රාවය

20 වැනි සංශෝධනය හා විධායකය

20 වැනි සංශෝධනය හා විධායකය

ජවිපෙ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන එන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාව පිළිබඳ පක්ෂ විපක්ෂ සංවාදයක් මේ වන විට ඇරඹි තිබේ. මේ එහි තවත් දිගුවකි.

සංවාදය – වින්ද්‍යා ගමගේ

යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යාපන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල්
පුද්ගලික ප්‍රතිරූප ගොඩනැගීමට හේතුවෙලා

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන කාරණාව පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ කතා බහට ලක් වූණා. ඒ වගේම එය අහෝසි කිරීම පිළිබඳව ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් මැතිවරණ වලදී පොරොන්දු ලබා දුන්නත් ඇත්තවශයෙන් ම එය ඉටු කළේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය වැනි තනි පුද්ගලයකු මත බලතල කේන්ද්‍රගත වීමේ යාන්ත්‍රණය ඉවත් කළ යුතුයි කියන අදහස දීර්ඝ කාලයක සිට ලංකාවේ සමාජයේ පවතිනවා. මේ ප්‍රශ්නය පිළිබඳව එක එක අය එක එක දෘෂ්ඨිකෝණයන්ගෙන් අදහස් දක්වනවා. විශේෂයෙන් ම ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳ උතුරේ ඇති වුණ සන්නද්ධ කැරලි පිළිබඳ ඉතාම තියුණු ලෙස අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන දෙයක් තමයි ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් සපයාගැනීම වැනි කාරණයකදී මම හිතන්නේ විධායක ජනාධිපති ක්‍රමය කිසිසේත්ම යහපත් අන්දමේ බලපෑමක් කිරීමට සමත් වෙලා නැහැ.එපමණක් නොවෙයි, ද්‍රවිඩ සහ මුස්ලිම් දේශපාලන පක්ෂවල සංයුතිය හා ක්‍රියාකාරීත්වය එම සමාජය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී කරනවාට වඩා පුද්ගලික ප්‍රතිරූපය ගොඩනැගීමට තමා හේතුවෙලා තියෙන්නේ.
විශේෂයෙන්ම කියනවා නම් 1978 විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව ඇති වූ බොහෝ සිදු වීම් වලදී ජනාධිපති ධූරය කියන එක කොයිතරම් දුරට ජාතිවාදය සංස්ථාපිත කිරීම සඳහා හේතු වුණාද? ඒ වගේම ඉතාම පැහැදිලිව පෙනෙන කාරණයක් තමයි 1983 කළු ජූලිය වැනි අවස්ථා වලදී රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී හරියට ක්‍රියාත්මක නොවුණු එක තුළත් ජනාධිපති ධූරය දැරූ පුද්ගලයන් තුළ තිබූ අභිලාෂයන් පෙනෙන්නට තිබෙනවා.විශේෂයෙන් පොලිසියට හා සාමය ආරක්ෂා කරන අයට ඒ සඳහා කටයුතු කිරීමට ඉඩනොදී සිටීමට විධායකය බලපෑ අවස්ථා තිබුණා. දිගින් දිගටම වගේ මේ ප්‍රශ්නය ලංකා සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අර්බුදයක් බවට පත්වන තත්ත්වයක් තුළ, ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමේ දී අනිවාර්යෙන්ම සියලුම දේශපාලන පක්ෂ වල සම්මුතියට එළඹීම තමයි වැදගත්වන්නේ. එහෙම විසඳුමක් ඇති කර ගැනීමට හැකි වන්නේ තනි පුද්ගලයකුගේ තීරණ මත ක්‍රියාත්මක වන දේශපාලනයක් වෙනුවට දෙමළ, මුස්ලිම් හා සියලුම දේශපාලන පක්ෂවල සම්මුතියකින් ඇතිවන දේශපාලන විසඳුමකින්. එවැනි විසඳුමක් ඇති කර ගත හැක්කේ පාර්ලිමේන්තුව බලවත්ව තිබෙන අවස්ථාවල පමණයි. විශේෂයෙන්ම ජනවාර්ගික ප්‍රශ්නය වැනි දෙයකදී හෝ වේවා, වෙනත් ජාතික මට්ටමේ ප්‍රශ්නයකදී විසඳා ගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් වීමටත් ඒ වගේම, ස්ථිරසාර වීමටත් පාර්ලිමේන්තුව තමා වැදගත් වන්නේ. තනි පුද්ගලයෙක් බලවත් වීම තුළින් එය සිදු වන්නේ නැහැ.
