ජවිපෙ 20 වැනි සංශෝධනය

epa04907823 Sri Lanka?s 8th Parliament in its maiden session at Sri Jayewardenepura Kotte in Colombo, Sri Lanka, 01 September 2015. The maiden session of Parliament began following the General Elections held on 17 August where the United National Party won a majority number of seats, though not an absolute majority. The party is to form a National Government with the main opposition Sri Lanka Freedom Party of which President Maithripala Sirisena is the chairman. EPA/M.A.PUSHPA KUMARA

කාලිංගගේ දේශපාලන විග්‍රහය

ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම සඳහා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ජවි පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනය සැලකිය හැක්කේ ගඳගහන තරමටම කුණුවී තිබෙන දේශපාලන ක්‍රමයකට ලස්සන පෙනුමක් ලබාදීම සඳහා අලුත් ඇඳුමක් ඇන්දවීමට දරන මෝඩ සටකපට හා හාස්‍යජනක උත්සාහයක් ලෙසය. මෙය රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයක් ඉදිරියේ මුහුණ දෙන්නට සිදුවන දුෂ්කර තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඒ දෙදෙනාගේද සහය ලබාගනිමින් ගඳ ගහන තරමට කුණුවී තිබෙන ක්‍රමයක මතුපිට පෙනුම වෙනස් කිරීම සඳහා ගෙනවිත් තිබෙන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ලෙස සැලකිය හැකිය.
සම්භාවනීය තත්ත්වයක ලා සැලකිය හැකි ජනාධිපතිවරයකු මුල්කරගත් ජනාධිපති ආණ්ඩුක්‍රම තිබෙනවා සේ ම සම්භාවනීය තත්ත්වයකලා සැලකිය හැකි අගමැතිවරයකු මුල් කරගත් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමද තිබෙන්නේය. ලංකාවේ සමස්ත ආණ්ඩුක්‍රමය තිබෙන්නේ කුණුවූ තත්ත්වයකය. ජනාධිපති ක්‍රමය පමණක් නොව ඒ යටතේ තිබෙන පාර්ලිමේන්තු ක්‍රමය තිබෙන්නේද කුණුවූ තත්ත්වයකය. ලංකා රාජ්‍යයේ ප්‍රධාන බල මණ්ඩල තුන ලෙස සැලකිය හැකි ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණයද රාජ්‍ය පාලනයේ හතරවැනි බල මණ්ඩලය ලෙස සැලකෙන ජනමාධ්‍යයද තිබෙන්නේ ගඳගහන තරමට කුණුවූ තත්ත්වයකය. සමස්ත දේශපාලන ක්‍රමය තිබෙන්නේ ගඳගහන තරමට කුණුවූ තත්ත්වයක නම් තිබෙන කුණුවූ බල මණ්ඩල තුනෙන් එකට තිබෙන බලය සීමාකොට තවත් එකකට වැඩි බලයක් ලබාදෙන ප්‍රතිපත්තියක් ලාංකේය රාජ්‍ය මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුමක් විය නොහැකිය. ඉන් විය හැක්කේ තිබෙන අර්බුදය තවත් අලුත් වටයකින් උග්‍රවීම පමණය.
