රාවය

අධ්‍යාපන උපදේශනය සහ වෘත්තීය මාර්ගෝපදේශක මධ්‍යස්ථානයක් පිළිබඳ අත්දැකීම

අධ්‍යාපන උපදේශනය සහ වෘත්තීය මාර්ගෝපදේශක මධ්‍යස්ථානයක් පිළිබඳ අත්දැකීම

අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ විය යුත්තේ සංස්කෘතික මිනිසකු ඇති කිරීමයි. තම රටෙහි හෝ වෙනත් ඕනෑම රටක සුදුසු වෘත්තියක, ජීවන මාර්ගයක සාර්ථක ලෙස නිරතවීමට අවශ්‍ය කරන දැනුම, පුහුණුව හා ශික්‍ෂණය ඇති පුරවැසියකු තැනීමය. අධ්‍යාපන ක්‍රියාකාරකම් සකස් විය යුත්තේ අධ්‍යාපනයේ එම අරමුණ සපුරා ගත හැකි ආකාරයටය. (2018.05.13 රාවයේ පළවූ පාසල් අධ්‍යාපනය ගැන තවදුරටත් … ලිපිය)
– වික්ටර් අයිවන් –
ඉතා නිවැරදිව ඉහත දැක්වෙන අරමුණ ඉෂ්ට කර ගැනීම් වස් ශ්‍රී ලංකා පාසලක පළමු වතාවට ක්‍රියාත්මක කළ වැඩසටහනක් පිළිබඳ සත්‍ය තොරතුරු:
වර්ෂ 1983 දී මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා වශයෙන් ලියුම්කරු ක්‍රියාකළ අවධියේ එවකට විදුහල්පතිව සිටි ඒ.පී. ගුණරත්න මහතාගේ නායකත්වයෙන් පාසලේ විනය සංරචකය වෙනුවට ශිෂ්‍යයින්ගේත් දෙමාපියන්ගේත් පාසලේත් නව විද්‍යානුකූල අධ්‍යාපන අභ්‍යාසයක් වශයෙන් අධ්‍යාපන උපදේශනය සහ වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානයක් ආරම්භ කරන්නට යෙදුණි. (Educational Guidance and Vocational counselling Centre) අධ්‍යාපන ක්‍රියාවලිය වඩාත් සංවිධිත කිරීමේ මූලික අභිප්‍රාය සහිතව ආරම්භ කළ එම මධ්‍යස්ථානයේ අරමුණු චතුර්විධ වූයේය.
01. ශිෂ්‍ය උපදේශනය
1.1 ගැටලු සහිත සිසුන් සොයා බලා ඒ පිළිබඳව අධ්‍යාපන සමාජ විද්‍යාත්මක
විසඳුම් මගින් එම සිසුන් යළි අධ්‍යාපන මාවතට යොමු කිරීම.
1.2 වයස් මට්ටමට වඩා දක්‍ෂතා පෙන්වන, එනම් සුභග සිසුන් සඳහා ඔවුනට
ප්‍රයෝජනවත් වන, ඔවුන්ගේ කුසලතා තවත් ඔප්නැංවෙන වැඩ සැලසුම් කිරීම.
02. වෘත්තීය මාර්ගෝපදේශනය
රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ රැකියා මාර්ග සහ රැකියා ප්‍රවනතා අධ්‍යයනය කිරීමත්, එම මාර්ග සහ ප්‍රවනතා තොරතුරු වාර්තා කිරීම, එමගින් අප දරුවන්ගේ වෘත්තීය මාර්ගෝපදේශනය සඳහා කළමනාකාර ආයතනයක් ලෙස ක්‍රියා කිරීම.
03. දෙමව්පිය මධ්‍යස්ථානය
තම දරුවන්ගේ අධ්‍යාපනය හා විනය කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු හා
සාකච්ඡා සඳහා දෙමව්පිය අභිමානය රැකෙන ගෞරවණීය දෙමව්පිය මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම.
04. ගුරු උපදේශන මධ්‍යස්ථානය
විද්‍යාල අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳව සෑම ගුරු භවතකු සඳහාම මධ්‍යස්ථානය මාර්ගයෙන් අවශ්‍ය පහසුකම් ලබාදීම හා තම වෘත්තීය වර්ධනයට අවශ්‍ය කටයුතු යෙදීම.
අධ්‍යාපන ක්‍රියාවලිය ඵලදායි ලෙස යොදා ගන්නෙහි නම්, ශිෂ්‍ය සාධනය සඳහා බලපාන හේතූන් සියල්ල පිළිබඳව සොයා බැලීමක් කිරීම අත්‍යවශ්‍ය වේ. දෙමව්පිය සාධකය, සම වයස් කණ්ඩායම්, ගුරු සාධකය සහ කළමනාකාර සාධකය යන සියල්ල අදාළව කරුණු තොරතුරු ගවේෂණය කරගැනීම අත්‍යවශ්‍ය වේ. අධ්‍යාපන සමාජ විද්‍යාත්මක පසුතලය සහිතව මේ සඳහා ප්‍රවේශ විය යුතුය.
පාසලට පැමිණෙන ශිෂ්‍යයන්ට ඔවුන් ඉගෙනුම ලබන පාසලෙන් ලැබිය යුතු සාධනීය සාධක සියල්ල දරුවන් සතු අනුලංඝනීය උරුමයක් වේ. ඒ උරුමය ලබා ගැනීමට ඔවුනට ඇති අයිතිය අප පළමුව පිළිගත යුතු අතර සියලු ප්‍රතිකාර්ය වැඩසටහන්වලින් ඔවුනට ගරුත්වයක් ලබාදිය යුතුය. ආත්ම විශ්වාසය ගොඩනැංවිය යුතුය. නිවැරදි මගපෙන්වීමක් මගින් ඔවුන්ගේ පෞරුෂ සංවර්ධනය ඉහළ තලයකට ගෙන ආ හැකිය. අධ්‍යාපන මාර්ගෝපදේශය, පින්, සඳහා නොවිය යුතුය.