දැන් විශේෂයෙන් සිදු වන්නේ දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ ජනාධිපතිධූරය දරන පුද්ගලයා සමඟ යම් එකඟතාවන්ට පැමිණිලා ඒ ආණ්ඩුවල තනතුරු ලබා ගෙන කටයුතු කරනවා මිසක ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ සම්මුතියකට යාමක් නොවෙයි. ඒත් පාර්ලිමේන්තුවට බලතල තිබෙන තත්ත්වයක් තුළ හැම දේශපාලන පක්ෂයකටම ප්‍රජාතාන්ත්‍රික වශයෙන් ශක්තිමක්භාවයක් ලැබෙනවා. තමන් නියෝජනය කරන ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ පාර්ලිමේන්තුව තුළ සටන් කර යම්කිසි විසඳුමක් ලබා ගැනීමට. දැන් තිබෙන තත්ත්වය තුළ පාර්ලිමේන්තුව තුළ මොනවගේ දේවල් ගෙනාවත් ජනාධිපතිධූරය දරන තැනැත්තාගේ ක්‍රියාකාරීත්වය මත තමයි සියල්ල තීරණය වන්නේ. මේ නිසා පාර්ලිමේන්තුව තුළින් ගැනෙන ප්‍රජාතන්ත්‍රවාදී හඬට කැමැත්තට වඩා තනි පුද්ගලයකුගේ ක්‍රියාකාරීත්වය තමයි වඩාත් බලවත් වන්නේ. ඒ විතරක් නෙවෙයි. පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණයේ දී පවා පාර්ලිමේන්තුවට වඩාත් බලතල ලැබෙන ක්‍රමයක් තමයි වැදගත් වන්නේ.

ව්‍යාධියට හේතුව, හුදෙක් විධායකය නෙවෙයි.
ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට යොමුකර ඇති 20 වන සංශෝධනයේ ප්‍රකාශිත අරමුණ ලෙස සඳහන් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. විධායක ජනාධිපති ක්‍රමයේ අයහපත් ලක්ෂණ තිබෙන බව සත්‍යයකි. ප්‍රධාන වශයෙන් එය තනි පුද්ගලයකු අත විශාල බලයක් සංකේන්ද්‍රණය කිරීමට ඉවහල් වන ක්‍රමයකි. උදාහරණයක් ලෙස ගතහොත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බහුතරය සහිත දේශපාලන පක්ෂය පාලනය කිරීමට හැකියාව තිබෙන විට ඔහුගේ අභිමතය අනුව බොහෝ දේ කරන්නට පුළුවන්. ඒ වගේම මේ ක්‍රමය යටතේ ජනාධිපතිවරයාට සුවිශේෂ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නොතිබිය යුතු වරප්‍රසාද රාශියක් හිමිවී තිබෙනවා. මේ ක්‍රමය සංශෝධනය කළ යුතුයි. ඒත් ඒ සංශෝධනය මේ මොහොතේ මේ රටේ ප්‍රමුඛ අවශ්‍යතාව ලෙස මම දකින්නේ නැහැ. ඕනෑම රටක් ඒ ඒ ඓතිහාසික යුගයේදී වකවානුවලදී මුහුණදෙන වඩාත්ම බරපතළ ප්‍රශ්න තෝරාගෙන ඉන් ප්‍රමුඛතා ලේඛනයක් හැඩගස්වලා ඉන් ප්‍රමුඛ ප්‍රශ්නවලට තමයි ආමන්ත්‍රණය කළයුතු වන්නේ. ඊළඟට මේ විධායක ආණ්ඩුක්‍රමය පිළිබඳව පතුරුවා ඇති බොහෝ මතවල අවිද්‍යාත්මක මිථ්‍යා අදහස් සමූහයක් ගැබ්ව තිබෙනවා කියන එක මං දකිනවා. එය මෙහෙම පැහැදිලි කරමු. මේ අය, ජනතා විමුක්ති පෙරමුණ, එහි නායකයා ආදී කරන කතාවලදී කියවෙන්නේ අපේ රට පීඩාවට පත් කරන සියලුම ව්‍යාධීන්ට නිධානය වී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය බව.