ලංකා රාජ්‍යය ලංකාවේ ජීවත් වන සියලු ජනයාගේ පොදු පිළිගැනීමට හා විශ්වාසයට හේතු නොවීම නිසා ලංකාවේ රාජ්‍යය සහ පුරවැසියන් අතර විටින් විට ප්‍රචණ්ඩ ගැටුම් ඇතිවී එම ගැටුම් අනුකම්පා විරහිතව මර්දනය කරන තැනකට යන්නට සිදුවීමෙන් රාජ්‍යය ගරාහැලෙන තත්ත්වයකට පත්වෙමින් ක්‍රමානුකූලව එය අන්ත දූෂිත හා කුණුවූ තත්ත්වයකට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය. ලංකාව නිදහස ලබාගත්තේ බලවත් සාමූහික සමාජ උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් නොවේ. ඒ නිසා සමාජයේ තිබුණු වර්ග, කුල, ආගම් භේද තුනීවී සමාජය ඒකාග්‍රවීමක් හෝ නූතනවීමක් සිදු නොවීය. ඒ නිසා රාජ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි වර්ග, කුල හා ආගම් භේද බලපෑවේය. ජාතික දෘෂ්ටියක් මත පිහිටා ක්‍රියාකරන පරිණත ජාතික නායකයන් බිහිවීමක්ද සිදු නොවීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා පොදු සමාජ එකඟතාවකින් ඇති කරගත් දෙයක් නොවීය. ඒ නිසා රාජ්‍ය කෙරෙහිත් රාජ්‍ය ප්‍රතිපත්ති කෙරෙහිත් වර්ග, කුල හා ආගම් භේද බලපෑවේය. එම තත්ත්වය සමාජයේ අභ්‍යන්තර බෙදීම් වර්ධනය කොට රාජ්‍යයට එරෙහිව කැරලි ගසන තත්ත්වයක් ඇති කළේය. එම ප්‍රචණ්ඩ කැරලිවලදී ඒවා අනුකම්පා විරහිතව මර්දනය කරන පිළිවෙතක් අනුගමනය කරන්නට රාජ්‍යයට සිදුවීම නිසා රාජ්‍යයක තිබිය යුතු අපක්ෂපාත හා සාධාරණ පෙනුම නැතිවී මාංශභක්ෂක හා චෞර පෙනුමක් ඇතිකර ගත්තේය.
දෙමළ ජනතාවට දෙමළ භාෂාවෙන් වැඩ කිරීමට තිබෙන අයිතිය අහිමි කෙරෙන ආකාරයට ක්‍රියාත්මක වූ සිංහල රාජ්‍ය භාෂා පනත රාජ්‍යයට තිබුණු දෙමළ ජනයාගේ පිළිගැනීම බලවත් ලෙස දුර්වල කරන සාධකයක් ලෙස ක්‍රියා කළේය. රාජ්‍ය මහා වර්ගයා ලෙස සැලකිය හැකි සිංහල වර්ගයට බර තබා ක්‍රියාකරන රාජ්‍යයක් ලෙස විකාශයවෙමින් තිබුණද සිංහල වර්ගයා අතර කුලය මුල්කරගෙන පැවති උස් පහත් භේද ගැටුම් ඇති කරන සාධකයක් ලෙස වර්ධනයවෙමින් තිබුණි. 1971 ඇතිවූ තරුණ කැරැල්ල ග්‍රාමීය සිංහල තරුණ පරපුර ප්‍රචණ්ඩ අරගලයක් මගින් බලය අල්ලා ගැනීමට වැර දරන ලද පළමු අවස්ථාව ලෙස සැලකිය හැකිය. මොන මොන හේතු නිසා හෝ ඒ වනවිටත් රාජ්‍ය සිංහල ග්‍රාමීය තරුණ පරපුරේ සැකයට හා විරෝධයට හේතුවී තිබුණු බව පෙනී යයි. එම කැරැල්ලේදී රාජ්‍යයේ ආරක්ෂාව සඳහා කැරලි ගසන තරුණයන් අනුකම්පා විරහිතව මර්දනය කරන පිළිවෙතක පිහිටා ක්‍රියා කරන්නට රාජ්‍යයට සිදුවිය.
1972දී දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි මුළුමනින් නොසලකා සමගි පෙරමුණු ආණ්ඩුවට තිබුණු තුනෙන් දෙකේ බලය මත පිහිටා ඇති කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ඒ සමග දෙමළ ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට තිබුණු ඉඩ සීමා කෙරෙන ආකාරයට පනවන ලද ප්‍රමිතිකරණ නීති වෙනම දෙමළ රාජ්‍යයක් ඉල්ලා සිටින තැනකට දෙමළ ජනතාව තල්ලු කිරීමට හේතුවිය.
