රාවය

ගෝඨා බේරුවල ගියා වගේ

ගෝඨා බේරුවල ගියා වගේ

ටිරන් කුමාර බංගගමආරච්චි

පැරණි කතාව නම් ‘කළුවා මාරපන් ගියා වගේ’ය. එය වර්තමානයේදී වියත්මග දිගේ ගොස් නවීකරණය වී ඇත්තේ, ‘ගෝඨා බේරුවල ගියා වගේ’ය. යනුවෙනි. ගෝඨාභයට බේරුවල යන්නට බැරිද? එහෙම අයිතියක් නැද්ද? ඕනෑම කෙනකුට පෙරළා ඇසිය හැකිය. අයිතියක් ඇතිද නැතිද? බලයක් ඇතිවද? නැතිවද? ගෝඨාභයට බේරුවල යා හැකිය. ඔහු ඒ බව ඔප්පු කොට හමාරය. එබැවින් ඒ ගැන තර්ක කොට පළක් නැතිය.

ජනප්‍රියකම

මේ මොහොතේ මෙරට දේශපාලනයේ ජනප්‍රියතම චරිතය බවට පත්වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂය. එය මහින්ද රාජපක්ෂ අබිබවා යන තැනට වර්ධනයවෙමින්, වර්ධනය කරමින් පවතී. කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පවත්වන්නට යෙදුණු වියත්මග වාර්ෂික සමුළුවේ මහා වියතා ගෝඨාභය රාජපක්ෂ විය. එයට සහභාගි වූ පිරිස අතර මහින්ද රාජපක්ෂ මෙන්ම බැසිල් රාජපක්ෂද විය. චමල්ද ඒ අතර සිටියේය. රාජපක්ෂ පවුලම එකම තැනකට ඒමට වඩා ගෝඨාභයගේ වේදිකාවට ඒම මෙහිදී සුවිශේෂීය. මන්ද ගෝඨාභය යන මග යෑම බැසිල් එතරම් නොතකන බැවිනි. එය දේශපාලනිකව තහවුරු වී අහවරය. ඒ මග යන්නට මහින්ද රාජපක්ෂගේද එතරම් කැමැත්තක් නැත. කාගේ කැමැත්තක්වත් මේ මොහොතේ ගෝඨා නොතකන බව සැබෑය. ගෝඨා මෙතෙක් කළ කී දිහා බලන කල එය පැහැදිලිය. එනම් ලබන ජනාධිපතිවරණයට තම සහෝදරයන්ගේ සහය ඇතිව හෝ නැතිව තරග කිරීමට තමන් සූදානම් බව ඔහුගේ ‘වියත්මග’ සමුළුව සංවිධානය කිරීම මගින් පැහැදිලිය.
ඒකාබද්ධ විපක්ෂයේ 20-20 අපේක්ෂකයා කවුද යන්න විවරණ දීම මහින්ද රාජපක්ෂගේ කාර්යයක් වී ඇතත්, ඔහු මේ වනවිට පසුවන්නේ අතීරණයෙනි. වාසුදේව නානායක්කාර චමල් රාජපක්ෂව ඉල්ලා ගෝඨාභය එපා කියනුයේ මහින්දගේ ආශිර්වාද නැතිව යැයි සිතිය නොහැකිය. දහසයදෙනාගේ කණ්ඩායමේ බහුතරය ගෝඨාභය ඉල්ලා සිටීමත් අමුතු සෙල්ලමකි. ඒ වෙනස් මත කොතෙක් තිබුණද, ගෝඨා ‘එළිය’, ‘වියත්මග’ වැනි වැඩසටහන් හරහා ඔහු තම පවුලට බලපෑම් කරනුයේ අනාගත නායකත්වයට සුදුසු රාජපක්ෂ තමන් බව ඒත්තු ගන්වමිනි. එය පිළිගැනීමට පීඩනයක්ද එල්ල කරමිනි. එලෙස දැකිය හැකි නැගී සිටීමක් ඔහු තුළ මේ වනවිට දක්නට ලැබේ. ගෝඨා කර තබාගෙන යෑමට සමහර උරතල දැනටමත් සූදානමින් පසුවන බව පෙනේ. කාලෙන් කාලෙට එකම මෝඩකම නිතර නිතර සිදුවෙමින් පවතී.
මේ දිනවල ගෝඨාභය යන රටාව අමුතුය. එළියෙන් වියත්මගට එන ඔහු දැන් රඟදක්වනුයේ ආරක්ෂක ලේකම් ලෙස රඟදැක්වූ චරිතයට වඩා වෙනස් චරිතයකි. වියත්මග හරහා ඔහු ව්‍යාපාරික පන්තියේ අනුබලසහිත, පැහැදිලි ආර්ථික දැක්මක් සහිත කාර්යශූර වෘත්තිකයකු ලෙසින් ඉස්මතු විය. ඔහු අද පෙනී සිටිනුයේ දූෂණය තුරන් කිරීම, ආර්ථිකය නගා සිටුවීම කෙරෙහි කේන්ද්‍රගතවය. අද ඔහු වටා සිටින පිරිස දෙස සියුම්ව නිරීක්ෂණය කරන කල පෙනෙනුයේ ඔහු තම හමුදා ඇඳුම යට සිටි පුද්ගලයා සඟවා දැමීමට උපායශීලීව උත්සුක වන බවය. බේරුවල ගමන යන්නේ මේ පසුබිමත් සමගය. ‘කළුවාට මාරපන් යන්නැයි කී සැණින් මාරපන් ගියා සේම ගෝඨා බේරුවලට රැගෙන යන්නේ වියත්මග කීමට විය හැකිය.

