රාවය

අනේ දේශපාලනඥයිනි ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීමට අපේ දරුවන්ට ඉඩ දෙන්න.

අනේ දේශපාලනඥයිනි ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීමට අපේ දරුවන්ට ඉඩ දෙන්න.

විජයානන්ද ජයවීර

‘ද්විභාෂා අධ්‍යාපනය: හොඳ ම දේ දරුවන්ට’ යන මැයෙන් කුරුණෑගල ලක්දාස් ද මැල් විදුහලේ විදුහල්පති කේ.ඒ. විමලකීර්ති මහතා දෙසතියකට පෙර රාවයට ලියූ ලිපිය අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරන නායක කාරකාදීන්ගේත් මෙන් ම තම දරුවන්ට හොඳයැ’යි සම්මත පාසලක් ලබාදීමට හතර අතට වැඳ වැටෙන මව්පිය ඡන්දදායකයන්ගේ ද නොමද අවධානයට යොමු විය යුතු ලිපියක්යැ’යි මම සිතමි. මහව පහසුකම් අඩු ගම්බද ඇහැටුවැව විදුහලේ විදුහල්පතිකම කරන කල නොයෙකුත් කෙණෙහිලිකම් මැද තෝරා ගත් විෂයයන් ඉංග්‍රීසි බසින් ඉගැන්වීමට වසර 2002 තරම් ඈත දී තමා ගත් නිර්භීත තීරණයත්, එනිසා අනතුරුව සිසු දරුවන් තුළ ඇති වූ පැහැදිලි ප්‍රගාමී වෙනස හා ආත්ම විශ්වාසයත්, සිංහල බසින් පමණක් ඉගෙන ගත් සිසු දරුවන් අබිබවා යාමට ඔවුන්ට ඇති වූ හැකියාවත් විමලකීර්ති මහතා සහේතුකව සඳහන් කර තිබුණි. 2008 වන විට ඇහැටුවැව විදුහලේ සිසු දරුවෝ සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිට හොඳ ප්‍රතිඵල ලබා ගත්තෝ ය. ඔවුහු අද හොඳ රැකියාවල යෙදෙති.
තෝරා ගත් විෂයය මෙසේ ඉංග්‍රීසි බසින් හැදෑරීමේ අවස්ථාව ඒ මහතා කුරුණෑගල ලක්දාස් ද මැල් විදුහලට ද හඳුන්වා දී තිබේ. පසුගිය වසරේ සමස්ත ලංකා අධ්‍යාපන ඇගැයීම් වාර්තාවෙන් පෙන්නුම් කරන පරිදි එම විදුහල කලාපයේ පාසල් අතරින් ඉතා හොඳ පාසලක් බවට පත් ව ඇති බව පෙනේ. විමලකීර්ති මහතාගේ එකී අත්දැකීම්වලින් පෙන්වා දෙන වැදගත් කාරණයක් වන්නේ සිසු දරුවන්ට ඉංග්‍රීසි බසින් විෂය ඉගැන්වීමට නම් මනා භාෂා හැකියාවකින් යුතු ගුරුවරුන් අවශ්‍යය යන මතය හුදු ප්‍රලාඵයක් බවයි. ඒ බව දුරකථනය ඔස්සේ මා හා කළ කතාබහකදී ඒ මහතා තහවුරු කළේ ය. ඉගෙන ගැනීම දරුවන් විසින් ම කරනු ලබන ක්‍රියාවක් මිස ගුරු කේන්ද්‍රීය ක්‍රියාවක් නොවේ.
