කැබිනට් මැරයා සහ මාධ්‍ය මැරයෝ

ටිරන් කුමාර බංගගමආරච්චි

ඕනෑම දෙයක් එක මොහොතකින් අවුළුවාලන ගිනි දැල්ලක් සමාජයේ ඇත. ඒ සමාජ ජාලා මාධ්‍යය. එයට ඉවක් බවක් නැත. එහි නියැලෙන්නෝ හතර අත බෙදී හතර අත නෙළති. පක්ෂ විපක්ෂව සංවාද කරති. මරාගෙන මැරෙන්නට වුව සැරසෙති. මේ සංවාද මොනතරම් හරයාත්මකද යන්න විමසා බැලීම එතරම් උචිත නොවන්නේ යෙදෙන පිලේ ප්‍රබලත්වය මත තම මතය හිස ඔසවන බැවිනි.
මෑතකදී මේ කටගැස්මට අඩුම කුඩුම සපයනුයේ අමාත්‍ය රාජිත සේනාරත්නය. ඔහු නොබෝදා කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවකදී උතුරේ මියගිය එල්ටීටීඊ සාමාජිකයන් සැමරීම අනුමත කළේය. ඒ වෙනුවෙන් ඔහු කළ කී දේ සමාජයට රහසක් නොවේ. ඒ කතා වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කරන්නට හිතවත් මාධ්‍ය සගයෝද කටයුතු කරති. ඔවුහු එදා රණවිරුවන් වෙනුවෙන් මාධ්‍ය විරුවන් බවට පත්වූහ. මෙම මාධ්‍ය ආවරණයට පැමිණ සිටි බහුතරයක් එකහෙළාම රාජිත අමාත්‍යවරයාගේ කතාවට විරුද්ධ වූහ. කතාවට පමණක් නොව ඔවුහු උතුරේ දෙමළ ජනයා එල්ටීටීඊ මියගිය අය සමරණවාටද විරුද්ධ වෙති. මාධ්‍යවේදීහු කියා අමුතු සත්තු ජාතියක් නොවෙති. ඔවුහුද වෙසෙනුයේ මේ සාමාන්‍ය රටාවේමය. එබැවින් ඔවුහු කිසි ලෙසටවත් දෙමළ ජනයාට කන් දෙන්නට සූදානම් නොවෙති.
මෙහිදී විශාල පිරිසක් පක්ෂව අත ඔසවනුයේ මාධ්‍යවේදීන් ක්‍රියා කළ ආකාරය යහපත් බව කියන්නටත්, රාජිත අමාත්‍යවරයා හත්පොළේ ගාගත් බව කියන්නටත්ය. ඒ සමගම තව පිරිසකට අනුව රාජිත අමාත්‍යවරයා කී කතාව මරුය. ඉතාම ඉහළය.
රාජිත අමාත්‍යවරයාගේ මේ පෙනී සිටීම කුමක්ද? එය සැබැවින්ම අවංකද? එය අපි කරපින්නාගෙන යායුතුද? මේ දෙපිළෙහිම නැති අය සිතිය යුත්තේ එයය. එය එසේ නොවේද?

විගඩම

කාලයක පටන් කැබිනට් තොරතුරු දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව යනු තනිකරම විගඩමකි. එය විගඩමක් කළ ප්‍රධානියාද රාජිතය. ඔහුගෙන් මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළහොත් ඔහු කළේ එම මාධ්‍යවේදියාව තම මුඛරිකමින් විනාශ කිරීමය. සවුත්තු කිරීමය. බාල්දු කිරීමය. එහෙත් මෙදින නම් ඔහුට එලෙස කිරීම ලේසි පහසු නොවීය. වෙනදා මාධ්‍ය අන්නන රාජිත මෙදා තමන්ම ඇන ගත්තේය. ඒ ඉල්ලගෙන කමිනි.
