ලංකාව තරග පාවාදීලා. ඇයි? ලැජ්ජද?

ටිරන් කුමාර බංගගමආරච්චි

සෑම තුරු මුදුනකම වෙළෙන්දෙක් වසා සිටීම අරුමයක් නොවේ. ලාභ ඉපැයිය හැක්කේ කොයි ගසේද? එහි ඌ වසනු නියතය. ක්‍රිකට් යනු තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් යැයි කෑගැසීම මහත්වරුන්ට උචිත වැඩක් නොවේ. දැන් සියල්ල විකිණීමට දමා හමාරය. අයි.පී.එල්. වෙන්දේසියේ සමහරවිට ඉහළ ලංසු තැබෙන්නේත් ඇතැම්විටක දෙකේ කොළයට වැටෙන්නේත් කුමන හෝ රටක වටිනා ක්‍රීඩකයෙකි. විකිණීමට දැමූ කල අගය ලැබීම මෙන්ම බාල්දුවීමද නිතැතින් සිදුවේ.
වසර කිහිපයක් ආපස්සට හැරී බලන විට පැහැදිලිවන්නේ ක්‍රිකට් තවදුරටත් ක්‍රීඩාවක්ම නොවන බවය. එය මේ වනවිට සූදුවක් වී හමාරය. එය සූදු අන්තුවන්ගේ රජදහනක් වී ඇත. කණ්ඩායම් හැඟීම සුනු විසුණු වී කණ්ඩායම්ම දිනවන තනි තනි ක්‍රීඩකයන් නිර්මාණය වූයේ ඇයි? ඒ විකිණීමට අවශ්‍ය වටිනාකම් සපුරා ගන්නටය. ඉන්පසු කණ්ඩායම වෙනුවට කතා කරනුයේ ක්‍රීඩකයන් ගැනය. ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තුවන්නේද ඔවුන්මය. අවසානයේ කණ්ඩායම් ක්‍රීඩකයෝද තම කණ්ඩායමේ ගැලවුම්කරුවාට සියල්ල පවරා බලා සිටින තැනට තල්ලු වූහ. පහුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඊට කදිම නිදසුන් සංගක්කාර සහ මහේලය. ඔවුන් කණ්ඩායමෙන් සමුගත්තද ඒ අයට පිට ඉල්ලුම වැඩිවන්නේද ඒ නිසාය. ඒ ඔවුන් නිතර තනි නියෝජනයක් තනි ගමනක් පෙන්නුම් කළ නිසාය. එහි නරක ප්‍රතිඵල ඔවුන් දෙපළ එක ළඟ ඉවත් වූ කල ශ්‍රී ලංකා පිල මනාව ලැබීය. අදටත් ඒ තැන්වලට ළඟාවීමට කිසිවකුට නොහැකි වී ඇත. ඒ තැනට ළඟාවූ සැණින් අපට වෙළෙඳ දැන්වීම්වල සංගා – මහේල වෙනුවට ඒ අය දැකගත හැකිය. මන්ද වෙළෙන්දෝ අලෙවි කළ යුතු භාණ්ඩ ගැන මනාව දනිති. තවමත් ලංකාවේ විකිණිය හැක්කේ සංගක්කාර බවත් ඊට අමතරව මහේල බවත් ඔවුහු දනිති. මෙරට සංගක්කාර තරම් මෑතකදී නොව පසුගිය කාලය පුරාම විකිණෙන ක්‍රීඩකයකු නැති තරම්ය. කෙනකුට එය ඔහුගේ හැකියාව වැනි කතාවලට ලඝු කළ හැකිය. එහෙත් අප කියනුයේ වෙළෙන්දා මෙන්ම සංගක්කාරද මේ සෙල්ලම කරනුයේ ඉතාම දැනුවත්වය. එය ක්‍රිකට් හැකියාවට වඩා විකිණීමේ සහ විකුණා ගැනීමේ හැකියාවය.
