විස්සේ ඉරණම හා ජවිපෙ උපාය

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

ඉතා වේගවත් ක්‍රියාවලියක නිරත වී ජනතා විමුක්ති පෙරමුණ, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නමින්, ව්‍යවස්ථා සංශෝධනයක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්ට භාර දී තිබේ. පවතින තත්ත්වයට එරෙහිව එමගින් අපේක්ෂා කරන හරයාත්මක වෙනස්කම වන්නේ, ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන (සමස්ත රටේ ම ඡන්දයෙන්) විධායක ජනාධිපතිවරයෙක් නොසිටින, පාර්ලිමේන්තුවේ 225 බහුතරයෙන් පත්කර ගන්නා නාමික ජනාධිපතිවරයකු බිහිකර ගැනීමය. මෙමගින් යෝජනා කර ඇති ‘ජනාධිපතිවරයා’; සේනාධිනායකයා, රාජ්‍ය නායකයා වුවත් ‘ආණ්ඩුවේ නායකයා’ නොවේ. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විධායක බලතල සහිත ආණ්ඩුවේ නායකයා වනු ඇත.
මෙම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව තුළ ඇති හරයාත්මක කරුණු පිළිබඳ එය කඩිමුඩියේ ගෙන ආ පාර්ශ්වය හා අනෙකුත් දේශපාලන කණ්ඩායම් තර්ක විතර්ක ගෙනෙමින් සිය ස්ථාවරයන් ඉදිරිපත් කරමින් සිටිති. මේ සියල්ල දෙස සීරුවෙන් විමසා බැලීමේ දී මෙම දෙපක්ෂයේ ම සාකච්ඡාව, යෝජනාවේ හරයාත්මක කරුණු පිළිබඳව බව මතුපිටින් පෙන්නුම් කළත් සඟවා ගන්නා අරමුණ, ළඟ ළඟ ම එන රටේ පාලන බලය පිළිබඳ තීරණාත්මක මැතිවරණය (ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය හෝ දෙක ම) බව අනුමාන කළ හැකිය.

මහින්ද

2019 අග කැඳවීමට නියමිත ජනාධිපතිවරණය, පවතින ආණ්ඩුවට එරෙහි රටේ ප්‍රධාන විපක්ෂය වන මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ ප්‍රමුඛ ඉලක්කය බව පෙනේ. තමන්ට එය ජයගත හැකි බව ඔවුන් තදින් විශ්වාස කරන අතර අප්‍රකාශිත අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ කරළියට හඳුන්වා දී තිබේ. ඔහු රටේ බහුතරය වන සිංහල-බෞද්ධ ජන පදනමට නිරායාසයෙන් ආමන්ත්‍රණය කරමින් සිටින අතර සරලව දිනාගත නොහැකි යැයි සිතන දෙමළ-මුස්ලිම් ජන පදනම වෙත ගමන් කිරීමට විවිධ මං මාවත් සොයාබලා සකසමින් සිටින බවද අනුමාන කළ හැක. පළාත් පාලන ඡන්දයේ දී පොහොට්ටුව ලකුණින් නොසිතූ ජයක් ලැබූ මහින්ද රාජපක්ෂ කණ්ඩායම, ගණන් බලා ඇති බව පෙනෙන්නේ මීළඟට පැවැත්විය යුතු පළාත් සභා ඡන්දය ද ඉහළින් ජයගෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කරා මෙහෙයවීමයි. එවිට ඊළඟ මහ මැතිවරණය ද අපහසුවකින් තොරව ජයගෙන පාර්ලිමේන්තු බලය ද තමන් සතුකර ගැනීම මෙම සැලසුමේ කූටප්‍රාප්තිය විය යුතුය.
මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ ගෝඨාභයට අකැමැති පිරිසක් මෙන්ම 20 වන සංශෝධනයට කැමති සුළු පිරිසක් සිටිය හැකි වුවත් ජනාධිපතිවරණය නමැති ප්‍රමුඛ ඉලක්කය පොදු අරමුණ වන තත්ත්වයක් තුළ අපේක්ෂකයා කවුරුන් වුවත්, එම පාර්ශ්වයෙන් ජවිපෙ යෝජනාවට අත්විය හැකිව තිබෙන්නේ සැබෑ හරයාත්මක ඉරණමකට වඩා අවස්ථාවට උචිත පරිදි තෝරාගත් දේශපාලන ඉරණමකි.

