රාවය

විදුලිබල මණ්ඩලය එල්.ටී.එල්. හෝල්ඩින්ග්ස්හි මකර කටේ

විදුලිබල මණ්ඩලය එල්.ටී.එල්. හෝල්ඩින්ග්ස්හි මකර කටේ

නිමල් අබේසිංහ

‘විදුලිබල මණ්ඩලය අනතුරේ’ නමින් අප රාවයට ලියූ ලිපියත් සමඟ එල්.ටී.එල්. හෝල්ඩින්ග්ස් සමාගම සහ ඊට අනුබද්ධ සමාගම්හි ඉහළ තලයේ නිලධාරීන් දැඩි ලෙස කලබල වී ඇති බව පෙනේ. ඔවුන් කොතරම් කලබලවීදැයි වැටහෙන්නේ අධ්‍යක්ෂවරුන් නොවන අය ලවා උක්ත ලිපියට පිළිතුරු ලියා එවීමෙන්ය. එවැනි බළල් අත්වල ක්‍රියාකාරකම් අප ගණන් නොගන්නා බවත් අප මුලින් සිටි ස්ථාවරයේ ම තවම සිටින බවත් අවධාරණය කෙරෙමින් මේ ලිපිය සම්පාදනය කෙරෙයි.
ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමේ (එල්.ටී.එල්. හෝල්ඩින්ග්ස්) ප්‍රධාන විධායක නිලධාරී උපාලි දයාරත්න ජයවර්ධන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලබා දුන් තොරතුරුවලින් සංක්ෂිප්තයක් මෙහි සටහන් කරමු. ඒ ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගම හා ඊට අනුබද්ධ ඊසොට් සමාගම පිළිබඳ පිළිබඳ අවබෝධයක් ඇති කරනු පිණිසය.
එල්. ටී. එල්. ට්‍රාන්ස්ෆෝමර් සමාගම ආරම්භ කරන විට එහි කොටස් හිමිකාරීත්වය පැවතුනේ ලංකා විදුලිබල මණ්ඩලය 60% ක් ද ස්කොට්ලන්තයේ බෝනාර් ලොන්ග් (Bonarlong) සමාගමට 40% ක් වශයෙනි. 1985 වසරේ දී බෝනාර් ලොන්ග් සමාගම සිය කොටස් විකුණා ඇත්තේ නෝර්වෙහි ABB සමාගමටය. යූ. ඩී. ජයවර්ධන ලංකා ට්‍රාන්ස් ෆෝමර්හි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වන්නේ වර්ෂ 2001 දීය. ඒ සමාගමේ සේවකයින් වෙනුවෙන් ආරම්භ කළ භාරයේ නියෝජිතයා වශයෙන්ය. භාරය වෙනුවෙන් අදහස් කරනුයේ එල්.ටී.එල්. හෝල්ඩින්ග්ස් සමාගමේ මුල් කොටස්කරුවන්ගේ කැමැත්ත මත නව ප්‍රාග්ධනය සොයා ගැනීම සඳහාත් සේවකයන් දිරිගැන්වීම සහ ආයතනයේ ප්‍රගතිය වෙනුවෙන් ආරම්භ කරන ලද ආයතනයයි. එම භාරයට එල්.ටී.එල්. හෝල්ඩින්ග්ස් සමාගම විසින් නිකුත් කරන ලද නව කොටස් 10% මිලදී ගෙන ඇත. මේ නිසා එල්.ටී.එල්. හෝල්ඩින්ග්ස්හි කොටස් සංයුතිය ලංවීම 63% ABB 27% සහ භාරය 10% ලෙසට වෙනස් විය. භාරය වෙනුවෙන් එල්.ටී.එල්. හෝල්ඩින්ග්ස්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත්වන්නේ යූ.ඩී. ජයවර්ධනය.
