රාවය

පුනරුදයේ ගමන් මග

පුනරුදයේ ගමන් මග

වික්ටර් අයිවන්

පුනරුද ව්‍යාපාරයේ මහනුවර දිස්ත්‍රික් සම්මේලනය පසුගිය ඉරිදා දින මහනුවර තැපැල් ශ්‍රවණාගාර ශාලාවේදී ඉතාමත් උත්කර්ෂවත් ආකාරයකින් පැවැත්වුණි. එය නුවර තිබෙන විශාලතම ශ්‍රවණාගාරය වන අතර, එහි තිබෙන ආසන මුළුමනින් පිරී පනහකට ආසන්න පිරිසකට සම්මේලනය අවසන් වන තෙක් ශාලාව පිටුපස හිටගෙන සිටීමටද සිදුවිය.
පුනරුද ව්‍යාපාරයේ වැඩ ආරම්භ කරන විට සමහර අය කීවේ ගම නගරයට වඩා දූෂිත වී තිබෙන බවත්, ආධාර නොලැබෙන රැස්වීම්වලට ගම්මුන් එන්නේම නැති බවත්ය. ඈත ගම් ප්‍රදේශවල වැඩ කරන්නට අවශ්‍ය නම් ඒ සඳහා කරන ගමන් බිමන් සඳහා ලොකු වියදමක් දරන්නට සිදුවන නිසාත්, ගම්වල පවත්වන රැස්වීම්වලදී රැස්වීම්වලට එන අය හොඳ සංග්‍රහයක් බලාපොරොත්තු වන නිසාත්, ලොකු අරමුදලක් නැතිව ගම්වල වැඩ කරන තැනකට යා නොහැකි බවය. ඒ නිසා විදේශ ආධාර ආයතනයකින් හෝ ඍජු ලෙස හෝ අනියම් ලෙස රජයේ ආධාර ලබාගන්නා ක්‍රමයක් හෝ කළු සල්ලිකාරයකුගෙන් ආධාර ලබාගන්නා ක්‍රමයක් නැතිව හෝ ආධාර ලැබෙන ව්‍යාපාරයකට හැර වෙනත් මොනම ව්‍යාපාරයකටවත් ගම්වල වැඩ කිරීමේ හැකියාවක් නැති බවය. ගම්වලට අදාළව අපට අසන්නට ලැබුණු අපගේ විමතියට හේතුවූ තවත් කතාවක් වනුයේ ගම්වල සිටින දේශපාලන බලවතුන්ගේ හෙංචයියන් දේශපාලන බලවතාගේ අනුමැතිය නැතිව එන කිසිම පිටස්තර ව්‍යාපාරයකට ගම්වල වැඩ කරන්නට ඉඩ දෙන්නේ නැති බවය.
පුනරුද ව්‍යාපාරය ආරම්භයේදී වාද විවාද කොට ඇති කරගත් මතය වනුයේ සැබෑ ජනතා ව්‍යාපාරයක් විදේශ ආධාර සංවිධානවලින් හෝ කළුසල්ලිකාරයන්ගෙන් ලබාගන්නා ආධාර මත යැපෙන තත්ත්වයකට පත් නොවී අපේ පසුම්බිවල තිබෙන පොඩි සල්ලිවලින් හා ව්‍යාපාරයට එකතු කරගන්නා මහජනයාගෙන් ලබාගන්නා ආධාර මත එනම් ස්වශක්තිය මත යැපෙන තත්ත්වයක් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය බවය. අප ගනු ලැබූ එම තීන්දුව සමහරුන්ගේ හාස්‍යයට හේතුවූ අතර අපට මාස තුනක් තරම්වත් කාලයක්වත් අල්ලාගෙන සිටීමට නොහැකි වනු ඇති බව ඔවුන්ගේ මතය විය.
