අමෙරිකානු සම්බාධකවලට අනෙක් රටවල් එකඟ නෑ

එස්. නන්දලාල්
(මෙය පසුගිය සතියේ ලිපියේ දිගුවකි)

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉරානය සමග පංච මහා බලවතුන් සහ ජර්මනිය විසින් 2015 අග භාගයේ දී අත්සන් තබන ලද ඒකාබද්ධ අවබෝධතා ක්‍රියාත්මක සැලැස්ම JCPOA හෙවත් ‘ඉරාන න්‍යෂ්ටික හසුරුවනය’ නම් වන ගිවිසුමෙන් ඉවත්වීම ඉරානයට පමණක් නොව තවත් රටවලට ද බලපා ඇති බව දැන් ප්‍රකට ය. එයින් ඉරානයේ ආර්ථිකයට මෙන් ම ඉරානය සමග සාමාන්‍ය පරිදි ගනුදෙනු කරමින් සිටි අනෙක් රටවලට ද බලපෑම් ඇති බව, තමා එම ගිවිසුමෙන් ඉවත් වන්නේ යැ’යි අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද දිනයේ සිටම විවිධ රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරවලින් පැහැදිලි ය. එම තීරණය සලකා බලන ලෙස ගිවිසුමේ අනෙක් පාර්ශ්වකරුවන් අතරින් රුසියාව සහ චීනය හැර අනෙක් රටවල් ද යුරෝපා සංගමය ද විසින් ඉල්ලා සිටින ලදි. එහෙත් අමෙරිකා එක්සත් ජනපදය ඒවා නෑසූ කන්ව ගිවිසුමෙන් ඉවත් විය. ඔවුන්ගේ පැත්තෙන් එය සාධාරණීකරණයට හේතු විශාල සංඛ්‍යාවක් රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් මැයි 21දා හෙළිදරව් කරන ලදි.
මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙය ජනාධිපති ට්‍රම්ප්ගේ හදිසි තීරණයක් නොව කල් බලා සිතාමතා ගත් තීරණයකි. ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මේ කාරණය ඇතුළත් ය. ඔහුට අනුව මෙය අමෙරිකා එක්සත් ජනපදය විසින් අත්සන් කරනු ලැබූ නරක ම ගිවිසුමකි. එයින් වන අවාසි එමට ය. ඉරානය ඉන් ලද අවසරයෙන් ෆොසිල ඉන්ධන විකුණා පොහොසත් වී තමන්ගේ සගයන්ට තර්ජනය කරයි. ලොව සියලුම ආකාරයේ ඉස්ලාම් ත්‍රස්තයන්ට උඩගෙඩි දෙන්නේ ඉරානයයි.
අමෙරිකා එක්සත් ජනපදයේ ගිවිසුම් ගැන අන්තර්ජාලයේ ඇති දෑ කියවන විට විශද වන කාරණයක් නම් ඒ සෑම ගිවිසුමක් ම ව්‍යවස්ථාදායකයේ කමිටු තුළින් පෙරී ආයුතු බවයි. අපේ රටේ ගිවිසුම් සමග සන්සන්දනය කළහොත් අපේ ගිවිසුම්වල ඇති අනාරක්‍ෂිතභාවය සහ පොදුජන විරෝධී ස්වභාවය ඒවායේ නොමැති බව පෙනී යනු ඇත.
අමෙරිකා එක්සත් ජනපදයේ කැබිනට් මණ්ඩලය සමන්විත වනුයේ මහජන නියෝජිතයන්ගෙන් නොවේ. එය ජනාධිපතිවරයාගේ අභිමතය ඇතිව පත් කැර ගන්නා නිලධාරී කණ්ඩායමකි. එහෙත් ඒ නිලධාරීන් ව්‍යවස්ථාදායකයේ අනුමැතියට යටත් විය යුතු ය. ඔවුන් සියල්ලන් ම යාන්තම් අටපාස් සිල්ලර කඩකාරයන් නොව වෘත්තිකයන් ය. නීති අංශ විසින් සාදන ලද ගිවිසුම්වල අවසාන වගකීම එන්නේ විෂය භාර ලේකම් ට ය. ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ලැබීමෙන් පසු ව ජනාධිපතිවරයා අත්සන යෙදීමෙන් ගිවිසුමට නීත්‍යනුකූල සුජාත බව ලැබේ.