අප දකින විදිහට මෙය මුළුමනින්ම සාවද්‍ය අදහසක්. ජවිපෙ නායකයා මෑතකදී කියනවා යුද්ධය පවා ඇතිවන්නේ විධායකය නිසා කියලා. එය හාස්‍යජනක තර්කයක් ලෙසයි මම දකින්නේ. යුද්ධය ඇතිවීමට බලපෑ දේශපාලන, ආර්ථික, සමාජීය ආදී හේතු සාධක රැසක් තිබෙනවා. එය එසේ තිබියදී විධායකය නිසා යුද්ධය ඇති වුණාය කියනවා නම් එහි තේරුම ඔහු නිදහසට පෙර ලංකාවේ දේශපාලනය, බි්‍රතාන්‍යයන් මේ රට පාලනය කළ ආකාරය, ඔවුන්ගේ පාලනය කිරීමේ පිළිවෙත, දෙමළ ප්‍රභූ පන්තිය නිදහස ලැබීමට පෙර සිට තමන්ට වෙනම බලතල ඉල්ලා සිටි බව යන මේ සියල්ල අමතක කිරීමක්. අද ලෝකයේ තිබෙන ආණ්ඩුක්‍රමවලින් එකක් විධායක ජනාධිපති ක්‍රමය. ඒක ස්වභාවයෙන්ම නිසර්ගයෙන්ම බිල්ලෙක්. රාක්ෂකයෙක් නොවේ. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ක් තිබෙනවා. මෙයින් අඩකට ආසන්න ප්‍රමාණයක් (මම සොයා බැලූ විදිහට) රටවල් 95ක් පමණ යම් යම් වෙනස්කම් සහිතව නමුත් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් තමයි තිබෙන්නේ. එහෙම නම් ඒ රටවල් සියල්ලක්ම අපායක් බවට පත්ව තිබිය යුතු වෙනවා. ආර්ථික, සමාජීය, දේශපාලන ව්‍යාධීන්ට ප්‍රධාන හේතුව විධායකය නම්, අපේ රටේ මේ ක්‍රමය හඳුන්වා දුන්නේ 1978. ඊට පෙරත් ප්‍රජාතන්ත්‍රවාදී නොවන, අත්තනෝමතික ක්‍රියාවන් රාශියක් සිදුවී තිබෙනවා. බි්‍රතාන්‍යයන් විසින් හඳුන්වා දෙන ලද වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය යටතේ.
1953 හර්තාලයේදීත් පාරට ආපු මිනිස්සුන්ට වෙඩි තියන්නේ ඒ ආණ්ඩු ක්‍රමය යටතේ. 1958 ජාතිවාදී කෝලාහල ඇතිවෙනවා. ඊට පස්සේ 1965දී කොළඹ පෙළපාළියක යන හාමුදුරු නමක් වෙඩි තියලා ඝාතනය කරනවා. කුමන්ත්‍රණයක් සිද්ධ වෙනවා. මෙහෙම ආරෝපණයක් සිද්ධ කරන්න බැහැ විධායක ක්‍රමය නිසා තමයි මේ ප්‍රශ්න ඇතිවෙන්නේ කියලා. කලින් කී පරිදි එහි තිබෙන ඇතැම් අවලක්ෂණ ඉවත් කළ යුතුයි. එහෙත් රට පෙළන සියලු ව්‍යාධීන්ට හේතුව එය නොවේ. මේ රට පෙළන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ අපට ශක්තිමත් ආර්ථිකයක් නොමැතිවීම, ඒ ආර්ථිකයේ ඵලය සාධාරණ ලෙස බෙදී යන සමාජ ක්‍රමයක් නොමැතිවීම, ශිෂ්ටසම්පන්න දේශපාලන සංස්කෘතියක් නොතිබීම. මෙන්න මේ කියන කරුණුවලට ආමන්ත්‍රණය නොකර, එක් සාධකයක් පමණක් අතිශයෝක්තියෙන් හුවා දක්වමින් මේ සංශෝධනය ගෙන එන්නේ වෙනත් අරමුණක් ඇතිව බවය මම විශ්වාස කරන්නේ. මම එය පසුව පැහැදිලි කරන්නම්. දැන් අපි නිදර්ශනයක් ගනිමු. 