රාවය

ක්‍රීඩාවේ විගණන සහ විගණකාධිපති

ක්‍රීඩාවේ විගණන සහ විගණකාධිපති

ඒ. වික්‍රමසූරිය

ජාත්‍යන්තර පදක්කමක් ලැබීම සඳහා කොතරම් වෙහෙසකර අභ්‍යාසවල යෙදිය යුතුදැයි ක්‍රීඩක, ක්‍රීඩිකාවක මනාව දනී. එය එතරම්ම කටුක මුත් ඵලරහිත අත්දැකීමක්ද වන අවස්ථා අප වැනි රටකට අමුත්තක්ද නොවේ. පදක්කම් ගණනින් ක්‍රීඩාව මනින යුගයක ඒ කැපකිරීම් පයිසයක් නොවටිනුයේ ඒ කෙරෙහි ආපසු බැලීමක් නැති බැවිනි. ක්‍රීඩක ගුණ, අගුණ සලකා බලන්නට ක්‍රීඩා සංගම් මොනතරම් විනයානුකූල විය යුතුද? වැඩදායී, ඵලදායී විය යුතුද? එහෙත් එවැනි පසුබිමක් කලක සිට අපට වෙත්ද?
වත්මන් අමාත්‍යවරයා නොබෝදා මාධ්‍ය සහ ක්‍රීඩා සංගම් නිලධාරීන් මුණ ගැසුණේය.
වත්මන් ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපාගේ සාධනීය ලක්ෂණ බොහොමයක් මේ වනවිටම දක්නට ලැබේ. ඒ සඳහා ඔහු අත පොවන පරාසයන් විශාල බවද හැඟේ. කොටින්ම ඔහුට ඉලක්කයක් ඇතැයි හැඟේ. එයින් අප ඔහු මහා යෝධයකු ලෙස නොදකින බවද කිවමනාය. කයිවාරු ටොන් ගාණක් ඇද බෑ ක්‍රීඩා ඇමැත්තන් සිටි රටක ක්‍රීඩාව මෙතරම් ජරාජීර්ණ වන්නට ඒ අයගේ ක්‍රියා කලාප බලපෑවේය. ක්‍රීඩාවේ දියුණුව මෙන්ම පරිහානිය කොතෙක්ද? ඒ සියල්ලෙහි වගකීම සමව ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා ඇමති භාරගත යුතුය. මෙරට ක්‍රීඩාව මෙතරම් වළපල්ලට ඇද දැමුවේ ක්‍රීඩා ඇමතිවරු සහ ක්‍රීඩා අමාත්‍යාංශයම වන බැවිනි. රටේ මුදල් විශාල කන්දරාවක් වෙන් කරමින් අමාත්‍යාංශයක් පිහිටුවා එහි නඩත්තුව රජය දරනුයේ ඇයි? එයින් වූ සෙත කුමක්ද? ක්‍රීඩා අමාත්‍යවරු ආ දවසේ සිට රට සවාරිවලට පුරුදු විය. ඔවුහු ඒවාට අවසානයේ ඇබ්බැහි වූහ.
වත්මන් ඇමතිවරයා කළ මාධ්‍ය සාකච්ඡාවකට ආරාධිත චරිතයක්ද ගෙනවිත් තිබුණේය. ඒ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාය. ඇමතිවරයාගේ සාධනීය ලක්ෂණ ඇතැයි අප කීවේම මේ තෝරා ගැනීම් සමගය. මාධ්‍ය සාකච්ඡාවකට විගණකාධිපති ගෙන්වීමම ඉතාම හොඳ දෙයකි. පසුගිය කාලයේ ක්‍රීඩා ඇමතිවරු සංගම්වල විගණන ගැන කප්පරක් දේ කීවද ඊට අදාළ පාර්ශ්වයක් ගෙනවිත් දැනුවත් කරන තැනට කිසිවිට තල්ලු නොවීය. ඒ අනුව බලන කල ෆයිසර් ඇමතිවරයා අදාළ මොහොතක, අදාළම තැනැත්තා කැඳවා තිබේ. උපදෙස් කාගේ වුව ඇමතිගේ තේරීමක් වුව මෙය විය යුතුම දෙයකි.