එම ජනප්‍රිය විශ්වාසයන්ට පටහැනිව පුනරුද ව්‍යාපාරයේ අපි ගම්වලට ගියෙමු. අපි ගම්වලට ගියේ හිස් අතින් මිස ඔවුන්ට දීමට ද්‍රව්‍යමය දේවල් රැගෙන නොවේ. අපි ඔවුන්ට දෙන්නට රැගෙන ගියේ ප්‍රඥාව පමණය. අපි ඔවුන්ට කතා කරනවාට අතිරේකව ඔවුන් කියන කතාවලටද සවන් දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළෙමු. ඒ මගින් ගම්වල පවත්නා සැබෑ තත්ත්වය අවබෝධ කරගැනීමට අපි සමත් වීමු. ඔවුන් නියඟයෙන්ද, ජල ගැලීම්වලින්ද, වන සතුන්ගෙන්ද, වෙළෙඳපොළ බලවේගයන්ගෙන්ද හා රජයේ මුග්ධ ප්‍රතිපත්තිවලින්ද බැට කන අසරණ ජනතාවක් ලෙස සැලකිය හැකිය. ඔවුන් අපට කන්න බොන්න හා ඉඳුම් හිටුම්ද දුන්නේය. අපි ගිය මොනම ගමකින්වත් සිංහල, දෙමළ හා මුස්ලිම් අපව එලවාගත්තේ නැත. ගිය හැමතැනම ඔවුන් අපව රැකබලා ගත්තේය. අපට අවශ්‍ය වූයේ ඔවුන් අලුත් විදියකට හිතන මිනිසුන් බවට පත්කිරිමය. ගම්වල ශාඛා ගොඩනගන වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාත්මක විය. ඒ මගින් මුතු මැණික් වැනි අගනා මිනිසුන් එකතු කරගැනීමට හැකි විය. ඔවුන් අතරින් සමහරෙක් පුනරුද ව්‍යාපාරය වෙනුවෙන් වැඩ කරන්නන් බවට පත්වූහ.
පුනරුද ව්‍යාපාරය වශයෙන් අප වැඩකරන්නට ආරම්භ කොට දැන් වසර එකහමාරක් වන අතර එම වසර එකහමාර අපි අල්ලාගෙන සිටියේ ස්වශක්තියෙනි. විදේශ ආධාර ආයතනවලින් ලබාගන්නා ආධාරවලින් තොරවය. මහජනයා අපට එම ගමන යන්නට ආධාර කළේය. විදේශ ආධාර ආයතනවලින් ලබාගන්නා ආධාරවලින් තොරව කිසිම වැදගත් දෙයක් කළ නොහැකිය යන ජනප්‍රිය මතය බොරු කරන්නට දැනටමත් පුනරුද ව්‍යාපාරය සමත් වී තිබෙන්නේයැයි කිව හැකිය.
නුවර දිස්ත්‍රික්කයේ සාර්ථකත්වයේ නියමුවා ලෙස ක්‍රියා කළේ නවරත්න බණ්ඩාය. කලක් ගුරුවරයකු ලෙස ක්‍රියා කළ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වයෑමෙන් පසු ඔහු පුනරුද ව්‍යාපාරයට එකතු වී පුනරුද ව්‍යාපාරය වෙනුවෙන් පූර්ණකාලීනව වැඩකරන ක්‍රියාධරයකු බවට පත්විය. ඔහු අවුරුදු එකහමාරක පමණ කාලයක් තුළ නුවර දිස්ත්‍රික්කය තුළ පුනරුද ශාඛා රාශියක් ගොඩනැගීමට සමත් වූ අතර, ඔහුගේ වැඩ කිරීම නුවර දිස්ත්‍රික්කයට පමණක් සීමා නොවූ බවද කිව යුතුය. ඔහු පුනරුද ව්‍යාපාරයේ මධ්‍යම කාරක සභිකයකුද, එම ව්‍යාපාරයේ ප්‍රධාන පෙළේ නායකයකුද වේ. එසේ නුවර දිස්ත්‍රික්කයේ ගොඩනගන ශාඛා ඔස්සේ වර්ණවත් පිරිසක් කරළියට ආවේය. නුවර දිස්ත්‍රික්කයේ ප්‍රගතිය කෙරෙහි බලපෑවේ ඔවුන්ය. පුනරුදය ව්‍යාපාරය සිය දෙවැනි දිස්ත්‍රික්ක සම්මේලනය පුත්තලම දිස්ත්‍රික්කයේ පවත්වන්නට අපේක්ෂා කරන අතර තුන්වැනි දිස්ත්‍රික් සම්මේලනය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවත්වන්නට අපේක්ෂා කරයි.
