පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා අධ්‍යාපනයේ පෞද්ගලීකරණය 1 කොටස

හම්බන්තොට හිටපු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
මහා බි්‍රතාන්‍යයේ සවුත් වේල්ස් සරසවියේ
සෞඛ්‍ය ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ
වෛද්‍ය ජී.ජී. චමල් සංජීව

අධ්‍යාපනය සඳහා නිදහස ද නිදහස් අධ්‍යාපනය ද මේ දිනවල ප්‍රධාන තේමාවක් බවට පත්ව ඇත. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඔස්සේ සමාජය තුළ ගොඩ නැගී ඇති කථාබහ මේ කෙරෙහි හේතුවී ඇත. කෙසේ වුවත් සයිටම් අර්බුදයට මුවාවී අප අපේ වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතළ බේදවාචක රැසක් විවරණය කිරීම නතර කර දමා ඇත. දේශපාලන බෝඞ් ලෑලිවලට මුවාවීම නිසා බලයට ඒමට යත්න දරන පක්ෂ අධ්‍යාපනය ඉතා හොඳින් මාර්කට් කිරීමත්, උද්ඝෝෂණ කරන තරුණ ජවය මේ සත්‍ය අවබෝධ කර නොගැනීමත් නිසා නැවක් කුඩා සිදුරකින් ගිලිය හැකි ලෙසින් මෙරට සමස්ත අධ්‍යාපනයට බරපතළ ලෙස ව්‍යාධියක් වැළඳෙමින් පවතී.
පසුගිය දශක කීපය තුළ වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ක්‍රමවේදය පෞද්ගලීකරණයට ලක්වීම හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවීම ඉතා ශීඝ්‍රයෙන් ජාත්‍යන්තර වශයෙන් සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය වශයෙන් විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන අතර සෑම රටකම වාගේ වෛද්‍ය අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමේදී මෙය දැඩි ලෙස සැලකිල්ලට ගනිමින් සිටී. පෞද්ගලීකරණයේ ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන කාර්ය කෙරෙහි රාජ්‍ය අංශයේ මැදිහත්වීම කැපී පෙනෙන ලෙස අඩුකර ඇත. සමාජයේ ජීවත්වන ජනතාවගේ අධ්‍යාපනික අවශ්‍යතාවන් සංතෘප්ත කළ හැකි ලෙස පෞද්ගලික අංශයට දායකවීමේ හැකියාව මේ සමග ඉහළ නැංවී ඇත. ශ්‍රී ලංකාවේ වුවද පුවත්පත් දැන්වීම්වලින් වැඩිම ප්‍රමාණයක් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතන සම්බන්ධව පළවීම මෙයට නිදසුනකි. රාජ්‍ය අංශයේ විධිමත් අධ්‍යාපන රටාවෙන් ඔබ්බට ගොස් රාජ්‍ය අංශයේ විභාග ප්‍රතිඵල කුමක් වුවත් තමා කැමති විෂය ක්ෂේත්‍රයකින් වෘත්තීය අධ්‍යාපනයක් ලබාගැනීමට මෙම පෞද්ගලීකරණය උපකාරී වී ඇත. නිදසුනක් වශයෙන් අද අපේ රටේ කළමනාකරණ අංශයේ ඉහළ රැකියා දරන බොහෝ දෙනෙක් රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් බිහිවූවන් නොව මෙම පෞද්ගලික අධ්‍යාපන ආයතන හරහා කළමනාකරණ උපාධි හදාරණ ලද පුද්ගලයෝය.
කෙසේ වුවත් අනෙක් උපාධි මෙන් නොව වෛද්‍ය උපාධිය පෞද්ගලීකරණය වීම සමාජය තුළ මහත් කතාබහට ලක්වී ඇත්තේ එය මිනිසුන්ගේ ජීවිත සමග කෙරෙන ගනුදෙනුවක් බැවිනි. ලොව පුරා පෞද්ගලික වෛද්‍ය ආයතන පවත්වාගෙන යනු ලබන්නේ රාජ්‍ය නොවන සංවිධානවලින් වන අතර එයට රාජ්‍ය මැදිහත්වීමක් නොමැත. ඇතැම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයෙන් පාලනය වන අතර සමහර වෛද්‍ය විද්‍යාලවල ඇතැම් උපාධි රාජ්‍ය අංශයේ අධීක්ෂණය යටතේ නිකුත් කෙරේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලාභ ලබන ආයතන ලෙස බොහෝ විට ක්‍රියාත්මක වේ. එය තවත් ව්‍යාපාරික ආයතනයක් වන බැවින් එහි මූලික අරමුණ එයට මුදල් යෙදවූ ආයෝජකයන්ට හෝ සංවිධානවලට ලාභ ලැබෙන ලෙස ක්‍රියා කිරීමයි.