මෙහිදී විගණකාධිපතිවරයා කළ කතාවද ඉහළය. ක්‍රීඩා සංගම්හි පාදඩ ස්වරූපය විගණනවලදී මනාව දත හැකිය. වියදම් කළ මුදල් නිවැරදිව පියවිය නොහැකි වීම තුළම ඇත්තේ ඒවා වියදම් කළ ආකාරයේ ගැටලුවක්ය. මේ තත්ත්වයන් මනාව දන්නේ ගිණුම් පිරික්සා කිරීමේදීමය. ඉතා අඩු ලංසුවකට හිතවතකුට දී ව්‍යාජ ගිණුම් ලැයිස්තුවක් පිළියෙළ කිරීම කලක සිට බොහෝ සංගම් කරන ගැල විජ්ජාවකි. එය විගණකාධිපති ළඟට ගිය කල ප්‍රශ්න පත්තරයකි. එබැවින් ගිණුම් අනුමත නොවීම සාමාන්‍යයය. එහෙත් සංගම් අහෝසි නොවීමත් ඊටත් වඩා සාමාන්‍යයය. ඒ ක්‍රීඩා ඇමති සහ ඇමතිවරුන්ගේ වැනෙනසුලු ස්වභාවයය. ක්‍රීඩාවේ නීතිරීති අපූරුවට නැංවීමය.
අපි මෙහිදී විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා කළ කතාවට ඉඩ දෙමු.
“රටේ විගණකාධිපතිවරයා විදිහට ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් මට තියෙන්නේ ඉතාම අප්‍රසන්න හැඟීමක්. ගොඩක් අය ක්‍රීඩා සංගම්වලට එන්නේ මම ඒ ක්‍රීඩාවෙන් රටට දෙයක් කරන්න පුළුවන් කියන හැඟීමෙන් නෙමෙයි. ඒ සංගමයේ කොපමණ මුදල් තියෙනවද කියලා බලලයි. ක්‍රීඩා සංගම් හැට දෙකක වාර්තා අපි සකස් කරනවා. ඒ නිසා අපිට මේ සංගම්වල අභ්‍යන්තර ක්‍රියා කලාපය ගැන මනා දැනුමක් තියෙනවා. ගිණුම් තැබීම සම්බන්ධයෙන් කියනවා නම් මේ සංගම්වලට කිසිම ක්‍රමවේදයක් නෑ.
ක්‍රීඩාව රටෙන් ගිලිහිලා යන විදිහ දැක්කම, ක්‍රීඩාවට වෙන දේ දැක්කම මට දුකයි. මේ වැරැද්ද නිවැරදි කරන්න ඕනෑ. විගණනයක්, විගණකාධිපතිවරයාගේ අත්සනින් වාර්තාවක් එනකොට ඒකේ පිළිගත හැකි තත්ත්වයක් ගොඩනැගෙන්න ඕනෑ. ඒත් සියලු සංගම්වල එහෙම කරගත හැකි වටපිටාවක් නැහැ. මූල්‍ය විනිවිදභාවය ඉතාම දුර්වලයි. ක්‍රීඩා සංගම් හිතාගෙන ඉන්නේ ක්‍රීඩා සංගම් විදිහට අමාත්‍යාංශයෙන් ලැබෙන මුදල් ටික වියදම් කිරීම තමයි තම රාජකාරිය කියලා ඒක ගැන මම කනගාටු වෙනවා.