ඉන්පසු 1977දී එතෙක් තිබුණු පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයෙන් ඉවත් වී රාජ්‍යයේ සකලවිධ බලය ජනාධිපතිවරයෙක් අතට පත්කිරීමට හේතුවන ජනාධිපති ක්‍රමයක් ඇතිකර ගැනීමේ ක්‍රියාවලිය ලංකා රාජ්‍යය නිදහසේ සිට අර්බුදයකට යන ගමන වේගවත් කිරීමට හේතුවිය. ඇති කරගත් ජනාධිපති ක්‍රමය රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය දුර්වල කොට අධිකාරීවාදය ශක්තිමත් කළේය. ජනාධිපතිවරයා තමන්ගේ දේශපාලනතන්ත්‍රය සතුටු කිරීම සඳහා රාජ්‍ය භාරයේ තිබෙන පොදු වස්තුව ඔවුන්ට කොල්ලකෑමට අනුබල දෙන හා ඉඩදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඒ සමග පොදු වස්තුව කොල්ලකෑම රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්වී රාජ්‍යයේ චෞර ස්වභාවයද වර්ධනය විය. පාලක පක්ෂයට හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය දූෂිත ජනමතවිචාරණයකින් දීර්ඝ කරගැනීමේ සිද්ධිය රාජ්‍යයේ ස්වභාවය තවදුරටත් විකෘති කිරීමට හේතුවිය. 83 කළු ජූලියේදී සිදුවූ දෙමළ ජීවිත හා දේපළ සංහාරය දෙමළ ජනතාව අතර පැවති දෙමළ රාජ්‍යයක් සඳහා වන අන්තවාදී නැඹුරුව ශක්තිමත් කොට වෙනම රාජ්‍යයක් සඳහා ආයුධ අතට ගෙන සටන් කරන තරුණ දෙමළ කල්ලි ගණනාවක් ඇති කිරීමට හේතුවිය. 83 කළු ජූලිය හේතුවක් කරගනිමින් ආණ්ඩුව ජවි පෙරමුණද තහනම් කළේය. ඒ මගින් 71 කැරැල්ලෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතුවී සිටි ජනතා විමුක්ති පෙරමුණද වනාන්තරයට තල්ලු කිරීමක්ද සිදුවිය.
ඉන්දු-ලංකා ගිවිසුම වනාන්තර ගතවී සිටි ජවි පෙරමුණට තමන්ගේ දෙවැනි කැරැල්ල කරළියට ගැනීමට වාසිදායක පසුබිමක් ලබා දුන්නේය. ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරන දෙවැනි කැරැල්ලත් සමග ලංකාවේ දීර්ඝ අශීලාචාර කාලය ආරම්භ වේ. කැරලිකරුවන් දේශපාලන විරුද්ධවාදීන් සම්බන්ධයෙන් අනුගමනය කරන සාහසික ප්‍රතිපත්තිය සමාජය පමණක් නොව රාජ්‍යයද අන්දමන්ද තත්ත්වයකට පත්කිරීමට හේතුවිය. ඉන්පසු රජයේ හමුදාද එකට එක කරන ප්‍රතිපත්තියකට තල්ලු විය. එහිදී රජය ආරක්ෂක හමුදාවල සහාය ලබාගන්නවාට අතිරේකව රටේ අපරාධකාරයන්ට අවි පුහුණුවක් ලබාදී ඔවුන් ආශ්‍රයෙන් හදාගත් අතුරු හමුදාද දේශපාලකයන්ට ආරක්ෂාව ලබාදෙනවාට අතිරේකව කැරැල්ල මර්දනය කරන බලවේගයක් ලෙස යොදා ගත්තේය. ඒ මගින් අපරාධකාරයන් ආයතන ගතකිරීමක් සිදුවූ අතර දේශපාලකයන් අපරාධකාරයන් මතද, අපරාධකාරයන් දේශපාලකයන් මතද යැපෙන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී රාජ්‍යයේ චෞර ස්වභාවයද වර්ධනය කැරිණි.