රනිල් උතුරට යෑම සහ ගෝඨා බේරුවලට යෑම

රනිල් උතුරට යනුයේ උතුර සමග එක්ව වැඩ කිරීමට රජය සූදානම් බව කියමිනි. අනාගත සංවර්ධන ව්‍යාපෘති ගොඩක්ද කරපින්නාගෙනය. උතුර සමග වැඩ කිරීමේ සූදානම රනිල්ට ඇතිවී ඇත්තේ තුන් වසරක් ගෙවී ආණ්ඩුවේ හුස්ම ටික යන්න ළංවූ විටය. ඒ නැවත ඔක්සිජන් ලබාගැනීමේ අටියෙනි. ඉදිරියේදී නැවත බලය ලබාගැනීමට නම් උතුරේ ඡන්ද අනිවාර්ය බැවිනි.
මෙහි අනෙක් අන්තය ගෝඨා කරමින් සිටී. එනම් ඔහු යන්නේ බේරුවලටය. බේරුවලට යන ගමන ගෝඨාභයට තීරණාත්මකය. ඔහු බේරුවල යනුයේ රාමසාන් උත්සවයකටය. ඒද මුස්ලිම් ජනයාගේ ආරාධනයකටය. එහිදී ඔහු ඉහළ පිළිගැනීමකටද ලක්වේ.
මෙහිදී ගෝඨාභය කරන කතාව ඊටත් ඉහළය. ඔහු එහෙම් පිටින්ම මුස්ලිම් හිතවාදියකු වී ඇත. රාජපක්ෂ ආණ්ඩුව තරම් මුස්ලිම් ජනයාට සේවය කළ ආණ්ඩුවක් තවත් නැති බව ඔහු කියයි. යුද්ධය ඉවර කොට මුස්ලිම් ජනයාටද විමුක්තිය උදාකළ බව ඔහු කියයි. ඉන්පසු ඔහු එන්නේ දර්ගා නගරයේ සිද්ධිය වෙතටය. අප ස්ථිරයටම දන්නේ නම් දර්ගා නගරය එදා වැනසුවේ ඔහුගේ මැදිහත්වීමෙනි. එහෙත් අද ඔහු බේරුවලට ගොස් කියනුයේ ඔහු එය පාලනය කළ බවය. ඉන්පසු පිළියම් යෙදූ බවය. එය ඉහමුදුනින් පිළිගැනීමට බේරුවල මුස්ලිම් ජනයාට හැකිනම් තවත් ඒ ගැන අටුවා ටීකා ටිප්පනි ගෙනහැර පෑම අර්ථවිරහිතය. එහෙත් කිවයුත්තේ දර්ගා නගරයේ සිද්ධිය දෙකට ඇද දමමින් තෙල්දෙණිය මුස්ලිම් ප්‍රහාරය එකට ආ බවය. එය එදා දර්ගා නගරයේ සිද්ධිය හෙළා දුටු යහපාලන ආණ්ඩුවේ වැඩක් වීම තුළින් මුල් සිද්ධිය සාමාන්‍ය වූයේ කොයි කාලයේ වුව කුමන ආණ්ඩුවක් යටතේ වුව මෙවැනි සිද්ධි විය හැකි බව ඔප්පු කරමිනි. එදා දර්ගා නගරයේ සිද්ධියත් මෙදා තෙල්දෙණිය සිද්ධියත් දෙකම එකය. පොලිස් විශේෂ කාර්ය බලකාය එදා මෙන්ම මෙදාද එකම දේ අපූරුවට කළේය. මේ සිද්ධි දෙකේදීම කැපී පෙනුණ චරිතයක් විය. ඒ ගලගොඩඅත්තේ ඥානසාර හිමිය. ඒ හිමි එදා දර්ගා නගරයේ සිද්ධියට දායකත්වය සැපවූයේ කෙසේද? එලෙසම තෙල්දෙණිය සිද්ධියටද අඩුම කුඩුම සැපයීය. එහෙත් එදා ගෝඨාභය නියෝජනය කළ මේ භික්ෂුව මෙදා හිටියේ ජනපතිට කිට්ටුවය. ඉන් පෙනීයන්නේ මේ ජාතිවාදී ගිනි කොයි කාලයේත් කා සමග වුව ඇවිලිය හැකි බව නොවේද? එවන් පසුබිමක ගෝඨාභයට බේරුවලට යෑම එතරම් කජ්ජක් නොවේ. අද ඔහුව පිළිගන්නා මුස්ලිම් ජනයා ඔවුන්ගේ ගැලවුම්කාරයා ලෙස ගෝඨාභයව සැබෑවටම පිළිගත්තේද? එය විය නොහැකි යැයි කිව නොහැකිය. ඇතැම්විට විය හැකිය. ඒ ඇයි?