පළමුව අප වටහා ගතයුතු යථාර්ථය වන්නේ අධ්‍යාපනය නිදහස් වී ඇති බවයි. නැතහොත් නිදහස් අධ්‍යාපනය රටේ නොමැති බවයි. පෙර පාසල් අවධියේ සිටම අදවන විට ළමයා පෞද්ගලික ටියුෂන් පංතිවලට යැවිමේ ‘නරක’ ආදර්ශය මාපියෝ අරඹති.
බොහෝ පාසල් ගුරුවරු එක ශ්‍රේණියේ සිටම ටියුෂන් පංති ආරම්භ කරති. මේ නිසා එක ශ්‍රේණියේ සිටම දරුවා පාසලින් පසුව ටියුෂන්වලට පුහුණු කරන්නේ එක් පසකින් පාසලේම ගුරුවරුන්ය. සියලු පාසල්වලට මෙය අදාළ නැතත් සත්‍ය මෙයයි. ඉස්කෝලෙදි කියලා දෙන්න වෙලාවක් නැහැ. හවසට මගේ ටියුෂන් එකට ආවොත් ළමයාගේ අකුරු හදවන්නම්, වැරදෙන ගණන් කියලා දෙන්නම් යැයි ප්‍රසිද්ධියේ මාසික පංති රැස්වීම්වලදී පැවසීමට තරම් ඇතැම් ගුරුවරු නිර්භීත වෙති. නිදහස් අධ්‍යාපනයේ නිසි ක්‍රමවේදයක් තිබිය යුතුය. නිදහස් අධ්‍යාපනය මෙසේ වුවත් අධ්‍යාපනය කුමන අන්දමට හෝ ලැබීමට නිදහස ඇත. එම නිසා දරුවාට සවස ටියුෂන් පංති යාමට සිදුවී ඇත.
අද බොහෝ පාසල්වල උගන්වන්නේ නවය ශ්‍රේණිය දක්වාය. දහය හා දොළහ ශ්‍රේණිවල ළමයින් ඇත්තේ ද නැත. ඒවායේ උගන්වන ගුරුවරුන් ගුරු විවේකාගාරයේය. ළමයින්ට ටියුෂන් පංති යාමට වක්‍රාකාරයෙන් අනුබල දෙන්නේ පාසලේම ගුරුවරුන්ය. ටියුෂන් ගුරුවරුන් උගන්වන දෙයින් ප්‍රතිඵල සටහන් වන්නේ පාසලේ නමට ඉදිරියෙනි. දවසක පාසල ඉදිරියේ ඩිජිටල් සුභ පැතුම් පෝස්ටර් එල්ලෙයි. එහෙත් සත්‍ය ලෙසට සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ ප්‍රතිඵල නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල නොවන්නේය.
නිදහස් අධ්‍යාපනය පවත්වා ගෙන යාම වෙනුවට මෙම දෝෂ නිවැරදි කිරීමට පියවර ගත යුතුය. දරුවන් ටියුෂන් යන්නේ මුදල් ඇති නිසා නොව පාසලේ දී නිසි ක්‍රමයට ඉගැන්වීම සිදුනොවන නිසාය. මුදල් ඇති අය මෙන්ම නැති අය ද ටියුෂන් යති. නිදහස් අධ්‍යාපනය නිසි පරිදි ක්‍රියාත්මකවීමට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පංතිවල උගන්වන ගුරුවරුන්ගේ සිට පාඨමාලාද නූතන ක්‍රමයට ගැළපෙන ලෙස යාවත්කාලීන විය යුතුය. නිවැරදි අධ්‍යයන වැඩපිළිවෙළක් සකසා දරුවා පාසලේ රඳවා ගත හැකි වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුය.