අපේ ගිවිසුම් සහ අමෙරිකාවේ ගිවිසුම් අතර ඇති තවත් ප්‍රධානතම වෙනසක් නම් කාලයයි. අමෙරිකාව දිගුකාලීන ගිවිසුම්වලට එළැඹෙන නමුත් ඒවා කෙටිකාලීන අලුත් කිරීම්වලට යටත් ය. ඒ අලුත් කිරීම් මාස 3කට, 4කට, 6කට වරක් ජනාධිපතිවරයා අත්සන් කිරීමෙන් සිදුවනු ඇත. ජනාධිපතිවරයාට ගිවිසුම් නැවත අලුත් කිරීම පිළිබඳව ඒ ඒ ලේකම්වරයාගේ කාර්යාලය විසින් කළ යුතු අතර ජනාධිපතිවරයා ලේකම්ගේ යෝජනාවට හා ව්‍යවස්ථාදායකයේ නිර්දේශයට එකඟ ව ගිවිසුම දීර්ඝ කිරීමට කැමති නම් අත්සන් තැබිය යුතු ය. ජනාධිපතිවරයා එසේ නොකැමැති නම් ගිවිසුම තවදුරටත් වලංගු නොවනු ඇති අතර එවිට සන්ත්‍යංජන ප්‍රකාශයක් waiver හෙවත් හිමිකම් අත්හැරීමේ ලියවිල්ලක් අත්සන් තැබිය යුතු ය.
ඉරානය එක් පාර්ශ්වයකටත් තමන් මෙන් ම චීනය, රුසියාව, ප්‍රංශය, මහා බි්‍රතාන්‍යය සහ ජර්මනිය ද අනෙක් පාර්ශ්වයටත් පෙනීසිටිමින් අත්සන් කළ මෙහි මුලින් සඳහන් කළ ගිවිසුමෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් වූයේ එබඳු සන්ත්‍යංජන ප්‍රකාශය අත්සන් කිරීමෙනි.
ජනාධිපති ට්‍රම්ප් පසුගිය මාසයේ තවත් එබඳු ආන්දෝලනාත්මක සන්ත්‍යංජන ප්‍රකාශයකට අත්සන් තැබී ය. ඒ, එක්සත් ජාතීන්ගේ යෝජනාවකට අනුව ඊස්‍රායෙලයේ අගනුවර ටෙල්අවිව් ලෙස පිළිගන්නා බවට වූ එකඟතාව තවදුරටත් දීර්ඝ නොකිරීමේ දී ය.
මේ ගිවිසුම අත්හැර දමන බවට ජනාධිපති ට්‍රම්ප් පසුගිය දෙසැම්බර් මස ප්‍රකාශයට පත් කළ විට එයට පාර්ශ්වකරුවන් වශයෙන් අත්සන් තැබූ යුරෝපා සංගමයේ සාමාජිකයන් වන ප්‍රංශය, මහා බි්‍රතාන්‍යය සහ ජර්මනිය මෙම වසරේ ජනවාරි 17 දින බ්‍රසල්ස් හි යුරෝපා සංගම් මූලස්ථානයේ දී රැස්ව එසේ නොකරන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටියෝ ය. එහෙත් ජනාධිපති ට්‍රම්ප් ඊට කිසිවක් කීවේ නැත.
මේ ගිවිසුමෙන් අමෙරිකා එක්සත් ජනපදය එසේ ඉවත්වන බව ප්‍රකාශ කළත් මෙය එරට සහ ඉරානය අතර පමණක් අත්සන් තැබූ ගිවිසුමක් නොවන නිසාත් අනෙක් පාර්ශ්වකරුවන් ඉන් ඉවත් නොවන නිසාත් අමෙරිකාවේ සන්ත්‍යංජනය වලංගු නොවන බව යුරෝපා සංගමයේ අදහසයි. අනෙක් අතට ගිවිසුමෙන් එසේ ඉවත් වන්නට නම් අනෙක් පාර්ශ්වකරු ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කොට තිබිය යුතු ය. එහෙත් එවැන්නක් සිදු නොවන බව බලයලත් විගණකවරයා වන එක්සත් ජාතීන්ගේ පරමාණුක බලශක්ති අධිකාරය සහතික වෙයි. එසේ නම් පාර්ශ්වකරුවන් අතරින් එක් අයකු පමණක් සිය සිතැඟි අනුව පමණක් ගිවිසුමෙන් ඉවත් වන්නේ කෙසේ ද? එසේ නම් එම කාරණය ද ගිවිසුම උල්ලංඝනය කිරීමක් වනු ඇත. එක්සත් ජාතීන්ගේ මතය මෙයට ද සමාන ය.
අමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයක සම්බාධක පැනවූ දීර්ඝ විෂය ලේඛනය දැක්වේ. ඉරාන ජනාධිපතිවරයා ගමන් ගන්නා ගුවන් යානයට පවා තහංචි පනවා ඇත්තේ එය ත්‍රස්තයන් සඳහා විශේෂයෙන් නිෂ්පාදිත එකක් බව පවසමිනි.
