රාවය

ඉව අල්ලා සොයා ගන්නා කොළඹ පොදු වැසිකිළි

ඉව අල්ලා සොයා ගන්නා කොළඹ පොදු වැසිකිළි

රසික ගුණවර්ධන

“යන්න බැරි වැසිකිළි 24ක් කොළඹ” ඇති බව අප පසුගිය සතියේ හෙළි කළෙමු. අපි මෙවර ඒ යන්න බැරි වැසිකිළි ද ඇතුලුව සමස්ත කොළඹ වැසිකිළි පිළිබඳව සොයා බැලීමක් සිදු කළෙමු. මේ ඒ පිළිබඳ කරුණු කිහිපයකි.
ලංකාවේ පොදු වැසිකිළියක් යම් තැනක ඇත්නම් එය දුර සිටම හඳුනාගත හැකිය. ඒ ආවේනික “ටොයිලට් ගඳ” නිසාය. මේ ”ටොයිලට් ගඳ නිසාම බොහෝ දෙනෙකු වැසිකිළි නොයති. ගඳ ආ පමණින් එතැන වැසිකිළියක් ඇතැයි නිගමනය කළ යුතු නැත, මක්නිසා ද යත් මහලේකම් කාර්යාල දුම්රිය පළ අසල පාලම (ලේක් හවුසිය අසල ) හා පංචිකාවත්ත හංදියේ ද එසේ වැසිකිළි නැතත් මූත්‍රා ගඳ එන බැවිණි.