පුනරුද ව්‍යාපාරය කල්පනා කරන විදිය දේශපාලන පක්ෂ කල්පනා කරන විදියට වඩා වෙනස්ය. සමාජ, දේශපාලන තලයේ ව්‍යුහමය විපර්යාසයක් ඇති කිරීමට අපේක්ෂා කරනමුත් ඒ දේ කිරීමට අපේක්ෂා කරන්නේ ආණ්ඩු බලය හෝ රාජ්‍ය බලය අල්ලා ගැනීමකින් තොරවය. පුනරුදය ව්‍යාපාරයේ මතය වන්නේ දැන් ලංකාවේ රාජ්‍ය හා එය සකස් වී තිබෙන ප්‍රධාන බලමණ්ඩල තුන ලෙස සැලකිය හැකි විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය තිබෙන්නේ උපරිම මට්ටමට කුණුවූ තත්ත්වයකය. එහි එක බලමණ්ඩලයක බලය අල්ලා ගන්නා පක්ෂයකට හෝ ව්‍යාපාරයකට අනෙක් බලමණ්ඩල දෙක වෙනස්කිරීමේ ඇත්ත හැකියාවක් නැත. බලයට පත්වන ජනාධිපතිවරයකුට හෝ ජනාධිපති ක්‍රමය වෙනස් කොට පාර්ලිමේන්තු බලය ලබාගන්නා ව්‍යාපාරයකට අනෙක් බලමණ්ඩල දෙක වෙනස් කිරීමේ ඇත්ත හැකියාවක් නැත. වෙනස් කරන්න දරන උත්සාහය පරාජය කොට වෙනස් කරන්නට උත්සාහ දරන්නා සිය ග්‍රහණයට ගෙන විනාශකිරීමේ හැකියාව හැමවිටම එම බලමණ්ඩල දෙක සතුය.
එම විශේෂ තත්ත්වය තුළ සැබෑ වෙනසක් ඇති කළ හැක්කේ රටේ පරමාධිපත්‍යය බලය හිමි මහජනයා එම බලය අභ්‍යාස කරන පලපුරුදු සාම්ප්‍රදායික ක්‍රමයෙන් තාවකාලිකව ඉවත් වී කුණුවී තිබෙන සමස්ත ක්‍රමය වෙනස් කිරීමේ අරමුණ ඇතිව ඊට ගැළපෙන අලුත් ආකාරයකට මහජනයා තමන්ට හිමි පරමාධිපත්‍යය බලය අභ්‍යාස කරන තැනට යොමුවීමෙනි. එය මහජනයා අතරින් සුළු පිරිසකට කළහැකි දෙයක් නොව, ජාලගතවූ අතිවිශාල බහුතර ජනතාවක් විසින් පොදු එකඟත්වයකින් කළ යුතුව තිබෙන සංකීර්ණ අභ්‍යාසයකි. එය සරල ලෙස කෙරෙන ඡන්දය පාවිච්චි කිරීමකට වඩා වෙනස්ය. හොඳ අවබෝධයකින් යුතුව ඉතාමත් විනයගරුක ලෙසත්, නීතිගරුක ලෙසත්, සාමකාමී ලෙසත්, විධිමත් ලෙසත්, සාමූහික ලෙසත් කළ යුතු සංකීර්ණ අභ්‍යාසයකි. පරණ ක්‍රමයට මහජනයා කරන්නේ ජනාධිපතිවරණයකට තරග කරන අපේක්ෂකයන් අතර සිටින තමන් කැමති පුද්ගලයාට හෝ පාර්ලිමේන්තුවට තරග කරන තමන් කැමති පක්ෂයේ අපේක්ෂකයන් අතර සිටින තමන් කැමති අපේක්ෂකයාට ඡන්දය පාවිච්චි කිරීමය. එහෙත් දෙවැනි ක්‍රමයට මහජනයා කරන්නේ හොඳටම කුණුවී තිබෙන ක්‍රමය අවලංගු කොට වඩා හොඳ ක්‍රමයක් ප්‍රතිනිර්මාණය කිරීමය. නැතහොත් නූතන ලාංකේය රාජ්‍ය හා එහි පැවැත්මට නැතුවම බැරි නූතන ලාංකේය ජාතිය ප්‍රතිනිර්මාණය කිරීමය.
