රාවය

පාවිච්චි වෙන්න ඕන විදිහ කසාවත දරණ අය දැන ගත යුතුයි. – ගුරුගොඩ සිරිවිමල හිමි.

පාවිච්චි වෙන්න ඕන විදිහ කසාවත දරණ අය දැන ගත යුතුයි. – ගුරුගොඩ සිරිවිමල හිමි.

දිනී ජයසේකර

කවියෙක් වෙන්න කවි පොතක් රචනා කරන්න අවශ්‍යමද?

ඒක අත්‍යව්‍ය නෙමේ. හැබැයි කවිය සමාජගත කරන එකත් කවියාගෙම වගකීමක් වෙන නිසා පොතක් කිරීමෙන් වරදක් සිද්ධ වෙන්නෙ නෑ.කවියා කියන්නෙ පොත් ලියන කෙනකුට නෙමෙයි. කවි ලියන කෙනකුට. කොටිම්ම කිව්වොත් ජීවිතය එක්ක එන හැඟීම් වලට පණ දෙන කෙනෙක්ට.හැබැයි වෙන කෙනකුට කියවන්නනම් පොතක් හෝ මුද්‍රිත හෝ සයිබර් අවකාශය පාවිච්චි කරන්නම ඕන.

කවියකු අනෙක් හැම කවියකුගෙම කවි කියවිය යුතුද?

විශේෂයක් කරන්නෙ නෑ. මුහුණු පොතේදි දකින කවි කියවනවා විය යුතුයි. ඒ වගේම ශාස්ත්‍රීය වශයෙන් ලියැවුණ කවි පිළිබඳව ලිපි ලේඛන සහ ආධුනික ප්‍රවීණ භේදයකින් තොරව පළවන හැම කවි පොතක්ම වෙලාවක් තියෙන වෙලාවට කියවනවා.
ඒ වගේම තමයි ෆෙස්බුක් එකේ කවි කියවද්දි මම ප්‍රවර්ග කරගත්ත කිහිප දෙනෙක් ඉන්නව.ඒ අයගේ කවි සර්ච් කරල හරි සතියකට වතාවක් කියවනවා.හැම කවියකුගෙම කවි කියවන්න ඕන කියල නීතියක් හෝ රීතියක් නැහැ මම දකින විදියටනම්.

පද තුන හතරක් ලියල අර්ථවත් ආකාරයකට කවියක් රචනා කර ගත හැකිද?

අනිවාර්යයෙන්ම පුළුවන්. ඕකට හොඳම උදාහරණයක් තියෙනවා. ලියන්නෙ ලක්ෂාන්ත අතුකෝරල කවියාගේ කවියක්.
“ඔයා
නාගෙන එනකොට
මාව
කිළිටි වෙනවා”
මේව කවි නෙමේද? මම හිතන විදියට වචන තුන් හාරසීයක් විතර මිඬංගු කරන කවියකට වඩා මේ කවි රහයි. ඒ වගේම උපේක්ෂා ඉමාලි තරුණ කිවිඳිය පළකරන සුසුම් නාඳුනන අප දෙදෙනා කියන කවිපොතේ තියෙනවා මේ වගේ කවියක්.
” සීරුම් පහරකි
වම් අතේ කෙළවර
අනුන්ගේ මඟුල් මුද්දකින්
අහම්බෙන් සිදුවුණ”

මේවත් කවි ම තමයි.හයිකු, කෙටි කවි කියල වෙනම කවි කලාවක් පවා තියෙනවා.
කෙටියෙන්ම කිව්වොත් ” ඔව් , ලියන්න පුළුවන් ” කියන උත්තරේ තමයි මට දෙන්න තියෙන්නේ.