පොදු වැසිකිළි

“ඇතුලට ආපු වෙලේ ඉඳල කෙළ ගහ ගහ ඉන්නේ..”
කොළඹ පෞද්ගලික බස් නැවතුමේ පොදු වැසිකිළියේ දී අපට හමුවූවෙකු කීවේ එවැනි කතාවකි. ඔහු කියන පරිදි ම එය අප්‍රසන්නය. වැසිකිළිවලින් පිටතට ගලනා ජලය සෑම තැනකම ගලා යයි. අයෙකු පැමිණ ඒ වතුර පිසදා ඉවත් කළ ද තෙත් පොළොවේ ඇති අප්‍රසන්න බව ඉවත්ව යන්නේ නැත. ඒ අප්‍රසන්න බව තීවුර වන්නේ නැවත නැවත් නොනවත්වා වැසිකිළි ජලය පිටතට ගලා එන නිසාය. පිස දමා වතුර ඉවත් කළ ද තවත් මිනිත්තු දහයක් පහළොවක් ගෙවී යනතැන නැවත පොළොවේ පොකුණකි. අඩුවකට ඇත්තේ මාලු පැටවු කිහිප දෙනෙකි.
මෙහි මූත්‍රා පෝච්චි වල බට ගැලවී ගොසිනි. මූත්‍රා කළ විට ඒවා කෙලින්ම බිම කානුවට වැටී එයින් මූත්‍රා කරන්නාම තෙමී යයි. විසිරෙන තවත් කොටසක් පෙරකී පොකුණට ද එකතු වේ. ඒවා මතින් මිනිස්සු වැසිකිළි යති. ඉතිරිය ගඳ ගසමින් කාණුව දිගේ ගලා යයි.මෙකී අප්‍රසන්න බව කොටුවේ බස්නැවතුම් පළේ වැසිකිළියට පමණක් උරුම වූවක් නොවේ. කොටුව දුම්රිය ස්ථානයේ වැසිකිළියේ තත්වය ද එසේමය. එහි ඇතුලු වන විටම නාස් හැකිලී යන්නේ එයින් හමන දුඟඳ නිසාය. වතුර පිරී ඇති පොළොවේ දමා ඇති බිම් ආවරණ මත පා තබන විට ඒවා අතුරින් වතුර උඩට මතු වේ. ඔබ සිටින්නේ සෙරෙප්පු පැලඳ නම් අනිවාර්යයෙන්ම ඒවා ඔබේ පාද වල තැවරෙනු ඇත. එහෙත් ඔබට පා සෝදා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ ද නැත. එහි මූත්‍රා කිරීමට ඇත්තේ සිමෙන්තියෙන් තැනූ කුඩා කුටි වලටය. ඒවා අප්‍රසන්නය. බොහෝ දුගඳය. මඟියෙකුගේ ගමන් මල්ලක් වැසිකිළියේ වැටුන හොත් එය විසිකර යාම හොඳම පිළිවෙත බව එහි යන්නෙකුට අවබෝධ වේ.
වැසිකිළි පෝච්චි කහට බැඳීය. මාස නොව වර්ෂ ගනනාවකින් ඒවා සෝදා නැතුවා විය හැකිය. කාන්තා වැසිකිළියේ කරාම කැඩී ගොසින්ය. වතුර පුරවා තැබීමට එහි ටැංකියක් ඇත. එහි මදුරු කීටයෝ පිරී ඇත. කොටින්ම කොළඹ දුම්‍රිය ස්ථානයේ වැසිකිළි අප්‍රසන්නය.
එහි විදේශිකයන්ට වැසිකිළියන් තනා ඇත. එය අගුලුලා යතුර ස්ථානාධිපති වරයා භාරයේ ඇත. විදේශිකයෙකුට වැසිකිළි යාමට උවමනා උවහොත් ඔහු වෙත ගොස් යතුර ලබා ගන්නැයි දැන්වීමක් එහි දොරේ ගසා ඇත.
