රාවය

භාෂාවේ නිධානය ඇවිස්සීම.

භාෂාවේ නිධානය ඇවිස්සීම.

වින්ද්‍යා ගමගේ

මහරගම – පිටකොටුව බස් මාර්ගයේ කොළඹ කෞතුකාගාරය ඉදිරියේ ඇති මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ ගමන් කරන අයකුට දුටු සැනින් වැදගත් යයි හැඟුනත් ක්ෂණයකින් අමතක වී යන ගොඩනැගිලි කිහිපය අතර ‘සිංහල ශබ්ද කෝෂ සම්පාදන ආයතනය’ ට ප්‍රමුඛත්වයක් හිමි වේ. කෞතුකාගාරය ඉදිරියෙන් කහ ඉර මාරු වූ ගමන් වික්ටෝරියානු ආකෘතියේ විශාල ආරුක්කු වලින් සුසැදි ඒ මහා දැනුම් සම්පාදනාගාරයේ දිගු ආලින්දය දිස් වේ. ආලින්දයේ එක් කෙලවරක සංස්කෘතික දෙපාර්තමේන්තුවට අයත් පොත් අලෙවි හලටත් අනෙක් කෙලවර ඇති මුරකරු මේසයටත් මැදි වූ දොරටුවෙන් ඇතුල් වූ විට දිස් වන්නේ දැවැන්ත ශාලාවකි. එහි පසෙක එක් පෙළට තබා ඇති පරණ ලී පොත් රාක්ක රැසක් ද අනෙක් පස පරණ ලී මේස ගණනාවක වැඩි කලබලයක් නැතිව වැඩ කරන සේවක මණ්ඩලයත් දක්නා ලැබෙයි. 1927 වර්ශයේ සිට සිංහල ශබ්දකෝෂ කාර්යාලය ලෙස හැඳින් වූ මම ආයතනය 2017 වසරේ සිට ශබ්දකෝෂ සම්පාදන ආයතනය ලෙස හඳුන්වයි. එහි ප්‍රධාන සම්මානිත මහාචාර්ය රෝහිණී පරණවිතාන මහත්මිය හමුවීම මහගෙදර පැරණි පෙට්ටගමක් විවෘත කරමින් යටගිය ඉසුරු සෙවීමක් වැනි ආශ්වාදනීය අත්දැකීමක් විය. ඇගේ මතක මාවත දිගේ සිංහල ශබ්දකෝෂයේ කථාවට මෙසේ මුලපුරමු.