1978න් පසු කාලය ඇතුළත අපේ රටට අලුත් ආර්ථික ක්‍රමයක් එනවා. මේ ආර්ථික ක්‍රමය මේ රටේ පැළපදියම් කිරීම සඳහා තමයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විධායක පාලන ක්‍රමයක් හඳුන්වා දෙන්නේ. බි්‍රතාන්‍යයන්ගේ නිදහස ලැබූ සියලුම රටවල් පාහේ මුල් දශකය හෝ එකහමාර ඇතුළත අනුගමනය කළ ආර්ථික උපාය මාර්ගය තමයි ආයාත ආදේශන/ආනයන ආදේශන ආර්ථික සංවර්ධන උපාය මාර්ගය. (Import Substitute Development Strategy) මේ ක්‍රමය යම් සීමාවකට පැමිණියා. ඉන්පසු අර්බුදයකට යනවා, සෑම රටකම. මේ අර්බුදයට යන අවධියට සමගාමීව ලෝකයේ අධිරාජ්‍යවාදී බලවත් රටවල් විසින් සමාජගත කරනවා නව ආර්ථික මාදිලියක් වෙනත් නමකින්. ඒ තමයි නව ලිබරල් ධනේශ්වර ක්‍රමය. එහි අර්ථය වන්නේ බලවත් රටවල් සතු ඒකාධිකාරී ප්‍රාග්ධනයට අපේ රටවල නිදහසේ සැරිසැරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම තමයි නියෝ ලිබරල් මාදිලියෙන් කෙරෙන්නේ. මේ නියෝ ලිබරල් මාදිලිය මිථ්‍යාවක්. ඒකේ ‘නව’ කිසිවක් නැහැ. ‘ලිබරල්’ කිසිවක් නැහැ. එය පැරණි ධනවාදයම තමයි. ජේ.ආර්. ජයවර්ධන විශ්වාස කරවනා මේ ක්‍රමය ඇති කළ යුතුයි. එමගින් තමයි අපේ රට දියුණු කරන්න පුළුවන්. එහෙම හිතලා එවැන්නක් ක්‍රියාත්මක කිරීම සඳහා තමයි විධායක ජනාධිපති ක්‍රමය ගෙන ආවේ. ඒ වකවානුවේදී ලෝකයේ සමාජවාදය පිළිබඳ විශ්වාසයක් තිබුණා. වෘත්තීය සමිති ශක්තිමත්ව සිටියා. වාමාංශික පක්ෂ ශක්තිමත්ව සිටියා. එවැනි පරිසරයක නියෝ ලිබරල් මාදිලිය ක්‍රියාත්මක කිරීමට නම් දැඩි පාලනයක් අවශ්‍යයි. ඔහු ආදර්ශයට ගත්තා. ඒ දවස්වල සිංගප්පූරුව, මැලේසියාව, තායිවානය, දකුණු කොරියාව, හොංකොංහි පැවති පාලන ක්‍රම. ඒවා දිහා බලලා එවැනි දෘඪ පාලනයක් සඳහා අවශ්‍ය දේශපාලන ආයතනය නිර්මාණය කිරීමට තමයි විධායක ජනාධිපති ක්‍රමය ගෙන ආවේ. විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි වන අය, එම ක්‍රමය සමග මේ රටේ පැළපදියම් කරන ලද අපේ රටේ බොහෝ ආර්ථික සමාජීය ප්‍රශ්නවලට මූලික නිධානය වන නියෝ ලිබරල් මාදිලිය එසේම තබාගෙන විධායක ක්‍රමය විතරක් ඉවත් කරන්න යෝජනා කරනවා. මෙයින් පැහැදිලිව පෙනෙනවා මෙය පිටුපස තිබෙන්නේ වෙනත් ව්‍යාජ අරමුණක් බව. හැමවිටම ඉතිහාසයේදී අයහපත් අරමුණු සපුරා ගැනීම සඳහා යහපත් දේ තේමා පාඨ ඉදිරියට අරගෙන තමයි බලවේග ක්‍රියාත්මක වන්නේ. අද අපේ රට පසුවන්නේ රාජ්‍ය දුබල නොකළ යුතු, රාජ්‍යයේ ස්ථාවරත්වය ආරක්ෂා කළ යුතු තැනත. එවැනි අවස්ථාවක මේ සංශෝධනය නිසා සිදුවිය හැකි ප්‍රතිඵලය තමයි රාජ්‍යයේ මධ්‍යය දුබලවීම, පරදේශීන් ශක්තිමත්වීම. එවැනි ශක්තිමත්වීමත් නිසැකවම අර අධිරාජ්‍යවාදී රටවල්වලට අවශ්‍ය විදිහට අපේ රට දුබල කිරීමට, අවුල් කිරීමට, අස්ථාවර කිරීමට තමයි මේ ආර්ථික දඩබිමක් බවට පත්කර ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරනවා.