කොටුව දුම්රිය පලේදී අපට මුණ ගැසුණු රවීන්ද්‍ර කීවේ මෙවැන්නකි. “මේවට මිනිස්සු යන්නෙ කරන්ඩ දෙයක් නැති කමට. නැත්තං ජීවිතේට කවුරුත් මේවට යන්නෑ . බලන්ඩ කිසිම පිරිසිඳු කමක් තියනවද?. දේශපාලඥයො ලක්ෂ ගාණක් වියදම් කරගෙන ටොයිලට් හදා ගන්නකොට අපිට වෙලා තියෙන්නෙ මේ වගේ ටොයිලට් වලට යන්ඩ.”
කොළඹ කොටුවට බොහෝ දුර සිට පිරිස් පැමිණෙති. බොහෝ දුර යන පිරිස් පිට වෙති. එසේ යනෙන ඇතැම් දුම්රිය වලත් වැසිකිළි නැත. ඇතත් ඇතැමක ජල පහසුකම් නැත. ඒ නිසා දුම්රියට ගොඩ වීමට පෙර ද බැසීමෙන් පසුද වැසිකිළි අවශ්‍යතාව සපුරා ගත යුතුය. එහෙත් ඊට ඇත්තේ මෙවැනි අප්‍රසන්න වැසිකිළිය.
කොටහේනේ පොදු වැසිකිළියේ තත්වය ද සෝචනීය ය. එහි ඇත්තේ වැසිකිළියක් යැයි කියාගන්නා කුඩා කුටි දෙකකි. ඇතුලු විය හැක්කේ මහා ජල දුර්ගයක් තරණය කිරීමෙනි. පය එහා මෙහා උවහොත් මාස ගණනාවක් පල් වී ගඳ ගසන අසූචි පිරි ජල දුර්ගයට වැටෙනවා ම ය. වැසිකිළියේ වැසිකිළි පෝච්චියක් ඇතත් එය වැලි හා මඩ වලින් පිරී ගොස්ය. එහි වැසිකිළි යාමට හැකියාවක් නැත. ඒ නිසා ම පිටත පරිසරය මූත්‍රා ගඳින් පිරී ගොසින්ය.
මේ වැසිකිළියේ පෙර නාන කාමරය ද පිහිටා තිබී ඇත. එය නාන කාමරයක් ව තිබූ බව අප දැන ගත්තේ එහි සිටි අයෙකු ඒ බව පැවසූ නිසාය. නැතිනම් එය දකින්නෙකු සිතන්නේ එය කුණු දමනා තැනක් ලෙසය.
“දැන් මෙතන අවුරුද්දකට වැඩී මෙහෙම, ටොයිලට් බ්ලොක් වෙලා, ටොයිලට් යන්ඩ බෑ. ඒ හින්ද මිනිස්සු එළියෙ අයිනකට තමයි යන්නෙ. කවුරුවත් මේ ගැන බලන්නෙ නෑ. අඩුම ගානෙ එහා පැත්තෙ මාකට් එකේවත් ටොයිලට් එකක් නෑ. කොටහේනට එන මිනිස්සු ඔක්කොම බිත්ති වලට දාල තමයි යන්නෙ.” ඒ අරවින්ද්ගේ හඬය.
කොටහේනට දිනකට එන පිරිස ඉතා ඉහළය. එහිදි හමු වූ කිහිප දෙනකු කියූ ආකාරයට අවට පෞද්ගලික පංති වලට පැමිණෙන විශාල ළමුන් පිරිසකට වැසිකිළිය ලෙස භාවිතා කිරීමට ට සිදුව ඇත්තේ මෙහි එළිමහන් භූමියයි. ගැහැනු ළමුන් නිවෙස් වලට යන තුරුම මූත්‍රා බර සිරකරගෙන සිටිය යුතුය.

