ආපදාව, ගින්දර සහ අඟුරු

අධික වර්ෂාව නිසා මේ වනවිට දිස්ත්‍රික්ක 18ක පවුල් 27,000කට අයත් ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ. මරණ 11ක් සිදුවී තිබෙන අතර ඉදිරි දින කිහිපය තුළද ගංවතුර හා නායයෑම් තත්ත්වය වැඩි වර්ධනය විය හැකි බවට විෂයයික වශයෙන් අනාවැකි පළවී තිබේ. විශේෂයෙන්ම රත්නපුර, කෑගල්ල, මහනුවර, කළුතර යන දිස්ත්‍රික්කවලට නායයෑම් පිළිබඳ රතු නිවේදනද නිකුත් කර ඇත. එසේ බලන විට ඉදිරි දින කිහිපය තුළ රට තිබෙන්නේ බලවත් පාරිසරික අනතුරක් අභිමුවෙහිය.
ගංවතුර හා නායයෑම් මේ වනවිට ලංකාවට අලුත් දේවල් නොවේ. මාස හයෙන් හයට කවර හෝ මහා පරිමාණ ආපදාවක් රටෙහි සිදුවෙයි. දෙවැනි හා තෙවැනි වර ආපදා එනවිට පළමු ආපදාව නිසි පරිදි කළමනාකරණය නොවුණු තත්ත්වයක් තුළ ලංකාව රටක් හැටියට ආපදා විෂයේදී මුහුණපා සිටින ඉරණම අතිශයින්ම බරපතළය.
ආපදාවලට නිතර මුහුණදීමට සිදුවන්නේ නම් රටක් ඒ සඳහා පූර්ව සැලසුම් සකස් කර තිබිය යුතුය. ආපදාවෙන් ඇතිවිය හැකි හානි අවම කරගැනීමට මෙන්ම ආපදාවෙන් පසුව එය කළමනාකරණය කරගැනීමට මෙම පෙර සූදානම උපස්ථම්භක වෙයි. නිතර ගංවතුර ගලන ප්‍රදේශ ලෙස රත්නපුර හා කළුතර නිදසුන් ලෙස ගතහොත් එම ප්‍රදේශවල ජනයා ගංවතුර ආපදාව සඳහා සූදානම් කර තිබේද? ගංවතුර ගලන විට උස් ප්‍රදේශ හෝ සහන කඳවුරුවලට පීඩාවට පත්වූවන් රැගෙන යෑමට සැලසුම් සකස් වී තිබිය යුතුය. විශේෂයෙන්ම ඒ සඳහා බෝට්ටු පහසුකම් තිබිය යුතුය. දැනට සිදුවන්නේ දවසක් දෙකක් ගතවී බෝට්ටු හා ආහාර ලැබීමය. එවිට බොහෝ දෙනෙක් ප්‍රදේශයේ තිබෙන ඔරු හෝ වෙනත් මාර්ග ඔස්සේ ආරක්ෂක ස්ථාන කරා පැමිණ සිටිති. ඊළඟට අවතැන් වූ පිරිස්වලට තාවකාලිකව පදිංචි ස්ථානවල කඩිනමින් යටිතල පහසුකම් සැලැස්විය හැකි විය යුතුය. දැනට සිදුවන්නේ පන්සල් හෝ පාසලේ අවම සනීපාරක්ෂක පහසුකම් යටතේ බංකු හෝ පැදුරු මත ගංවතුර බැස යනතුරු කල්ගෙවීමය. විශේෂයෙන්ම කුඩා දරුවන් හා වයෝවෘද්ධ පිරිස් මෙහිදී වඩාත් අපහසුතාවන්ට ලක්වන අයුරු දැකගත හැකිය.
බොහෝවිට දින කිහිපයකින් ගංවතුර බැස ගියත් ඔවුන්ගේ නිවාස පිරිසිදු කරගැනීම හා පිළිසකර කරගැනීම ලද පීඩාව දෙගුණ තෙගුණ කරවන කාර්යයකි. ඒවා ගැනත් සමාජයක් හැටියට සැලසුම් තිබීම වැදගත්ය.