ඉතිහාසය

අදට අවුරුදු 91 පමණ වන මේ ආයතනය ඉංග්‍රීසි පාලන සමයේ කොළඹ කෞතුකාගාරයේ දේශන ශාලාව වශයෙන් භාවිත වුණා. ශබ්දකෝෂ සැකසීම ශ්‍රී ලංකාව තුළ දීර්ඝ ඉතිහාසයක් හිමි වන කර්තව්‍යයක්. අනුරාධපුර යුගයේ දම්පියා අටුවා ගැටපදය ලියවුණේ ධම්ම පදට්ඨ කතාව තියන පාලි ග්‍රන්ථය ඇසුරු කළ අයට එය වැඩි වශයෙන් පැහැදිලි කිරීමට ගැටපදයක් වශයෙන්. නොයෙක් පාලි පොත් ඇසුරු කරගෙන ඒ කාලේ දී ලියවුන ගැටපද සමහරක් නම් ජාතක අටුවා ගැටපදය, අභිධර්ම අර්ථ සංග්‍රහය, වෙසතුරු දා සන්නය, ආදියයි. මීටත් වඩා ග්‍රන්ථ බොහොමයක් ලියවෙන්නට ඇතත් අද වන විට ඉතිරිව ඇත්තේ කිහිපයක් පමණයි. මේඝ දූත සන්නය වැනි සංස්කෘතික පොත් සිංහලෙන් කියවන්නන් සඳහා ශබ්දකෝෂ නොතිබුණත් ‘නිඝණ්ඩු’ නම් අර්ථ විවරණ ග්‍රන්ථ තිබුණා. පසුව පෘතුගීසි, ලන්දේසි, සමයේ දී මේ ජාතීන්ට අවශ්‍ය වුණා තමන්ගේ භාෂාවෙන් වැඩ කරන්න. ලක් වැසියන් එම භාෂා නොදන්නා නිසාත් ඒ ජාතීන් සිංහල භාෂාව නොදත් නිසාත් නිලධාරීන් හා සාමාන්‍ය ජනතාවගේ භාවිතයට ශබ්දකෝෂ බිහි වුණා. ලන්දේසී යුගයේ සයිමන් කැට් නමැත්තෙක් ශබ්දකෝෂයක් සම්පාදනය කර තිබුණා. පෘතුගීසි වචන සඳහා සිංහලෙන් අර්ථ දක්වා , තීන්ත පෑනෙන් ලියන ලද ශබ්දකෝෂ අදටත් පෘතුගාලයේ සුරැකිව තිබෙනු මට දැකගැනීමට අවස්ථාව ලැබුණා. එම ග්‍රන්ථ පරිහරණය තුළින් ඒ යුගයේ තිබූ සිංහල වචන මොනවාද යන්න හඳුනාගත හැක. ඒ හැරුණු විට පෘතුගීසි වචනයට සිංහල මෙන්ම දමිළ අර්ථයත් අඩංගු කළ ත්‍රෛභාෂා ශබ්දකෝෂ පවා ඒ කාලයේ තිබුණ අතර ඒවායේ මූලික අරමුණ වූයේ ආගම ප්‍රචාරය කිරීමයි. ඒ නිසාම එවකට විසූ සිංහලයන්ට හොඳින් පෘතුගීසි භාෂාව කතා කිරීමේ හැකියාව තිබුණා. එකදාස් අටසිය ගණන්වල ජීවත් වූ ජේම්ස් ද අල්විස් නම් ජාතික ව්‍යාපාරය වෙනුවෙන් කටයුතු කළ රාජ්‍යතාන්ත්‍රික නීතීඥයා කාව්‍යකරණයට ළැදිකමක් දැක්වූවෙක්. ඔහු විසින් ඒ දිනවල පැවති තුරඟ තරඟ පිළිබඳව ලියූ කවි පන්තියක ඉංග්‍රීසි, සිංහල, දෙමළ හා පෘතුගීසි භාෂාව භාවිත කරමින් මිනිසුන් ජය ඝෝෂා කළ බව දැක්වීමට අදාළ භාෂා වලින් වාගාලාප ඇතුළත් කොට තිබුණා. ඉංග්‍රීසි පාලකයන් අනෙක් යටත් විජිතවාදීන්ට වඩා සිංහල සංස්කෘතියේ දියුණුවක් ඇති කිරීමට කටයුතු කළ බව පේනවා. ඔවුන් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව, ජනශ්‍රැති හා සිංහල භාෂාව පිළිබඳ වැඩි උනන්දුවක් දැක්වූවා. ඒ අනුව 19 වන සියවසේ අග භාගයේත්, 20වන සියවසේ මුල් කාලයේත් සිංහල භාෂාවට ශබ්දකෝෂයක් අවශ්‍ය බවට දේශීය හා විදේශීය විද්වතුන් අතර කතිකාවක් ඇතිවුණා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සිංහල භාෂාවට ශබ්දකෝෂයක් ආරම්භ වූණා. එහි ප්‍රථම කර්තෘ ලෙස ශ්‍රීමත් ඩී.බී.ජයතිලකයන්ද උපදේශක ලෙස ජර්මන් ජාතික ගයිගර් ද කර්තෘ මණ්ඩල සාමාජිකයින් ලෙස ජූලියස් ලැනරෝල්, මුහන්දිරම් ඩබ්.ඒ. ගුණවර්ධන හා මුදලිඳු ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර යන කීර්තිමත් පුද්ගලයන් කටයුතු කළා. එවකට මුද්‍රණය වූ පොත් නොතිබීම නිසාත් කථා ව්‍යවහාරයෙන් වචන රැස් කිරීම ආදිය සංවිධානය කිරීමටත් විශාල කාලයක් හා ශ්‍රමයක් දරමින් කටයුතු කිරීමට මෙම කර්තෘ මණ්ඩලයට සිදු වුණා. එවකට තිබූ පුස්කොළ පොත් මුද්‍රණය කිරීමට සිදු වුණා. කර්තෘ මණ්ඩලය විසින් සද්ධර්මරත්නාවලිය, පන්සිය පනස් ජාතක පොත, බුදු ගුණ අලංකාරය, වැනි පොත් සංස්කරණය කරමින් ඒවා තුළින් වචන ලබා ගත්තා. මේ නිසාම ශබ්ද කෝෂ සම්පාදනයට විශාල කාලයක් ගතවුණා සේම මෙම කර්තෘ මණ්ඩලයට විවිධ භාෂාවන් හා ක්ෂේත්‍රයන් පිළිබඳව තිබූ දැනුම මේ සඳහා මහෝපකාරී වුණා.
වර්තමානයේදීත් ශබ්දකෝෂ ආයතනය සඳහා වෙන් වූ උපදේශක සභාවක් සිටිනවා. ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි, අගරදගුරු ඔස්වල්ඞ් ගෝමස් පියනම, විමල් බලගල්ල මහාචාර්ය තුමා, ඊ.ඒ. වික්‍රමසිංහ වැනි විද්වතුන් දස දෙනකුගෙන් සැදුම්ලත් මෙම උපදේශක සභාව ආයතනයේ දියුණුව වෙනුවෙන් විවිධ යෝජනා ඉදිරිපත් කිරීම හා උපදෙස් ලබා දීමෙන් ආයතනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරනවා.
බත් පතේ තිබී ගල් සැපීමෙන් බත් රසයට බාධා වන්නේ යම් සේද පොතක තැන තැන අරුත් නොදන්නා වචන හමුවීම පොත රස විඳීමට අකුල් හෙළන බව නොරහසකි. ශබ්ද කෝෂයක වටිනාකම කෙතරම් දැයි දැනෙන්නේ එවන් මෙහොතකයි. බැලූ බැල්මට වචන ගණනාවක එකතුවක් ලෙස පෙනුනද අකාරාදී පිළිවෙළට ශබ්දකෝෂයක් සම්පාදනය කිරීම පරිගණක තාක්ෂණය තබා මුද්‍රණ තාක්ෂණයවත් නොදියුණුව තිබූ යුගයක කෙතරම් භාරදූර කර්ත්‍යවයක් වන්නට ඇත්ද?