අප කියනුයේ රාජිත කියූ දේ හරිද වැරදිද යන්න නොව රාජිතලා එවැනි දෙයක් කීවද වලංගු නැති බවය. සැබැවින්ම රාජිත කියන දෑ විසල්ව ගත හැකිද? ඒ තරමට ඔහු හැරෙන අතට හැරි හැරී ගලප්පන පුද්ගලයෙකි. ඔහු එදිනද මාධ්‍යවේදියකුට කියනුයේ යුද්ධය වෙනුවෙන් තමන් තරම් දෙයක් කළ අයකු නැති බවය. ඒ ඔහුගේ හැටිය. හැමදේම කරනුයේ ඔහුය. හෙට රාජිත අමාත්‍යවරයා රාජපක්ෂ ආණ්ඩුවට එකතු වුවහොත් එවිට කියනුයේ වෙනම මාදිලියේ කතාවකි. උතුරේ සමරණවුන් මරා දැමිය යුතු යැයි කීවද පුදුමයක් නැත. ඒ තරමට රාජිතලා කරනුයේ කසඩ දේශපාලනයකි. ඒ තුළ ඇත්තේම ඔහුගේ පැවැත්මය. එබැවින් අද ඔහු කියන කතාව කිසිසේත්ම තදින් වැලඳගත යුතු කතාවක් නොවන බව කිව යුතුය. අනෙක් අතට ඇමතිවරයා වෙනදා මාධ්‍යවේදීන්ව බයිට් කරනු වෙනුවට මෙවර සිදුවූයේ එයම ඔහුට පෙරළා ඒමය.

සැමරුම්

යුද සැමරුම් යනු රාජපක්ෂලාගේ එකම පැවැත්මය. ඔහු තව වසර ගණනාවකටම ගොඩනගා ගත් වත්කම එයය. රාජපක්ෂලා කාට වුව පවතින්නට නම් ඒ යුද්ධය සැමරීම යන දේ නොමැතිව බැරිය. ඒ ඔවුන්ගේ පැවැත්මය. මෙහිදී එය සාර්ථක වන්නට නම් උතුරේ සැමරීමද අවශ්‍යමය. මන්ද උතුරේ නොසමරන්නට මේ ගැන මෙතරම් කතා කළ යුතු දෙයක් ඉතිරි නොවන බැවිනි.
ඒ අනුව රාජිත අමාත්‍යවරයා කී දේ හොඳය. එහෙත් කී ආකාරය විකාරය. ඒ සියල්ලට වඩා අපට නම් රාජිත වැනි අයකු එවැන්නක් කීම අදාළම නැතිය. මන්ද ඔහු විශ්වාස කළ හැකි දේශපාලන සත්වයෙක් නොවන බැවිනි.
රාජිතගේ කතාවට ජනපතිගේද හිත රිදෙන අතර ඊට ජනපති නම නොකියා ප්‍රතිචාර දක්වනුයේ මොළේ අමාරුකාරයන් යනුවෙන් බැන වදිමිනි. අද දවසේ බොහෝ අය මොළේ අමාරුකාරයන් වී ඇත. රාජපක්ෂලාගේ කීර්තිය එහෙම් පිටින්ම ගන්නට වත්මන් ජනපතිට ඇත්තේ නොසන්සිඳෙන දොළකි. ඒ වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කිරීමට ඔහු සූදානම්ය. එයද එක්තරා මොළේ අමාරුවකි.
