රාවය

වටාපතක රටා ඇන්ද ලියනාච්චිලා

වටාපතක රටා ඇන්ද ලියනාච්චිලා

නිමල් අබේසිංහ

තලගහමඩුවේ ගෙදර ලියන ආච්චි සකස් කළ පොත්ගෙඩි රැගෙන යන්නට ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ ඇතා පිටින් එනවා. පොත්ගෙඩි කියලා කියන්නේ තලකොළවලින් හදපු පිරිත් පොත් බණපොත්. ලියන ආච්චි කියන්නේ අපේ මුත්තම්මා කෙනෙක්. අපේ වාසගමත් ලියනාච්චිලාගේ එහෙම තමයි අපේ පරම්පරාව පැවතෙන්නේ.

පොත්ගෙඩි

ලියනාච්චිගේ පරපුරේ තවත් පුරුකක් වන ලියනාච්චිගේ පොඩිමැණිකේ සිය ඉතිහාසය ගැන කතාවත ඇරඹුවේ එලෙසය.
එදවස පොත්ගෙඩි සෑදීමට ප්‍රසිද්ධව සිටි ලියනාච්චිගේ පරපුර අද වනවිට ප්‍රසිද්ධව සිටින්නේ වටාපත් සැකසීම සම්බන්ධයෙනි. වටාපත යනු බෞද්ධ භික්ෂුන් ධර්ම දේශනයේදී භාවිත කෙරෙන අවානක් බඳු උපකරණයය.
මුළු රටටම වටාපත් සපයන තලඅතමඩුව ගෙදර පිහිටා තිබෙන්නේ අලව්වේ ගලතර ගමෙහිය. ගලතරට යාහැක්කේ අලව්ව නාරම්මල මහා මාර්ගයේ කිලෝමීටර් පහක දුරගොස් එතැනින් දකුණට දිවෙන ගිරිහෙල් සහිත මගෙහි තවත් කිලෝමීටර් හතරක පමණ දුර ගෙවමිනි.
ලියනාච්චිලාගේ පොඩිමැණිකේ, ලියන ආච්චිගේ පරම්පරාවේ දැනට වෙසෙන වයෝවෘද්ධතමයාය. අසූවියැති ඕ තවමත් කඩිසරව සිය කාර්යයන්හි නියැලෙන්නීය.
“පුස්කොළ පොත් (පොත්ගෙඩි) සෑදීම ටික කාලෙකට පස්සේ අපෝවෙලා ගිහිල්ලා තියෙනවා. ඒත් අපේ අය දිගටම තලකොළ, පැදුරු. මාගල්, වට්ටි, පෙට්ටි වියමන දිගටම කරගෙන ඇවිල්ලත් තියෙනවා.” හැබැයි වටාපත් හැදිල්ල නම් පටන් අරන් තියෙන්නේ එක්දාස් නවසිය හතළිස් ගණන්වලදී විතර.” මේ මිත්තණිය හැල්මේ කියාගෙන යන්නී මාගලක් වියන්නා සේ සාරසුබාවටය.

වටාපත්

නවසිය හතළිහ දසකය වනවිටත් ගලතරගම කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව සමග සබඳතා පැවැත්වූවකි. අදටත් ඔවුහු ජාතික ශිල්ප සභාව සමගද ගනුදෙනු කරති.
පොඩි මැණිකේ මාතාව වියන්නට මෙන්ම කියන්නට දක්ෂය. මාගලක් පුරන්නා සේ ඇය නැවතත් කතාවට වැටුණාය.
“නවසිය හතළිස් ගණන්වලදී කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ලියනගේ කියන මහත්තයා අපේ ගමට ආවා. එයා තමයි වටාපතක් අරගෙන ඇවිත් ඒවා හදන හැටි කියල දුන්නේ. මුලින්ම ඉගෙන ගත්තේ අපේ නැන්ද කෙනෙක්. ඊට පස්සේ මම නැන්දගෙන් ඉගෙන ගත්තා. දැන් නම් ගලතර ගමේ සෑහෙන පිරිසක් වටාපත් හදනවා. ඒ කාලේ නම් වටාපත් ගිනියන්න අම්බලන්ගොඩින් වෙළෙන්දෝ ආවා. දැන්නම් අපි අපිම කඩවල්වලට ගිහින් දානවා.”