ශබ්දකෝෂ සැකසීමේ ක්‍රියාවලිය

කථා ව්‍යවහාරයෙන් හා ග්‍රන්ථ පරිශීලනයෙන් සොයා ගන්නා වචන කාඞ් එකක සටහන් කරනවා. ඒවා යොමු පත් ලෙස හඳුන්වනවා. පසුව අදාළ වචනය අඩංගු වන වාක්‍යය, එම වාක්‍යය අඩංගු මුලාශ්‍රය ද යොමු පතේ සටහන් කරනවා. මේ ආකාරයට බොහෝ කාලයක් යොමුපත් ලීවිම සිදු කරනවා. පසුව ඒවා අකාරාදී පිළිවෙළට සකස් කර තබනවා. ඉන්පසු ශබ්දකෝෂයේ වචනවල අර්ථ ලිවීම ආරම්භ කරනවා. උදාහරණයක් ලෙස ‘ සංවර්ධනය’ කියන වචනය යොමු පතක ලියනවා. පසුව එම වචනය යෙදෙන වාක්‍ය සඳහන් කරනවා. ඉන්පසුව වචනය සොයාගත් පොත සහ පිටුව, වචනය කුමන භාෂාවකින් පැමිණි එකක් ද යන්න සඳහන් කරනවා. එක් වචනයකට මෙවැනි යොමු පත් රාශියක් තිබිය හැකියි. ඉන්පසු අදාළ පොත් ගෙන පරීක්ෂා කර බලනවා කුමන අර්ථයෙන්ද ‘සංවර්ධනය’ කියන වචනය භාවිතා කර ඇත්තේ කියා. එ අනුව එහි අර්ථය තීරණය කරනවා. සමහර වචනවලට අර්ථ රාශියක් තිබෙන්නේ මෙසේ විවිධ ග්‍රන්ථවල ඒවා සඳහන් කර ඇති ආකාරය අනුවයි. මුල් කාලයේ සෑම වචනයක් සඳහාම මෙම ක්‍රියාවලිය සිදු කළ යුතු වූ නිසා අධික ලෙස කාලය වැය වුණා. මෙසේ සම්පාදනය කරන ශබ්දකෝෂය සෝදුපත් බැලීමෙන් පසුව මුද්‍රණයට යොමු කරණවා. 1992 වන විට සිංහල- සිංහල ශබ්දකෝෂය කලාප 26 කින් මුද්‍රණය කර නිමකළා. ‘අ’ යන්නේ සිට හෝඩියේ සෑම අකුරක්ම නියෝජනය වන වචන මේ පොත් 26 තුළ ඇතුළත් වෙනවා. ඒත් ශබ්ද කෝෂය සම්පාදනය මෙතනින් හමාර වන්නේ නැහැ. භාෂාවට අලුතින් එකතු වන වචන එක්කර අකාරාදී පිළිවෙළට සංශෝධන මුද්‍රණ වශයෙන් ඉදිරිපත් කරනවා. මෙසේ හෝඩියේ අකුරු සියල්ලේම සංශෝධන සිදු කර නිමවීමෙන් පසු නැවත ‘අ’ සිට සංශෝධන සිදු කිරීම ආරම්භ කරනවා.

