රාවය

වව්නියා අරගලය – නෙවිල් ජයවීර

වව්නියා අරගලය – නෙවිල් ජයවීර

එස්.ජී. පුංචිහේවා

‘1971 අප්‍රේල් 5 වැනිදා සිට අගෝස්තු 19 වැනිදා දක්වා සිදුවූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම රාජ්‍ය විරෝධී නැගිටීම පිළිබඳ මතක සටහන්’ බව පොතේ මුලින්ම සඳහන් වේ. එහෙත් එය ඉතිහාසයෙන් මැකිය නොහැකි වැදගත් සිද්ධියක් පිළිබඳ සිතේ කා වැදුණු යමක් ගැන අර්ථ නිරූපණයක් ලෙස සැලකිය හැකිය. ඒ සඳහා උද්වේගකර සිද්ධි මාලාවක් උපයෝගී කොටගෙන ඇති නිසා කියවීමේ රුචියෙන් අනූනය.
පොත හඳුන්වාදෙමින් කතුවරයාම මෙසේ පවසයි.
“මේ පොතේ පිටු තුළ ගොතනු ලැබ ඇත්තේ 1815න් පසු, ප්‍රථම වතාවට සාම්ප්‍රදායික කම්කරු පන්තියට ප්‍රතිවිරුද්ධව සටන්කාමී ගැමි තරුණ කණ්ඩායමක් නව සමාජීය පන්තියක් බලයේ පිහිටුවීමට තැත් කිරීම පිළිබඳ නාටකයකි. එය හුදෙක්ම කැරැල්ලක් හෝ සන්නද්ධ නැගිටීමක් නොව, දීර්ඝ කාලයක් තිස්සේ සමාජයෙන් කොන්වී සිටි කණ්ඩායමක් රාජ්‍ය බලය තුළ තමන්හටද පංගුවක් හිමි බව නිවේදන කිරීමක් විය.”
මේ පොතට පෙරවදනක් සපයමින් සුසිල් සිරිවර්ධන සහ මාෂල් ප්‍රනාන්දු යන විද්වතුන් දෙපළ මෙසේ හඳුන්වා ඇත. “මේ රචනාව එහි බුද්ධිමය හා පරිකල්පනීය වියමන අතින් ගත් කල, අතිශය සිත්කාවදිනසුලු හා ප්‍රබල වෙයි. එය ග්‍රීක නාට්‍යයක තානය හා සම්මිශ්‍රණය සිහියට නගයි. සැඟවී එල්ල කරනු ලබන සන්නද්ධ ප්‍රහාරයකට මුහුණදීමට රාජ්‍යයේ පැවති අත්‍යන්ත නුසූදානම එළිදරව් කරන පුපුරනසුලු අර්බුදයකින් නාටකය ඇරඹෙයි.”
1971 නැගිටීමෙන් උගත යුතු සපල හා අපල සංලක්ෂණ බොහෝය. එහෙත් මේ වන තෙක් ඒ අනුව හැඩ ගැසුණු සමාජයක් දක්නට නැතිවීමේ ඛේදවාචකයට අපිද අනාගත පරපුරද මුහුණපා සිටිමු.