ටියුෂන් යාමට අකමැති ළමයා පාසලේම ඉගෙන ගනියි. ස්වයං අධ්‍යයනවල යෙදෙයි. ළමයි ටියුෂන් යන්නේ තමාගේ කැමැත්තෙනි. එයට රජය බලපෑම් කරන්නේ නැත. ටියුෂන් නිසා නිදහස් අධ්‍යාපනය වැනසෙන බවට කෑනොගසන ශිෂ්‍ය නායකයින් පෞද්ගලික විශ්වවිද්‍යාල නිසා නිදහස් අධ්‍යාපනය අහෝසි වේ යැයි කෑ ගැසීම දේශපාලන අඳබාලකමකි.
රජයේ පාසල්වලට අමතරව පෞද්ගලික ජාත්‍යන්තර පාසල් බිහිවී ඇත. මෙම පෞද්ගලික පාසල්වලට එරෙහිව කිසිවෙක් බෝඞ් ලෑලි උස්සාගෙන නොසිටිති. රජයේ පාසල් සාමාන්‍ය ජනතාවටද මුදල් ඇති මාපියන්ගේ දරුවන්ට පෞද්ගලික ජාත්‍යන්තර පාසල් බිහිවී ඇත. රජයේ පාසල් එක් පසකිනි. ජාත්‍යන්තර පාසල් තව පසෙකිනි. ජාත්‍යන්තර පාසල්වල උගන්වන විෂය මාලාවේ ගුණ අගුණ ගැන බොහෝ දෙනෙක් නොදනිති. කිසිවකු අධ්‍යනයක්ද කර නොමැති තරම්ය.
සී.ඩබ්.ඩබ් කන්නන්ගර මැතිතුමන් නිදහස් අධ්‍යාපනය සංකල්පය පාර්ලිමේන්තුවේ මතු කරමින් නිදහස් අධ්‍යාපනය යනු සියල්ල නොමිලේ ලබාදීම නොව දරුවාට අධ්‍යාපනය නිදහසේ ලබා ගැනීමට අවස්ථාව ලබාදීම බව කීවේය. මුදල් නොමැති අයට රජයේ පාසලකද, මුදල් ඇති අයට අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික පාසල්වල ඉගෙන ගත හැකිය. මේ අධ්‍යාපනය ලැබීමට ඇති නිදහසයි.
පෞද්ගලික පාසල්වලින් පිටවන දරුවෝ මෙරට හෝ විදේශීය රැකියාවලට එකතු වෙති. මෙම අවස්ථාවේදී තරගයක් ඇතිවෙයි. රජයේ පාසල්වලින් බිහිවන දරුවන් රජයේ විශ්වවිද්‍යාල මාර්ගයක ගමන් කරන අතර ජාත්‍යන්තර පාසල්වලින් බිහිවන දරුවන්ටත් මාර්ගයක් තිබිය යුතුය. පාසල් අධ්‍යාපනයේ සියල්ල අතරමග නතර නොවිය යුතුය. ජාත්‍යන්තර පාසල් වසා දමනු යැයි උද්ඝෝෂණ නැත. ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපන ක්‍රමවේදය අධ්‍යයනයද ඉතා වටියි. දැන් බරපතළ අභියෝගයකට මුහුණ පා සිටින්නේ පෞද්ගලික වෛද්‍ය පීඨවල සිසුන්ය. අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්නයක් හේතු කොටගෙන ඔවුන් අභියෝගයට ලක්කිරීම පිළිගත හැකිය. ඔවුන්ට එරෙහිව ඇති ඊට පරිබාහිර හේතු පිළිගත නොහැකිය.
ඉංජීනේරුවරයකු ජීවිත දහසකට එකවර වගකිව යුතුය. ගුවන්යානය බිමට හෝ ගොඩනැගිල්ලකට කඩා වැටුණොත් වන හානිය ජීවිත සියගණනක් විය හැකිය. ව්‍යවහාර කළමනාකරණයේ වැරදි තිබුණහොත් නාවික ඉංජිනේරුවකු අතින්ද දහස් ගණනක් අමාරුවේ වැටෙනු ඇත. මේ අනුව මිනිස් ජීවිත ගැන වගකියන්නේ වෛද්‍ය විද්‍යා අංශය පමණක් නොවේ. සියලුම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය ගැන විමසා බලන්නේ නම් සියලුම පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය ගැනද විමසා බැලිය යුතුය.