අප මේ කතාව කිව්වේ ඇයි? ඒ දැන් ලංකාවේ ජනප්‍රියතම කතාවක් වී ඇති තරග පාවාදීමේ පුවත නිසාය. තණතීරු සකස් කිරීමේදීත් තරග පාවාදීම ගැන කතා වේ. සාමාන්‍ය කෙනකුට මෙය අදහාගත නොහැකි තරම්ය. විකිණීමේ, පාවාදීමේ ක්‍රම වෙනස් වී ඇත්තේ ගිනි කෙළි සංදර්ශන මෙනි.
‘අල් ජසීරා’ නාලිකාව හොරු ඇල්ලීමේ මෙහෙයුම් අරඹා ඇත. ඔවුන් කියන පරිදි,
2016 වසරේදී ඕස්ටේ්‍රලියාව සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී ගාල්ල තණතීරුව සැකසීමේදී කම්බි සහිත බුරුසු (වයර් බ්‍රෂ්) යොදාගත් ආකාරයත් එමගින් තණතීරුවේ කඩතොලු ඉස්මතු කර පන්දුවේ දඟ කැවීම් වැඩිකරගත් ආකාරයත් හෙළිකර ඇත. මෙය සැලසුම්සහගතව කළ තරග පාවාදීමකි. එසේ නම් මෙහිදී කතා නොවුණ දෙයක්ද කිව යුතුය. මෙයින් හෑල්ලු වූයේ කවුද? මෙරට දඟපන්දු යවන්නෝය. රංගන හේරත් ගාල්ලේදී දමන වැඩ අපමණය. ලබාගන්නා කඩුලු විශාලය. දැන් මේවායේ නිසි අගයක් වේද? ඔහු මේ ප්‍රශ්නය ගැන මෙලෝ හාන්කවිසියක් නොදන්නාමුත් ඔහු සුපිරි පන්දුයවන්නෙක් බවට පත්කර ඇත්තේ හොරාට පිටිය සැකසූ වුන් නොවේද?
මේ විදිහට බලන කල පන්දු යවන්නෝ තරග පාවාදී මුදල් ගෙන පන්දු යවන විට දුර්වල පන්දුවලට එලව එලවා ගහන පිතිකරුවන් හෑල්ලු නොවන්නේද?
ශ්‍රී ලංකාව තරග පාවාදීමේ වේදිකාවක් බව පිට්ටනියෙන්ම තහවුරුය. එයින් මෙරට ක්‍රිකට්වලට එල්ල වූ කළු පැල්ලම සෝදන කුඩු දමා යැවිය හැකි පැල්ලමක් නොවේ. මේ පාවාදීම් කවුරු සිටියද සිදුවිය හැකි දේ බව පැහැදිලිය. මේ පාවාදීම දෙස බලද්දී එය තිලංග නොව අර්ජුන එම පුටුවේ සිටියද සිදුවිය හැකිය.
රහස් ඔත්තු සේවාවේදී ඈණුමක් වුව පණිවුඩයක් විය හැකිය. ඒ ගාණටම ක්‍රිකට් ක්‍රීඩාවේ තරග පාවාදීම්ද කොහොම සිදුවේදැයි සිතා ගැනීමට නොහැකි ලෙස වර්ධනය වී ඇත. නිපන්දුවක් යැවීමත් පසුගිය කාලේ ඇතැම් තරග පාවාදීමේ උප්පරවැට්ටි විය. මේ අනුව බලන කල ඉදිරියේදී නොව දැනුදු වුව ඉතාම දක්ෂ ලෙස පහරදීමත් කඩුලු ලබාගැනීමත් තරග පාවාදීමේම ලක්ෂණ විය හැකිය. මන්ද වෙළෙන්දෝ ඔට්ටු අල්ලනුයේ කුමකටද? ඉන්පසු එහි සුජාතභාවය කෙළසී හමාර බැවිනි.