ඒ පාඩම් පොතෙන්ම දැක්වෙන්නේ මෙසේය. “ධනය සමුච්චය වීමේ පුළුල් වන විසමතාව එක් නිසැක පාඩමකි. ධනය සමුච්චය වීමේ දළ වැඩිවීමක් පැවතී තිබෙන අතර, සමාජ පරාසය හරහා එහි අසමාන ව්‍යාප්තිය සමාජ නොසන්සුන්තාව විපුලිත කර තිබේ. නැතිනම් දුරුකර තිබේ. නීතිය හා පාලනය බිඳවැටීම හා අපරාධකාරීත්වය වැඩිවීම අසහනය වැඩි කොට තිබේ. නායකත්වයේ ගුණාත්මක බවෙහි පුළුල්ව පැතිරෙන බිඳ වැටීම හා පොදු ජන ජීවිතයේ ආචාරධර්ම හා ප්‍රමිතීන් සෝදා පාළුවීම සමාජ ඒකාබද්ධභාවය සැම අතකින්ම තර්ජනයට ලක් කරන බව පෙනෙන්නට තිබේ.” (8 වැනි පිටුව)
සැබැවින්ම අදත් මේ ප්‍රශ්න ඉතිරි වී නැද්ද? ඒවාට අලුතින් එකතු වී ඇතුවා මිස එකක්වත් අඩුවී තිබේද? හැම ගමක්ම නාගරික වන අතර හැම නගරයකම හුස්ම ගැනීමට සුදුසු වාතයවත් තිබේද? මිනිසුන්ගේ වයස මහමගටම, වාහන තුළම ගෙවී යනු නොදැනේද? මේ සංවර්ධනය උදෙසා දරුවන් හෙවත් වහලුන් තැනීම අධ්‍යාපනයේ කාරිය වී නැද්ද? මිනිස් රූප තුළ වල් සතුන් බිහිවීම ජයටම සිදුවන බව අසත්‍යයද? මෙවැනි සියයක් ප්‍රශ්න විමසීමට ජයවීරයන්ගේ මේ කදිම රචනය අපට නිමිති සපයයි. අදට වඩා අවංක දේශපාලනඥයන් එදා සිටියද පොදුවේ ඔවුන්ගේ කුහකත්වයද මෝඩකමද පෙන්වාදීමත් මේ පොතින් සිදුවේ. එදා ජනතා විමුක්ති පෙරමුණ ගැන කතුවරයා සඳහන් කරන්නේ මෙසේය:
“ඔවුන් දිස්වන්නේ ‘ත්‍රස්තවාදීන්’ නඩයක් ලෙස නොව දෘෂ්ටිකවාදීන් ලෙසය. එසේ වුවත් නොමග යැවුණු හා බොළඳ නඩයක් ලෙසය. ඔවුහු නව සමාජයක් ගොඩනැගීමට මුළුමනින්ම කැපවූහ. එකී සමාජය තුළ ඔවුන් පීඩාවට පත් කළ අසමානතාව මකාහරිනු ලබනු ඇත.” (9 පිටුව)
මෙම අත්දැකීම් නිසා කතුවරයා අංශක 180ක වෙනසකට ගොදුරු වූ බව සඳහන් කර ඇත. (14) එදා ඊට සහභාගි වූ බොහෝදෙනාට එය සිදුවී ඇත. සමහරු වනවාසීව භාවනාවට යොමුවූහ. තවත් සමහරු එම ජරාජීර්ණ දේශපාලනයටම පෙරළා පැමිණියහ.
එදා රාජ්‍ය නිලධාරීන්ට පැවරුණේ ආණ්ඩුවේ අභිලාෂය ආරක්ෂා කිරීමය. එනම් ආණ්ඩුවේ මානව සහ භෞතික වෙඩි බෙහෙත් රැකගැනීමය. කතුවරයා එම සිද්ධියට බරපතළ ලෙස කොටුවී ඇතත්, අවංක නිලධරයකුවීමට අමතරව මර්දනකාරී ආණ්ඩුවකට අවශ්‍ය නොවන මානුෂිකභාවය දැක්වීමටද යුහුසුලු වී ඇත. ඒ නිසා ඒ ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ සැකයටද ලක්වීම චිත්‍රපට සිද්ධියක් මෙන් විස්තර වේ.
මෙහිදී සිදුවූ එක් ඛේදජනක හා නින්දිත සිද්ධියකින් දිසාපතිවරයා බෙහෙවින් කම්පාවට පත්ව සිටියේය. එනම්, ඈත ගම්මානයක සැකයට ගොදුරු වූ එක්තරා තරුණයකු ඔහුගේ බිරිය විසින් පරිස්සම සඳහා දිසාපතිවරයාට භාර දුන් අවස්ථාවක් විය. නිසි පරිදි ඔහුගේ ජීවිතය රැකෙතියි සිතා ‘කැප්ටන්’ නමින් හැඳින්වුණු කෙනකුට භාර කැරිණ. පසු කාලයක දැනගන්නට ලැබී ඇත්තේ ඔහු කැලයට ගෙන ගොස් ගසක බැඳ හිසට වෙඩි තබා ටයර් මත පුළුස්සා ඇති බවය. එපමණක් නොවේ එම ‘කැප්ටන්’ සිවිල් ජනයා බොහෝ දෙනකු වෙඩි තබා ඝාතනය කර තිබිණි. ඒ සමහර ගිනි අවි දරන්නන්ගේ මානසික තත්ත්වය විය. වාසනාවට එවැනි කුරිරු යුද නිලධරයන් සිටියේ එක් කෙනකු පමණි. රාජ්‍ය අංශයේ සූදානමක් හෝ පුහුණුවක් නැතිකමද, කැරලිකරුවන්ගේ කැපවීම මිස පාලනයකට අවබෝධයක් නැතිකමද පැහැදිලි වූ අවස්ථාවකි.
