තොරතුරු පනතට කෙණෙහිලි කරන යෝජිත විගණන පනත

විශේෂ ලියුම්කරුවකු විසිනි.

තොරතුරු ඉල්ලීමේ පනත හඳුන්වා දීම රජයේ රිපෝට් කාඞ් එකේ ඉහළින්ම තැබීමට ජනාධිපති, අගමැති හා අවශේෂ මැති ඇමතිවරු බෙහෙවින් උත්සුක වන බව අපට දකින්නට ලැබේ. ජිනීවා මානව හිමිකම් කවුන්සිල සාකච්ඡාවලදී රජය තම යහපත්බවේ උච්චතම සාධකය ලෙස හුවා දැක්වූවේ තොරතුරු ඉල්ලීමේ පනතයි. අවුරුදු ගණනාවක් වළිකෑමෙන් පසු පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත කරගත් තොරතුරු පනත මෙරට පුරවැසියන්ගේ ඉමහත් ජයග්‍රහණයක් බවට කිසිදු සැකයක් නැත. තම දරුවා පාසලට ඇතුළු නො කර ගැනීම, තමා මුහුණ දුන් සම්මුඛ පරීක්ෂණයේලකුණු ලබා දුන් ආකාරය දැන ගැනීම, රජයේ ඉඩම් පවරා දුන් ආකාරය, ගමේ පාරට වෙන් කළ මුදල වියදම් වූ ආකාරය ගැන තොරතුරු දැනගැනීමේ සිට කැබිනට් පත්‍රිකා, මෙතෙක් අනාවරණය නොකළ අණපනත් කෙටුම්පත්, කොමිෂන් සභා විමර්ශන වාර්තා ලබාගැනීම දක්වා කුදු මහත් කටයුතු සම්බන්ධ තොරතුරු ඉල්ලීම් ඉටුකරදීම මේ පනත යටතේ රාජ්‍ය ආයතනවලින් සිදුවේ.
එහෙත් මේ ජයග්‍රහණය ආරක්ෂා කර දෙනවා වෙනුවට එය දුර්වල කරන වෙනත් අණපනත් ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවක් දැන් දැන් දක්නට ලැබේ. මේ අතරින් වඩාත් මෑතක උත්සාහය යෝජිත විගණන කොමිසම පිළිබඳ පනතට ඇතුළත් කර ඇති ඇතැම් වගන්තියකින් පැහැදිලි වේ. එම පනත් කෙටුම්පතේ නවවැනි වගන්තියට අනුව තොරතුරු පනත වැනි තොරතුරු හෙළිදරව් කිරීමට නියම කරනු ලබන නීතියක කුමක් සඳහන් වුවද යම් තොරතුරක් ලබාදෙන තැනැත්තාගේ හෝ ආයතනයේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොර ව එම තොරතුරු පාදක කරගත් වාර්තාවක් හෝ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු විගණකාධිපතිවරයා විසින් එම තොරතුරු හෙළිදරව් නො කළ යුතු ය. මේ විධානය මගින් තොරතුරු ඉල්ලීමේ පනත එක්තරා අන්දමකට අවමානයට ලක් කර තිබේ. මන්ද තුන්වැනි පාර්ශ්වයක් විසින් රහසිගතව සපයන තොරතුරු හෙළිදරව් කළ යුතු අවස්ථාවල දී ඒ පිළිබඳ ව අදාළ ආයතනය තුන්වැනි පාර්ශ්වයෙන් විමසිය යුතු බවට තොරතුරු පනතේ 29 වෙනි වගන්තියෙන් ඉඩ සලසා තිබිය දී විගණන පනත මගින් තොරතුරු පනත නො තකා හැරිය යුතුයැ’යි තීරණය කිරීම අමනකමකි. තොරතුරු පනතට අනුව එසේ රහසිගතව සපයන තොරතුරක් ප්‍රකාශයට පත් නො කළ යුතු බව තුන්වැනි පාර්ශ්වයේ අභිමතය වුව ද වඩාත් වැදගත් මහජන යහපතක් සඳහා එම තොරතුර හෙළිදරව් කිරීම අවශ්‍යයැ’යි සැලකෙන අවස්ථාවලදී තොරතුරු කොමිසමේ අවසරය ඇතිව එය හෙළිදරව් කළ හැකිය.
එහෙත් විගණන පනතේ යෝජිත විධානයට අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු හෙළිදරව් කළ නොහැක්කේ තුන්වැනි පාර්ශ්වයක් විසින් විගණකාධිපතිවරයාට රහසිගතව සපයන ලද තොරතුරු මත සම්පාදනය කරන ලද වාර්තා හා ප්‍රකාශන පමණක් නොව තුන්වැනි පාර්ශ්වයක් විසින් විවෘතව ම සපයන තොරතුරු අඩංගු වාර්තා හා ප්‍රකාශන ද තොරතුරු පනත යටතේ වුව ද ඉල්ලා සිටිය නොහැකිය.