ඊළඟ වැදගත්ම ප්‍රශ්නය වන්නේ නායයෑම් අවදානමක් පවතින ප්‍රදේශවලින් ජනයා ඉවත් කිරීමය. කොතෙකුත් රතු නිවේදන නිකුත් කළත් ඇතැම්හු අවදානම් කලාපවලින් ඉවත්ව නොයති. එසේවන්නේ ඉවත්ව යෑමට නිසි ස්ථානයක් නොමැතිවීමය. අරණායක සාමසර කන්දේ අනෙක් පස නායයෑමේ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇතත්. කිසිවෙක් එම ප්‍රදේශයෙන් ඉවත් නොවූහ. බොහෝ අය කියන්නේ රජය නැවත පදිංචි කිරීමේ නිසි පහසුකම් හා පරිසර පසුබිම නොසොයා ඉවත්වීම පමණක් අපේක්ෂා කරන බැවින් එවැනි ස්ථානවලින් ඉවත් නොවන බවය. බුලත්කොහුපිටියේ නායගිය කන්ද ආශ්‍රිත ප්‍රදේශයෙහිද තවදුරටත් එවැනි අනතුරක් ඇති බව වාර්තා වේ. එම කන්ද නායගියේ සාමසර කන්ද නායයෑමට දිනකට හෝ දෙකකට පෙරය. සාමසර කන්ද නායයෑමෙන් සිදුවූ විනාශය විශාල එකක් වූ නිසා බුලත්කොහුපිටිය යට ගියේය. එම සිදුවීමෙන් මාස ගණනාවකට පසුවත් එහි ආපදාවට ලක්වූවෝ තාවකාලික කූඩාරම්වලම සිටියහ. ඊට පසු පැමිණි මහ වැසිවලදීද ඔවුහු කූඩාරම්වලම සිටියෝය. මේ රටේ තිබෙන්නේ එවැනි ප්‍රශ්න ගණන් නොගන්නා ඛේදනීය තත්ත්වයකි.
මීරියබැද්ද නායයෑමෙන් වසර කිහිපයකට පසුව ඔවුන්ට ලැබුණු නිවාසවල ඔප්පු පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගුණි. එවැනි තත්ත්වයක් තුළ රතු නිවේදන එකක් නොව දහයක් ආවත් ජනතාව තම සුපුරුදු හා නිශ්චිත අයිතිවාසිකම් ඇති වාසස්ථානවලින් ඉවත් නොවීම තේරුම්ගත හැකිය. අක්‍රමවත් හා අනවරත අවිනිශ්චිත ජීවිතයකට ඇතුළු වනවාට වඩා අනතුර භාරගෙන දෙකෙන් එකක් සිදුවන තුරු සිටීමට අනතුරුදායක පරිසරයක ජීවත් වන ඇතැමුන් තීරණය කර තිබෙනවා විය හැකිය. ලංකාව පසුවන්නේ අවදානම් කළමනාකරණයට වැඩපිළිවෙළක් නැති, ප්‍රතිපත්තියක් සකස් කරගත නොහැකි තත්ත්වයකය.
ඊළඟ බරපතළ ප්‍රශ්නයවන්නේ පරිසර නීති රටෙහි ක්‍රියාත්මක වනවාද යන්නය. පරිසර නීති දූෂණයෙන් තොරව ක්‍රියාත්මක විය යුතුය. ජනපති පරිසර ඇමති ලෙස එවැනි දූෂණ නැති බව කීමට පුළුවන. එහෙත් මුතුරාජවෙල ඉදිකිරීම් නොකළ යුතු බවට වූ ජනපති නීතිය ක්‍රියාත්මක නොවන බව ජනමාධ්‍ය පෙන්වා දුන්නේය. කුරුණෑගල ප්‍රදේශයේ පොල්ගස් නොකපන ලෙස ජනපති දුන් නියෝගය උල්ලංඝනය කැරිණි. එවැනි රටක පරිසර නීති ගැන කතා කිරීමෙන් පළක් තිබේද? පෙනෙන්නට ඇති දේ නම් මේ රටේ පාලකයන්, ජාවාරම් පන්තිය මෙන්ම පරිසරයට අනාදරය දක්වන ජනතාවද ගින්දර අනුභව කර ඇති බවය. එමෙන්ම දැන් ඔවුන්ට අඟුරු මළපහ කරන්නට සිදුව ඇති බවය.