ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය පදනම් ආයතන යටතට පත් කිරීම.

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය පසුගිය කාලයේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පත්ව තිබුණත් එය නැවතත් ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ගැනීමට මේ වන විට ගැසට් පත්‍ර නිකුත් වී තිබේ. වරින්වර ආණ්ඩු මාරු වෙද්දී ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය දෙකඩ වෙමින්, සභාපති ධූර වෙනස්වෙමින්, කාර්ය මණ්ඩල වෙනස් වෙමින් දේශපාලන වුවමනා එපාකම් මත නැටවෙන ආයතනයක් බවට පත්ව තිබේ. ඒවා මත එහි පවත්වාගෙන යන පාඨමාලා ද වරින් වර විවිධ මුහුණුවර ගනී. එහි සිනමා පාඨමාලාව හදාරමින් සිටි පිරිසටත් ආචාර්ය මණ්ඩලයටත් මේ හේතූන් මත වරක් ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය තුළ වූ පාඨමාලාව අකුළාගෙන පදනම් ආයතනයට ගෙන යෑමට සිදුවේ. ඔවුන් ඒ තුළ සිනමා පාඨමාලාව නැවත ගොඩනගාගන්නේ විශාල පරිශ්‍රමයකින් පසුවය. එම සිනමා පාසලෙන් බිහි වූ පරපුර මෙරට සිනමා කර්මාන්තය තුළ තම නිර්මාණ එළිදක්වමින් සිටියදී එම සිනමා පාසල මේ වන විට වසාදැමෙන්නේ පදනම් ආයතනයේ වත්මන් සභාපතිවරයා ලෙස පත්වූ සරත් කෝංගහගේ යටතේය. එවැනි වාතාවරණයක් තුළ මේ වන විට මෙතෙක් ඉල්ලීම් කළ ද පදනම් ආයතනයට ලබා නොදීමට කටයුතු කළ ශ්‍රී ලංකා ජනමාධ්‍ය ආයතනය ජනාධිපති කාර්යයාලය යටතට ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. මේ සම්බන්ධව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනකු සහ පදනම් ආයතනයේ පැවති සිනමා පාසලේ සිනමාව හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිපදෙනකු සමග රාවය කරන ලද සංවාදයක සටහනකි.

මේවා මොකටද කියලවත් ආණ්ඩු දන්නේ නැහැ
ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ එම්.ඩී. මහින්දපාල