පරිගණකය නොතිබූ අවස්ථාවේදී අප විසින් සෑම ශිෂ්‍යයකු වෙනුවෙන්ම, ලිපිගොනුවක්, පවත්වාගෙන යෑමට ක්‍රියා කළෙමු. මෙය ශිෂ්‍යයා හා පාසල අතර නොබිඳිය හැකි සම්බන්ධතාවට අනගි උපක්‍රමයකි.
සිසුන්ගේ දිනපතා පාසල් පැමිණීම විධිමත් කිරීමේ අරමුණින්, පැමිණීමේ සටහන, නමැති නව ලේඛනයක් හඳුන්වා දෙන ලදි. මෙය ඉතා ඉහළ ඵලදායිතා ප්‍රතිචාරයක් ලබාදීම විශේෂයකි.
පාසල් පැමිණෙන සෑම දිනකම, පැමිණිමේ සටහන, රැගෙන ඒම අනිවාර්ය කරන ලදි. පැමිණීමේ සටහනෙහි දෙමව්පිය මූලික දත්ත සහ ඔවුන්ගේ නිවැරදි අත්සන් ස්ථාන ගත කර තිබුණි.
දරුවන්ගේ ජීවිතවලට අභිමානයක් හා වටිනාකමකට බලපාන අභිප්‍රේරණ වැඩසටහනක් හඳුන්වා දුන් අතර එහි සම්මාන අවස්ථා දෙකක් ඇති කරන ලදි.
1. Noteworthy Performance නමැති සහතිකය
2′ Merit Certificate
සැලකිය යුතු චර්යා රටාවක් ස්ථම්භනය කිරීමේ අභිලාෂයකින් මෙය අදියර දෙකකින් පවත්වාගෙන යන ලදි. සියලු සහතික සතියේ මුල් දින පවත්වන ශිෂ්‍ය රැස්වීමේදී ප්‍රදානය කරන්ට යෙදුන අතර පිටපතක් ලිපිගොනුවේ තැන්පත් කිරීමට ක්‍රියා කළේ ශිෂ්‍යයාගේම අනාගත අභිවෘද්ධිය වෙනුවෙනි.
ශිෂ්‍ය චර්යාවේ නව හැඩගැස්මක් වෙනුවෙන් ශිෂ්‍ය දැනුවත්කම උදෙසා සම්මන්ත්‍රණ ගණනාවක් කනිෂ්ඨ ද්විතීයික, ජ්‍යෙෂ්ඨ ද්විතීයික යන අංශ වශයෙන් වෙන වෙනම පවත්වන ලදි.
ශිෂ්‍ය චර්යාවේ සැබෑ වෙනසකට මුල පිරුණි.
ආර්ථීක අගහිඟකම්වලින් පෙළෙන ශිෂ්‍යයින් වෙනුවෙන්, ඔවුන්ගේ අධ්‍යාපනික සාධනීය මට්ටම හා චර්යාවන් තේරුම් ගැනීමෙන් අනතුරුව ඔවුනට උදව් කිරීමේ පරමාර්ථයෙන් වෙනම ගිණුමක් ආරම්භ කරන ලදුව ඇතැම් දෙමව්පියන් සිය කැමැත්තෙන් මාසිකව මෙහි මුදල් තැන්පත් කළ වග සිහිපත් කරමි. එම සිසුන්ට පාවහන් හා ඇතැම්විට බස් සීසන් එක ද අධ්‍යාපන චාරිකාවන් සඳහා මුදල් ද ලබාදෙන ලදි. මෙම සියල්ල ඉෂ්ට සිද්ධ කරනු ලැබුයේ, ශිෂ්‍යයන්ගේ අභිමානයට කිසිදු කැළලක් නොවන ලෙසට වග බලා ගනිමිනි. සියල්ල රහසිගත පදනමක සිදුවූ අතර ලිපිගොනු වාර්තා තබා ගනිමින් විදුහල්පතිතුමාගේ පූර්ණ අනුදැනුම මත සියලු වැඩටසටහන් පවත්වා ගෙන යන ලදි. අප අධ්‍යාපන මාර්ගෝපදේශ මධ්‍යස්ථානයේ ස්වභාවය තේරුම් ගත් සමහර මානව හිතවාදීහුද ඉහත කී ගිණුමට මුදල් තැන්පත් කිරීම විශේෂයකි.
වෘත්තීය මාර්ගෝපදේශනය සඳහා විශේෂ පියවරක් ගැනුණි. ගුවන් හමුදා නිලධාරීන්ද, යම් ප්‍රධාන වාණිජ ව්‍යාපාරවල කළමනාකරුවන්ද සම්බන්ධ කරගනිමින් සැසි කිහිපයක් පවත්වාගෙන ගිය අතර වෘත්තියාභිමුඛ අවශ්‍යතා පරිසරයක් වෙත සිසුන් යොමු කිරීම සිදුවිණ.
දෙමව්පිය මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාත්මකවීම අතිශය ජනප්‍රියත්වයට පත්වීම සුවිශේෂ කාරණයකි. පාසල හිමි සම්පත් ජාලයේ සැබෑ කොටස්කරුවන් පිරිසක් වන්නේද එහි දෙමව්පියෝය. දෙමව්පියන්ට පාසල් භූමිය තුළ ලැබිය යුතු සැබෑ ගරුත්වය සහ සැලකිල්ල ලබාදීම එහි අරමුණ වූ අතර, පාසල් භූමියේ අප මධ්‍යස්ථානයේදී දෙමව්පියන් වෙත ගුරු භවතුන් යොමු කරවීමට අප සමත්වුණි. විදුහල්පතිතුමාගේ පූර්ණ ආශිර්වාදය ලැබුණි.
දෙමව්පියන් දැනුවත් කිරීම උදෙසා මහනුවර තරුණ බෞද්ධ සමිතියේ එක් දිනක සම්මන්ත්‍රණයක් පවත්වන ලදි.
දරුවන්ගේ විනය ගැටලු, සාධනීය ගැටලු හා වෙනත් දුෂ්කරතා මධ්‍යස්ථානය සමග සාකච්ඡා කිරීම හේතුවෙන් එම විදුහල්පතිතුමාගේ කළමනාකාර භූමිකාවට විශේෂ උදව් අත්වැළක් බවට පත්වුණි.
වර්ෂ 1984 සිට පවත්වන ලද සෑම ත්‍යාග ප්‍රදානෝත්සවයක් වෙනුවෙන් විදුහල්පති වාර්තාවේ ප්‍රමුඛ සටහනක් අධ්‍යාපන උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය වෙනුවෙන් වාර්තාවීම සහ එහි ප්‍රගතිය එතුළින් ඇගයීමට ලක්කිරීමත් වෙසෙසින් සිහිපත් කළ යුතුය.