කාර්යභාරය

ආයතනයේ ප්‍රධානතම කාර්යභාරය වන්නේ ශබ්දකෝෂ සම්පාදනය කිරීමයි. මේ යටතේ අද වන විට ව්‍යාපෘති 5 ක් ක්‍රියාත්මක වෙනවා.
1. සිංහල – සිංහල නෛරුත්තික මහා ශබ්දකෝෂය
කලාප 26 කින් යුත් මෙය 1992 වර්ෂයේ නිමකළා. මෙම ශබ්දකෝෂය සම්පාදනය කිරීමේ දී අනුගමනය කළ ක්‍රියාවලිය ඔක්ස්ෆර්ඞ් ශබ්දකෝෂයේ සම්පාදන ක්‍රියාවලිය හා සමාන වෙනවා. එනිසාම සම්පාදනයට විශාල කාලයක් ගත වූ ශාස්ත්‍රිය ව්‍යාපාරයක්. සිංහල හෝඩියේ සියලුම අකුරු සඳහා විවිධ කලාප වෙන් ව තිබෙනවා. දැනට නව වචන එක් කිරීම සඳහා සංශෝධන සිදු කරනවා. මෙම ශාස්ත්‍රීය මැදිහත් වීම සිංහල භාෂාව පිළිබඳ පර්යේෂණ කරන්නට වැදගත් වෙනවා.
2. සිංහල – ඉංග්‍රීසි නෛරුත්තික මහා ශබ්දකෝෂය
ඉහත සිංහල – සිංහල ශබ්දකෝෂයේ ඇති වචන ඉංග්‍රීසියට පරිවර්තනය කර දැක්වීම මෙහිදී සිදු වනවා. තවමත් නිම වී නැති මේ ව්‍යාපෘතිය ආරම්භ කළ සමයේ ඉංග්‍රීසීන් මේ සම්බන්ධව උනන්දුවෙන් කටයුතු කළත් පසුව මෙයට ඇති ඉල්ලුම අඩු වීම නිසා අනෙක් ව්‍යාපෘති වලට ප්‍රමුඛස්ථානය දීම නිසාත් මෙහි සම්පාදන කටයුතු ප්‍රමාද වුණා.
3. සිංහල – ඉංග්‍රීසි සංක්‍ෂිප්ත ශබ්දකෝෂය
දැනට වැඩ නිම වී ඇති අතර සංශෝධන සිදු කරමින් පවතිනවා.
4. සිංහල – සිංහල සංක්‍ෂිප්ත ශබ්දකෝෂය
මෙය සිංහල – සිංහල නෛරුත්තික ශබ්දකෝෂයේ සංක්ෂිප්ත සංස්කරණයයි. වචනයක ව්‍යාකරණ ප්‍රවර්ගය හා අර්ථයක් පමණක් මෙහි ඇතුළත් වෙනවා. සාමාන්‍ය පුද්ගල භාවිතයට ප්‍රමාණවත් වන ලෙස මෙහි සංශෝධන සිදු කරමින් පවතිනවා.
5. සිංහල – දෙමළ සංක්‍ෂිප්ත ශබ්දකෝෂය
සිංහල වචනය සඳහා දෙමළ හා ඉංග්‍රීසි භාෂා වලින් තේරුම් සහිත ශබ්ද කෝෂයකි. දැනට කලාප 2ක් පමණක් නිකුත් වී ඇති අතර ඉතිරි අකුරු සඳහා සම්පාදන කටයුතු සිදු වෙමින් පවතිනවා.
■ අක්ෂර වින්‍යාසය පිළිබඳ ශබ්දකෝෂය
සිංහල, සිංහල ශබ්දකෝෂයෙන් තෝරාගත් අක්ෂර වින්‍යාසයේ නිරන්තරයෙන් වැරදි සිදු කරන වචන 7500 පමණ තෝරාගෙන සමාජ අවශ්‍යතාව උදෙසා සම්පාදනය කරන ලද්දකි.
■ අන්තර්ජාල ශබ්දකෝෂය
ශබ්දකෝෂ සම්පාදක ආයතනයේ වෙබ් අඩවියේ ඇති මෙහි දැනට ක්‍රියාත්මක වන්නේ සිංහල – සිංහල සංක්‍ෂිප්ත ශබ්දකෝෂයට අයත් කොටස පමණී. ආයතනයේ ඇති තාක්ෂණය හා මානව සම්පත් හිඟකම මෙය සම්පූර්ණ කිරීමේ දී අභියෝගයක් වී ඇත.
ඉහත ශබ්දකෝෂ සම්පාදන කටයුතු වලට අමතරව පාසල් හා විශ්වවිද්‍යාල වල දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීම, පිට පළාත්වල ගොස් ජනවහර රැස් කිරීම, ජන වහරෙන් හා පොත් වලින් ලබාගත් නව වචන සංශෝධනය යටතේ ශබ්දකෝෂයට එක් කිරීම වගේම මෑතක සිට ගුවන් විදුලියේ ස්වදේශීය සේවයේ විදුල නාලිකාවේ සතියේ දිනවල සවස 2.30ට පටන් ගෙන විනාඩි 15 ක කාලයක් පුරා වචනයක් සම්බන්ධව විග්‍රහ කිරීමේ වැඩසටහනක් දින 5 දීම විකාශය කරනවා.