මම හිතන්නේ නෑ මේ කිසිම ක්‍රීඩා සංගමයකවත් ක්‍රියාකලාපය ගැන ඒ ක්‍රීඩාවලට අදාළ පුද්ගලයෝ සතුටුයි කියලා. හොරකම, වංචාව, දූෂණය කියන එක අන්තයටම ගිහිල්ලා. මෙහිදී මම ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන් ඇති අඩුපාඩුත් දකිනවා. ඒ තමයි අමාත්‍යාංශය තමන් ලබාදෙන මුදල් වියදම් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීලා නෑ. පසුගිය ඉතිහාසය පුරාම දකින්නට ලැබෙන්නේ ඒ අඩුව. ඔහේ යන්නම් වාලේ මේ ආයතන ගමන් කරනවා. රජය සල්ලි වියදම් කරනවා. ක්‍රීඩා සංගම් ඒවා අරගෙන බෙදා හදාගෙන මොනවාහරි කරන්න පුළුවන් යමක් කරනවා. එහෙම නැත්නම් රට සවාරි යනවා.
එහෙම තියෙද්දි විගණකාධිපතිට විරුද්ධවත් සමහරු නඩු යනවා. ඒ අය දෙන වාර්තාව වැරදියි කියලා කිව්වා කියලා. වැරැද්දක් පෙන්නපුවහම ඒක හදාගන්නයි ඕනෑ.
ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන් ගත්තහම ඉතාම දුර්වල තත්ත්වයක් දක්නට තියෙන්නේ මේ සංගම් නිරීක්ෂණය කිරීමේදී. ඒ බව කිව යුතුමයි. එහි විශාල අඩුපාඩු තියෙනවා. 2017 බලපුවහම වාර්තා 12ක් පමණයි දීලා තියෙන්නේ. ඔලිම්පික් එකේ අවුරුදු හතරක වාර්තා එක සැරේ හදන්න වුණා. එහෙම කරලා ඉවර වුණහම ඒකේ මුදල් කමිටුවේ හිටපු කෙනා අපට විරුද්ධව ලියනවා. අපට කරන්න දෙයක් නෑ. ඒ අය කමිටුවල හිටපු අය. වාසිය හම්බ වෙනකල් බොහෝම නිශ්ශබ්දයි. වාසිය ඉවර වුණහම තමයි ප්‍රශ්නය පටන් ගන්නේ. ඒ අය ඒ තැන්වල ඉන්න කොටමයි අපට කියන්න පුළුවන් වෙන්න ඕනෑ අඩුපාඩු තිබුණා නම්. එහෙම වුණානම් අපිටත් ලේසියි, මේවා හදාගන්න. මූල්‍ය වංචා වෙනවා නම් ඒ වෙලාවේදීම කියන්න ඕනෑ. අවුරුදු ගාණක් ගිහින් කියලා වැඩක් නෑ. එතකොට වෙන්න ඕනෑ දේවල් වෙලා ඉවරයි.
විගණකාධිපති වාර්තාව ලැබුණට පස්සේ ඒවායේ අඩුපාඩු බලලා නිවැරදි කරගැනීමේ උනන්දුවක් තියෙන්න ඕනෑ. ඒත් හුඟක් වෙලාවට විගණන වාර්තාව එනකොට නිලධාරි මණ්ඩලය මාරුවෙලා. අලුත් නිලධාරි මණ්ඩලය මොකද කියන්නේ අපිට ඒවා අදාළ නෑ. ඒවා හිටපු නිලධාරීන්ගේ වැඩ කියලා මගහරිනවා. මෙහිදී කියන්න ඕනෑ වැදගත්ම කාරණය තමයි මේ සංගම් මුදල් වෙන් කරන්න කැමති නෑ විගණනයට. ඒ සඳහා ඉතාම පොඩි මුදලක් තමයි ඔවුන්ට ගෙවන්නේ. ඒ නිසා හුඟක් වාර්තාවල අඩුපාඩු පිරිලා. අපිට මේ වාර්තා අනුමත කරන්න බෑ. අවශ්‍ය තොරතුරු නැහැ කියලා. සංගම්වල මේ තත්ත්වය ඉතාම ඉක්මනින් නිවැරදි කරගන්න ඕනෑ.”