බොහෝ කාරණාවල දී මේ රටවල් තුනේ නායකයන් ජනාධිපති ට්‍රම්ප්ගේ ඇබිත්තයන් ලෙස ක්‍රියා කරන නමුත් මෙහි දී ඔවුන්ගේ විරෝධය ප්‍රකටවම පළවෙයි. රුසියාව සහ චීනය ට්‍රම්ප්ගේ ක්‍රියාව ගැන කිසිවක් පවසා නොමැත. ඒ වෙනුවට ඔවුන් පවසා ඇත්තේ තමන් ඉදිරියේ දී ඉරානයෙන් වැඩිපුර භාණ්ඩ මිල දී ගන්නා බවයි. ඔපෙක් සාමාජික රටක් වන ඉරානයේ වාර්ෂික බොරතෙල් නිෂ්පාදනය සාමාන්‍යයෙන් දිනකට බැරල් මිලියන 4ක් පමණ වේ. බැරලයක් යනු දළ වශයෙන් ලීටර් 159ක පරිමාවකි. මෙයින් 60% පමණ මිල දී ගන්නේ චීනය සහ ඉන්දියාවයි.
අමෙරිකාවේ ක්‍රියාවට ඍජුව ම විරෝධය පළ කරන තවත් ප්‍රමුඛ මිලදී ගන්නකු වන්නේ ඉන්දියාවයි. තමන් කිසියම් රටක ක්‍රියා පිළිබඳ අවධානය යොමු නොකරන බවත් එක්සත් ජාතීන් විසින් සම්බාධක පනවනු ලැබුවහොත් ඒවා පමණක් පිළිගන්නා බවත් එරට විදේශ අමාත්‍ය සුෂ්මිතා සෙන් පසුගියදා නව දිල්ලියට පැමිණ තමා හමු වූ ඉරාන විදේශ අමාත්‍ය මොහමඞ් ජවාඞ් සරිෆ් සමග පැවසූ බව මැයි 29 දින මාධ්‍ය වාර්තා කැර තිබිණි.
මේ අතර ඉරානය අමෙරිකා එක්සත් ජනපදයේ මේ අසාධාරණ ක්‍රියාව පිළිබඳව ලොව විවිධ රටවල නායකයන් හමුවී කරුණු දැක්වීමත්, ඒ රටවල නායකයන් ඉරානයට යහපත් ප්‍රතිචාර දැක්වීමත් අමෙරිකා එක්සත් ජනපද බලධාරීන් තුළ තිගැස්මක් ඇති කළ බැව් සඳහන් ය. යුරෝපා සංගමයේ සාමාජික රටවල නායකයන් මෙන් ම ඉන් බැහැර ඉන්දියාවේ සහ තායිලන්තයේ නායකයන් සමග ඉරානය මේ වනවිට සාකච්ඡා පවත්වා ඔවුන්ට සිතන්නට යමක් ශේෂ කළ බව ද සඳහන් ය.
අල්-ජසීරා වෙබ් අඩවියේ සඳහන්වන පරිදි JCPOA අත්සන් කළාය කියා ඉරානයට ලැබුණු විශේෂ වාසියක් නොමැත. ගිවිසුම අත්සන් කරන්නට පෙර ප්‍රාග්ධන ගිනුමේ ධන ශේෂයක් පැවති අතර දැන් එය ඍණ අගයක් ගනී. ඩොලර් බිලියන 777ක කෙටිකාලීන ණය ශේෂයක් ගිණුමේ දැක්වේ. තවත් අවාසි බොහෝ ය. මේවා තහංචි ඉවත් කළ කාලය තුළ ආර්ථිකයට සිදු වූ බලපෑම් ය. ගෙවුම් ශේෂය තුලනය කැර ගන්නට බැරි තරමට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ විශාල ප්‍රමාණයක් රටට තුළට ගලා ආ අතර එයින් විදේශ විනිමය නාස්තියක් සිදුවිය. අනෙක් අතට අමෙරිකා එක්සත් ජනපදය ඉරානයේ හොඳ ගැනුම්කරුවකු ද නොවේ. ඒ නිසා එරට විසින් පනවනු ලබන සම්බාධක ගැන බියවිය යුතු නොවේ. තවත් කාරණයක් නම් එක්සත් ජනපදය එළැඹෙන සියලුම ද්විපාර්ශ්වික ගිවිසුම් එරටට වාසි සහගත ඒවා බවයි. දෙපාර්ශ්වයට ම වාසිදායක (win – win) ගිවිසුම් අමෙරිකාව කිසිදා අත්සන් තබන්නේ නැත.