විවිධ භාෂා ඉගෙන ගැනීමට දරුවන්ට ජීව විද්‍යාත්මක වශයෙන් ම නිසග හැකියාවක් ඇති බවට නෝම් චොම්ස්කි ප්‍රම්‍රඛ වාග් විද්‍යාඥයන් විසින් පෙන්වා දී තිබුණේ බොහෝ කලකට පෙර ය. ප්‍රකට මනෝවිද්‍යාඥයකු හා ලේඛකයකු වන ආචාර්ය ස්ටීවන් පින්කර් ඇතුළු පර්යේෂකයන් විසින් අමෙරිකාවේ මැසචූසෙට් තාක්ෂණික ආයතනයේ මෙහෙයවීමෙන් මේ කාරණය ගැන කළ නවතම පර්යේෂණයක ප්‍රතිඵල මීට දෙසතියකට පෙර චිර ප්‍රසිද්ධ ‘සයන්ටිෆික් අමෙරිකන්’ සඟරාවේ පළවිය. භාෂා ඉගෙන ගැනීමට දරුවන්ට ඇති නෛසර්ගික හැකියාව වයස දහඅට වන තෙක් ම හොඳින් පවතින බව එම පර්යේෂණයට අනුව තහවුරු වී තිබේ. අවශ්‍යතාව නම් ආගන්තුක භාෂා ඉගෙනීමට සුදුසු අභියෝග දරුවන්ට ලබාදීමයි. ඇතැම් දරුවන් රූපවාහිනියේ යන ඉංග්‍රීසි කාටුන් වැඩසටහන් නරඹා ඉංග්‍රීසි බස ඉගෙන ගන්නේ එබැවිනි.
සැබවින්ම “ළඟම පාසල හොඳ ම පාසල” බවට පත් කළ හැකි වන්නේ විමලකීර්ති මහතා විස්තර කරන අන්දමට ඇහැටුවැව පාසල මෙන් ඉංග්‍රීසියෙන් විෂය හැදෑරීමට පාසල් දරුවන් පොළඹවන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම මගිනි. ශිෂ්‍යත්ව තරග පීඩනයෙන් පෙළෙන දරුවන් ද, ඉංග්‍රීසියට ළැදි නාමධාරී පාසල්වලට තම දරුවන් ඇතුළු කර ගැනීමට වළිකන මව්පියන්ට ද එය සහනයකි. ඉදින් ඉදිරි වසර කිහිපය තුළ දී දිවයිනේ සියලුම ද්විතීයික පාසල්වල තෝරා ගත් විෂයයන් ඉංග්‍රීසි බසින් ඉගැන්වීම ප්‍රතිපත්තිය කර ගැනීමට අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයන් මෙතරම් මන්දෝත්සාහී ඇයි?
දෙසතියකට පමණ පෙර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම නිලධාරියකු මුණගැසීමට මට අවස්ථාවක් ලැබුණි. ඒ වන විට මා විදුහල්පති විමලකීර්ති මහතාගේ ලිපිය කියවා තිබුණේ නැත. එහෙත් පාසල් විෂය ඉංග්‍රීසි බසින් හැදෑරීමට අවස්ථාව සැලැසීමෙන් ඇතිවිය හැකි විපුල ප්‍රයෝජන ගැන අපි කතාබහ කළෙමු. මා සමග එම පිළිසඳරට සම්බන්ධ වූ මගේ ඉන්දියානු මිතුරා ප්‍රධාන භාෂා තිස්හතක් කතා කරන ඉන්දියාවේ පොදු සම්බන්ධතා භාෂාව ලෙස ඉංග්‍රිසි බස යොදා ගැනීමෙන් අන්තර් වාර්ගික සංහිඳියාව තහවුරු කර ගෙන ඇති අන්දම අවධාරණය කළේ ය.