කතුවරයා මෙසේ පවසයි. “මගේ කතාන්දරයේ සමස්ත අභිප්‍රායවන්නේ එක් එක් පුද්ගලයන්ට චෝදනාව පංගු කොට දැක්වීම නොව රාජ්‍යයකට කාර්යක්ෂම රාජ්‍ය පාලනය සඳහා එහි බලහත්කාරී බලවේග මත විශ්වාසය තැබීමට සිදුවී තිබෙන සෑම අවස්ථාවකම, එය ඔවුන් අතර සිටින මනෝ ව්‍යාධිකයන් ස්වල්ප දෙනකුගේ ආධිපත්‍යයට නතුවීම පිළිබඳ පාඩම මැනවින් කාවැද්දීමය. රාජ්‍ය බලයේ පාරිශුද්ධ වගකීම පිළිබඳ දැනුවත්භාවයක් නොමැති මේ මනෝ ව්‍යාධිකයෝ තමන්ගේම රෝගී මමංකාරය ප්‍රකාශ කිරීම සඳහා මිලිටරිමය වාතාවරණය පාවිච්චි කරති.” (72 පිටුව)
මේ පාඩම උතුරේ ගැටුමේදීද ඉගෙන ගෙන නොතිබීමෙන් අන්තර්ජාතික බලපෑම්වලට යටත් වන්නට සිදුවී ඇත. කතුවරයා එය තවදුරටත් මෙසේ පැහැදිලි කරයි.
“අප පළමුව සැඟවුණු අසහනකාරී හැඟීමට අවධානය යොමු නොකළහොත් පෙර දැකිය නොහැකි අනාගතයක් සඳහා අපට මේ රෝගී ඵල නෙළා ගැනීමට දිගටම සිදුවනු ඇත.” (88 පිටුව)
එහෙත් මේ වෙනස සිදුකිරීමට පරිණත වූ සහ කැපවූ පිරිසක් තවම බලයට පැමිණියේ නැත. එසේ වුණා නම් අපේ රාජ්‍යතාන්ත්‍රික භාවිතය, අධ්‍යාපනය සහ ජනතා ආකල්ප එහි පෙරමුණ ගනු ඇත. එම අඩුව සපුරාලීමේ ආරම්භයක් පවා තවමත් දක්නට නැත. ‘වව්නියා අරගලය’ පොතින් ගතහැකි ප්‍රබල පාඩම වන්නේ, අනාගතයට අවශ්‍ය නිවැරදි න්‍යායයක් හා භාවිතයක් කෙරෙහි එල්ලවීමය.