සෑම රටක්ම තම රටෙහි තරග පවතිද්දී තණතීරු සකසනුයේ තම කණ්ඩායමට වාසි ලෙසටය. එසේ නම් එයම අද වනවිට තරග පාවාදීමේ තැනට තල්ලු වී ඇත. දැන් සිදුවනුයේ සෑම රටක්ම මුල පටන් කළ නිවැරදි යැයි කියූ ක්‍රීඩාව වරදක් දක්වා වර්ධනය කර ගැනීමය. රටක් ලෙස කරන විට එය නිවැරදිය. පාවාදීමක් සඳහා පිටස්තර මැදිහත්වීමක් ලබාගෙන පිටිය වෙනස් කිරීම පාවාදීමකි. මෙහිදී පාවාදීම යන්න වටහාගත නොහැකි පරාස දක්වා පුළුල් වී ඇති බව පැහැදිලිය. මුලදී තරග පාවාදීම යන්න සිදුවූයේම තම රට, කණ්ඩායම පරාජය කිරීමටය. එහෙත් දැන් එය ජයග්‍රහණ කිරීමෙන්ද පාවාදිය හැකි තැනට වර්ධනය වී ඇත. ඒ පිටියෙන් එපිට වෙළෙන්දන්ට ඒ සියල්ල විකිණිය හැකි බැවිනි.
වෙළෙඳ දැන්වීමකට පෙනී සිටින ක්‍රීඩකයන් අය කරන මුදල් ඔවුහු බිලියන පතියන් බවට පත් කැරිණි. සෑම ක්‍රීඩකයකුම ධන කුවේරයන් බවට පත්වනුයේ වෙළෙඳ දැන්වීම් සහ වෙළෙඳ ගිවිසුම් හරහාය. ඒ හරහා ඔවුන් බැඳෙන ප්‍රමාණය කොතරම්ද? ඒවායින් කණ්ඩායම්වලට බලපෑම් සිදුනොවෙතැයි තහවුරු කරනුයේ කෙසේද? පාවාදීම් සිදුවන ආකාර දැන් සෑහෙන දියුණුය. එමෙන්ම අමතක නොකළ යුත්තේ මේ ඔට්ටු අල්ලන්නෝ යනු මහා ධන කුවේරයන් මෙන්ම ව්‍යාපාරිකයන්ද වන බවය.
ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය හමාර වී එය ප්‍රවේගකාරී යුද පිටියක් බවට පත්වී බොහෝ කල්ය. එයට අයි.පී.එල්. තරගාවලියද බලපෑ බව කිව යුතුය. අද ක්‍රිකට් යනු ඉන්දියාවය. ඉන්දියාව ඒ තැන ගත්දා පටන් අයි.සී.සී.ය. පවා ඉන්දියාවේ රූකඩයක් බවට පත්විය. අද සියල්ල ඉන්දියාවට අවැසි පරිදිය. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට ලැබීම තරම් ක්‍රීඩකයකු ලබන භාග්‍යයක් නැති තරම්ය. සෑම රටකම ක්‍රීඩකයකුම එහි ගොදුරු වී අවසන්ය. තරග විකිණීමේ තිප්පොළ ඉන්දියාවය. එසේ නම් ඒ බුකිවල සෑම රටකම සුපිරි ක්‍රීඩකයන් ගොදුරු වී හමාරය. දැනුවත්ව හෝ නොදැනුවත්ව එය සිදුවී හමාරය.
මෙය තිලංග වැනි සූදුඅන්තුවෙක් මෙරට ක්‍රිකට් ප්‍රධානියා වීම හරහා තවත් ලේසි වී ඇත්තේ අප රටටද එවැනි සූදු පිටියක් සාදා ගැනීම ලේසි බැවිනි. තිලංගලාගේ පවුලට රේස් බුකි ඇත. ක්‍රිකට් කාලයට ඒවායේ ඇල්ලෙනුයේ ක්‍රිකට් ඔට්ටුය. සූදුවට ඇත්තේ එක නීතියකි. ඔට්ටුවය.
සුද්දා විඩාව හැරගැනීමට සොයා ගත් උප්පරවැට්ටිය. ආසියාතික රටවල් ධන නිධාන බවට පෙරළා ගෙන ඇත. සුද්දා පවා දැන් ධන නිධානය සොයා ගැනීමට නොහැකිව විඩාවට පත්වී ඇති බව සනාථය. මන්ද ඒ අය වුව දැන් ක්‍රීඩා කරනුයේ විඩාවට නොවන බැවිනි. ක්‍රිකට් සාහිත්‍ය නිර්මාණය කළ ඕස්ටේ්‍රලියාව ටෙස්ට් තරග දිනීමට පවා පන්දු පළුදු කරන තැනට ගියේ අවසානයේ මේ ඔට්ටුවට ආසාවෙනි. ජයග්‍රහණය තරම් මිනිසා පිස්සු වට්ටන තව දෙයක් නැතිවා විය යුතුය.