අපේ අදහසට මුළු හදින්ම එකඟ බව පැවසුව ද ඉංග්‍රීසි බස තේරෙන ගුරුවරුන් හිඟකම ඉංග්‍රීසියෙන් විෂය ඉගැන්වීමේ දී ඇතිවිය හැකි අභියෝගයක් ලෙස අර කී ඉහළ නිලධාරියා දුටුවේය. පුද්ගලික පාසල්වල ඉංග්‍රීසියෙන් ඉගැන්වීමට ගුරුවරුන් බඳවා ගන්නේ හා පුහුණු කරගන්නේ එකී පාසල් විසින්ම බව මම පෙන්වා දුනිමි. නිසි නියාමන ක්‍රමයක් යටතේ එවැනි හැකියාවන් ඇති ගුරුවරුන් පාසල් මට්ටමෙන් බඳවා පුහුණු කර ගැනීමට ඉඩ දිය හැකිය. එමෙන්ම ඉංග්‍රීසියෙන් විෂය හදාරා උපාධි ලබා සිය රට පැමිණෙන තරුණ තරුණියන් වසරක කාලයක් ස්වේච්ඡා ගුරු භවතුන් ලෙස කටයුතු කිරීමේ සමාජ මෙහෙවරකට පොළඹවන අවස්ථා සැලසිය හැකිය. පරම විඥානාර්ථ සංගමය යටතේ පැවති බොහෝ ඉංග්‍රීසි මාධ්‍ය පාසල්වලට ඉන්දියාවෙන් ගුරුවරුන් ගෙන්වා ගත් බව මම පෙන්වා දුනිමි. ගුරුවරුන්ට මගපෙන්වීමේ ගැටලු ජය ගැනීමට නව තාක්ෂණය ඇතුළු විවිධ නිර්මාණාත්මක විසඳුම් යොදාගත හැකි බව ඔහුගේ ද අදහස විය. එහෙත් ඡන්දදායක මව්පියන්ගේ තදබල ඉල්ලීමක් නොමැතිව සියලු ද්විතීයික පාසල්වල ඉංග්‍රිසි බසින් විෂය ඉගෙන ගැනීමට ඉඩ සලසා දීම සඳහා ප්‍රතිපත්තිමය නායකත්වය දීමට අධ්‍යාපනය භාර මැති ඇමැතිවරුන් මැළි විය හැකි බව ඔහු විශ්වාස කළේ ය. ද්විතීයික අධ්‍යාපනය පමණක් නොව උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ද අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයන් අතර මේ හුඹස් බිය පවතින බව පෙනේ. ඒ ගැන මා මුහුණ දුන් සිද්ධියක් මෙසේ ය.
අඩුම වශයෙන් තෝරාගත් විශ්ව විද්‍යාල එකක හෝ දෙකක කලා සහ මානව ශාස්ත්‍ර විෂයයන් ඉංග්‍රීසි බසින් ඉගැන්වීම ආරම්භ කිරීමේ වටිනාකම කලකට පෙර මම එවකට සිටි උසස් අධ්‍යාපන ඇමතිවරයාට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී පෙන්වා දුනිමි. කලා හා මානව ශාස්ත්‍ර උපාධිධාරීන් බොහෝ කොට ගුරු වෘත්තියට යොමුවන බැවින් ඉංග්‍රීසියෙන් ඉගැන්වීමට හැකි ගුරුවරුන් බිහිකිරීමේ කෘතහස්ත මෙහෙයක් අපේ විශ්වවිද්‍යාලවලට කළ හැකි බව මගේ අදහස විය. එහෙත් ඇමතිවරයාගේ ප්‍රතිචාරය බෙහෙවින් ඇල්මැරුණු ස්වභාවයක් පෙන්නුම් කළේය. ඉංග්‍රීසියෙන් කලා හා මානව විද්‍යා විෂයන් ඉගැන්වීමේ ප්‍රතිපත්තියකට යාම දේශපාලන වශයෙන් අර්බුදකාරීයැ’යි ඔහු අදහස් කළ බව මට සිතුණේය. එවැනි ව්‍යායාමයකට විරුද්ධව ශිෂ්‍යයන් හා ඇතැම් ඇදුරන්ද මෙහෙයවීමට සිංහල ජාතියේ උරුමක්කාරයන් බවට ස්වයං පත්වීම් ලබා ඇති දේශපාලනඥයන්, ඇතැම් පූජකයන් ප්‍රමුඛ විරෝධතා ව්‍යාපාර ක්‍රියා කරනු ඇතැ’යි ඔහුට සිතෙන්නට ඇත. ඒ වන විටත් සයිටම් ආයතනය සම්බන්ධයෙන් ගොඩ නැගුණු දැඩි විරෝධයකට ඔහු ලක් වී සිටියේ ය. ඇතිවිය හැකි විරෝධතාවන් නිර්භයව සාකච්ඡාවට ලක් කරමින් යහපත් ප්‍රතිපත්ති හඳුන්වාදීමේ විචක්ෂණ බව අවාසනාවකට මෙන් බොහෝ විට අපේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට නැත.