කොටස් හතේ සමාගම
මෙසේ තිබියදී ABB සමාගම (2005 වසරේදී) කොටස් විකිණීමට සූදානම් වූ අතර විදුලිබල මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් මත එම කොටස් මිලදී ගැනීම සිදු කර නැත. ඒ අවස්ථාවේදී යූ.ඩී. ජයවර්ධන, ඇතුළු (රුපියල් දහයේ කොටස් හතක් යොදවා) 7 දෙනකු එවකට පැවති සමාගම් පනත යටතේ ඊසොට් නමැති සමාගමක් පිහිටුවා ගන්නා ලදි.අනෙක් කොටස්කරුවන් වන්නේ එම්.ජේ.එම්. මරික්කාර්, ආර්.කේ. පිටිගලගේ, මංජුල පෙරේරා, සුදත් අන්නාසිවත්ත, ධම්මික නානායක්කාර යන පිරිසය. මෙම සමාගම ආරම්භ කර සුළු කලකට පසුව LANKA TRANSFOMERS GROUP EMPLOYEE TRUST (LTGET) එනම් සේවක භාරයේ රුපියල් මිලියන 85.3ක් ආයෝජනය කිරීමෙන් පසුව ESOT (ඊසොට්) සමාගම LTGET සමාගමට සිය සමාගමෙන් කොටස් මිලියන 8.5 ක් නිකුත් කර ඇත. ඒ අනුව ඊසොට්හි කොටස් අයිතිය 99.999% ක් LTGET එනම් සේවක භාරයටද ඉතිරි .0001% යූ.ඩී. ජයවර්ධන ඇතුළු පිරිසට අයත් වේ. මින් පැහැදිලි වන්නේ සේවක භාරය සතුව කොටස් අයිතිය වැඩි ප්‍රමාණයක් තිබුණද ඔවුන්ට ඊසොට්හි අධ්‍යක්ෂ තනතුරක් හිමිව නැති බවය. එයට හේතුව ලෙස පෙනෙන්නේ සේවක භාරය නියෝජනය කරමින් ලංකා ට්‍රාන්ස් ෆෝමර්ස් ලිමිටඞ්හි අධ්‍යක්ෂ ධූරයක් යූ.ඩී. ජයවර්ධනට හිමිව තිබීමය. එය සාරධර්මානූකූලව කිසිසේත් නොගැලපෙන්නකි. මින් පසුව එල්.ටී.එල්. ඊසොට් සමාගම ලංකා ට්‍රාන්ස් ෆෝමර් සමාගමේ ABB සතු 27% ක කොටස් අයිතිය මිලදී ගෙන ඇත. යූ.ඩී. ජයවර්ධනගේ ප්‍රකාශයේ එක් තැනක මෙම කොටස් මිලදී ගැනීම සඳහා ඊසොට් සමාගම ලංකා ට්‍රාන්ස් ෆෝමර්ස් සමාගමෙන් ණයක් ලබා ගෙනද තිබේ. එහෙත් සිදුව ඇත්තේ ලංකා ට්‍රාන්ස් ෆෝමර් සමාගමේ වත්කම් ඇපයට තබා බැංකු ණයක් ලබාගෙන ලංකා ට්‍රාන්ස් ෆෝමර්ස් සමාගම ලවාම එය ගෙවීමට කටයුතු සලස්වා තිබීමය. ඒ බැව් ලංකා ට්‍රාන්ස් ෆෝමර් සමාගමේ 2007 ගිණුම් වාර්තාවෙන් සාධක ලැබේ. අර්නස්ට් ඇන්ඞ් යන්ග් සමාගම විසින් සකස් කරන ලද එකී වාර්තාවේ 12.1.2 ශිර්ෂයේ බැංකු ණය (BANK LOANS SECURD) දිගු කාලීන ණය (Longterm Loans Securd) යන්නේ NDB බැංකුවෙන් රුපියල් 410,841,687/-ක් ලබාගෙන ඇතිබව සඳහන් වේ.
සේවකයන්ට නැති වාසි අධ්‍යක්ෂවරුන්ට
යූ.ඩී. ජයවර්ධනගේ ප්‍රකාශයට අනුව නම් ඊසොට් ආයතනය ABB කොටස් මිලදී ගැනීම සඳහා ලංකා ට්‍රාන්ස් ෆෝමර්ස් සමාගමෙන් ණයක් ලබාගත්තා පමණක් නොව එය ලබා ගැනීමෙන් පසුව LTL ඊසොට් අධ්‍යක්ෂ මණ්ඩලය ණය ගෙවා හමාර කරනතුරු මෙහි ලාභාංශ සේවක භාරයට හිමි කිසිවකුට ලබා නොදීමට තීරණය කර ඇත. 2012 වර්ෂය අවසාන වනවිට මෙම ණය ගෙවා හමාර කර තිබුණද මෙම භාරයට හිමි කොටස් ලාභාංශ සේවකයින්ට ගෙවීමට තීරණය කර නැත.
සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු කළමනාකාරීත්වය යෝජනා කිරීමත් සියලු කොටස්කරුවන්ගේ කැමැත්තෙන් තීන්දු කිරීමත්ය. ඊසොට් සමාගමට එකී සමාගම් නීති අදාළ නොවන බවද පෙනී යයි. ලාභාංශ ගෙවීම කෙසේ වෙතත් යූ.ඩී. ජයවර්ධන ඇතුළු පිරිස නම් තමනට රිසි සේ බෙදාගෙන ඇති බව පෙනෙයි. 2014 දෙසැම්බර් 23 එල්. ටී. එල්. ඊසොට් සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනකුවන යූ.ඩී. ජයවර්ධන සහ රවින්ද්‍ර පිටිගලගේ අත්සනින් යුතුව හැටන් නැෂනල් බැංකුවේ කුරුඳුවත්ත ශාඛාවේ කළමනාකාරවරයාට ලිපියක් යවා ඇත. එම ලිපියට යා කොට චෙක්පතක් හා තවත් ලිපි ඇමුණුමක්ද සහිතවය. අංක 358466 දරණ රේඛනය කරන ලද එම චෙක්පත ලියා ඇත්තේ MANAGER – HNB CINNAMAN GARDEND BRANCH යන නමිනි. එහි සඳහන් මුදල් ප්‍රමාණය රු. 3,783,390/- කි. ගිණුමේ හිමිකරුවා LTL ESOT සමාගමය. චෙක්පත අත්සන් කර ඇත්තේ යූ.ඩී.ජයවර්ධන සහ රවීන්ද්‍ර පිටිගලගේය. කළමනාකාරවරයා වෙත යැවූ ලිපියේ අත්සන්ද ඔවුන් දෙදෙනාගේමය. (PAYMENTS TO MEMBERS) සමාජිකයින්ට ගෙවීම් යුතු ශීර්ෂයෙන් යුතු මෙම ලිපියේ සඳහන් වන්නේ අපේ 0760100066577 ගිණුමෙන් ගෙවිය යුතුය යන්නය. ඒ අනුව අනෙක් ඇමුණුමේ සඳහන් නම් වලට චෙක්පතෙහි සඳහන් මුදලින් යූ.ඩී. ජයවර්ධනගේ කුරුඳුවත්ත ශාඛාවේ ඒච්.එන්.බී. බැංකුවේ ගිණුම් අංක 076000205 ට රුපියල් 1,693,650,00 ක්ද එම්. ජේ.එම්.එම් මරික්කාර්ගේ අංක 0760002097 ගිණුමට රුපියල් 1,112,660,00 ක්ද රවින්ද්‍ර පිටිගලගේ ගේ අංක 0760002062 ගිණුමට රුපියල් 977,080,00 ක් බැර කරන ලෙසට උපදෙස් ලබා දී ඇත. මෙම ගනුදෙනුව ගැන සැක පහළ වන්නේ එච් එන් බී බැංකුවේ කළමනාකාරවරයා වෙත යවන ලද උක්ත ලිපියේම එම ගනුදෙනුව ගැන වෙනත් පාර්ශ්වයකට දැන ගැනීමට ඉඩ නොතබන ලෙස සඳහන්ව තිබීමය. සේවකයින්ට බෙදීම කෙසේ වුවත් තමන් අත වූ හැන්දෙන් අධ්‍යක්ෂවරු නම් ඇති පදම් බෙදාගෙන තිබීම හොඳටම සිදුව ඇත.
අනෙක් කාරණය වන්නේ මෙවැනි මුදල් ලබා ගැනීම සඳහ මුදල් උපයාගෙන තිබෙන්නේද සටකපට අයුරින් බව වීමය. ලංකා ට්‍රාන්ස් ෆෝමර්ස්හි උප සමාගම්හි ක්‍රියාකාරකම් ඊට මැනවින් සාක්ෂි සපයයි.
යුගදනවි ගැහිලි
ලංකා ට්‍රාන්ස් ෆෝමර්ස් (එල්. ටී. එල්. හෝල්ඩින්ග්ස්) සමාගමේ උප සමාගමක් වන යුගදනවි සමාගම කෙරවලපිටියේ ඉදිකිරීමට යෝජිත මෙගා වොට් 300 ක විදුලිබලාගාරයේ ඉදිකිරීම සහ පවත්වාගෙන යාම සඳහා සකස් වන ආකාරය ගැන ගියවර ලිපියේ සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් කළෙමු. මේ ආයතනයේ කෙරුවාවල් රෙද්ද පල්ලෙන් බේරෙන වග හෙළිදරව් වන්නේ යුගදනවි සමාගම විසින් කෙරවලපිටියේ ඉදිකර පවත්වාගෙන යන මෙගා වෝට් 300 විදුලිබලාගාරය ඇසුරෙන් පවතින තොරතුරු වලිනි.