අලුත් වචන

සමහර අවස්ථාවල සමහරු වචන ගලපලා අලුත් වචන හදනවා.ඒත් පදනමක් ඇතිවයි වචන සෑදිය යුත්තේ. සමහර වචන තියනවා අපි ඒවා කාලයෙන් කාලයට භාවිත කළත් ඒවා ව්‍යවහාරයේ පවතින්නේ නැහැ. භාෂාවට එක් වන්නේ නැහැ. මේ දින වල‘පට්ට’ කියලා වචනයක් බොහෝ සෙයින් භාවිත වෙනවා. එය ‘අතිශය’ ‘ෂෝක්’ කියන අදහසින් භාවිත වෙනවා.ඒත් එය මීට බොහෝ කලකට පෙර කටින් පිට කිරීම නොකළ, නුසුදුසු වාතාවරණයන් වලදී භාවිත කළ වචනයක් ලෙසයි සැලකුවේ. මේ ආකාරයට කලින් කලට භාෂාව වෙනස් වූවත්, එයට එන හැම වචනයක්ම භාෂාවේ රැඳෙන්නේ නැහැ. පෘතුගීසි වචන රාශියක් අපේ භාෂාවට එන්න ඇති.ඒත් ඒවා හැම එකක්ම භාෂාවේ රැඳෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය ඒවා පමණයි භාෂාවේ රැඳිලා තිබෙන්නේ. අන්න එවිටයි අපි කියන්නේ මේ සිංහල භාෂාවේ වචනයක් කියලා.
මීට අවුරුදු 4-5 කට කලින් ‘එළ’ කියන වචනයක් භාවිතාවේ තිබුණා.ඒත් දැන් එය භාවිතයෙන් ඈත් වෙලා. ශබ්දකෝෂයට සාමාන්‍යයෙන් ඇතුළත් කරන්නේ කථා ව්‍යවහාරයේ තිබී ස්ථිරසාර වූ හෝ පොත පතේ සඳහන්ව තිබුණොත් පමණයි. එහෙම නැත්නම් වචන ඇවිත් මඟදී හැලීම පමණයි වෙන්නේ. අපි සිංහල භාෂාවේ අශිෂ්ඨ වචන දැන සිටියත් ඒවා ශබ්දකෝෂයයට ඇතුළත් කරන්නේ නැහැ. ශිෂ්ඨසම්පන්න වචන වලට පමණයි එහි ඉඩ තිබෙන්නේ. අද වන විට වචන රැස් කළ යොමු පත් කෝටි ගණනාවක් ආයතනය සතුව ඇති අතර ඒවා ආරක්ෂිත ලෙස ගබඩා කර තිබෙනවා.