බොරැල්ලේ ඉඩ නැහැ

බොරැල්ලේ පොදු වැසිකිළියක් නැත. කොළඹ නගර සභාව කියන්නේ ඒ සඳහා ඉඩම නොමැති බැවින් පොදු වැසිකියක් බොරැල්ලේ නොමැති බවයි.
දෙමටගොඩ මස් වත්තේ (තිහේ වත්ත) ද තත්වය මෙසේය. එහි ද වැසිකිළි පද්දතිය අබලන්ය, අපවිත්‍රය. දොරවල් ගැලවී ගොසිනි. වැසිකිළි පෝච්චි කැඩී ගොසිනි.
පුශ්පරාජ් ඒ ගැන කියන්නේ මෙවැනි කතාවකි. ” හැමදාම මේ ලයින් එක බ්ලොක්. ඉඳල හිටල ඇවිල්ල බ්ලොක් එක කඩල යනව ඇරුනහම ආය එන්නෙ නෑ. මෙතන පවුන් අසූවක් ඉන්නව. ඡන්ද කාලෙටනන් මෙතන ඡන්ද ටික ගන්ඩ කට්ටිය ඇවිල්ල සිමෙන්ති ටිකක් දාල යනව. කවුරුත් ඊට පස්සෙ මේ හැන හොයල බලන්නෑ. ටොයිලට් වල වතුර වත්ත පුරාම යනව. හරියට වතුර ටික බැහැල යන්නෙ නෑ.”
නවගම්පුර තත්වය ද මීට දෙවනි නැත.නම නවගම්පුර වුවත් එහි තිබෙන්නේ දොරවල් කැඩුණු, කරාම ගැලවුණු, කුණු පිරුණු වැසිකිළයි. මේවා දීර්ඝ කාලයක් තිස්සේ නඩත්තු වී නැත. පසුගිය වර්ෂා සමයේ නවගම්පුර වර්ෂා ජලයෙන් යටවී ගියේ ය. වර්ෂාව පහව ගිය ද අප්‍රසන්න කුණු ජලය තවමත් එහි රැඳී ඇත. නවගම්පුර ගැන සිසිර කියන්නේ මෙවැන්නකි. ” මෙතන හැමදාම මෙහෙමයි. කවදාවත් අලුත්වැඩියාවක් කරන්නෙ නෑ. අනිත් එක මෙතනට කුඞ්ඩො එනව. ඇවිල්ලා මේව කඩල බිඳල යනව. මෙතන පිළිවෙලකට තියනවනන් අපිට පුලුවන් පොලීසියට කියල මොනව හරි කරන්ඩ. බලන්ඩ, හැමතැනම කුණු. අපේ මිනිස්සුත් වැරදී, සමහරු ඉන්නව මේව ගැන ගානක් නෑ.”
මැනිං පොදු වෙළඳපල ඇතුලත දකුණු පස කොනේ ඉදිකර ඇති කුඩා වැසිකිළිය ද ඉතාම අප්‍රසන්නය. එහි හැමදාම ඇත්තේ නාසය හැකිලෙන දුර්ඝන්ධයකි. ඊට ඇතුලු වීමට ඇත්තේ කුණු ගොඩක් මැදිනි. මැනිං වෙළඳපළේ පළතුරු වෙළෙන්දෙකු වන කේ. රවිචන්ද්‍රන් අපට පැවසුවේ මෙවැන්නකි. “මෙතන සල්ලි ගන්නව, හෝදනව. ඒත්, අපිරිසිදුයි. මනුස්සයෙකුට යන්ඩ බෑ. ගඳ ගහනව. කවුරුහරි හොයල බලල මේක හදවනවනන් ගොඩක් වටිනවා”