මනෝරාජිකත්වය අරාජිකත්වයට හේතුවක්
ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම කියන එක ලංකාවේ ජනප්‍රිය දේශපාලන සටන් පාඨයක් බවට පත්වෙලා තිබෙනවා කාලාන්තරයක් තිස්සේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි මේ ජනාධිපති ආණ්ඩුක්‍රමය අපිට හඳුන්වාදුන්නේ. මේ ජනාධිපති ආණ්ඩු ක්‍රමය පිළිබඳ අපේ සමාජය තුළ බොහෝමයක් මිථ්‍යා මත ගොඩනගලා තියෙනවා.මේ මිථ්‍යා මත පදනම් කරගෙන තමයි මේ ජනාධිපති ආණ්ඩුක්‍රමය අපේ රටට නොගැළපෙන එකක්, එය අත්තනෝමතික ඒකාධිපති සහ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රමයක් විදිහට සමාජය තුළ මුල් බැහැගෙන තිබෙන්නේ. එයට ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තිබෙන්නේ ලංකාවේ වාමාංශික දේශපාලනය ඇතුළේ ජනාධිපති ක්‍රමය පිළිබඳ ඇති කරලා තිබෙන වැරදි ආකල්ප සහ මත. අපි පක්ෂයක් විදිහට මුල ඉඳලම දරපු ස්ථාවරය තමයි ජනාධිපති ක්‍රමය කියන එක අපේ රටට ගැලපෙන, උචිත දේශපාලන ක්‍රමයක් බව. එය වෙනස් කිරීම පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ ආපු මේ සටන් පාඨය නැවත නැවත හෝද හෝද මඬේ දානවා වගේ වැඩක්. 1994 ත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා පොරොන්දු දුන්නා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය. ඒත් විධායක ජනාධිපති ධූරය අහෝසි වීමක් සිදු වුණේ නැහැ. ඊට පසුව ආපු මහින්ද රාජපක්ෂ මැතිතුමත් අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළා විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලා. ඒත් ඒ ධූරයට පත් වුණාට පස්සේ ධූරය අහෝසි කිරීමක් සිදු වුණේ නැහැ.
2015 ජනාධිපතිවරණයේදීත් මේක සටන් පාඨයක් බවට පත් වුණා. ඒ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ විශාල අඩුපාඩු ප්‍රමාණයක් තිබුණත් එමඟින් මේ විධායක ජනාධිපති ධූරයේ තිබෙනවා කියන බලතල සෑහෙන්න ප්‍රමාණයක් කප්පාදු කරන්නට කටයුතු කළා. ඒ නිසා මේ ජනාධිපති ධූරය පැහැදිලිව ප්‍රජාතන්ත්‍රීකරණය වෙලා තිබෙනවා. ඒ නිසා තව දුරටත් මේ ධූරයේ තිබෙන බලතල කප්පාදු කරන්න හෝ තව බල රහිත කරන්න දෙයක් නැහැ.
පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපති ධූරයක්, අධිකරණයට වග කියන ජනාධිපති ධූරයක් දැන් තිබෙනවා. ජනාධිපතිවරයා සතුව තිබූ බලය විශාල ප්‍රමාණයක් ස්වාධීන කොමිසන් සභා වලට ලබා දීලා තිබෙනවා. දැන් ඇත්ත වශයෙන්ම ලංකාවේ තිබෙන්නේ පූර්ණ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් නොවෙයි. දැන් තිබෙන්නේ අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක්. ඒ කියන්නේ ජනාධිපතිවරයෙක්ට තමන්ගේ අභිමතය පරිදිම කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. අනිවාර්යයෙන්ම කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තුවත් සමඟ සහයෝගයෙන් තමා ජනාධිපතිවරයාට කටයුතු කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිවරයා සතුව තිබූ සැලකිය යුතු බලතල ප්‍රමාණයක් මේ වන විටත් පාර්ලිමේන්තුවට ලබා දීලා තිබෙනවා. කැබිනට් මණ්ඩලයට ලබා දීලා තිබෙනවා.