විශ්වසනීයත්වය

ශබ්දකෝෂය සම්පාදන ආයතන මඟින් වචනයක අර්ථය හරියටම දැනගත හැකියි. සිංහල වචනයක සිංහලෙන් අර්ථය, දෙමළෙන් හෝ ඉංග්‍රිසියෙන් අර්ථය දැන ගැනීමට ආණ්ඩුව විසින් පිහිටුවා ඇති ඉතාම විශ්වසනීය ආයතනයක්. පෞද්ගලික ආයතන වලින් ඕනෑ තරම් ශබ්දකෝෂ සම්පාදනය කරනවා. ඒත් ඒ ගැන විශ්වාසයක් තබා ගැනීම අපහසුයි. අපේ ආයතනයේ සිටින සියලුම කර්තෘවරු සිංහල උපාධිධාරීන්. ඒ නිසා ඔවුන්ට සාහිත්‍ය හා භාෂාව පිළිබඳ හොඳ දැනුමක් තිබෙනවා. නිවැරදිව වචන භාවිත කිරීමේ හැකියාව වගේම අක්ෂර වින්‍යාසය පිළිබඳවත් මහා අවබෝධයක් තිබෙනවා.

භාෂාවෙන් සංහිදියාව කරා

භාෂාව තුළින් සංහිඳියාව ඇති කළ හැකියි යන්නට අප විසින් සම්පාදනය කළ ත්‍රෛභාෂික ශබ්දකෝෂය කදිම උදාහරණයක්. අපි සිංහල භාෂාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කළත් දමිළ භාෂාව එපා කියන්නේ නැහැ. ඉංග්‍රීසි වගේම දමිළ භාෂාවත් හොඳින් ඉගෙනගෙන ප්‍රවීණත්වයට පත් වෙනවා නම් එය මහත් ගෞරවය තත්ත්වයක්. සිංහල – දෙමළ භාෂා දෙකෙහිම එක සේ ප්‍රවීණත්වයට පත්විය හැකි නම් අප අතර භේද ඇතිවන්නේ නැහැ. අපි දෙමළ ජනයා ළඟින් ඇසුරු කරනවා නම් අපේ භාෂාවට ඔවුනගේ විශ්වාස, වාක්‍ය රටා, වචන වගේම ඔවුනගේ හැඟිම් ආදියත් එකතු වෙනවා. දෙමළ භාෂාවටත් සිංහල වචන එකතු වෙනවා. අතීතයේ මෙය ඉතාම හොඳින් සිදු වුණා. උදාහරණයක් ලෙස හින්දු ආගමින් පැමිණි දේව විශ්වාස දැන් බෞද්ධාගමට එක් වෙලා. ඒක කාලයාගේ ඇවෑමෙන් සිදු වන දෙයක්. භාෂාවත් ඒ වගේ. කාලයාගේ ඇවෑමෙන් තිරසාර වෙනවා.

භාෂාවේ පැවැත්ම

සිංහල භාෂාව කතා කරන මිනිසුන් සිටින තාක්කල් සිංහල බස කිසි දිනක නැති වෙන්නේ නැහැ. වෙනත් භාෂාවල් වල වචන, වාක්‍ය රටා වලින් අපේ භාෂාව පෝෂණය වෙන එක පමණයි සිදු වන්නේ. උදාහරණයක් වශයෙන් අවුරුදු 150 ක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ පෘතුගිීසි භාෂාව කතා කර තිබෙනවා. පෘතුගීසි භාෂාවේ වචන සිංහල භාෂාවට එකතු වුවත් එහි වාක්‍ය රටාව සිංහල භාෂාවට එක් වී නැහැ.ඒත් ජාත්‍යන්තර භාෂාවක් වශයෙන් සුලභව භාවිත වන ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය රටා වලින් සිංහල භාෂාව පෝෂණය වී තිබෙනවා. උදාහරණයක් වශයෙන් ‘බස් එකක් ගන්නවා’ කියන එක ඉංග්‍රීසි වාක්‍ය රටාවක් ආශ්‍රිතව බිහි වූවක්. ‘ගන්නවා’ කියන එක වාක්‍ය අර්ථයෙන් බැලුවොත් මිළදී ගන්නවා වගේ අර්ථයක් ජනිත වෙනවා. ඒත් දැන් එය කාලයක් තිස්සේ භාවිත වීමෙන් වැඩි වෙනසක් දැනෙන්නේ නැහැ.
එක් පරම්පරාවක දැනුම තවත් පරම්පරාවක් වෙනුවෙන් සංරක්ෂණය කරමින් ග්‍රන්ථාරූඪ කිරීම ක්‍රියාවලියෙන් එහාට ගිය සමාජ වගකීමක්.