රූපවාහිනී අභ්‍යාස ආයතනය 1984 දී ආරම්භ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනය,රූපවාහිනී සංස්ථාව,ෆෙඩි්‍රක් ඊබට් ජර්මානු පදනම යන ආයතන තුනම එකතුවයි. ජර්මානු ආයතනයෙන් ආධාර, රූපවාහිනියෙන් තාක්ෂණික කාර්ය මණ්ඩලය, පදනම් ආයතනයෙන් ඉඩම සහ කළමනාකරණ කාර්යමණ්ඩලය ලබා දුන්නා. එය ආරම්භ වුණේ එවැනි ත්‍රපාර්ශ්වීය ගිවිසුමකටයි. අද වගේ නොවෙයි එදා ඒ පරිසරයත් ඉතාම ලස්සනට තිබුණා. ගොඩනැගිලි ඉතා හොඳ තත්වයේ තිබුණා. ජර්මානුවන් සිටියා, ඒ අයගේ උපකරණත් තිබුණා. වසර දහයක ගිවිසුම අවසන් වූ පසු ජර්මානුවන් ඉවත්ව ගියා. වෙනත් රටවලින් ලංකාවේ ව්‍යාපෘතිවලට ආධාර ලබා දුන්නත් ඒ අය ගිය පසු අපේ රටේ ඒවා පවත්වාගෙන යන්න සැලැස්මක් නැහැ. ඒ නිසා ඒ අය ගිය පසු මේ ආයතනයට ආධාර ලබා ගන්නේ කොහොමද කියන ගැටලුව ඇති වුණා. ඒ අවස්ථාවේ රූපවාහිනී සංස්ථාවේ කොටස් අයිතිය පදනම් ආයතනයට ලබා දුන්නා. එවකට රූපවාහිනී සංස්ථාවේ සිටි තිස්ස කාරියවසම් යන අය මෙයට විරෝධය දක්වමින් මෙම ගිවිසුමෙන් ඉවත් වුණා. ඒ හේතුවෙන් එය සම්පූර්ණයෙන් පදනම් ආයතනයට අයත් වුණා. ඒ අවස්ථාවේ මමත් රූපවාහිනී අභ්‍යාස ආයතනයේ සේවය කරමින් සිටියා. මට වැටුප් ලැබුණේ රූපවාහිනී සංස්ථාවෙනුයි. මොකද මම එවකට රූපවාහිනී සංස්ථාවේ සේවකයෙක්. තාක්ෂණික කාර්යමණ්ඩලයේ අපි හත්දෙනකු පමණ නැවත රූපවාහිනී සංස්ථාවට කැදෙව්වා.
පසුව ටික කලකට පසු ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් නැවත රූපවාහිනියේ කාර්යමණ්ඩලය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. ඒ අනුව නැවත අපි වැඩ කළා. ඒ වෙද්දී රූපවාහිනී අභ්‍යාස ආයතනයට අධ්‍යක්ෂ කෙනෙක් පත්ව සිටියා. ඒ පදනම් ආයතනය යටතේයි. පසුව චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ජනදාස පීරිස්ගේ දියණිය අධ්‍යක්ෂ තනතුරට පත් කළා. ඉන් පසුව එම තනතුරට තිස්ස අබේසේකර පත් කළා. ටික කාලයකට පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ එම තනතුරට වසන්ත ඔබේසේකර පත් කළා. පසුව එම ආණ්ඩුව විසින් පදනම් ආයතනය යටතේ තිබුණු රූපවාහිනී අභ්‍යාස ආයතනය ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට ගැසට් කළා. පසුව එයට සභාපතිවරයෙක් පත් කළා. ඒ දේවප්‍රිය අබේසිංහ. එතැන් සිට ශ්‍රී ලංකා පදනම් ආයතනයත් රූපවාහිනී අභ්‍යාස ආයතනයත් වෙන වෙනම ආයතන ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. කාර්යමණ්ඩලය