වසර 2002 දී විධිමත් හා නීත්‍යනුකූල ප්‍රසම්පාදන ක්‍රමවේදයට යටත්ව කෙරවලපිටියේ LNG විදුලි බලාගාරයක් Boot (Built owend operate and transfe) පදනම මත ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවා තිබුණේය. මේ සඳහා ජාත්‍යන්තරව පිළිගත් සමාගම් 6ක් පූර්ණ සුදුසුකම් ලැබුවේය. මෙහිදී අවසානයේ සුදුසුකම් ලැබූ අවසාන සමාගම Energy World International Ltd (Ewl) සමාගමයි. ඔවුන් මෙගාවොට් ඒකකයක් සඳහා ඉදිරිපත් කර තිබූ මිල ඇ.ඩො. සත 6.985 ක් හෙවත් රුපියල් 9/-කි. මේ බව (එවකට විදුලිබල මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරී) ව්‍යාපෘති කමිටුවේ හිටපු සභාපති ලෙස 2008.04.05 දකිමින් EWL සමාගමට යැවූ ලිපියේ සඳහන් වේ. 2005 නොවැම්බර් පැවති ජනාධිපතිවරණයෙන් පසුව එවකට විදුලිබල අමාත්‍යංශයේ හිටපු ලේකම් එම්. එම්. සී. පර්ඩිනැන්ඞ්ස් හා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් කීපදෙනකු විසින් මෙම ව්‍යාපෘතිය පෞද්ගලික සමාගමකට නොදී රජය විසින්ම සිදුකළ යුතු බව තීරණය කර තිබේ. යුග දනවි සමාගමට මෙම විදුලිබලාගාරය ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමෙන්නේ ඉන් අනතුරුවය.
මෙම විදුලිබලාගාරය ඉදිකිරීමෙන් පසුව විදුලි ඒකකයක් රු 10.20 ට ලබාදෙන බවත් වසර තුනක් ඇතුළත LNG (ගෑස් වැනි ස්වාභාවික ඉන්ධන) මඟින් ක්‍රියාත්මක කරන බවටත් ගිවිසුම් ගත වුවද අදවන තුරුත් මේවා කිසිවක් ඉටු කර නැත. විදුලි ඒකකයක් සඳහා මේ විදුලිබලාගාරය අය කළ මිල ගණන් පහත වගුව ඇසුරින් පැහැදිලි කරගත හැකිය.
පසුගිය වසර 9දී විදුලි බල මණ්ඩලය විසින් ලක්දනව් සමාගමට ගෙවා ඇති ගාස්තු පිළිබඳ තොරතුරු පහත ලේඛනයේ දක්වේ.
වර්ෂය නිෂ්පාදනය
(ඒකක) ජනන ඒකකයක් සඳහා ගාස්තුව (රුපියල්)
ආයෝජනය පියවීම සඳහා ඉන්ධන සඳහා අනෙකුත් වියදම් සඳහා එකතුව
2008 84,240,000 8.32 32.57 – 46.89
2009 402,990,000 8.84 17.39 1.42 27.65
2010 527,510,000 8.76 15.81 2.83 27.40
2011 1,151,350,000 6.59 9.55 0.79 16.94
2012 1,536,310,000 4.37 19.23 0.72 24.33
2013 446,500,000 20.11 23.65 3.16 46.93
2014 630,790,000 14.69 25.77 2.08 42.55
2015 652,310,000 11.93 20.18 2.07 34.98
2016 867,060,000 11.84 19.70 2.29 33.83
2017 –
අප්‍රේල් 419,780,000 6.40 20.95 2.59 20.94
එකතුව 6,718,840,000 9.25 18.67 1.67 29.60

අවුරුදු 20 ක මෙහෙයුම් කාලයක් ලබා දෙන මධ්‍ය කාලීන විදුලි බල ව්‍යාපෘති සඳහා ගෙවා ඇති අධිකම ගාස්තු මෙම සමාගමට ගෙවා ඇති බව මෙම වගුවෙන් පැහැදිලිවම පෙනෙන කාරණයකි.