ක්‍රිකට් ඔට්ටු ඇල්ලීම ඇති තාක් කල් පාවාදීම් තිබෙනු නියතය. හෙට නොව අදම වුව මේවා ඉතා දැනුවත්ව ඉහළම තැන්වල සිට ක්‍රියාත්මක වනවාද නියතය. ‘අල් ජසීරා’ නාලිකාවද කරනුයේ ඔට්ටුවක් සූදුවක් බව පැහැදිලිය. මේ සැකසුම් මනාව ඊට හේතු සපයයි. මාධ්‍ය ආයතනයක් සූදුකරුවන් ලෙස පැමිණ පාවාදීම් අල්ලා ගැනීම පිටුපස තව බොහෝ දේ ඇත. ඔවුන්ද කාගේ හෝ ලංසුවකට රට රටවල ක්‍රිකට් විනාශ කරනවා නියතය. ඕනෑම කණ්ඩායමක මිලදී ගත හැකි අය සිටිය හැකිය. එය ක්‍රීඩාවට නොව සාමාන්‍ය සේවාවක් කරන්නට යන සේවා ස්ථානයක වුව විය හැකිය. පොලිස්කාරයා සිට ඇටෙන්ඩන් දක්වා විය හැකිය. සභාපතිවරු සිට මාධ්‍යවේදියා දක්වා විය හැකිය. අවසානයේ රට රටවල නායකයන් දක්වා විය හැකිය.
ක්‍රිකට් පාවාදීම් අල්ලස් ගැනීම් ඇසෙන විට හිටපු ක්‍රීඩා ඇමති බැඳුම්කර හොරුන්ගෙන් ලක්ෂ දහයක් ගත් පුවතද ඊට සමගාමීව සමාජයේ පැතිරේ. එහිදී ඔහු එය නිවැරදි කිරීමට ගන්නා වෙහෙස ගැන සිතන්න. ඔහු විටක කියනුයේ අල්ලස් ගත්තද පාවා දුන්නේ නැහැ යන්නය. එය ඊට වඩා විගඩමකි. එනම් අල්ලස් අරගෙන වැඬේ ඉටු කොට නැත. ඒ අතින් ක්‍රිකට් හොරු හොඳය. එය මෙතනට ඈඳා ගත්තේ අන් කිසිවක් නිසා නොව කොයි ක්ෂේත්‍රයේ වුව අල්ලස් ගැනීමේ පාවාදීම් හෙට දිනයේ සාමාන්‍ය වීමේ ප්‍රවණතාව වැඩි බැවිනි. දේශපාලකයාට කීමට හැකිනම් ක්‍රීඩකයාට කීමට දේ නැත්ද? අපි පාවා දුන්නට අල්ලස් ගත්තට අපි පැරදුණේ නැහැනේ. අපි ජය ගත්තනේ ඒ දේ කළේ එසේ නම් එයද වීරකමක් නොවේද? ඊළඟ ලෝක කුසලානයේදී මුදල් දී හෝ අප කුසලානය දිනී නම් එවිට කිවහැක්කේ අපි දිනුම් නේ. ජයග්‍රහණය සඳහා එය කළ බවය. මේ දේශපාලකයෝ දැන් රටේ ජනතාවටම මානසික අල්ලස් දෙති.
සැබැවින්ම තරග පාවාදී ඇතැයි අල්ලස් ගෙන ඇතැයි කිසිවකු සියදිවි නසා ගත යුතු නැත. අහුවන ටික මෙසේ නම් අහු නොවූ දෑ කොතෙක් ඇත්ද? එවිට නොමළ ගෙයකින් අබැටක් ගෙනෙන එක පහසු විය හැකිය. බලා සිටිමු. වෙන කුමක් කරන්නද?