ඒ විගණකාධිපතිවරයාගේ කතාවය. එයද නොකියන කොටස නම් මේ බොහෝ සංගම් දෙන විගණන වාර්තා කිසිසේත්ම අනුමත කළ නොහැකි බවය. ඒතරමට මේ සංගම් හොර ගුහාවන්ය.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ගිණුම් සම්බන්ධයෙන් පහුගිය කාලයේ මහා සද්දයක් දැම්මේය. ගිණුම් අනුමත නොවන කිසිදු සංගමයකට ආයේ ගමනක් නැති බව ඔහු කීවේය. ඔහුගේ පාලන කාලය තුන් වසරක් ගෙවුණමුත් සිදුවූයේ කුමක්ද? සියල්ල කයිවාරුවලට පමණක් සීමා විය. අදටත් තත්ත්වය එලෙසමය. ක්‍රීඩා සංගම් මේ තරම් විනාශවීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යවරු වගකිව යුතුමය. ඒ අය ඒ අයගේ වගකීම මනාව ඉටුකළේ නම් අද මෙවැනි තත්ත්වයක් නිර්මාණය නොවන්නට ඉඩ තිබුණි.
ක්‍රීඩා සංගමයක ඉදිරියෙන්ම ඇති කාරණාවක් වනුයේ නිවැරදිව විය හියදම් පෙන්වීමය. එම ගිණුම් වාර්තාව නිවැරදිව සකසා දිය නොහැකි නම් ඔවුන් තව ඉදිරියට වැඩ කිරීමට නුසුදුස්සෝය. එහෙත් වසරක් නොව වසර ගණනාවක්ම ගිණුම් නොදී ඉඳීමට හැකි වූ සංගම්ද පසුගිය කාලයේ විය. ඇතැම් ගිණුම් වාර්තා අනුමත නොවූවද ඒ සංගම්වල අයම එලෙසම සිටියහ. මේ තත්ත්වයන් නිවැරදි කර නොගෙන ඉදිරියට යාහැකිද? ෆයිසර් ඇමතිවරයා වුව කතාවට නොව ක්‍රියාවට අත තැබිය යුතුය. මේවා නිවැරදි කරන තැනට යා යුතුය.
ජාත්‍යන්තර පදක්කම් දිනනවාට වඩා මෙරට හොඳ ක්‍රීඩා යාන්ත්‍රණයක් හැදීම අපහසු වී ඇත. මුලින් කළයුත්තේ ඒ අපහසු දේට අතගැසීමය. ඉන්පසු පදක්කම් දිනිය හැකිය. හැම ඇමතිවරයෙක්ම පදක්කම් උමතුවෙන් පෙළුණේ අන් කිසිවක් නිසා නොව රටයෑමේ රෝගය වැලඳුණු නිසාය. ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට වඩා ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ට රට යෑමේ පිස්සුව පවතී. ඊට එන ඇමතිවරුන්ටත් ඉතා ඉක්මනට එය බෝ වේ. ඉන්පසු ඕනෑම ක්‍රීඩාවක විදෙස් තරගයක් වෙත්ද ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් ඒ ක්‍රීඩා සංගම් බලධාරීන් සමග රට යති. ඉන්පසු ඒ සංගම් කුමක් කළද කම් නැත. මෙහෙව් රටාවක යන මේ ගමන ෆයිසර් ඇමතිවරයා කුමන මගක ගමන් කරනු ඇත්ද යන්න ඉදිරියේදී කිව හැකිය. එතෙක් විගණකාධිපතිවරයා කී දේ ම අපිද කියන්නෙමු. මෙය අපි සෑහෙන කලක පටන් කියන දෙයකි. එහෙත් සංගම්වල අය මෙන්ම ක්‍රීඩා බලධාරීන්ද වැඩකට ඇති අය නොවේ. එහෙත් නැවතත් කියමු.
එනම් මේ තත්ත්වය ඉතා ඉක්මනින් වෙනස් විය යුතුය.