රාවය

රාජ්‍ය විද්‍යුත් මාධ්‍යයට ආරාධනාවක්

රාජ්‍ය විද්‍යුත් මාධ්‍යයට ආරාධනාවක්

විපුල කරුණාතිලක

පසුගිය අවුරුදු 10ක කාලය තුළ රාජ්‍ය හා පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය දෙස බලන විට පොදුවේ පෙනීයන කරුණක් වනුයේ මේ මාධ්‍යයන්ගෙන් අධ්‍යාපනය යන්න ගිලිහී ගොස් ඇති අයුරුය. ලාභය හා දේශපාලන අභිලාෂ මත පදනම් වන පෞද්ගලික විද්‍යුත් මාධ්‍යයන්f කෙරෙහි බලාපොරොත්තු තබාගත නොහැකි වුවත් රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය මෙයට වඩා වගකීමකින් වැඩ කළ යුතුය. දේශපාලන, සමාජ ගැටලු හෝ අනාගත අභියෝග පිළිබඳව සාමාන්‍ය ජනතාවට අධ්‍යාපනයක් ලබාදිය යුතුය. ඒ ඔස්සේ සාමාන්‍ය ජනතාවට තමන්ගේ අනාගත සැලසුම් සකසාගත හැකිය. මෙම වගකීමෙන් බැහැර වී ඇති රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ඒ වෙනුවට තෝරාගෙන ඇත්තේ පෞද්ගලික මාධ්‍ය අනුදක්නා මාර්ගයයි. රටේ ආර්ථික අර්බුදය වැනි කරුණක් සාකච්ඡා කරනුයේ තුලනාත්මක විග්‍රහයකට එහා ගොස් පවතින ආණ්ඩුවේ ඇමතිවරයාගේ සිත සතුටු වන ලෙසය. ලංකාවට ආදර්ශයක් ගත හැකි බීබීසී වැනි මාධ්‍ය ආයතනයක් ක්‍රියාත්මකවන්නේ ප්‍රධාන ලෙසම අධ්‍යාපන මාධ්‍යයක් ලෙසයි. බොහෝ ගැටලු වාර්තා කරන්නේ සාමාන්‍ය ජනතාව බුද්ධිමත් සිතන්නන් ලෙස සලකමිනි. රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය පිළිබඳව සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණ නොවුණත් රජයේ විද්‍යුත් මාධ්‍යයන්හි අවධානය යොමුවිය යුතු කරුණු කීපයක් සාකච්ඡා කිරීම මෙහි අභිලාෂයයි.
1. රටේ තීන්දු තීරණ ගැනීම ජන සංගණන විද්‍යාවට අනුව සිදුකළ යුතුවීම,
2. රටේ ආර්ථිකය කෙසේ සකස්විය යුතුද යන්න,
3. රටේ පවතින නීති හා නියාමන ක්‍රියාකලාපය,
4. පාරිසරික හා බලශක්ති ගැටලුව.
අප දන්නා තරමට ලංකාවට මුහුණදීමට ඇති ප්‍රබල ගැටලුවක් වී ඇත්තේ වේගයෙන් වැඩිවන වැඩිහිටි ජනගහනයයි. වසර 2022 වනවිට සමස්ත ජනගහනයෙන් 30%ක් වන්නේ වැඩිහිටියන්ය. ළමයින්ගේ ජනගහනය 30%ක් වුවහොත් සමස්ත යැපෙන්නන්ගේ සංඛ්‍යාව 60%ට වැඩිය. පවතින විශ්‍රාම වැටුප් හා අනෙකුත් සමාජ ආරක්ෂණ ක්‍රම මගින් විධිමත්ව ආවරණය වන්නේ වැඩිහිටි ජනගහනයෙන් 20%ක් පමණි. අනෙක් 80% වගකීම පැවරෙන්නේ වැඩිහිටියන්ගේ දරුවන්ට හා ඥාතීන්ටය. මෙහි ඛේදවාචකය වන්නේ විධිමත් ක්‍රමයකින් ආවරණය නොවන වැඩිහිටි ජනගහනයෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් අයත්වන්නේ අඩු ආදායම්ලාභී පවුල්වලටය. මේ සඳහා දැනට ආණ්ඩුව සතුව වැඩපිළිවෙළක් ඇත්ද? මේ සූදානම දැඩිව අවශ්‍ය වී ඇත්තේ වසර 2045 වනවිට සමස්ත ජනගහනයෙන් 45%ක් වැඩිහිටියන් වන නිසාය. ඒ වනවිට ළමයින්ගේ ජනගහනය 30%ක් වුවහොත් සමස්ත යැපෙන්නන් සංඛ්‍යාව 75%ක් වනු ඇත. ශ්‍රම බලකාය සමස්ත ජනගහනයේ 25%ක් පමණ වනු ඇත. මෙය කුඩා ශ්‍රම බලකායකට කළ හැකිද යන්න ගැටලුවකි. දැනට සාමාන්‍ය පවුලක සාමාජික සංඛ්‍යාව අඩුවීම (3.8) සහ පවුලේ සාමාජිකයන් කාර්ය බහුලවීම විදේශ ගතවීම වැනි කරුණු හේතු කොටගෙන වැඩිහිටි ජනගහනය බලා ගැනීම අසීරුවීමට ඉඩ ඇත. මේ සඳහා රජය හා ජනතාව යම් ක්‍රමවේදයකට කල්තියා සූදානම් විය යුතුය. මේ සඳහා රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ජනතාව දැනුවත් කළ යුතුය.