මේ වගුව අනුව ගිවිසුම් ප්‍රකාරව විදුලි ඒකකයක් සඳහා යුග දනවි සමාගම රු.10.20 ක් අය නොකර ඊට වඩා වැඩි මුදලක් අය කිරීමෙන් පාරිභෝගිකයා ගසා කෑමක් සේම දැවැන්ත මූල්‍ය අවභාවිතාවක් ද සිදු වන බව පැහැදිලිය. ඒ සියල්ල තිබියදීත් යහතින් සිටිමින් එල් ටී එල් ට්‍රාන්ස් ෆෝමර් (එල් ටී එල් හෝල්ඩින්ග්ස්) සමාගම සිය කටයුතු නිදැල්ලේ කරගෙන යාම පුදුම සහගත ය. එපමණක් නොව තවදුරටත් එවන් දූෂිත සමාගමකට කෙරවලපිටියේ මෙගාවෝට් 300 විදුලිබලාගාරය ඉදි කිරීමට ටෙන්ඩරය ලබා දීමට කටයුතු කිරීමෙන් පෙනී යන්නේ යහපාලනය යනු රටේ ජනතාවගේ ඇස් වහන් කළ කළු රෙදිකඩක් විනා වෙන කිසිවක් නොවන බවයි.
අප මෙසේ කියන්නේ මේ වන විටත් එල් ටී එල් හෝල්ඩින්ග්ස්හි (ලංකා ට්‍රාන්ස් ෆෝමර්හි) විදුලිබල මණ්ඩලය සතු කොටස් අපහරණය කිරීම සඳහා පිඹුරුපත් සැකසී ඇති බැවිනි. ප්‍රතිව්‍යුහගත කරණය නම් වචනයට මුවා වී එල් ටී එල් හි විදුලිබල මණ්ඩලය සතු කොටස් 39% දක්වා අඩු කිරීමඒ උප්පරවැට්ටියයි. ඊනියා ප්‍රතිව්‍යුහගත වැඩසටහන පිළිබඳව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩගෙන් රාවය මීට පෙර විමසූ විට ඔහු කියා සිටියේ තමන් සිටින තුරු එවැන්නකට ඉඩ නොතබන බවයි.
එසේ පැවසු ඔහු මේ වන විට ගලේ පැහැරූ බළලකුගේ තත්ත්වයට වැටී තිබේ. එය සනාත කරන්නේ ආචාර්ය සුරේන් බටගොඩ (බී.එම්.එස්. බටගොඩ) මගේ අංක විබ/පා/ර/ලංවීම/ කොටස් දරණ අංකයෙන් යුතුව නිකුත් කර ඇති ලිපියයි. “එල් ටීඑල් සමාගමට අයත් ලංවීම සතු කොටස් 65% ක කොටස් සංයුතිය පිළිබඳ ඉදිරි වැඩ පිළිවෙළ තීරණය කිරීම” යන මැයෙන් යුතු එම ලිපියෙත් උක්ත මතෘකාවට අදාළ කරුණු අධ්‍යනය කර මාස දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට හයදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇත. පුදුමය වන්නේ මෙම කමිටුවට එල් ටී එල් හෝල්ඩින්ග්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි (මූල්‍ය) රවීන්ද්‍ර පිටිගලගේද පත්කර තිබීමය. ඒ දීකිරට බළලුන්ගේ සාක්ෂි ලබා ගැනීමට නැතහොත් හොරාගේ අම්මාගෙන් පේන ඇසීමටය. අවසන් ප්‍රතිථලය වන්නේ එල් ටී එල් හෝල්ඩින්ග්ස් මාරයා විසින් ලංකා විදුලිබල මණ්ඩලය ගිල දැමීමය. මේසා මහත් විපතක් සිදු වීමට යද්දීත් රටේ ජනාධිපති, අගමැති ප්‍රමුඛ ඇමති මඩුල්ල නොඇසූකන්ව සිටීමත් පනින රිලවුන්ට ඉනිමං බැඳීමකි.
එනිසා මේ විපත පිළිබඳව තවත් තොරතුරු ඉදිරියේදීත් ලියන්නට අපට සිදු වේ. එවිට ජනතා අධිකරණය මෙහි සැබෑ චූදිතයින්ට දඬුවම් පැමිණවීම වලක්වාගත නොහැකි බව දැන් නොඇසූකන්ව සිටින යහපාලන ආණ්ඩුවේ වගකිවයුත්තන්ට අවබෝධ වනු ඇත.