කාන්තාවෝ.

කාන්තාවෝ සහ පොදු වැසිකිළි යනු එකිනෙකට නොගැලපෙන මාතෘකාවන් වන තරමට කාන්තාවන් සහ පොදු වැසිකිළි දුරස් ය. එනම්, බොහොමයක් කාන්තාවෝ පොදු වැසිකිළි භාවිතා කරන්නේ නැත. එයට ප්‍රධාන වශයෙන් හේතූන් කිහිපයක් ඇති බව අපට හඳුනාගත හැකි විය. ඇතැමුන් අපට කීවේ තමන්ට කවරදාකවත් පොදු වැසිකිළියකට යාමට අවශ්‍යතාවක් මතු වී නැති බවයි. ඇතැමුන් කීවේ පොදු වැසිකිළි අපිරිසිදු නිසා ඒවාට යාමට මැලිවන බවයි. ඇතැමුන් සමඟ කළ කතාබහෙන් අපට හැඟුනේ ඔවුන් පොදු වැසිකිළියකට යාම ලැජ්ජාසහගත දෙයක් ලෙස සලකන බවයි. මෙකී කාරනා අනුව ලංකාවේ බොහෝ කාන්තාවෝ පොදු වැසිකිළි වලට යාම මඟ හරිති.
අප කාන්තා වැසිකිළි නිරීක්ෂණය කළ විට දුටුවේ ඒවා ද පිරිමින්ගේ වැසිකිළි සේම අපවිත්‍ර වී ඇති බවයි. පිරිමින්ට මෙන් නොව කාන්තාවන්ට අපිරිසිදු වැසිකිළි වල මූත්‍රා කිරීමට පවා නොහැකි වීම පිළිබඳව කවුරුන් හෝ අවධානය යොමුකරන බවක් පෙනෙන්නට නැත. පිරිමියෙකුට ඕනෑ මුල්ලකට ගොස් මූත්‍රා කළ හැකි වූව ද කාන්තාවන් ට එසේ බැරිය. අප දන්නා බොහෝ කාන්තාවන් ඒ නිසාම ගමනක් ගොස් නිවසට පැමිණෙන තුරු සිටින්නේ බොහෝ අපහසුතවෙනි. ආනන්දි කීවේ ඒ කතාවයි. “ මේ ටොයිලට් වලට කොහොමද යන්නෙ?, හුඟක් ඒව හරි ගඳයි. ටැප් කැඩිල වතුර නෑ. ඒ හින්ද ගොඩක් අය ටොයිලට් යන්නෙ අප්පිරියාවෙන්.”
මේ තත්වය අපි ද නිරීක්ෂණය කළෙමු. අප කොටුව දුම්රිය ස්ථානයේ ද කොටුව පෞද්ගලික බස් නැවතුම් පළේ ද බොහෝ වේලාවක් රැඳී සිටිය ද ඒවාට කාන්තාවන් පැමිණියේ ඉතාම අල්ප වශයෙනි. බස් නැවතුම් පළේ වැසිකිළියට කාන්තාවන් අප සිටින අවස්ථාවේ පැමිණියේ ම නැත. පැමිණි කිහිප දෙනා ද දමිළ භාෂාව පමණක්ම දැන සිටි කාන්තාවන් වීම නිසා අප ඔවුන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට ලැබුනේ නැත. එහෙත් ඔවුන්ගේ හැසිරීමේ කතාව අපට අවබෝධ කර ගැනීමට අපහසු වූයේ නැත. ඒ කාන්තාවෝ සියලු දෙනාම ඇතුලු වූවාට වඩා කඩිසර ගමනින් පිටතට පැමිණ කෙල ගැසුවේ වැසිකිළියේ ඇති අප්‍රසන්න බව නිසාය.