උතුරේ හෝ දකුණේ සැමරීම හරිද වැරදිද යන්න තර්ක කිරීම වැඩක් නැති වැඩකි. දකුණට උතුර වැරදිය. දකුණ හරිය. උතුරට එහි අනෙක් පැත්තය. මේ කතා සියල්ල දේශපාලන උප්පරවැට්ටිය. රටට ඇතිවන සෙතක් නැත. උතුරේ මියගිය වුන් සැමරුවේ මේ වසරේ පමණක් නොව යුද්ධය අහවර වූදා සිට ඔවුන්ද රහසින් මෙන්ම එළිපිටද මේ සැමරුම සිදුකරගෙන ගියේය. මහා වැඩක් හෝ අවැඩක් දකුණට නොවීය. එමෙන්ම දකුණද යුද්ධය අහවර කළදා කිරිබත් කා සතුට සැමරීය. ඉන්පසු වසරක් පාසා එය මහා ඉහළින් සමරමින් සිටිති. එය යුද ජයග්‍රහණය සැමරීමට වඩා රාජපක්ෂලා සැමරීමක්, සිහිකිරීමක් බඳුය. එබැවින් උතුර සමරණ තරමට දකුණට එය සැමරීම ආස්වාදජනක වී ඇත. ඇත්ත එයය. උතුර සද්ද නොකර සිටියා නම් දකුණේ සැමරීම පුස්වෙඩිල්ලක් බඳුය. දේශපාලකයන් හිස් කතාවක් කියා බොරු ජෝගියක් නටනවා ඇරෙන්නට මේ සැමරුම ජනතාවට දැනෙන්නේද? රණවිරුවන් මාරයි කියමින් ඒ අය ඇගැයීම ඒ අයට වුව සැබැවින්ම මාරද? ය
යුද්ධ අහවර වූ පසු එය කරපින්නාගෙන ගොස් වැඩක් වේද? වැඩක් වනුයේ ජීවත් වන අප රටක් ලෙස නැවත භේද නොවන්නට එකතුවන්නේ කෙසේද යන්න සිතීම නොවේද? සිංහල, දෙමළ බහුතරයම යුද්ධ තිබුණා නම් හොඳයැයි නොකියනු නියතය. නැවත ඇතිවනවා නම් එයද අනුමත නොකරති. එසේ නම් සැමරුම් කුමටද? දකුණේ වුව මියගිය අයගේ ඥාති මේ සැමරුමට හදවතින් එකතුවේද? ඒ අයට සැමරූ පළියට මියගිය අයගේ අඩුව නොමැකෙන බව සහතිකය. එය මතක සැමරුමට එහා නොයනු ඇත. උතුරේ සිදුවන්නේද එයමය. අහිමි වූයේ තම ස්වාමීන්ය. දරුවන්ය. එය පහනක් දල්වා මතක සැමරීම කාගේ වුව අයිතියකි. ඔවුන් රණවිරුවන්ද ත්‍රස්තවාදීන්ද යන්න වෙනම විග්‍රහ කළ යුතු දෑය. මොකා වුව තමන්ගේ එකා තමන්ට වටිනේය. එයට ජාති භේදයක් නැත.
උතුරේ වුව දැන් මේ සැමරීම් කරනුයේ ජීවත් වන උන්ය. එසේ නම් ඔවුන් මිනිසුන් ලෙස තවම අපි පිළිගන්නට සූදානම් නොවෙත්ද? එල්ටීටීඊය අහවර කළේ නම් මේ ඉන්න අය පහනක් දැල්වීමත් ඒ එළියටත් බියවන්නට තරම් දකුණේ මේරුන් නොමේරූ ළාමකයන්ද?
ප්‍රශ්නය ඇත්තේ හදවත්වලය. සිදුරු වී ඇත්තේ හදවත්ය. එය උතුරට මෙන්ම දකුණටද පොදුය. එහෙත් දෙපැත්තේම දේශපාලනඥයන් කරනුයේ ඒ අඳුරේ එළිපත්තු කොට තම පැවැත්ම ආලෝකමත් කරගැනීමය. දකුණේ දේශපාලකයා යුද්ධය අහවර කිරීම ඡන්ද ගුණ්ඩුවක් බව දනිති. එමෙන්ම උතුරේ දේශපාලකයා තමන් අසමත් නිසා උතුරේ අය තවම කැමති ප්‍රභාකරන්ට බව අදහති. එබැවින් ඔවුහු ඊට ගැළපෙන අයුරින් සිටිති. දකුණේ රාජපක්ෂලාගේ වැඩෙත් උතුරේ සුරේෂ්ලාගේ වැඩෙත් ලොකු වෙනසක් නැත. දෙකම එකය.