නැවත පදනම් ආයතනයට යැව්වා. සිනමා පාඨමාලාව ආරම්භ වුණේ වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂ ලෙස සිටි කාලයේයි. මේ සිදුවීම් වන විට එහි දෙවන ශිෂ්‍ය කණ්ඩායම සඳහා පාඨමාලාව පැවැත්වෙමින් තිබුණා. ඒ අවස්ථාවේ ඒ ශිෂ්‍ය කණ්ඩායමත් සමග කාර්යමණ්ඩලය පදනම් ආයතනයට ගියා. මම ඒ වන විට විශ්‍රාම ගිහින්. පසුව පදනම් ආයතනයේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමි නමින් ඒ පාඨමාලාව පවත්වාගෙන ගියා. ඒ වන විට එම පාඨමාලාවේ සම්බන්ධීකාරක වුණේ ධනුෂ්ක ගුණතිලක. ඔහු පූනේ ගිහින් ඉගෙනගෙන ඇවිත් වසන්ත ඔබේසේකර සමග එක්ව එය ආරම්භ කළා. එයට අපිත් සම්බන්ධ වුණා. දෙවන ශිෂ්‍ය කණ්ඩායම පාඨමාලාව අවසාන කළ පසු තෙවන කණ්ඩායමත් බඳවා ගත්තා. එය පදනම් ආයතනය තුළ හොඳින් පවත්වාගෙන ගිය පාඨමාලාවක් වුණා. පසුව යහපාලන ආණ්ඩුව පත් වූ පසුත් රූපවාහිනී අභ්‍යාස ආයතනය ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේම තබාගත්තා. ඒ අතර සභාපති තනතුරට ධර්මසේන පතිරාජ පත් කළා. ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය පදනම් ආයතනය යටතේ දිගටම පැවතුණා. පදනම් ආයතනයේත් විවිධ සභාපතිවරු සිටියා. මෑතක දී එහි සභාපති ලෙස සරත් කෝංගහගේ පත් කළා. දැන් එහි තීන්දු තීරණ ගන්නේ ඔහුයි. ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය පවත්වාගෙන යනවාද නැද්ද කියන දේ දැන් තීරණය කරන්නේ ඔහුයි. එය පවත්වාගෙන ගිය ධනුෂ්ක ගුණතිලක, සුදත් මහදිවුල්වැව ඇතුලු අය දැන් එහි නැහැ. ඒ අය පාඨමාලාව සඳහා බඳවාගෙන සිටි අයයි. ධර්මසේන පතිරාජගෙන් පසු රූපවාහිනී අභ්‍යාස ආයතනයේ සභාපති ධූරයට විමුක්ති ජයසුන්දර පත් කළා. දැන් නැවත ජනාධිපතිවරයා විසින් එම ආයතනය පදනම් ආයතනයට ලබා දී තිබෙනවා. විවිධ ආණ්ඩු යටතේ එයට පත් කර සිටි කාර්ය මණ්ඩලත් වරින්වර දිගින් දිගටම මාරු වුණා. ආණ්ඩු මාරු වීම් සමග සිදු කරන මෙවැනි දේ නිසා කිසිදු දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බැහැ. පිටරට ආධාරවලින් ආරම්භ කළ ව්‍යාපෘති ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලය අවසන් වූ පසු පවත්වාගෙන යෑමේ විධිමත් වැඩපිළිවෙලක් අපේ රටේ අයට නැහැ. කිසිම ආණ්ඩුවකට මේවා දීර්ඝකාලීනව පවත්වාගෙන යන වැඩපිළිවෙළක් තිබිලා නැහැ. මේවා තියෙන්නේ මොනවාටද කියනදේවත් ඒ අය දන්නේ නැහැ.