“1971 හා 1988 – 1990 යන අවස්ථා දෙකේදීම, පැවති පාලන පද්ධතියෙන් එල්ල වූ ප්‍රබල ප්‍රතිප්‍රහාරයට මුහුණදීමට ජවි පෙරමුණ කම්කරු පන්තියවත් ගොවි ජනතාවවත් බලමුළු ගන්වා නොතිබිණි. ඔවුන් කවර හෝ අර්ථවත් බාහිර සහයෝගයක්වත් බලමුළුගැන්වීමට සමත් වී නොතිබිණි. වෙනත් වචනවලින් පැවසුවහොත්, ජවිපෙරමුණ විප්ලවයේ න්‍යාය හා භාවිතය පිළිබඳ මූලධර්ම පවා අවබෝධ කරගෙන නොතිබිණි.” (92 පිටුව)
මෙහි සඳහන් ‘විප්ලවය’ අප වටහාගත යුත්තේ කෙසේද? සන්නද්ධ විප්ලවය යනු වෙනස් කිරීමේ අන් සියලු මාර්ග අසාර්ථක වූ විට ගැනෙන අවසාන පියවරය. ඒ වනවිට එය ජනතාවට අවශ්‍යව තිබිය යුතුය. වෙනස් කිරීමේ අනෙක් මාර්ගද විප්ලවයේම අවස්ථා වනු ඇත. “න්‍යාය හා භාවිතය පිළිබඳ මූලධර්ම වන්නේ දැනට ලොව සොයාගෙන භාවිත කොට ඇති, මාක්ස්වාදී ප්‍රධාන නියාම ධර්ම සහ ද්විතීයික මූලධර්ම වේ. මේවා දෘෂ්ටිවාදී මූලධර්ම නොවේ. විශ්ව සාධාරණ වෙනස්වීමේ නියාම ධර්ම වේ. මේ අධ්‍යයනය අතීත මාක්ස්වාදී පක්ෂවලින් සිදුවූයේ ඉතා අල්ප වශයෙන්ය. රුසියන්, චීන, වියට්නාම් සහ කියුබන් විප්ලවවලින් හමාගිය මුඛ්‍ය මතවාදය සන්නද්ධ අරගලයයි. එය අනුකරණයක් මිස මූලධර්ම අධ්‍යයනයක් නොවේ. මේ පොතින් පෙන්වා ඇති පරිදි එම ඓතිහාසික වරද ජවිපෙට පමණක් නොව සියලු වාමාංශික පක්ෂවලට එල්ලවිය යුතුය. එම න්‍යායික හා වැරදි භාවිතයේ ප්‍රතිඵලය වූයේ අන්ත දක්ෂිණාංශය ශක්තිමත්වීම බව නිවැරදිව පෙන්වා දී ඇත. දක්ෂිණාංශික ආණ්ඩු එම ශක්තිය අධිකතර ලෙස භාවිත කිරීම හා මර්දනකාරීවීම නිසා උතුරේ සන්නද්ධ අරගලයද පීලි පැන පවතින මර්දනකාරීත්වයට පිරිමහින ෆැසිස්ට් භාවිතයට පිවිසියේය. තනි කණ්ඩායමකට එහිදී කළ සියලු කුරිරුකම්වල වරද පැටවිය නොහැකිය. අදත් ජාතිවාදී එල්බ ගැනීම් විද්‍යමාන වන්නේ එම ඓතිහාසික වරදේ හිස්තැන් පිරවීමක් වශයෙනි. දැනටත් සමාජ දැක්ම පිළිබඳව අපට ඇත්තේ ගැඹුරු හිස්බවකි. එය නිදහසට පෙර සිටම නිර්මාණය වූවකි.
මේ පොතේ දැක්වෙන මහඟු කල්පනා එහිම කැටිකර දැක්වෙන්නේ මෙසේය: “ප්‍රගතිය යනු මූලික වශයෙන්ම අධිකතර භාණ්ඩ තොගයක් අයිතිකර ගැන්මක් හෝ සොබා දහමේ බලවේග ජයගැනීමක්වත් නොවේ. මගේ අදහසේ හැටියට, ප්‍රගතිය යනු ‘ගුහා විඥානයෙන්’ එනම්, පන්ති, සමාජ තත්ත්වය, ධනය ඒකරාශී කිරීම. ජනවාර්ගිකත්වය හා ආගම පිළිබඳ ගුහා විඥානයෙන් පිටතට ඒමට පවතින හැකියාවයි. ප්‍රගතිය යනු භාණ්ඩ ඒකරාශී කරගැනීම හා තමන් ශ්‍රේෂ්ඨනය කරගැනීම තම ජීවිතයේ අරමුණ කරගත් සත්වයන් මෙන් නොව, ආදරය, කරුණාව, රැකබලා ගැනීම හා බෙදාගැනීම, සුසංවාදීත්වය, සාමය හා ඒකාග්‍රතාව බඳු උසස් වටිනාකම් සඳහා මාර්ගයන් බවට පත්වන සත්ත්වයන් ලෙස තමන්වම දැකීමට මානව වර්ගයාට ඇති හැකියාවය.” (127 පිටුව)
සමාජ දේශපාලන දැක්මක් අවශ්‍ය අයට අපූරු කියවීම්, පොතකි. සේපාල විජේසේකර මහතා කර්තෘගේ භාවිතයටත්, විෂයයටත් අදාළව පොත ප්‍රශංසනීය ලෙස පරිවර්තනය කර ඇත.