රටේ ආර්ථිකය යථාර්ථවාදීව සාකච්ඡා කළ යුතුය. ලෝක වෙළෙඳ සංවිධානයේ ඇගැයීම් දර්ශක මත ලංකාවට කළහැකි අපනයන් පිළිබඳව සාකච්ඡා කළ යුතුය. තවදුරටත් ලංකාව කෘෂිකර්මාන්තයෙන් දියුණු කළ හැකිවන්නේ සිටිති. දැනට ශ්‍රම බලකායෙන් 27%ක කෘෂිකාර්මික රැකියාවල යෙදී සිටියත්, කෘෂිකර්මයේ දළ දේශීය නිෂ්පාදිතය දක්වන දායකත්වය වන්නේ 10%කි. 17%ට වඩා අතිරික්ත පිරිසක් කෘෂිකර්මයේ ඵලදායී නොවන ලෙස යෙදෙමින් ඇත. ඉන්දියාව වගේ රටක් කෘෂිකර්මාන්තයට ලබාදෙන සහනාධාර නිසා ලංකාවට තරගකාරීව බොහෝ කෘෂිකාර්මික නිෂ්පාදන කිරීමේ හැකියාව නැත. ලෝක වෙළෙඳ සංවිධානයේ නීති සකස් වී ඇත්තේ බොහෝදුරට බලවත් රටවලට වාසිදායක අන්දමිනි. ඒ නිසා ලංකාව වගේ රටක් තමන් කරන්නේ කුමන නිෂ්පාදනයක්ද යන්න ගැන වගකීමෙන් කටයුතු කළ යුතුය. 1977 සිට අද දක්වාම ලංකාවේ අපනයනයන් බහුතරය සිදුවී ඇත්තේ ලෝක වෙළෙඳ සංවිධානයේ නීතිවලින් බැහැරවය. විශේෂයෙන් (M.F.A, GSP) සහන මගින් ලැබූ ඉඩකඩ මතය. ඒ නිසා දැනට ලංකාව ද්විපාර්ශ්වීය බහුපාර්ශ්වීය වෙළෙඳ ගිවිසුම්වලට යෑම අනිවාර්ය වී ඇත. වෘත්තිකයන් හා විද්වතුන් මේ ගිවිසුම්වලට විරුද්ධ වන්නේ නම් ඊට විකල්පය ඔවුන් ඉදිරිපත් කළ යුතුය. දැනටමත් රැකියා වෙළෙඳපොළ තරුණ තරුණියන්ට ඇති එකම විකල්පය වී ඇත්තේ මැදපෙරදිග යෑම හෝ ත්‍රිරෝද රථ රියදුරුවීමය. දැනට පුරප්පාඩු වී ඇති වෙළෙඳ කලාප රැකියා සඳහා තරුණ තරුණියන් යොමු නොවන්නේ මන්ද යන ප්‍රශ්නයට ඔවුන්ගේ පිළිතුර වන්නේ නවාතැන් සහ මගවියදම් දැරීමෙන් අනතුරුව මුදලක් ඉතිරි නොවන බවය. ඒ අනුව රටේ පවතින කර්මාන්ත හා සේවා සපයන ආයතන බස්නාහිර පළාතෙන් පිටතට ගෙන යා යුතුය. මේ ගැටලු රූප මාධ්‍ය තුළ සාකච්ඡා විය යුතුය.