දැන් පවත්වාගෙන යන්නේ ශිෂ්‍යයන්ගේ මුදලින්
ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ සභාපති විමුක්ති ජයසුන්දර

ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය තිබුණේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේයි. එය ලංකාවේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන එකම ජනමාධ්‍ය උගන්වන ආයතනයයි. එයින් මේ වන විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් හාරදහසක් පමණ අධ්‍යාපනය ලබා තිබෙනවා. මේ වනවිටත් එහි හයසීයක් පමණ අධ්‍යාපනය ලබමින් සිටිනවා. ජනමාධ්‍යවේදය, රූපවාහිනිය, ගුවන්විදුලිය, සිනමාව පිළිබද නිර්මාණාත්මක සහ තාක්ෂණය යන විෂයන් දෙකම එහි උගන්වනවා. ඊට අමතරව රජයේ යම් කිසි ආයතනයකින් රැකියා සඳහා බඳවා ගැනීමේ දී සුදුසුකම් සඳහා අවශ්‍ය පාඨමාලාව ලබා දෙන්නේ මේ ආයතනයෙනුයි. දැන් තිබෙන අලුත්ම තත්ත්වය තමයි ගැසට් නිවේදනයක් මගින් මෙම ආයතනය ජනාධිපති ලේකම් කාර්යාලය යටතට පවරා ගනු ලැබුවා. ඒ අනුව එය ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කර තිබෙනවා. එය දැන් පදනම් ආයතනය යටතට පත් කිරීමේ සූදානමක් තිබෙනවා. මේ ආයතනය මීට පෙරත් පදනම් ආයතනය යටතේ තිබුණත් එලෙස එය පදනම් ආයතනය යටතට පත් වූ හේතුව විමසා බැලිය යුතුයි. හේතුව තමයි ලංකාවට රූපවාහිනිය ගෙන ඒමේදී රූපවාහිනී සංස්ථාව සහ ඒ සියලු දේ ලබා දෙන්නේ ජපානයෙනුයි. ඒ යුගයේ සිටි රජය ඊට අවශ්‍ය තාක්ෂණික නිලධාරීන් හා ඉංජිනේරුවන් පුහුණු කිරීමට ජර්මනියෙන් සහාය ඉල්ලනවා. ඒ මොහොතේ ජර්මනිය විසින් අරමුදල් ලබා දී පවත්වාගෙන ගිය එකම ආයතනය විධියට තිබුණේ ජර්මන් රජයට සම්බන්ධ ශ්‍රී ලංකා පදනම් ආයතනයයි. පදනම් ආයතනයට අනුයුක්ත කරන්නේ අරමුදල් ඒ හරහා ලබා දීමට අවශ්‍ය නිසායි. රූපවාහිනී සංස්ථාව වෙනුවෙන් තමයි මෙය ආරම්භ කරන්නේ. අද වන විට ශ්‍රී ලංකා පදනම් ආයතනය හෝ ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයට ජර්මනිය අරමුදල් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා ඒවා ස්වාධීන ආයතන ලෙස පැවතිය යුතුයි. ඒවායේ කාර්යභාරය විද්‍යාත්මක ලෙස අදාළ අමාත්‍යාංශ යටතට බෙදී යා යුතුයි. මේ පවරා ගැනීමේ අරමුණු මොකක්ද කියන දේ පැහැදිලි නැහැ.
මම ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ සභාපතිධූරයට පත්වී මාස දෙකයි. පතිරාජ මහත්මයා කරගෙන ගිය කටයුතු ඉදිරියට කරගෙන යාමේ අරමුණින් වගේම ප්‍රංශයේ අධිශිෂ්‍යත්වයක් ලබාගෙන ඉගෙනගත් කෙනෙක් ලෙසත් මහජන මුදලින් නඩත්තුවන ආයතනයකට පැමිණීම ප්‍රශ්නයක් නොවන ලෙසත් මට සිතුණා. ඒ වගේම යමක් කළ හැකි අවස්ථාවේ ලබා ගත යුතු නිසා මම එම තනතුර ලබා ගැනීමට කැමති වුණා. එම ආයතනය පවත්වාගෙන යන්නේ 90%කට වැඩි ප්‍රමාණයක් ශිෂ්‍යයන්ගෙන් අය කරගන්නා මුදල්වලින්නුයි. මෙවැනි පවරා ගැනීමක් සිදුකළේ ඇයි කියන දේ ඇත්තටම අපැහැදිලියි. සිතිය හැකි එකම කරුණ තමයි එය නැවත පදනම් ආයතනයට ලබා ගැනීමේ වුවමනාවයි. විද්‍යාත්මකව බැලුවොත් ශිෂ්‍යයන්ටත් මේ ආයතනයේ පැහැදිලිවම වැදගත්කමක් තිබෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ එය පවත්වාගෙන යාම මගිනුයි. හැකිතාක් දුරට මෙය බලධාරීන්ට ඒත්තු ගැන්වීමට අපි උත්සාහ ගන්නවා. පදනම් ආයතනයට මේ ආයතනය අවශ්‍ය නැහැ. ඔවුන්ගේ විෂය නායකත්ව පුහුණුව සම්බන්ධ පාඨමාලා වැනිදේයි. ඒ නිසා එය ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ තිබීම ගැටලුවක් නැහැ. ඒ නමුත් ජනමාධ්‍ය වෙනුවෙන් අමාත්‍යාංශයක් තිබෙන නිසා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය එම අමාත්‍යාංශය යටතේ තිබිය යුතුයි. පදනම් ආයතනයට අවශ්‍ය මෙහි ගොඩනැගිල්ල නම් මේ මොහොතේ එහි ඉගෙනගනිමින් සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් අසාධාරණයක් විය හැකියි. නායකත්ව පුහුණු අරමුණින් පවත්වාගෙන යන පදනම් ආයතනයට චිත්‍රාගාර, සංස්කරණ මැදිරි, හඩකැවීම් මැදිරි අවශ්‍ය වෙන්නේ ඇයි කියනදේ ගැටලුවක්. බලධාරීන් මේ ගැන අවධානය යොමු කර ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේම ස්වාධීනව රටේ අධ්‍යාපනික ආයතනයක් ලෙස පවත්වාගෙන යාවි කියන විශ්වාසය තියනවා.