පුනරුද ව්‍යාපාරයේ එක් වැදගත් ඉලක්කයක් වනුයේ නව විදියකට හිතන යහපත් මිනිසුන් දශ ලක්ෂයක් ඇති කොට එම දශලක්ෂයේ ක්‍රියාකාරී ආධාර ඇතිව එම ඓතිහාසික කාර්ය සම්පූර්ණ කිරීමට අවශ්‍ය කරන ඉතිරි මිනිසුන්ද හදාගෙන ඒ සියලුදෙනාගේ ක්‍රියාකාරීත්වයෙන් ඔවුන්ට තිබෙන පරමාධිපත්‍යය බලය නූතන රාජ්‍ය හා නූතන ජාතිය ප්‍රතිනිර්මාණය කිරීමට හේතුවන ලෙස අභ්‍යාස කරවීමය. එම ඉලක්කය ජයගැනීම සඳහා තෝරාගත් දෙවැනි මාර්ගයක්ද පුනරුද ව්‍යාපාරයට තිබෙන්නේය. එහිදී සිදුවන්නේ රටේ තිබෙන මහජන සංවිධාන දැනුවත් කොට රටට අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් හඳුනාගෙන ඒවා දිනාගැනීමේ අරමුණ වෙනුවෙන් ඒ සියලු මහජන සංවිධාන එකී බලමණ්ඩලයක් තුළ ඒකරාශී කොට එහි ලිඛිතව හා වාචිකව කෙරෙන සංවාද ඔස්සේ තිබෙන ක්‍රමය අහෝසි කොට නීතියේ පාලනය රජයන නව විධිමත් ක්‍රමයක් ඇතිකර ගැනීමට අවශ්‍ය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීම හා කරවීම සඳහා ක්‍රියාකිරීමය. එයද මහජනයාට තිබෙන පරමාධිපත්‍යය බලය මහජන සංවිධාන ඔස්සේ අභ්‍යාස කිරීම සඳහා යොදාගත හැකි ක්‍රමයකි.
මෙය ප්‍රායෝගිකව සම්පූර්ණ කළ හැකි දෙයක් වන අතර කුණුවී තිබෙන පරණ රාජ්‍යය වෙනුවට අකාර්යක්ෂමතාවෙන් හා දූෂණයෙන් තොර නූතන ලාංකේය රාජ්‍යයද, වර්ග, කුල, ආගම් භේදවලින් තොර නූතන ලාංකේය ජාතියද ඒ මගින් ගොඩනා ගැනීමට හැකිවනු ඇති අතර ලාංකේය සමාජය නූතන සමාජයක් බවට පත්වනු ඇත්තේද එම ඓතිහාසික සමාජ, දේශපාලන ක්‍රියාදාමය තුළය.