එහෙත් එය කිරීමට එම දෙදෙනා අපොහොසත් වූවා පමණක් නොව, ඔවුන් දැන් එය අත්හැර දමා ඇත. තුලනාත්මක දේශපාලනය හදාරණ අයගේ උනන්දුව යොමු විය යුත්තේ, සාපේක්ෂ වශයෙන් දුෂ්කර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ඉදිරියට ගෙන යාමට මැලේසියාවේ අලුතෙන් බලයට පත් වූ දේශපාලන සන්ධානයට හැකිවන්නේද යන්නයි.

අන්වර්ගේ නඩු

හිරෙන් නිදහස් වූ විගස දේශපාලනයට පැමිණිමටවත් අගමැති වීමටවත් තමන්ට හදිසියක් නැතැයිද, අවුරුදු දෙකක්වත් විවේක ගැනීමට අවශ්‍ය යැයි ද අන්වර් ඊබ්‍රහිම් ප්‍රකාශ කර තිබේ. 1982 පටන්ම අන්වර් ඉබ්‍රහිම්ගේ දේශපාලන ජීවිතය ගැන තොරතුරු උනන්දුවෙන් සොයා බැලීම මම දිගටම කළෙමි. හොංකොං නුවරින් පළමු Far Eastern Economic Review සඟරාව, අන්වර්ගේ දේශපාලන නැගීම්,වැටීම්,නඩුහබ, ගැන ඉතාම සවිස්තර වාර්තා පළකර තිබුණි. මැලේසියාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා දේශපාලන ක්‍රියාකාරීන් හමු වූ විට අන්වර්ගේ ඉරණම ගැන කථා කිරීම මගේ සුපුරුදු මාතෘකාවක්ද වී තිබිණි. අන්වර්ගේ ඉරණමේ ඉතා බලසම්පන්න පැති දෙකක් තිබුණේ යැයි මට පෙනේ. පළමුවැන්න, එකම දේශපාලන සහෝදරවරුන් අතර ඇතිවන බල අරගල කොතරම් දරුණු විය හැකිද යන්නයි.අන්වර් බොරු නඩු ගොතා, දූෂිත නඩුකාරයින් ලවා දෙවරක්ම හිරගෙට යැව්වේ ඔහුගේ නැඟීම ගැන භය වූ ඔහුගේම දේශපාලන බොස්ලා වූ මහතීර් මොහොමඞ් හා නජීබ් රසාක් යන දෙදෙනාය.
දෙවැන්න දේශපාලන බල අරගල වලට සම්බන්ධ දේශපාලන පළිගැනීම් කොයිතරම් අමානුෂික විය හැකිද? යන්නයි. ලංකාවේ මේ සඳහා ඇති කිට්ටුම නිදසුන සරත් ෆොන්සේකාගේ ඉරණමයි. එහෙත් අන්වර් වින්ද අවමානය, නින්දාව, වධබන්ධන හා හිර ගෙදර දුක් විඳීම, සරත් ෆොන්සේකාගේ අත්දැකීමට වඩා සිය ගුණයකින් උග්‍ර වූවකැයි කිව හැකිය. මා දන්නා තරමින් ආණ්ඩු බලයේ සිටින තම හිටපු නායකයින් අතින් තම දරු පවුලද සමඟ ප්‍රසිද්ධියේ නින්දාවට, අවමානයට සහ කීර්ති හානියට පත්වූ ආසියාතික දේශපාලනඥයින් අතර ඉහළින් සිටින්නේ අන්වර්ය. සරත් ෆොන්සේකාද එවැනි ප්‍රසිද්ධ නින්දාවට ලක් වූවත්, අන්වර්ගේ අත්දැකීම් තිබෙන්නේ ගව් ගණනක් ඉදිරියෙනි. මේ අතින් ලංකාවේ මහින්ද, බැසිල්,සහ ගෝඨාභය, මැලේසියාවේ මහතීර් සහ නජීබ් රසාක්ගේ මල්ලිලා පමණකැයි කීවාට වරදක් නැත.
මැලේසියාවේ අලුත් සභාග ආණ්ඩු මුහුණදෙන දේශපාලන අභියෝගය අලංකාරෝක්ති භාෂාවෙන් ඉදිරිපත් කරන්නේ නම් මෙසේ කෙටියෙන් ප්‍රකාශ කළ හැකිය. මැලේසියාවේ ප්‍රශ්නයේම කොටසක් වී සිටි අගමැති මහතීර්ට දැන් එහි විසඳුමේ ද කතෘකයකු විය හැකිද?