ක්‍රමවත් වැඩපිළිවලක් ඕනෑ
ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක

ආයතනික වශයෙන්, රජය විසින්, ඇමතිවරු විසින්,ජනාධිපතිවරයා විසින් ගන්නා ක්‍රියාමාර්ග පිළිබද මම වැඩිදුර තොරතුරු දන්නේ නැහැ. හැබැයි මේ පිළිබද උද්යෝගයක් දක්වන අය සාකච්ඡාවකට කැඳවා කුමක් හෝ දෙයක් කරනවාට වඩා ක්‍රමවත් වැඩපිළිවෙළක් ගෙන ගියහොත් එම වැඩපිළිවෙළ ඉදිරියට පවත්වාගෙන යෑම පිළිබඳ කටයුතු කිරීමයි වඩාත් සුදුසු කියා මම හිතනවා.

මෙය ප්‍රායෝගික පාඨමාලාවක්
ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ ධනුෂ්ක ගුණතිලක

සිනමා පාඨමාලාවේ එක් වටිනාකමක් තමයි එය මූලික වශයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් පදනම් කරගෙන සිදුකළ පාඨමාලාවක් වීම. එහි කාල සීමාව වුණේ වසර දෙකහමාරයි. ඒ වගේම විශේෂීකරණය වූ පාඨමාලාවක් තිබුණා. ඒ අනුව අධ්‍යක්ෂණය, කැමරාකරණය,සංස්කරණය,ශබ්ද නිර්මාණකරනය ආදී ලෙස විශේෂීකරණය වීම තිබුණා. මේ වන විට කණ්ඩායම් තුනක් සාර්ථකව පාඨමාලාව අවසන් කළා. ලංකාවේ තවත් පාඨමාලා තිබුණත් පැහැදිලි වෙනසක් සිනමා කර්මාන්තය තුළ දකින්න පුළුවන්. කොතරම් පාඨමාලා තිබුණත් මිණුම් දණ්ඩ වන්නේ සිනමා කර්මාන්තය තුළ කොපමණ දෙනෙක් කටයුතු කරනවාද කියනදේ මතයි. පාඨමාලා තිබුණත් ඒවායින් සිනමා කර්මාන්තයට අලුත් අය බිහි නොවෙනවා නම් වැඩක් නැහැ. පසුගිය වසර පහ දෙස බැලුවොත් සිනමා කර්මාන්තයේ පැහැදිලි වෙනසක් අපට පෙනෙනවා. දැනට ක්ෂේත්‍රයේ සිටින අලුත් පරම්පරාවේ අධ්‍යක්ෂවරු,කැමරා අධ්‍යක්ෂවරු,සංස්කරණ ශිල්පීන්,ශබ්ද නිර්මාණශිල්පීන් මේ පාඨමාලාවෙන් බිහිවූ අය බව පෙනෙනවා. ඒ කියන්නේ ඊළග පරම්පරාවක් මෙයින් හැදුණා. “ඉක්කා” චිත්‍රපටය හොඳ නිර්මාණයක්. එය නිර්මාණය වන්න මූලික වන්නේ එම සිනමා පාසලෙන් බිහිවූ ශිෂ්‍යයින්. “පාංශු” චිත්‍රපටයේ කැමරාකරණය, සංස්කරණය එම සිනමා පාසලෙන් බිහිවූ අයගේයි. “උසාවිය නිහඩයි” වැනි චිත්‍රපටවලටත් ඒ අය සම්බන්ධ වී වැඩ කළා. මේ මීළඟ පරම්පරාව හැදුනේ ඒ සිනමා පාසලෙනුයි. රාජ්‍ය මට්ටමින් කෙරෙන ආයතන වල ප්‍රතිපත්තියක් නැති ගැටලුව තියෙනවා. එසේ නොමැතිවීම නිසා ආයතනයේ ඉදිරියේ සිදුවන්නේ මොකක්ද කියන දේ තීරණය වන්නේ ආයතනයට එන සභාපතිවරයා අනුවයි. ආයතනයේ සභාපති මාරු වන විට සියලු වැඩපිළිවෙළ වෙනස් වෙනවා. අධ්‍යාපනික ආයතනයක් සිනමා පාසලක් තිබිය යුතුයි කියා රාජ්‍ය මට්ටමේ ප්‍රතිපත්තියක් නෑ. එය පවත්වාගෙන ගියේ සිනමා කර්මාන්තයේ අයගේ තිබූ වුවමනාව මතයි. එය පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා පදනම් ආයතනයටත් වුවමනාවක් නැහැ. එසේ වුවමනාවක් තිබුණා නම් අපිව එළියට දාලා හෝ එය පවත්වාගෙන යනවා. ඒත් එහෙම අවශ්‍යතාවක් ඔවුන්ට නැහැ. ඔවුන්ට අවශ්‍ය එතැන රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමයි. සිනමා පාසල සදහා භාවිතා කළ සියලුම උපකරණ ඒ සඳහා ලබාගෙන තිබෙනවා. රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව මොකක්ද. අපේ සිනමා කර්මාන්තයේ වැඩ කරන කිසිවකුට මේවා ගැන සෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. තිබුණොත් හොඳයි, නැත්නම් වඩා හොඳයි වගේ ඉන්නවා. කිසිවෙක් ඒවා කතා කරන්නේ නෑ.