ඒ අතර රාජිතලා බලනුයේ මේ දෙපැත්තම බේරාගන්නටය. රාජිතගේ ප්‍රකාශය තලු මරමින් රැගෙන යන්නට දෙයක් නොවේ. මන්ද ඔහු හෙට වෙන පිලක සිට වෙනම දෙයක් කිවහැකි බැවිනි.
කැබිනට් දැනුම්දීමේ විකාරය
අද දවසේ කැබිනට් දැනුම්දීමේ සාකච්ඡා යනු ආණ්ඩුවේ ප්‍රශ්න වහගන්නට මැරයකු ඉදිරියට දැමීමට සමානය. ඒ මැරයා රාජිත බව ඔහු පසුගිය කාලයේ අගේට ඔප්පු කළේය. මාධ්‍යවේදීන් කුමන හෝ ඇදෙන ප්‍රශ්නයක් ඇසූ කල කුපිත වන ඔහු පෙරළා ඇසුවේ රාජපක්ෂගේ කාලයේ ඔයගොල්ලෝ කොහෙද හිටියේ යන්නය. එයින් නොකියා කියන්නේ කුමක්ද? ඒ කාලේ ප්‍රශ්න අසන්නට තිබූ නොහැකියාව පමණක්ද? නැත. අද දවසේ ප්‍රශ්න නොඇසිය යුතු බවත් එය ඉඟි මරයි. කෙසේ හෝ ඒ කැබිනට් මැරයා මේ පාර මාධ්‍ය මැරයන් අතින් සල්ලන් විය. සල්ලන් වූවා යැයි අප කියනුයේ වෙන දෙයකට නොව රටේ බහුතරය තුළ එම මොහොතේ කැබිනට් මැරයාට වඩා මාධ්‍ය මැරයන් ප්‍රබල බව ඒත්තු ගැන්වුණ බැවිනි. රටේ ජනාධිපති පවා කැබිනට් මැරයා නොමරා මැරූ බැවිනි.
කැබිනට් දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡා යනු අද දවසේ හිරිකිතම දසුනක් වී ඇත. එයට යන මාධ්‍යවේදීන් රටේ ජනයාට වැදගත් කිසිවක් ප්‍රශ්න නොකරන අතර ප්‍රශ්න කරන මෝඩ කතා ඊට වඩා මෝඩ අයුරින් අහවර කිරීම කැබිනට් ප්‍රකාශකගේ වැඬේ බවට පත්වී තිබේ. එහෙත් අවසානයේ දෙපිරිසම පලතුරු කා බී අඹ යහළුවන් වී එළියට බසිති. මේ ජෝගියෙන් හැමදා වුණේ රටේ දැවැන්ත ප්‍රශ්න විහිළුවට ගැනීමය. අද මේ සිදුව ඇත්තේද එයමය. මෙහි රාජිත පැත්ත හෝ මාධ්‍ය පැත්ත කියා එක් පැත්තක් ගැනීම විකාරයකි දෙපැත්තම නොගත යුත්තේ දෙපැත්තම කරනුයේ දේශපාලන උප්පරවැට්ටියක් බැවිනි.
ආණ්ඩුවේ පැවැත්මට උතුරේ හොඳ හිත අවශ්‍යය. එබැවින් රාජිත කරනුයේ ඒ හොඳ හිත දිනාගැනීමය. මාධ්‍ය බොහොමයක් දකුණේ මෙන්ම රාජපක්ෂවාදීන්ය. ඔවුන්ට අවැසි ඔවුන් රට ජාතිය ගැන හිතන ජාතිමාමකයන් බව පෙන්වීමටය.
මෙවැනි පුවත් සමාජ ජාලා මාධ්‍යයන්ට එළිවෙනකම්ම ප්‍රශ්න කළ යුතු විසඳිය යුතු අපූරු පැනය.
වීරයා රාජිතද? මාධ්‍යයද? යන්නට අවසානයේ කිවයුත්තේ රාජිත දිසානායකගේ නාට්‍යයක නමකි. එනම් ‘වීරයා මැරිලා’ යන්නය. ඒ ද ගොඩක් කල් බවය.