එකී ඇමැතිවරයාගේ පමණක් නොව අනෙකුත් දේශපාලන නායකයන්ගේ ද අරකී ප්‍රවේසම්කාරී ආකල්පයට හේතුවන කරුණක් මා දන්නා ප්‍රකට විශ්වවිද්‍යාල මහාචාර්යවරයකුගෙන් මට දැනගන්නට ලැබුණි. ඒ කතාව මෙසේය. ඔහු සහ තවත් විශ්වවිද්‍යාල ඇදුරන් අතළොස්සකගේ මැදිහත්වීම නිසා කලා සහ මානව ශාස්ත්‍ර විෂය ධාරාවේ තෝරාගත් විෂයයන් කිහිපයක් ඉංග්‍රීසි බසින් ඉගැන්වීමට ඉඩ සැලසීමට පසුගිය රජය පැවති කාලයේ කොළඹ විශ්වවිද්‍යාලය කරවූ උපකුලපතිවරයකු එකඟ විය. එහෙත් මේ වෑයම කනට වැටුණු එවකට ඇමති ධුරයක් දරමින් සිටි කට වාචාලකමට බෙහෙවින් ප්‍රසිද්ධ එක්තරා දේශපාලනඥයෙක් මැති සබය අමතා කතාවක් කරමින් එම ව්‍යායාමය සංස්කෘතික ව්‍යසනයක් ලෙස හුවා දක්වමින් ගැරහීමට ලක් කළේය. ඉන් බියට පත් වූ උපකුලපති සිය ව්‍යායාමය අතහැර දැමීමට සිදුවන බව අරකී මහාචාර්යවරයාට පැවසීය. මෙහි ඇති කුහකකම නම් එකී දේශපාලනඥයා ඉංග්‍රීසි බසින් ඉහළ අධ්‍යාපනය ලබාදීමට තම පුත්‍රයා පිටරට විශ්වවිද්‍යාලයකට යැවීමයි.
අපේ දරුවන්ට ඉංග්‍රීසි බසින් ඉගෙන ගැනීමට ඇති අයිතිය සාක්ෂාත් කර දීමකින් තොරව නව දැනුම භාවිත කිරීමට හෝ නිපදවා ගැනීමට අප රටට නොහැකිය. ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීමට හැකි දරුවන්ට අද කාලයේ අන්තර්ජාලය හරහා ලෝකයේ ඉහළ ම පෙළේ විශ්වවිද්‍යාලවල ප්‍රාමාණිකයන්ගේ විෂය දේශනවලට නොමිලේ ම කන්දීමට හා විවෘත පාඨමාලාවලට සහභාගිවීමට ඇති තරම් අවස්ථා සැලසී තිබේ.