දකුණේ ජේවීපී කැරලිකරුවන් කරළියට ගෙනා කැරැල්ල අවුරුදු දෙකකට වැඩි කාලයක් අල්ලා ගෙන සිටීමට කැරලිකරුවෝ සමත් වූහ. එම තත්ත්වය රාජ්‍යයට තිබෙන ආධිපත්‍යය දුර්වල කොට සිංහල ප්‍රදේශවල ද්වන්දව බලයක් ඇති කිරීමට හේතුවිය. කැරලිකරුවන් සේ ම කැරලිකරුවන්ට එරෙහිව සටන් කළ ආරක්ෂක හමුදාද තරගකාරී ලෙස උපරිම මට්ටමේ කෲරත්වයක් සමාජය වෙතට මුදාහැරියහ. එම දීර්ඝ කාලය තුළ සිංහල ජනයාට ජීවත්වන්නට සිදුවූයේ මරණ බියෙනි. කැරැල්ල පරාජය කරන ලද්දේ කැරලිකරුවන් ජයගැනීමට ඔන්න මෙන්න කියන තත්ත්වයකට පැමිණ සිටි අවස්ථාවකදීය. කැරැල්ල පරාජය කිරීමට හැකිවූයේ කැරලිකරුවන් මුදාහළ කෲරත්වය ඉක්මවා ගිය කෲරත්වයක් මුදාහැරීමට ආරක්ෂක හමුදා සමත් වූ නිසාය.
ජේවීපී කැරැල්ල පරාජය කිරීමට සමත්වුවද එල්ටීටීඊ කැරැල්ල ඉදිරියට ඇදී යන දීර්ඝකාලීන දෙයක් බවට පත්ව තිබුණි. ක්‍රමානුකූලව එල්ටීටීඊය තත්වකාර රාජ්‍යයක් ගොඩනගා ගෙන පවත්වාගෙන යන්නට සමත් වූ අතර, එම තත්වාකාර රාජ්‍යයේ පැවැත්ම ශ්‍රී ලංකා රාජ්‍යයේ පැවැත්ම බෙලහීන කිරීමට හේතුවිය. මුලදී සැඟවී පහරදෙන ගරිල්ලා යුද්ධයක් වශයෙන් පැවති යුද්ධය නිත්‍ය හමුදා දෙකක් අතර කෙරෙන යුද්ධයක් දක්වා වර්ධනය විය. රජයේ හමුදා පමණක් නොව එල්ටීටීඊයද කාලතුවක්කු, මෝටාර්, මිසයිල් වැනි බර ආයුධද පාවිච්චි කළේය. දෙපක්ෂය අතර පැවති එම අභ්‍යන්තර යුද්ධය අවුරුදු 25ක් තරම් දීර්ඝ කාලයක් පැවති අතර සටන් කරන දෙපිරිසට උපරිම මට්ටමේ කෲරත්වයක් සමාජය මත මුදාහැරියේය. අභ්‍යන්තර යුද්ධය අවසන් කරන විට රාජ්‍ය තිබුණේ උපරිම මට්ටමකට ගරා හැලුණු සමස්ත රාජ්‍යයට උපරිම මට්ටමකට දූෂිත හා කුණුවූ තත්ත්වයකය. සමාජය තිබුණේද උපරිම මට්ටමකට විකෘති වූ තත්ත්වයකය.
අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් ආපසු හැරී බලන තැනකට යමින් කුණුවූ තත්ත්වයකට පත්ව තිබූ රාජ්‍යය හා එහි ආයතන ක්‍රමයද විකෘති තත්ත්වයක තිබූ සමාජය ප්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවලට යායුතුව තිබුණි. එහෙත් එවැනි දෙයක් සිදු නොවීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කොට බලයට පත්වූ යහපාලන නායකයන් අතින්ද ඒ දේ සිදු නොවීය.
රාජ්‍ය හා එහි ආයතන ක්‍රම තිබෙන්නේ කුණුවූ තත්ත්වයකය. ආකාර්යක්ෂම දූෂිත හා මහජන විශ්වාසය මුළුමනින් අහිමි කරගත් තත්ත්වයකය.
සමාජයේ පැවති වර්ග, කුල හා ආගම් භේද ලංකා රාජ්‍යය ලොකු අර්බුදයකට තල්ලු කිරීමට බලපෑ වැදගත් සාධක වූයේය. එය රාජ්‍යයට තිබිය යුතු පොදු සමාජ පිළිගැනීම අහිමි කිරීමට හේතුවිය. එම භේද නිසා ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් රාජ්‍යයකට තිබිය යුතු අපක්ෂපාතීභාවය හා සාධාරණභාවය අහිමි කළේය. එම තත්ත්වය රාජ්‍යයේ නීතිගරුකභාවය නැති කොට චෞර ස්වරූපය වර්ධනය කළේය. දැන් රාජ්‍ය මහජනයාට පෙනෙන්නේ මාංශ භක්ෂක චෞර රාජ්‍යයක් ලෙසය. රාජ්‍යයේ සියලු බලමණ්ඩල හා ආයතන ක්‍රම තිබෙන්නේ උපරිම මට්ටමකට කුණුවූ තත්ත්වයකය. හොඳින් හා කාර්යක්ෂම ලෙස ක්‍රියාකරන කිසිම ආයතන ක්‍රමයක් රටේ නැති තරම්ය.
පැලැස්තර ප්‍රතිසංස්කරණවලින් මේ තත්ත්වය ජයගත නොහැකිය. ජනාධිපතික්‍රමය විධිමත් කොට තවදුරටත් පවත්වාගෙන යෑම හෝ ජනාධිපති ක්‍රමය අවලංගු කොට පාර්ලිමේන්තු ක්‍රමයකට මාරුවීමට හෝ රාජ්‍ය මුහුණදී තිබෙන අර්බුදයට පිළියමක්වන්නේ නැත. සමාජයේ පවතින වර්ග, කුල, ආගම් භේද තුනී කොට සමාජය ඒකාග්‍ර කොට ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමට හැකිවන හා එම ජාතියේ අවශ්‍යතාවන්ට ගැළපෙන අකාර්යක්ෂමතාවෙන් හා දූෂණයෙන් තොර නීතිය මත පාලනය වන නූතන රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණවලට රට යොමු කළ යුතුය. රට ඇද වැටී තිබෙන කාලකණ්ණිභාවය ජයගත හැකිවනු ඇත්තේ එවිටය. එවැනි විපර්යාසයක් සඳහා අවශ්‍ය කරන බුද්ධිමය දැක්මක් පෙන්නුම් කිරීමට කිසිම දේශපාලන නායකයෙක් සමත් වී නැත. රටේ සියලු දේශපාලන නායකයන් සිටින්නේ බුද්ධිමය වශයෙන් අන්තබංකොළොත් තත්ත්වයකය. ජවිපෙ නායකයන්ටද එම තත්ත්වයෙන් අත්මිදීමට හැකිවී නැති බව ඔවුන් ඉදිරිපත් කර තිබෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පෙනී යයි. ඓතිහාසික අර්ථයෙන් රටේ සියලු දේශපාලන නායකයන් හා දේශපාලන පක්ෂ තිබෙන්නේ පූර්ණ බංකොළොත් තත්ත්වයක නම් ලංකාව මුදාගැනීමේ හැකියාව තිබිය හැක්කේ සංවිධානාත්මක මහජනයාට පමණි.