ලංකාව තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබුණද නොතිබුණුද මුදල් ඇති අය විදෙස් විශ්වවිද්‍යාලවලින් පෞද්ගලික වෛද්‍ය උපාධි ලබා ගෙන පැමිණීම නතර කළ නොහැකිය. බොහෝ පෞද්ගලික විදේශ වෛද්‍ය පීඨවල අවම සුදුසුකම සාමාන්‍ය පෙළට පෙනී සිටීම පමණි. උසස් පෙළ විෂයන් අසමත් බොහෝ දෙනෙක් මෙම විදෙස් වෛද්‍ය පීඨවල අධ්‍යාපනය ලබති. සත්‍ය එයයි.
මේ වනවිට ලොව පුරා වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය වීම ශීඝ්‍රයෙන් සිදුවේ. මෙහි පෙරමුණේ සිටින්නේ අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියාව තුළ පමණක් ලියාපදිංචි වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාව 271ක් වන අතර මින් 137ක් පමණ පෞද්ගලික අංශයට අයිති ආයතන වේ. දෙවැනි ස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදයට හිමිවේ. එරට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 131ක් පමණ පවතින අතර ඉන් 62ක් පමණ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වේ. එහෙත් මෙම බොහෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට පර්යේෂණ කටයුතු සිදුකරගෙන යෑම සඳහා ඇමෙරිකානු රජයේ සෘජු ආධාර ලැබෙන අතර මේවා ලාභ නොලබන ආයතන ලෙස ක්‍රියාත්මක වේ.
ජපානය තුළ වෛද්‍ය විද්‍යාල 79 ක් පමණ පවතින අතර ඉන් 29ක් පමණ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වේ. මලයාසියාවේ, පිලිපීනය හා තායිලන්තය තුළ තත්ත්වය මෙයට සමාන වේ. මහා බි්‍රතාන්‍යය තුළ වෛද්‍ය විද්‍යාල 44ක් පමණ පවතින අතර ඉන් පෞද්ගලික අංශය සතුවන්නේ බකිංහැම් වෛද්‍ය විද්‍යාලය පමණි. ජර්මනිය තුළද පවතින්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 1ක් පමණි. ග්‍රීසිය, නෙදර්ලන්තය වැනි රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නොමැත.
ඕස්ටේ‍රලියාව තුළ වෛද්‍ය විද්‍යාල 19ක් පවතින අතර ඉන් පෞද්ගලික අංශය සතු වන්නේ ආයතන 2ක් පමණි. නවසීලන්තය තුළ වෛද්‍ය විද්‍යාල ඇත්තේ 2කි. එම ආයතන දෙකම රාජ්‍ය අංශය සතුවේ. ඇමෙරිකාවේ කැරිබියානු කලාපය තුළ වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය වීම ශීඝ්‍රයෙන් සිදුවන අතර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 56 ක් පමණ මේ වනවිට බිහිවී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකානු හා කැනඩා සිසුන්ට උසස් වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ දොරටු රැසක් විවර වී ඇත. චිලී රාජ්‍යයේ වෛද්‍ය විද්‍යාල 60ක් පවතින අතර ඉන් 35ක් පමණ පෞද්ගලික අංශය සතුවේ. චීනය, දකුණු අප්‍රිකාව, ප්‍රංශය, සහ කැනඩාව වැනි රටවල වෛද්‍ය අධ්‍යාපනය ලැබීම රාජ්‍ය අංශය මගින් සම්පූර්ණයෙන්ම පාලනය වේ.
මේ අනුව අපේ රට තුළ රැල්ලක් මෙන් වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය වීම සම්බන්ධව ඉතා ඕනෑකමින් වරක් දෙවරක් නොව කීප වරක්ම සිතා බැලිය යුතුය. විදේශ රටවල රාජ්‍ය විශ්ව විද්‍යාලවලට මුදල් ගෙවා ඇතුළුවීමට පවතින අවස්ථාත් ලංකාව තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිවීමත් සමාන කළ නොහැක. ඒවායේ අරමුණුද වෙනස් වෙයි. අපේ රටේද රාජ්‍ය විශ්වවිද්‍යාල වලට මුදල් ගෙවා ඇතුළත් වී අධ්‍යාපනය ලබන විදේශ සිසුන් බොහෝ දෙනෙක් සිටිති.
වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය වීම ශීඝ්‍රයෙන් පැතිර යාමට බලපාන ලද කරුණු රැසක් අවධාරණය කොට තිබේ. බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල ශීඝ්‍ර ජනගහන වර්ධනය සමග වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන ඉල්ලුමද ඉහළ ගොස් ඇත. එහෙත් රාජ්‍ය අංශය මගින් එම ඉල්ලුම සපුරාලීමට අසමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම රටවල සිසුන් පෞද්ගලික වෛද්‍ය ආයතනවලට යොමුවීම ඉහළයමින් පවතී. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදය තුළ වැඩි සිසුන් පිරිසක් ඇතුළත් කරගැනීමට තරම් මුදල් වෙන් කිරීමට රජය අපොහොසත් වීම හා විශ්වවිද්‍යාල අභ්‍යන්තර පහසුකම් ඉහළ නැංවීමට අසමත් වීම නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ ඇත්තේ තදබදයකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික වෛද්‍ය ආයතන බිහිවීමත් සංවර්ධනයවෙමින් පවතින රටවල යම් මූල්‍යමය වත්කම් සහිත මධ්‍යම පාන්තික පවුල්වල දරුවන් ආකර්ෂණය කරගැනීමට පෞද්ගලික අංශය සමත්වෙමින් සිටී.
ආරම්භයේදී සංවර්ධිත රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවූයේ රාජ්‍ය අංශය මඟින් වසරකට ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් ප්‍රමාණයක් බිහි නොවන නිසා එම රටවල සංවර්ධන ක්‍රියාදාමයන් අඩපණවීම වළක්වාලීමට මිස මුදල් ගරා ගැනීමේ ආයතන ලෙස නොවේ. මෙම සංවර්ධිත රටවල තාක්ෂණික ක්‍රමවේදයන් දියුණුවීමත් සමග මිනිසාගේ ආයුකාලය ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය පහසුකම් ජනතාව වෙත වඩ වඩාත් සමීප කරවීම සඳහා වැඩි වෛද්‍යවරුන් ප්‍රමාණයක් අවශ්‍ය වේ.
ගෝලීයකරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ නිරතවූවන් කෙරෙහි විදෙස් රටවලින් වැඩි ඉල්ලුමක් ඇතිවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස වෛද්‍යවරුන් සඳහා ඉහළ දීමනා හා වරප්‍රසාද විදෙස් රටවලින් හිමිවන්නට විය. මේ නිසා වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලැබීමට යොමුවන පිරිසද ක්‍රමානුකූලව ඉහළ ගොස් ඇත. මේ ඉල්ලුම සපුරාලීම සඳහා රාජ්‍ය අංශය අසමත් වූ බැවින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වැඩි වශයෙන් ආරම්භ විය. මෙයට හොඳම නිදසුන ඉන්දියාවයි. මහා බි්‍රතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ටේ්‍රලියාව හා නවසීලන්තය යන සංවර්ධිත රටවල් පහේම කායික රෝග විශේෂඥයන්ගෙන් වැඩිම ප්‍රමාණයක් ඉන්දියානු වෛද්‍යවරුන්ය. ඉන්දියාව තුළ වැඩිම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රමාණයක් පැවැත්වීමේ රහස මෙයයි. සංවර්ධිත රටවල වෛද්‍යවරුන් සඳහා වන ඉල්ලුම රාජ්‍ය අංශයෙන් පමණක් පරිපූර්ණ කළ නොහැක.
විදේශ රටවල ජනතාව සඳහා අඩු මිලට වෛද්‍ය පහසුකම් සැපයීම හෙවත් ඵැාසජ්ක ඔදමරසිප සංකල්පය ව්‍යාප්ත කරන ප්‍රධාන රාජ්‍යයක් වන්නේද ඉන්දියාවයි. ශ්‍රී ලාංකිකයන් වුවද වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා බොහෝ විට ඉන්දියාවට ගමන් කරන්නේ මේ නිසාය. මලයාසියාව සහ තායිලන්තය තුළද විදේශීය සංචාරකයන් සඳහා අඩු මිලට සෞඛ්‍ය පහසුකම් සැපයීම සිදු කෙරේ. මේ තත්ත්වයට මුහුණ දීම සඳහා ඉන්දියාව හා මලයාසියාව තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවීම වැඩි වශයෙන් සිදුවෙමින් පවතී.