සැකසීම

වටාපත් සැකසීමට යොදා ගන්නේ කුඩා ප්‍රමාණයේ තලගොබය. දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් තලගොබ සොයාගෙන එන ඔවුහු, ඒවා ඇවසි ප්‍රමාණයට කපා තම්බා ගනිති. එසේ අගකොටසින් වැඩි ප්‍රමාණයක් කපා ඉවත් කළ තලගොබ තිහ හතළිහක් හැලියක දමා තම්බා ගැනේ. මේ තලකොළ දින දෙකක්වත් හොඳින් තම්බා ගතයුතු බව පොඩි මැණිකේ මාතාව කියන්නීය. තලගොබ මැනවින් තම්බා නොගන්නා විට එහි පැහැය වෙනස් වී පැල්ලම් සිටින බවද ඇය කියන්නීය.
තම්බාගත් තලගොබවල රස්නය අඩුවූ විට එය දිගහැර මැදින් කුඩා කොටසක් ඉවත් කර යළි එය දෙපැත්තට නොයන සේ ඉරටු දෙක සම්බන්ධ කර බැඳ මැනවින් දිගහැර ගලක් මත තබා හොඳින් වියළා ගැනේ. දිගහැර තබන තල අත්ත මත දෙපැත්තෙන් කුඩා ගල්කැට දෙකක් තබනුයේ එය නැවත හැකිළීම වළක්වා ගනු පිණිසය. හොඳින් වියලුණු තල්අත්ත ඉන්පසුව වටාපතේ හැඩයට මැනවින් කපා දාරය වටේ සකසා අනතුරුව මිට ගසනු ලබයි.
වටාපතක් සැකසීම බැලූ බැල්මට ඉතා සරලයැයි හැඟුණද එය මනා හික්මීමකින් යුතුව කළ යුත්තකි. වියළාගත් තල අත්ත මැදින් කිසියම් ප්‍රමාණයක් ඉවත් කිරීම (නැතිනම් තල අත්ත බොකු හැඩයක් ගනී) රවුම් හැඩයට අගිස්ස කපා ගැනීම සහ වටාපතේ රවුම වටේ නූලින් වැඩ දැමීම ඉසියුම් කලාවකි. ඇද කුද නැති සුමට වටාපතක් සැකසීමට නම් ඉවසීම මැනවින් තිබිය යුතුය. එයද භාවනාවක් මෙනි. ඉස්සර නම් වටාපත වටා දවටන රේන්ද නූල අපි කඩෙන් ගත්තේ. දැන් නම් අපේ අයම ගෙත්තමක් කරගන්නවා.” පොඩි මැණිකේ මාතාව කියන්නීය.

ඇත්දෙඹට ලී

වටාපතේ මිට සඳහා වඩාත්ම සුදුසු ලීය වන්නේ ඇත්දෙඹටය. එහෙත් මේ වනවිට ඇත්දෙඹට ලී සොයා ගැනීම දුෂ්කරව වී තිබේ. එනිසා දැන් ලී මිට සඳහා යොදා ගැනෙනුයේ ඇලස්ටෝනියා වැනි ලී වර්ගය. කලින් නම් ලී මිටිද වඩුමඩුවලින් ලියවා ගත්තත් නවීන තාක්ෂණය පැමිණ ඇති බැවින් මිටි ලියවන මැෂින්ද මේ අය සතුව බැවින් ඔවුහු ඒවාද ලියවා ගනිති.
දැඩි සංයමයකින් යුතුව සීරුමාරුවට වැඩකර වටාපත් නිපදවා ගත්තද ඒවා අලෙවි කර නොගත්තේ නම් ඔවුන්ගේ දිවිය සරිකරගත නොහේ. ඒ අතරම ඒවා නිපදවීමට යන නිෂ්පාදන වියදමද ඉහළය.
මේ ගැන කීවේ දිනේෂ් ඉන්දිකය. “තලගොබයක් රුපියල් තිහයි, මිටිවලට ලී ගන්න ඕනේ. මිට පොලිස් කරන්න ටිනර්, සීලර්, පොලිස් ගාන්න ඕනේ. ඒවායේ වියදම දවසින් දවස ඉහළ යනවා. අමුද්‍රව්‍යය කොච්චර ඉහළ ගියත් අපිට හොඳම වටාපතක් රුපියල් දෙසීයකට වඩා තොගේට හදනකොට දෙන්න බෑ. ඒ අතරේ අපේම අය ප්‍රමිතියෙන් තොර වටාපත් හදනවා. ඒවා දෙන්නෙත් ඒ මිලටමයි.”
ඉන්දික කියන විදියට ඔවුන්ට නම් එකදිගටම වටාපත් සැපයීමට ඇණවුමක් ලැබී තිබේ. එහෙත් අනෙක් වටාපත් නිෂ්පාදකයන්ට ඒ අවස්ථාව හිමිවී නැත. ඉන්දික කියන්නේ සියලු නිෂ්පාදකයන් දිරිගන්වන වැඩපිළිවෙළක් තිබිය යුතු බවය. එය වගකිවයුත්තන්ගේ වගකීමය.

පැරණි තළ අතු ගෙයක්

ගලතරගමේ තලඅතුමඩුව ගෙදර නමින් ඉතිහාසගත නිවෙසක් තිබූ බව ලිපියේ මුලින්ම සඳහන් කළෙමු. ඒ නිවෙසමද නිශ්චිතව සඳහන් කිරීමට නොහැකි වුවද එවන් තලඅතුමඩු ගෙයක් තවමත් ගලතරගමෙහි තිබේ. පොඩිමැණිකේට පවා එහි ඉතිහාසය පැහැදිලිව කියන්නට නොහැකි නමුදු නිවෙස දකින්නකුට එහි ඇති පෞරාණික බව මැනවින් පෙනෙයි. දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ පවතින මේ නිවස ඉදිකළ වර්ෂය ලෙස සටහන්ව ඇත්තේ ශකවර්ෂ 1838දී බවය. නිවෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු වුවත් එයට අත්වී ඇති ඉරණම නම් දුඃඛදායකය. ගරාවැටෙමින් පවතින මෙම නිවෙසත් වටාපත් නිෂ්පාදකයන් සේ ම රැකබලා ගත යුතු වන්නේ ඒ අපේ තවත් විශිෂ්ට සංස්කෘතිකාංගයක් වන බැවින්ය.