රජයේ ආයතනවල විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විගණකාධිපතිට සාමාන්‍යයෙන් වසර තුන හතරක කාලයක් ගත වේ. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි අලුත්ම විගණන වාර්තා අයත් වන්නේ 2014 වසරට ය. ආයතනික අකටයුතු හා දූෂණ පිළිබඳව තොරතුරු හෙළිදරව් කළ හැක්කේ අවුරුදු තුන හතරක් ගිය පසු නම් බොහෝ විට ඒ සඳහා වගකිව යුතු ආයතන ප්‍රධානීන් සහ ආණ්ඩු ද ඒ වන විට නො සිටිය හැකිය. කොටින් ම කලට වේලාවට අකටයුතු හෙළිදරව් කිරීමට ජනමාධ්‍යවලට අවශ්‍ය වන වැදගත් තොරතුරු ලබා දීමෙන් ද යෝජිත විගණන පනතේ 9 වැනි ඡේදය විගණකාධිපතිවරයා වළක්වා තිබේ. ඒ අනුව තම වාර්තාකරණය සඳහා කල් ඇතිව විගණන තොරතුරු ලබා ගැනීමට ජනමාධ්‍යකරුවන්ට මෙතෙක් තිබූ නිදහස ද යෝජිත පනතින් අවහිර කර තිබේ. විගණනයක් කළ වහාම ඒ මගින් හෙළිවන අයුතු අකටයුතුකම් වැළැක්වීමට මහජන මතයක් ගොඩනැගීමට අවහිර කරන විගණන පනතක් කොස් කොටන්න දැයි අප ඇසිය යුතු ය. මෙය නම් හරියටම හොරුන් පැන යනතුරු හොරකම හෙළිදරව් නොකළ සිටිය යුතුයැ’යි කීම වැනි විධානයකි.
අනෙක් අතට සිය විමර්ශනයකින් හෙළිදරව් වන තොරතුරු අනාවරණය නො කිරීම සාධාරණීකරණය කළ හැකි අවස්ථා ද විගණකාධිපතිවරයාට තිබෙන්නට පුළුවනි. ඒ ගැන අපේ ආරෝවක් නොමැත. උදාහරණයක් වශයෙන් සිය විමර්ශනයක් මගින් කිසියම් පුද්ගලයකුට හෝ ආයතනයකට අපරාධමය චෝදනා එල්ල කළ හැකියැ’යි හැඟෙන අවස්ථාවලදී එම චෝදනාව පොලිසිය හෝ නීතිපති දෙපාර්තමේන්තුව හරහා අධිකරණයකට ලක් කරන තෙක් චෝදනාවට පාදක තොරතුරු හෙළිදරව් නො කිරීම වැදගත් විය හැකිය. එවැනි අවස්ථාවල දී තොරතුරු හෙළිදරව් නො කර සිටිය හැකි බව තොරතුරු පනතේ පස්වැනි වගන්තියේ දක්වා ඇති ව්‍යතිරේක අනුව පැහැදිලි ය. චෝදනා ගොනු කිරීමට අවශ්‍ය එවැනි තොරතුරු එළිදරව් නොකර සිටීමට තොරතුරු පනතට අනුව විගණකාධිපතිවරයාට පහසුවෙන් ම කළ හැකිය. තොරතුරු ඉල්ලන්නා විසින් එම තීරණය අභියෝගයට ලක් කළ හොත් විගණකාධිපතිවරයා කළයුත්තේ තම තීරණය ස්වාධීන තොරතුරු කොමිසම හමුවේ සාධාරණීකරණය කිරීම පමණි. විගණකාධිපතිවරයාගේ මතයට තොරතුරු කොමිසම එකඟ නොවන අවස්ථාවලදී උපරිමාධිකරණ හමුවේ කොමිසමේ තීරණය අභියෝගයට ලක්කිරීමට තොරතුරු පනතට අනුව විගණකාධිපතිවරයාට හැකිය.