මුස්ලිම් – දෙමළ විරෝධය

සැබැවින්ම දෙමළ ජනයා දර්ගා නගරයේ නොව තෙල්දෙණිය සිද්ධියේදී වුව ගනුයේ සිංහලයාගේ පැත්තය. තිත්ත වුවත් කිවයුත්තේ දෙමළ ජනයා මුස්ලිම් අයට පහරදීම ගැන සතුටු වෙති. ඒ වෙන හේතුවක් නිසා නොව එදා දෙමළ ජනයාට පහරදෙන විට මුස්ලිම් ජනයා සිංහලයා සමග එක්ව එය සැමරූ බැවිනි. මහ ජාතියත් සුළු ජාතියත් අතර ප්‍රශ්න සේ ම සුළු ජාතීන් සුළු ජාතීන් අතර ප්‍රශ්න එමටය. එල්ටීටීඊය විනාශ කිරීමේදී මුස්ලිම් අය සතුටු වූහ. ඔවුන්ට ඉන්පසු පහරදෙන විට දෙමළ අය සතුටු වූහ. මේ අනුව බලන කල එජාපය දෙමළ සහය ආණ්ඩු කරන්න ඉල්ලන්නේ නම් මුස්ලිම් සහය ඊට ප්‍රතිවිරුද්ධ අන්තය වුවද පුදුම විය යුතු නැත.
බේරුවලදී ගෝඨාභය පිළිගැනීම සරලව සිතිය නොහැකිය. ගෝඨා මළගෙදරටම ගොස් ශෝක පණිවුඩ දෙන තැනට තල්ලු වූයේ මේ යටිකූට්ටු දේශපාලනය නිසාමය. අද ඒ ඉළව් ගෙදර අයට මිනීමරුවා වුව වැඳ පිළිගත හැකිය. ඒ හෙට දවස වෙනුවෙනි. ගිය ඊයේටත් අදටත් වඩා හෙට වැදගත් නිසා විය හැකිය. ඔවුහු වුව ගෝඨා බලයට එතැයි විශ්වාස කරනවා විය හැකිය. එසේ නම් කල්තියා තරහා මරහා අමතක කරගැනීම යහපතක් සේ සලකනවා විය හැකිය. මන්ද බේරුවල ගමන මුස්ලිම් අයගේ ආරාධනයක්ම බව පැහැදිලි නිසාය. මුස්ලිම් පිරිසක් මෙහිදී විරුද්ධ වනවා ඇත. එහෙත් තව පිරිසක් කැමති බව සහතිකය. ඒ දෙපිරිසම බේරුවල වීමත් අමතක නොකළ යුතුය. පහුගිය මැතිවරණයේ රාජිතලා කයිවාරු ගැසුවද ඡන්දය දිනිය නොහැකි විය. එසේ නම් බේරුවල බේරා ගැනීම නැවත ගෝඨාට පැවරීම පුදුම විය යුතුද?