ස්වාධීන කොමිසන් සභා වලට ලබා දීලා තිබෙනවා. රටක් ආණ්ඩු ක්‍රමයකින් කාරණා 2 ක් බලාපොරොත්තු වෙනවා. ඒවා තමයි රටක ස්ථාවරභාවය හා ප්‍රජාතන්ත්‍රවාදය. රටේ ස්ථාවරභාවය සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් බර තියලා ජනාධිපති තනතුරේ තිබෙන සියලුම බලතල ඉවත් කරලා ජනාධිපති ධූරය සම්පූර්ණයෙන්ම නිශ්ක්‍රීය කළොත් රට විශාල අවුලකට අරාජිකත්වයකට ගමන් කරන්න පුලුවන්. මොකද මේ ජනාධිපති ධූරයයි, මැතිවරණ ක්‍රමයයි අතර පැහැදිලි අන්තර් සම්බන්ධතාවක් තිබෙනවා. මේවා එකිනෙකට අනුපූරකයි. එකිනෙක බැඳිලා තිබෙන්නේ. සමානුපාතික ඡන්ද ක්‍රමයක් තුළින් ස්ථාවර පාර්ලිමේන්තුවක් හැදෙන්නේ නෑ. ඒත් ජනාධිපති ධූරය කියන්නේ බලවත් තනතුරක්. එනිසා මේ බලවත් තනතුරත් එක්ක, බලවත් පාර්ලිමේන්තුවක් ලැබුණොත් ඒක ඒකාධිපතීත්වය කරා ගමන් කරන්න පුළුවන් නිසා තමයි සංවරණය හා තුලනය (Check and balance) සඳහා ශක්තිමත් ජනාධිපතිවරයෙක් සහ කිසියම් ආකාරයකට දුර්වල පාර්ලිමේන්තුවක් ඇති කරලා තියෙන්නේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තුළින් පාර්ලිමේන්තුව කොහොමත් දුර්වල නිසා අර්බුදය තව උග්‍ර වෙනවා. ඒ වගේම විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන්ම බල රහිත කරලා ඒක නාමික ධූරයට පත් කළොත් රට පාලනයේ දී විශාල අර්බුදයකට රට ගමන් කරන්න පුළුවන්. ව්‍යවස්ථා අර්බුදයක් රට තුළ නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම බොහෝ දෙනා අමතක කරනවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය කියලා එකක් තිබෙන බව. ඒ 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා තමයි අපි පළාත් සභා ක්‍රමය ඇති කළේ. ඒ පළාත් සභා ක්‍රමය කිසියම් විදිහකට රාජ්‍යය අභියෝගයට ලක් කරන අවස්ථාවකදී පාලනය කරන්න තමයි ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ආණ්ඩුකාරවරයා ඉන්නේ. ජනාධිපතිවරයාගේ බලය සම්පූර්ණයෙන්ම නිශ්ක්‍රීය කළොත් ආණ්ඩුකාරවරයත් නිකම්ම නිශ්ක්‍රීය වෙනවා. ඒ නිසා ඉවක් බවක් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අසීමාන්තිකව කල්පනා කරමින් ඒ දෙසට ගමන් කරන ව්‍යවස්ථා සංශෝධනය තුළින් රට විශාල අර්බුදයකට, අරාජිකත්වයකට ගමන් කරන්න පුළුවන්. ඒ නිසා ජවිපෙ මේ මොහොතේ ඉදිරිපත් කරලා තිබෙන මේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පැහැදිලිවම ජනාධිපති ධූරය නාමික තත්ත්වයට පත් කරලා තිබෙනවා. ජනාධිපතිවරයා සතු සම්පූර්ණ බලය අගමැතිවරයාට කැබිනට් මණ්ඩලයට පවරාගෙන තිබෙනවා. මේ 20වන සංශෝධනය හරහා ආණ්ඩුවේ ප්‍රධානියා බවට පත් වන්නේ අගමැතිවරයා. ඒ නිසා සියලු දේවල් කරන්න වෙන්නේ අගමැතිවරයාගේ උපදෙස් පරිදියි.
රටේ ස්ථාවරත්වය පිළිබඳ කාරණය නොසලකා හැරලා, සම්පූර්ණ මූලධර්මවාදී ආකාරයට හා මනෝරාජික ආකාරයෙන් ලෝකයේ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කියලා ගෙන එන මේ සංශෝධන වලින් රට විශාල අස්ථාවරභාවයකට, අරාජික තත්ත්වයකට යන්න පුළුවන්. මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙනුත්, දූරදර්ෂීව කටයුතු නොකිරීම නිසා අද විශාල ව්‍යවස්ථා අර්බුදයක් රට තුළ නිර්මාණය වෙලා තිබෙනවා. ඒක නිසා තම තමන්ගේ දේශපාලන අභිප්‍රායන් ඉටු කර ගැනීම ස` දහා රටේ ව්‍යවස්ථාවත් එක්ක අත්හදා බැලීම් කරන්න යන එක ඉතාම භයානක දෙයක් ලෙසයි අප දකින්නේ.