එහෙත් යෝජිත විගණන පනතට අනුව වසර තුන හතරක් ගත වූවද තම වාර්තාව පාර්ලිමේන්තුවට සපයන තුරු, තොරතුරු කොමිසමේ සමාලෝචනයකට ලක්වීමෙන් තොර ව, තොරතුරු පනත නො සලකා, තමාට අභිමත පරිදි තොරතුරු වසන් කර තබා ගැනීමට විගණකාධිපතිවරයාට හැකිය. හෙළිදරව් නො කිරීමට වඩා හෙළිදරව් කිරීම මහජන යහපත සඳහා අවශ්‍යයැ’යි විගණකාධිපතිවරයාට ම හැඟෙන අවස්ථාවල දී වුව ද යෝජිත නීතිය යටතේ විගණකාධිපතිවරයාට එය කළ නොහැකිය. එසේ කළහොත් එය විගණකාධිපතිවරයාට ද දඬුවම් විඳීමට සිදුවිය හැකි වරදකි. මොනතරම් මුග්ධකමක් ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තියට අනුව තොරතුරු ලබාගැනීමේ අයිතිය මහජනතාවගේ මූලික අයිතියකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් මහජනතාවගේ පරමාධිපත්‍යයේ අත්‍යවශ්‍ය අංගයක් බවත් සියලු ආයතන විසින් ඒවා ගරු කරනු, වර්ධනය කරනු ආරක්ෂා කරනු ලැබිය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙසෙසින් ම සඳහන් වේ. මහජන ඡන්දයෙන් පත්වන පාර්ලිමේන්තුවක් මගින් මහජන පරමාධිපත්‍ය ක්‍රියාත්මකවීම සිදුවන නමුත් පාර්ලිමේන්තුව යනු මහජන පරමාධිපත්‍යයේ මූලික ම අංගයක් වන මහජනතාව සතු මූලික අයිතිවාසිකම්වලට ආදේශකයක් නොවේ. ඒ නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙක් හෙළිදරව් කළ යුතු තොරතුරු සඟවා තබාගෙන සිටිය හැකියැ’යි සිතීම මහජන පරමාධිපත්‍යයේ පදනම වන මූලික අයිතීන් ලඝු කොට තැකීමකි.
ඇතැම් මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය යුතු ආකාරය නීතිය මගින් නියම කළ යුතුයැ’යි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිශ්චය කළ විට ඒ සඳහා නීති සම්පාදනය කළ යුතු ය. මූලික අයිතියක් වන තොරතුරු ලබාගැනීමේ අයිතිය පිළිබඳ ක්‍රමවේදය පැහැදිලි කරන තොරතුරු පනත ද ඒ අනුව සම්මත කළ එකකි. එවැනි පනත්වල තිබිය හැකි සීමා නීතියෙන් නියම විය යුතු නමුත් එම සීමා කිසිවක් එක් එක් අයට ඕනෑ අන්දමට හිතුමතයේ තීරණය කොට සම්මත කර ගත නොහැකිය. මන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ම සඳහන් කරන පරිදි නීතියෙන් නියම කරන එවැනි සීමා “ප්‍රජාත්‍රන්ත්‍රවාදී සමාජයකට අත්‍යවශ්‍ය වූ ඒවා” විය යුතු ය. හෙළිදරව් කිරීමෙන් සිදුවන හානියට වඩා ප්‍රබලව මහජන යහපත සඳහා තොරතුරු හෙළිදරව් කිරීම වැදගත් වන අවස්ථාවල දී හැර අන් අවස්ථාවල දී හෙළිදරව් කළ නො හැකි තොරතුරු ලැයිස්තුවක් තොරතුරු පනතේ පස් වැනි වගන්තිය යටතේ දක්වා ඇත්තේ එකී සීමා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පවත්වා ගෙන යාමට අත්‍යවශ්‍ය වන බැවිනි.
එහෙත් යෝජිත විගණන පනත මගින් තොරතුරු පනත අඩාල කොට තොරතුරු අයිතියට පැනවීමට අදහස් කරන සීමා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අවශ්‍යයැ‘යි කිසි සේත් කිව නොහැකිය. මන්ද තොරතුරු ලබා ගැනීමේ ව්‍යවස්ථාපිත මූලික අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයට නොගැළපෙන ලෙස වෙනත් නීතියක් මගින් පාගා නො දමා තොරතුරු කොමිසමේ හා අධිකරණයේ සමාලෝචනය ට යටත් ව තම විමර්ශන සඳහා අවශ්‍ය වන තොරතුරු හෙළිදරව් කිරීම සීමා කිරීමට තොරතුරු පනත යටතේ ම විගණකාධිපතිවරයාට හැකි වන බැවිනි. තොරතුරු පනත අබිබවා විගණන පනතින් යෝජනා කරන මූලික අයිතිවාසිකමි සීමා කිරීම් ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගෙන යාමට වඩා ප්‍රකාශනයේ අයිතිය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය අවහිර කිරීමට කරන සීමා කිරීම් ය. මහජන පරමාධිපත්‍යයේ අනුල්ලංඝනීය ගුණාංගයක් වන මූලික අයිතිවාසිකම් සීමා කළ හැක්කේ අදාළ සීමා කිරීම් ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගෙන යාමට ඇත්ත වශයෙන් ම අත්‍යවශ්‍ය වන්නේ නම් පමණි යන්න අණපනත් කෙටුම්පත් කරන්නෝ ද ඒවා සම්මත කරන මහජන නියෝජිතයෝ ද තරයේ වටහා ගත යුතු ය.