කවියො ඇයි ගොඩක් ප්‍රේමය , විරහව , රාගය ගැනම රචනා කරන්නෙ?
කවියකුට මුලින්ම දැනෙන දේ තමයි ඕක. ප්‍රේමය,විරහව, රාගය , මේ දේවල් ගතානුගතිකව බැළුවොත් අවුල් සහගතයි වගේ තමයි. ඒත් ඔය විෂයන් වලදි මම විවිධ ප්‍රවණතා දකිනවා. සහ ඔය ගැන විවේචනයත් තියෙනවා. එකක් තමයි ප්‍රේමය , විරහව , රාගය , කියන විෂයන් තුන ගැන කවි ලියන ගොඩක් අය ලියන්නෙ ෆෙස්බුක් එකේ. ඕවට සමහර අය කියනව මල් කවි කියලත්. ඒක ලියන අයගේ කැමැත්ත වුණාට ඔතනදි වෙන ලොකුම හානිය තමයි තව කෙනෙක් ඒ කවිය බලාගෙන එයාගෙ අද්දැකීමක් ලියනවා.අන්තිමට ඒක අපබ්‍රංසයක් වෙනවා. තව කොටසක් ඔය විෂයන් තුනම අදාළ කරගෙන කවි ලියනවා.ඒව කියවන මිනිස්සු ප්‍රඥාවට පත්වෙනවා. ඒ කියන්නෙ ඔය විෂයන් තුන ගැන ගැඹුරු අවබෝධයකින් තමයි දෙවැනි කොටසෙ අය කවි ලියන්නේ.
අපිට ගොඩක් වෙලාවට කවි මුණගැහෙන්නෙ ෆෙස්බුක් හරහා. ඒ මුණ ගැහෙන්නෙ කවි දහයක්නම් ඒකෙන් අටක් නමයක්ම ප්‍රේමය , විරහව ,රාගය වගේ විෂයන් මුල් කරගෙන ලිව්ව ගැඹුරු කියැවීමක් නැති කවි. ඒ තරමටම ඔය කියන විෂය බරපතළ අපයෝජනයකට ලක් වෙලා තියෙනවා.
ඔය විෂයන් තුනෙන්ම කවි ලිවීම අවුලක් නෙමෙයි. හැබැයි ඒ ගැනම පතුරු ගහන එකනම් අවුල් සහගතයි. මම ඒකට එකඟ නෑ කියන්නෙ ගතානුගතික තැනක ඉඳගෙන නෙමෙයි.වෙනත් කියැවීමක ඉන්න නිසා.සැබෑ කවියකුට ඔය මාතෘකා තුනෙන් එහාට යන්න පුළුවන් වෙන්න ඕනේ.

කසාවත කවියට බාදාවක් නෙවේද?

සැබෑවටම කසාවත බාධාවක් නෙමෙයි. ඒත් සමහර උපාසක උපාසිකාවන් හදාගෙන තියෙනවනෙ ෆැන්ටසි ටිකක්. අන්න ඒ ෆැන්ටසි වලටනම් සැබෑම බාධාවක් තමයි කසාවතක් දරාගෙන කවි ලිවීම. යතිවර පරපුර කාව්‍ය සාහිත්‍ය පෝෂණය කෙරුවා.එතනම දිගුවක් විදිහට තමයි මමත් අනෙක් හිමිවරුනුත් කවි ලියන්නේ. එතනදි පාවිච්චි වෙන්න ඕන විදිහ කසාවත දරණ අය දැනගත යුතුයි.

මහා සංඝරත්නය ආතල් ගන්න බව භික්ෂුවක් විදිහට ගර්භිතව කියන්න ඔබ වහන්සේට පුලුවන් වෙලා තියනවා. ඇත්තටම භික්ෂූන් ආතල් එකක් ද ගන්නේ?
ආතල් ගන්නව කියන චෝදනාව හැම භික්ෂුවක් කෙරෙහිම තබන්න බෑ. හැබැයි වගකීමෙන් කියනව බහුතර මහා සංඝරත්නය ගන්නෙ ආතල් එකක් තමයි කියලා. ඔය කියන බහුතරය විසින් තව කාලයක් ආතල් එක ගත්තොත් ඔරිජිනල් රීඩින් එක නැත්තටම නැති වෙලා බුද්ධාගමත් දේවාගමක් වගේ වෙයි.