පාසලේ ගුරු භවතුන් දැනුවත් කිරීම උදෙසාත් ඔවුන්ගේ සහයෝගිතාව මෙම වැඩ පිළිවෙළට ලබාගැනීම සඳහාත් උපායශීලි ක්‍රියාදාමයක් අනුගමනය කළ අතර, ගුරු භවතුන් වෙනුවෙන් අධ්‍යාපන මාර්ගෝපදේශය හා අදාළව අධ්‍යාපන සමාජ විද්‍යාත්මක තොරතුරු පත්‍රිකා ගණනාවක් බෙදා දුන් අතර, සම්මන්ත්‍රණ කීපයක්ද පවත්වන්නට යෙදුණි.
මෙම මධ්‍යස්ථානය නැරඹීමට පැමිණි අය අතර එවකට අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ (වත්මන් අගමැතිතුමා) බැංකොක් යුනෙස්කෝ ආයතනයේ ප්‍රධාන නිලධාරි ආචාර්ය අයික්මන්ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ එවක උපදේශක ඩී.ඒ. පෙරේරා මහතාද වූ අතර, ඩී.ඒ. පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන්, 1986 ආරම්භ කළ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සංග්‍රහයේ ගුරු පුහුණු විෂය ක්‍ෂේත්‍රයේ හර විෂයයක් ලෙස සෑම ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන්ම අධ්‍යාපන මාර්ගෝපදේශය හඳුන්වාදීම 1983දී අප ආරම්භ කළ අධ්‍යාපන මාර්ගෝපදේශ මධ්‍යස්ථානයේ අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස ඉතිහාසයට එක්වුණි.

කමල් සිරිවර්ධන
අධ්‍යාපන මාර්ගෝපදේශක 1983-1987
www.siriwardena2011@gmail.com
මහනුවර, පොල්ගොල්ල.
මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ
හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය/ප්‍රමුඛාචාර්ය
1987-1990

ඇමුණුම් : 1983.11.15 දින හදුන්වාදීමේ ලේඛනය.