එහෙත් ලංකාවේ විශ්වවිද්‍යාලවල මූලික අරමුණ වූයේ තරමක් හොඳ රැකියාවකට අවශ්‍ය පමණට ප්‍රාථමික උපාධියක් ලබාදීම සඳහා ශිෂ්‍යයන් සූදානම් කිරීම මිස, විෂය කරුණුවලට විචක්ෂණ දැනුමක් එක් කළ හැකි ලොව පිළිගත් බුද්ධිමතුන් හා ප්‍රාමාණිකයන් බිහිකිරීම නොවේ. ඒ නිසා බොහෝ විට ඉංග්‍රීසි බස අවශ්‍ය ඉහළ ප්‍රමිතියකින් යුත් පශ්චාත් උපාධි හා පර්යේෂණ ආයතන විශ්වවිද්‍යාලයීය පද්ධතියේ අත්‍යවශ්‍ය කොටසක් විය යුතු බව සහ ඒ මගින් ප්‍රාථමික උපාධි විෂය ක්ෂේත්‍ර නිරන්තරයෙන් පෝෂණය විය යුතු ය වැනි කරුණු සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු නොවීය. පසු කලෙක බොහෝ පශ්චාත් උපාධි පාඨමාලා හඳුන්වා දෙන ලද්දේ විශ්වවිද්‍යාලවලට අතිරේක ආදායමක් ලැබෙන මාර්ගයක් වශයෙන් මිස නව දැනුම නිෂ්පාදනය කිරීම අරමුණු කොට නොවේ.
කෙසේ වෙතත් විද්‍යාර්ථියකු වශයෙන් වර්ධනයවීමට වඩා බොහෝ කලා ශිෂ්‍යයන්ගේ අරමුණ වූයේ කෙසේ හෝ අවසාන විභාගය සමත් කොට තම උපාධි සහතිකය ලබාගැනීමයි. මේ ඒකායන අරමුණ නිසා බොහෝ සිසුන් ඉගෙන ගන්නේ ඉගෙනීම කරදරයක් ලෙස සලකා බව මා දන්නා ඇතැම් සරසවි ඇදුරෝ පවසති. පෙළ ග්‍රන්ථ ගැඹුරින් හදාරා ඒවායේ ඇති ප්‍රධාන තේමා හා අනුෂාංගික තර්ක වටහා ගන්නවා වෙනුවට බොහෝ ශිෂ්‍යයන් කරන්නේ පෙළ අනුක්‍රමයෙන් කියවා ගෙන ගොස් විෂය කරුණු මතුපිටින් හදාරා විභාගයට අවශ්‍ය පමණට කරුණු මතක තබා ගැනීමයි. සමාජවිද්‍යා වැනි විෂය ක්ෂේත්‍රවල අනිවාර්ය ආශ්‍රය ග්‍රන්ථ ඇත්තේ ඉංග්‍රීසි බසින් බැවින් එවැනි විෂයන් ගැඹුරින් හැදෑරීමට ඔවුන්ට නොහැක. අධ්‍යයන පැවරුම් බුද්ධිමය අභියෝගයක් වශයෙන් සලකනවා වෙනුවට මෙවැනි සිසුන් කරන්නේ ඒවා බලෙන් පටවන වැඩ ලෙස සලකා නො රිස්සීමයි.
ශිෂ්‍ය ප්‍රජාවේ මේ සෘණ ආකල්පයට තවත් බොහෝ හේතු තිබිය හැකිය. ඒ අතර ඉගැන්වීම ශිෂ්‍ය කේන්ද්‍රීය නොවීම, ගුරුවරුන්ගේ සීමාසහිත දැනුම, විෂය කරුණු ඇල්ම දනවන අන්දමට ඉගැන්වීමට ගුරුවරු අසමත්බව ශිෂ්‍යයන්ට වැටහීම, භාෂා ඥානයේ සීමා නිසා ඉංග්‍රීසි බසින් ඇති දැනුම පරිහරණය කිරීමට නො හැකි වීම ආදිය ද ශිෂ්‍ය අසහනයට හේතු විය හැකිය.