රටේ පවතින නීති හා නියාමන පද්ධතියේ ප්‍රමිතිය සාකච්ඡා කළ යුතුය. ලෝකයේ අනෙක් රටවල් හා සසඳන විට වැඩිම නිවාඩු දින ගණනක් ඇත්තේ ලංකාවේය. එය වසරකට දින 147කි. වැඩිම සේවක වර්ජන සංඛ්‍යාවක් නිසා අහිමි වන වැඩිම දින සංඛ්‍යාවක් ඇති රට ලංකාවය. වෙනත් රටක වැඩ වර්ජනය කළහොත් ඒ දින සඳහා වැටුප් ගෙවන්නේ නැත. පසුගිය කාලයේ රජයේ විවිධ කණ්ඩායම් දින සති ගණන් වර්ජනය කර තිබුණි. මේ ලියුම්කරු එංගලන්තයේ වෘත්තිකයකුගෙන් (ඔහු නියෝජනය කරන්නේ කම්කරු පක්ෂයයි) වර්ජනයක් පැවති දවසක ඔහු වර්ජනය නොකරන්නේ මන්ද යන්න විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ තමන්ට එදින අහිමි වන මුදල කැපකිරීමට නොහැකි බවයි. ලංකාවේ වර්ජකයන්ගෙන් වර්ජනය වන දිනයේ වැටුප අඩු කළහොත් කිනම් තත්ත්වයක් ඇතිවෙයිද? රටේ ශ්‍රම බලකායෙන් 1/5ක් නියෝජනය කරන්නේ රජයයි. රාජ්‍ය ආදායමෙන් හරි අඩකට ටිකක් එනම් දළ දේශීය නිෂ්පාදිතය 5.2%ක් වියදම් වන්නේ රජයේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමටය. තවදුරටත් රජයට රැකියා ලබාදිය හැකිද? රජය සහ පෞද්ගලික ආයෝජන සැලකුවහොත් එය පවතින්නේ දළ දේශීය නිෂ්පාදිතය 30%කට අඩුවය. අනෙක් දියුණුවෙමින් පවතින රටවල එය පවතින්නේ 40% මට්ටමේය. ඉලක්කගත ආර්ථික වර්ධනය ඇති කරගැනීමට විදේශ ආයෝජන ලබාගත යුතුය. ඒ වෙනුවෙන් කළයුතුවන්නේ මොනවාද? ලංකාවේ දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් ඉතා දූෂිත බව ලෝකයේ දූෂණය පිළිබඳ දර්ශක හදන ආයතනවල වාර්තා වී ඇත. විශාල රාජ්‍ය සේවයක් තිබුණත් එය ඉතා අකාර්යක්ෂමය. සිංගප්පූරුව මැලේසියාව වැනි රටවල ආයෝජකයන්ගේ ආකර්ෂණය දිනාගන්නේ ඔවුන් අවම දූෂිත රටවල් යන්න තහවුරු කිරීමෙන් අනතුරුවය. මේ කරුණ විද්‍යුත් මාධ්‍යය තුළ සාකච්ඡා විය යුතුය.
රටේ පාරිසරික හා බලශක්ති ගැටලු දැනට රාජ්‍ය මාධ්‍යය තුළ සාකච්ඡාවන්නේ නැත. පානීය ජල ගැටලුව හේතු කොටගෙන ඇති වකුගඩු රෝගය සම්බන්ධ සාකච්ඡා වුවත් වේගයෙන් වැඩිවන නාගරික ජනගහනයේ අධික ජල පරිභෝජනය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කළ යුතුය. ජලය ප්‍රතිචක්‍රීයකරණය කරන්නේ කෙසේද යන්න සාකච්ඡා විය යුතුය. ලෝකයේ දියුණු රටවල වැඩිම මිලක් අයකරනුයේ ජලය සඳහාය. තවද විශාල ලෙස ජල මූලාශ්‍ර ගෘහස්ත ජල අවශ්‍යතා සඳහා යොදා ගැනීම නිසා කෘෂිකාර්මික හා අනෙකුත් කුඩා ජල මූලාශ්‍ර පෝෂණය වීම අඩුවී ඇත. මේ නිසා නියඟය වැනි ස්වාභාවික විපත් වැඩිවෙමින් ඇත. වන රෝපණය අඩුවීම නිසාම වන සතුන් ගම්වලට පැමිණීම වැඩිවෙමින් ඇත. කසළ බැහැර කිරීම හා ප්‍රතිචක්‍රීය කිරීම තවමත් විධිමත්ව සිදුවන්නේ නැත. රටේ තවමත් ආනයනයන්ගෙන් වැඩි මුදලක් වැයවන්නේ ඉන්ධන සඳහාය. මෙය අඩුකර ගැනීම සඳහා විධිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් ගැන සාකච්ඡාවන්නේ නැත. මේ රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය විසින් ජනතාව දැනුවත් කළ යුතු මාතෘකා කීපයකි. ලෝකයේ බොහෝ රටවල ජනතාව ඉදිරි අභියෝග පිළිබඳ දැනුවත් කරන්නේ රාජ්‍ය මාධ්‍යයයි. විද්‍යුත් මාධ්‍යය ප්‍රබලවීම හේතු කොටගෙන සාමාන්‍ය ජනතාව තවදුරටත් මුද්‍රිත මාධ්‍ය මත යැපෙන්නේ නැත. එසේ නම් රජයේ විද්‍යුත් මාධ්‍යයට ජනතාව දැනුවත් කිරීමේ විශාල වගකීමක් ඇත.