සිනමා පාසලට බාධාවක්
සිනමා අධ්‍යක්ෂ කෞෂල්‍ය මාධව පතිරණ

සිනමා පාසලක පාඨමාලාව අවසානයේ ළමයි එකතුවෙලා ඔවුන්ගේ නිර්මාණ එළිදක්වමින් එළියට ආවේ වටිනාකමක් අරගෙනයි. ඒ නමුත් දේශපාලන හරස්වීම් එක්ක රූපවාහිනී අභ්‍යාස ආයතනය සහ පදනම් ආයතනය වෙන්වෙනවා. ඒ හේතුවෙන් සිනමා පාසලට බාධා ඇතිවෙනවා. අපි එදා සිටි සිනමා පාසල තුළ ලොකු එකමුතුවක් තිබුණා. අද ඇතිවෙලා තිබෙන තත්ත්වය ගැන ලොකු දුකක් තිබෙනවා. ගුරුමුෂ්ඨියක් කියන දෙයක් නැතිව අපිට සුදත් මහදිවුල්වැව,ධනුෂ්ක ගුණතිලක,එම්.ඩී.මහින්දපාල කියන ගුරුවරු ඉගැන්වුවා. ආයේ සිනමා පාසල ආරම්භ වනවා නම් එය වගකිවයුතු අයෙක් භාරගත යුතුයි කියා මම හිතනවා.

වගකීමක් නැති ක්‍රියාවක්
සුමුදු මලලගම

2009 සිට 2018 දක්වා කාලය තුළ සිනමාවට අලුත් පරම්පරාවක් බිහි කළා කියන දේ අපිට දැනෙනවා. එවැනි සිනමා පාසලක් කිසිදු වගකීමකින් තොරව වසාදැමීමක් ලෙස මම මේක දකිනවා. ඒ වගේම පදනම් ආයතනය තුළ වූ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය වැහුණු අවස්ථාවේ තමතමන් සිනමා පාසල් පටන් ගන්නා බව ලංකාවේ ඉන්න සිනමා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයින් කියන්න පටන් ගත්තා. සාර්ථක නිර්මාණකරුවන් බිහි කළ සිනමා පාසල රැකගන්නවා වෙනුවට ඒක වැසෙන තුරු සිට තවත් සිනමා පාසල් ආරම්භ කරන බව ඔවුන් පවසන්න පටන් ගත්තා.

සිනමා පාසල ඉවරයි
යෝෂිතා පෙරේරා

වටිනා අධ්‍යාපනයක් ලැබුණු ස්ථානයක් තමයි අද අහිමිවෙන්නේ. පදනම් ආයතනයට නැවත රූපවාහිනී අභ්‍යාස ආයතනය එක් වුණත් නතර කර තිබෙන සිනමා පාසල ආරම්භ කරාවිද කියන ගැටලුව තිබෙනවා. පදනම් ආයතනයේ වත්මන් සභාපතිවරයාගේ අරමුණ එහි රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීම නම් රූපවාහිනී අභ්‍යාස ආයතනය ඒ සඳහා පහසුකම් සහිත ස්ථානයක් බව ඔහු දන්නවා. එවැනි දෙයක් ක්‍රියාත්මක වුවහොත් එහි තිබූ සිනමා පාසල නැවත ඇති වේ යැයි සිතන්න අමාරුයි.