කලා අංශයේ ශිෂ්‍යයන් සම්බන්ධයෙන් පවතින මේ තත්ත්වය ඒ අන්දමින් ම ශුද්ධ විද්‍යා, ඉංජිනේරු, වෛද්‍ය හා ඇතැම් කළමනාකරණ අංශවල ශිෂ්‍යයන් සම්බන්ධයෙන් නො පවතී. කලා විෂයයන් මෙන් නොව ශුද්ධ විද්‍යා, වෛද්‍ය, ඉංජිනේරු ආදී විෂයයන් ඉගෙන ගැනීම, බොහෝ විට අතීත හා සමීප සුසමාදර්ශයන් (paradigm) වෙනස්කරනසුලු, විද්‍යා පර්යේෂණ නිගමනවලින් මෙහෙය වෙයි. එයට වෙනස් ව කලා හා මානව ශාස්ත්‍රීය විෂයයෙහි වෙනස්කම් සිදුවන්නේ නිරන්තරයෙන් සංක්‍රාන්තියට (transition) ලක්වෙන සංස්කෘතියකට එම විෂය ක්ෂේත්‍ර අයත් වන බැවිනි. බොහෝ විට එම සංක්‍රාන්තීය වෙනස්කම් සිදුවන්නේ අභ්‍යන්තරික මතගැටුම්, වාද විවාද, රසවින්දනයේ ඇතිවෙන වෙනස්කම්, සමීක්ෂණ මගින් තහවුරු කිරීමට තැත් කරන දේශපාලනික හා දාර්ශනික මත ආදිය සමතික්‍රමණය වීම් ආදී වශයෙනි. ඒ නිසා කලා අංශයේ විෂය උගන්වන ආචාර්යවරුන් සතු විෂය අවබෝධයේ ගුණාත්මක බව හා ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන් වශයෙන් ඔවුන් දිනා ගත යුතු කීර්තිය ද ශිෂ්‍ය ප්‍රජාවගේ ඉගෙනීම පිළිබඳ ආකල්ප කෙරෙහි බෙහෙවින් බලපා හැක. ඒ සියල්ලට ම ද්විභාෂා දැනුම අත්‍යවශ්‍යය.
කෙසේ වෙතත් කලා උපාධිධාරීන් වැඩි වශයෙන් ගුරුවෘත්තියට යොමුවන බැවින් ඔවුන්ගේ බුද්ධිමය පරිචය ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමේලා ඉතා වැදගත් වෙයි. එනිසා විශ්ව විද්‍යාලවල කලා හා මානවවිද්‍යා විෂය ක්ෂේත්‍රවල ඉංග්‍රීසි බසින් ඉගැන්වීමේ සහ ඉගෙන ගැනීමේ ගැටලු නිසි ලෙස හඳුනා ගෙන සිසුන් ඒ සඳහා පෙළඹවීම ඉතා වැදගත් ය. ආරම්භයක් වශයෙන් තෝරාගත් විශ්වවිද්‍යාල කිහිපයක කලා සහ මානව ශාස්ත්‍ර විෂයන් ඉංග්‍රීසි බසින් ඉගැන්විය හැකිය.
පාසල්වල මෙන් ම විශ්වවිද්‍යාලවල ද ද්වි භාෂා අධ්‍යාපන අවස්ථා සැලසීමෙන් සහ සුවිශේෂයෙන් ම තෝරා ගත් විෂයයන් ඉංග්‍රීසි බසින් ඉගැන්වීමෙන් ද්විතීයික අධ්‍යාපනයත් උසස් අධ්‍යාපනයත් අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිපෝෂණය කළ හැකිය. මේ කතිකාව සමාජ ගත කරන අතරතුර විමලකීර්ති මහතා වැනි නියමු විදුහල්පතිවරුන්ගෙන් බොහෝ දෑ ඉගෙන ගැනීමට ද අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයන්ට ද තමන්ට වඩා යහපත් දිවියක් තම දරුවන්ට ළඟා කර දිය යුතුයැ’යි විශ්වාස කරන මව්පිය ඡන්දදායකයන්ට ද හැකිය.