සුපිරි වැසිකිළි

මෙසේ අපවිත්‍ර, භාවිතා කළ නොහැකි වැසිකිළි පවතින අතරේ සුපිරි පොදු වැසිකිළි ද නැතුවාම නොවේ. හයිලෙවල් පාරේ තිඹිරිගස්යායේ වැසිකිළිය ද, ටොරින්ටන් හි වැසිකිළිය ද, මැනං වෙළඳපොලේ දකුණු පස කොනේ පිහිටා ඇති වෙළඳ සංඟමය විසින් පාලනය කරන වැසිකිළියද ඇතුලු වැසිකිළි 18ක් එසේ පවිත්‍ර සුපිරි ගනයේ ඒවාය.
ඒවා දිනපතා කිහිපවිටක් පිරිසිදු කරන අතර දුර්ඝන්ධයක් ද නැත. සුවඳ කාරක ඉස ඇත. මේවායේ අයකිරීම රුපියල් දහයකි. එහෙත් අපවිත්‍ර වැසිකිළිවල ටිකට් කඩන බොහෝ දෙනෙක් ”තග” දමා රුපියල් විස්සක් ගනිති.

මිනිස්සුත් නරකයි

අපි වැසිකිළි වල මුදල් එකතු කරන්නන් හා ඒවා පිරිසුදු කරන්නන් සමඟ ද කතා බහ කළෙමු. ඔවුන්ට ද කීමට කතාවක් තිබුණි. වැසිකිළි පිරිසුදු කරන විල්බට් කීවේ මෙවැනි කථාවකි. “මෙතන ලස්සනට තිබ්බට මිනිස්සුන්ට උවමනාවක් නෑ මෙතන ලස්සන්ට තියාගන්ඩ. සමහරු ඇවිල්ල බීල බෝතල් පෝච්චියට දාල යනව. දැනුත් බියර් ටින් එකක් තිබිල අයින් කරා. සමරු ඇවිල්ල මූත්‍රා කරල වතුර නොගහ යනව. ටැප් කඩනව, සමහර ගෑනු අය තුවා ගලවල ලැට් වලට දානව” ඔහු අවසන් ටික කීවේ කණට ළං වීය.
ඒ අතර මැනිං වෙළඳපොලේ වෙළඳ සංගමය පාලනය කරන වැසිකිළියේ මුදල් එකතු කරන කුමාර ද අපට හමු විය. ”සමහර ගෑණු අය ඇවිල්ල පොඩි ළමයිගේ පැම්පස් කක්ක පිටින්ම කොමඞ් එකට දාල යනව, ජනෙල් උඩින් තියල යනව. සමහරු ඩස්පින් එකට දානවා, ඉතින් අපිට අතින් තමයි ඕව අයින් කරන්ඩ වෙන්නෙ. මොකද පිරිසිදු කරන අය එන්නෙ වෙලාවට, එයාල එනකං ඒව එහෙමම තියන්ඩ බෑනෙ, තව මිනිස්සු එනවනෙ.
ඒ අනුව වැසිකිළි අපවිත්‍ර වීම පිටුපස ඒවා භාවිතා කරනා මිනිසුන් ද සිටී. ඔවුහුද අපිරිසිදු වැසිකිළි වල කොටස්කාරයන් වෙති.
අප ගුණසිංහපුරදී දුටුවේ වැසිකිළියේ දොරට යාර ගණනක් දුර සිට මූත්‍රා කරන අයෙකි. ඔහු ගේ මූත්‍රා වැසිකිලියේ බිමට වැටේ. එහි තබා ඇති භාජනයට ද වැටේ!. ඒවා වැසිකිලිය පුරා විසිර යයි. තවත් අයෙකු බිත්තියේ සවිකර ඇති මූත්‍රා බඳුන වෙත ගොස් බඳුණින් ඉවතට, එනම් බිත්තියට මූත්‍රා කරයි. ඇතැමුන් තමන් ගිය වැසිකිළි පිරිසිදු නොකර පැමිණෙයි. අප සිටින අතරතුර කොටුවේ අවන්හලක අරක්කැමියකු වැසිකිළියට ආවේ ඒප්‍රණයද හැඳගෙනය.
වෛද්‍යවරුන් ජලය වැඩිපුර පානය කරන ලෙස ද එසේ පානය කිරීම සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතකට ඉවහල් වන බවද පවසති. එහෙත් එසේ ජලය පානය කර මූත්‍රා කිරීමට ගැලපෙන වැසිකිළි කොළඹ ඇත්තේ අතලොස්සකි.
මුදල් හදල් ඇති පිරිස් ගැවසෙන නගරාශ්‍රිතව විශාල දැකුම් කලු , පිරිසිදු වැසිකිළි ඇත. එහෙත් ඒවා දුප්පත් මිනිසුන් සිටින පැති වල නැත. එහෙත් මේවා ඉදිකර ඇත්තේ පොහොසත් මිනිසුන්ගේ මුදල් වලින් පමණක් නොවේ. පොහොසත් මිනිසුන්, දුප්පත් මිනිසුන් යන දෙගොල්ලන්ගේම මුදල් වලිනි.
බස් වල කෝච්චි වල යන මිනිස්සුන්ට පිරිසුදු වැසිකිළි නැත. එහෙත් ලෑන්ඞ් රෝවර් වල ප්‍රාඩෝ වල යන පිරිස් වලට මඟ දෙපස නරඹමින් යාමට වැසිකිළි ඉදිකර ඇත. තිඹිරිගස්යායේ වැසිකිළියේ තංගවේලු කීවේ ඒ කාතාවයි. ”මේවට වැඩිය මිනිස්සු එන්නෙ නෑ. එන්ඩ මේ හරියෙ වැඩිය මිනිස්සු නෑ. සමහර දවස් වලට ටාගට් කවර් කරගන්ඩත් බෑ.”
අප මෙසේ අහඹු ලෙස තෝරාගත් ප්‍රදේශ වලින් නියැදි තෝරා ගෙන කොළඹ වැසිකිළි වල තත්වය නිරික්ෂණය කළ විට අනාවරණය වූ කාරණා නාගරික කොමසාරිස් කයිවාරු කාරයෙක් ද නැද්ද යන්න සොයා ගැනීමට හොඳම අවස්ථාව වනු ඇත.

අවුල්නං මට කියන්න
ලලිත් වික්‍රමරත්න, නාගරික කොමසාරිස්, කොළඹ මහ නගර සභාව.

කොළඹ වැසිකිළි ඔක්කොම පිරිසිදුව තියනව. නගර සභාවට අයිති එක වැසිකිළියක් හරි අවුල්නන් මට එවලෙම කියන්ඩ. මම එවලෙම හදන්ඩ පටන් ගන්නව.