අභියෝග

■ ආයතනය තුළ ඇති මානව සම්පත් හිඟය. එනම් කර්තෘවරු හා නියෝජ්‍ය කර්තෘවරු දහයක පමණ ප්‍රමාණයක් පමණයි දැනට සිටින්නේ. ඒ නිසාම ශබ්දකෝෂ සම්පාදන ක්‍රියාවලිය (ප්‍රධාන කාර්ය) පසෙක තබා වචන රැස් කිරීම සිදු වීම නිසා ව්‍යාපෘති කල් යනවා. මේ සඳහා විශ්ව විද්‍යාල සිසුන්ගේ සහය ලබා ගත හැකි වුවත් ඔවුන්ට ගෙවීමක් කිරීමට ආයතනයට නොහැකියි.
■ ශබ්දකෝෂ සඳහා ජන වහරට අමතර පොත් වලට එක්වන වචන ලබා ගන්නවා. මේ සඳහා වසරකට රු.50,000 මුදලක් පමණයි ආයතනයට හිමි වන්නේ. එය මේ ක්‍රියාවලිය සඳහා ප්‍රමාණවත් නොවේ.
■ තාක්ෂණය මඳකම නිසා සංශෝධන ප්‍රමාද වීම මෙම ශබ්දකෝෂ මුද්‍රණය කිරීමේ දී විශාල ලෙස දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වෙනවා. මුද්‍රණාලයට අප සපයන්නේ ටයිප් කළ සකස් කළ පිටපත්. මුද්‍රණාලයේ භාෂාව පිළිබඳ ප්‍රවීණයන් නොමැති නිසා ඔවුන් අතින් වැරදි සිදු වෙනවා. එයට ඔවුන්ට දොස් නැගීමට බැහැ. අපේ ආයතන තුළම මුද්‍රණයට සුදුසු ලෙස සකස් කර අවසන් පිටපත් මුද්‍රණාලයට දිය හැකි නම් අපට විශාල ලෙස කාලය ඉතිරි කර ගත හැකියි. නැත්නම් සෝදු පත් බැලීමට අධික කාලයක් වැය වෙනවා. අප සමඟ සිටින සියලුම කර්තෘවරුන්ට එවැනි පුහුණුවක් දිය හැකි නම් මේ කටයුත්ත ඉතා පහසු වෙනවා. තාක්ෂණ අපහසුතා නිසාම අන්තර්ජාල ශබ්දකෝෂයන් අතුරින් සිංහල – සිංහල ශබ්දකෝෂයේ වචන පමණයි.
■ ආයතනයේ ශබ්දකෝෂ කොතරම් ගුණාත්මක බවින් ඉහළ වුවත් ඒවායේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට තරම් තොග නොමැති වීම.
■ 1992 සිංහල – සිංහල ශබ්දකෝෂයේ වැඩ නිම කිරීමෙන් පසුව විවිධ ප්‍රකාශකයන් එය පදනම් කරගෙන ශබ්දකෝෂ සම්පාදනය කළත් ශබ්දකෝෂ සම්පාදන ආයතනයට ඒ පිළිබඳ නිසි කෘතගුණ දැක්වීමේ සටහනක් වත් ඇතුළත් කිරීමට කාරුණික වී නැහැ. එහෙත් එම ග්‍රන්ථ බහුල ලෙස වෙළෙඳපොළේ ඇති නිසා ආයතනයේ ශබ්දකෝෂ පිළිබඳව මහජනයාගේ දැනුවත් භාවය අවම වීම නිසා එම ග්‍රන්ථ වලට වැඩි ඉල්ලුමක් තිබේ.