ගෝඨාභය බේරුවල ගොස් මුස්ලිම් අයට වඩා මුස්ලිම් වී කතා කළේය. ඔහු නම් දැන් නියම කෛරාටික දේශපාලකයාම වෙමින් සිටී. මහින්ද රාජපක්ෂට වඩා වෙට්ට පිත්තල වෙමින් සිටී. පිත්තල හන්දියේදී බෝම්බ ප්‍රහාරයට ලක්වූ ගෝඨාභය බේරී ආවේ සිනාසෙමිනි. සිනාවේ කෙළවර බොහෝ දුර බව එදා මහින්ද රාජපක්ෂවත් නොසිතුවා විය හැකිය. ගෝඨා ගෙන ඒම සමහරුන්ගේ යටි සිතේ ආශාවක් විය හැකි සේ ම රාජපක්ෂලා බොහොමයකගේ නොකැමැත්තට හේතුවිය හැකිය. ඒ නිසා ගෝඨාගේ ගමන ලේසි පහසු නැත. ගෝඨා මෙන්ම උඩ දමන අනිත් අයද තේරුම් ගතයුත්තේ ඔවුන් මුලින්ම වැටෙනුයේ තමන්ගේ ඇඟ උඩටම බවය.
ගෝඨා ඒම නොඒම ගැන පේන කියනු කුමටද? එහෙත් ඔහු මැර නායකෙයක් ලෙස දැකීම මහා විගඩමකි. බේරුවලට අතීතය අමතක ඇතිය. එහෙත් එලෙස ලේසියෙන් ඒ අතීතය අමතක කළ හැකිද? අමතක කළ යුතුද? අමතක කළ නිසාම තෙල්දෙණියෙන් ඒ ගින්න ඇවිලිණි. කා යටතේ වුව ගිනි පුළුඟු අළු යට තිබුණහොත් එක සුළං පහරකින් ඇවිළෙන බව වටහාගත යුතුය. දැන් ගෝඨාට පමණක් බය විය යුතු නැත. මෙරට බොහෝ දේශපාලකයන්ට බය විය යුතුය. රාජපක්ෂලා ඇත්තේ එපමණයි කියා සිතුවාට රාජපක්ෂලා හැමතැනම සිටිති. එමෙන්ම ඒවා ගොඩනගන රනිල්ලා සිරිසේනලා මෙන්ම සම්බන්ධන්ලා හකීම්ලාද ඕනෑතරම්ය. ගෝඨා බේරුවල ගියාම මොකද? යහපාලනයට තෙල්දෙණිය ඇත. සැවොම මේ ඉඩ බෙදා ගැනීම මරුය. සැබැවින්ම සැමට මරුය. අපි බය නොවිය යුත්තේ කාටද? එළැඹෙනුයේ අපි අපිට පවා බයවිය යුතු කාලයකි.