භාහිර නිරීක්ෂණ

ශබ්දකෝෂ සම්පාදක ආයතනයේ අනභිභවනීය වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් වුවත් ගොඩනැගිල්ල ඇතුළත තවමත් 90 දශකයේ කාර්යාලයක ස්වරූපය ගනියි. පරණ වී ගිය ලී සහ වානේ පොත් අල්මාරි සමහරක් බොහෝ අබලන් තත්ත්වයේ පවතින අතර ඒවා අබලි නොවී තබා ගැනීමට පැලැස්තර අලවමින් අසාර්ථක උත්සාහයක යෙදී ඇති බව පෙනේ. සමහර පොත් අල්මාරි වල වීදුරු බිඳී තිබුණු අතරම ඒවායේ තිබූ පොත් කිහිපයක් පරීක්ෂා කිරීමේ දී දූවිලි වැදීමෙන් අබලන් තත්ත්වයේ පවතින බව පෙනුණි. වායු සමීකරණ පහසුකමක් පවා නොමැති ගොඩනැගිල්ලේ ඇති වටිනා පොත් හා ලිපිද්‍රව්‍ය වේයන්, කාවන්, මීයන්, වැනි සතුන්ගෙන් ආරක්ෂා වී මෙතෙක් කල් පැවතීමද විමතියට හේතුවකි. අප එහි ගියේ වැසි දිනයක වූ නිසාම ගොඩනැගිල්ලේ සමහර තැන්වල වහලින් වැටෙන වතුර එකතු කිරීමට භාජන තබා තිබුණි.
ආයතනය හමුවේ කෙතරම් බාධක පැවතියත් මහදුරු රෝහිනි පරණවිතානයන් ප්‍රධාන කර්තෘ වී වසරක් පවා ගෙවී නැති මොහොතක අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය කෙටි කලකින් සම්පාදනය කිරීමට හැකි වීම සැලකිය යුතු ක්‍රියාවකි. ශබ්දකෝෂ ආයතනයේ ප්‍රකාශන සඳහා මහජන පිළිගැනීමක් ඇති කිරීම සඳහා උපදේශන සභාවත්, කර්තෘ මණ්ඩලයත් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙන බව ද මහාචාර්යවරිය පැවසුවාය.

යෝජනා

ආයතනයේ මානව හා තාක්ෂණික සම්පත් දියුණු කිරීම මේ අවස්ථාවේ ප්‍රබල අවශ්‍යතාවක් ලෙස දැක්විය හැකිය.
රජයේ සෑම පාසලකටම ශබ්දකෝෂයේ පොත් කට්ටලය බැගින් හෝ C.D තාක්ෂණය මඟින් පාසල් දරුවන්ට ලබා දිය හැකි නම් එය අධ්‍යාපනය වෙනුවෙන් රජය කරන මහඟු අයෝජනයක් වනු ඇත.
නිරන්තරයෙන් ඇති වන ශබ්දකෝෂ වල පිටපත් හිඟය සඳහා O.C.R ක්‍රමය යටතේ නැවත මුද්‍රණ කටයුතු සිදු කිරීම.
වර්තමානයේ සංස්කෘතික අමාත්‍යංශය යටතේ ඇති ආයතන කොළඹ විශ්වවිද්‍යාලයට භාර දීම තුළින් එහි වඩා වැඩි සංවර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව උපදේශක සභාව යෝජනා කරයි.
සම්භාව්‍ය සාහිත්‍යයේ වචන වර්තමාන සමාජයට ඔබින ලෙස අර්ථ දක්වන ශබ්දකෝෂයක් සම්පාදනය කිරීම තුළින් සම්භාව්‍ය සාහිත්‍ය ප්‍රචලිත කිරීම.
සැබවින්ම මේ දැනුම් ගබඩාව වර්තමාන ජනයා නිසි පරිදි පරිහරණය කළ යුතුය .ඒ භාෂාවේ හා සංස්කෘතියේ අනාගත ජයග්‍රහනය උදෙසාය. උක්ත සටහන මෙම විෂය පිළිබඳ වැඩි අවබෝධය මෙන්ම එම ක්‍රියාවලිය වෙනුවෙන් ව්‍යාවෘත වන්නන්ට උපහාරයක් සඳහා කැප කරමු.