ජවිපෙ කියන මහින්දගේ වාසිය

එහෙත් තවත් පැත්තක් ජවිපෙ විසින් ම පෙන්වා දී තිබේ. ඒ, පවතින ව්‍යවස්ථාව අනුව යළි ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නැවතත් රාජ්‍ය බලයට පැමිණීමට 20 වන සංශෝධනය ඉතා පහසු ඉනිමගක් බවය. එහිදී මහින්ද රාජපක්ෂ මහතාට තවත් වාසියක් හිමි වේ. ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභයද, බැසිල්ද, චමල්ද ආදී, තමන් යම්තාක් සිර වී ඇති කඩඉම් ප්‍රශ්නයට සෘජු පිළිතුරක් ලබාදීමට අවස්ථාව උදාවීමය. මක්නිසාද 20, සම්මත කරගතහොත් යළි ජනාධිපතිවරණයක් නොඑන නිසා ඒකාබද්ධ විපක්ෂයේ පොදු එකඟතාවයෙන් මහ මැතිවරණයකින් මහින්දට ආණ්ඩුවේ නායකයා වීමේ විවෘත මාවත එළි පෙහෙළි වීම නිසාය.

ජවිපෙ උපාය

එය මතුපිටින් පෙනෙන සරල මාර්ගය වුවත් යළි රාජපක්ෂ පාලනයක් රට තුළ ස්ථාපිතවීමට යන්නේ නම්, මුළු වැර යොදා ජවිපෙ ඊට එරෙහිව ක්‍රියා නොකරනු ඇතැයි සිතිය හැකිද? ජවිපෙ උපාය යළි රාජපක්ෂ පාලනය වැළකීම නම් එහි පළමු උපක්‍රමය 20 නම්, දේශපාලන ව්‍යාපාරයක් ලෙස දෙවන උපක්‍රමයක් නැතැයි සිතීමට හේතුවක් නැත.
ඒ අනුව රටේ ඊළඟ පාලකයා පිළිබඳ කිසිවක් නොසිතා ජවිපෙ 20 ගෙන ආ බව සිතිය හැක්කක් නොවේ. අනික ජනාධිපතිවරණයක දී තමන්ට රටේ පාලන බලය පිළිබඳ දැනෙන බලපෑමක් කළ හැක්කේ ඊට ඉදිරිපත්වීමෙන් නොව ඉදිරිපත් නොවීමෙන් බව දේශපාලන අත්දැකීමෙන් ම ඔවුන් දන්නා අතර ඔවුන්ට, ඉදිරිපත්වීමෙන් තම බලය ද ඉහළ නංවාගෙන ඊළඟ පාලකයා කවුරුන්ද යන්න කෙරෙහිත් දැනෙන බලපෑමක් කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් බව අපැහැදිලි නැත. ඒ අර්ථයෙන් ගත්විට පළමුව ජනාධිපතිවරණයක් කැඳවා ගන්නවාට වඩා මහ මැතිවරණයක් කැඳවා ගැනීම මේ දේශපාලන මොහොතේ ජවිපෙට වාසිදායකය.
ව්‍යවස්ථාවේ කෑලි කෑලි වෙනස් නොකර සම්පූර්ණයෙන් ම අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක්‍රියාවලිය තවමත් සක්‍රීයව පවතින තත්ත්වයක් තුළ ජවිපෙ ඒ සඳහා සැලකිය යුතු බලපෑමක් කළ බවක් පෙනුණේ ද නැත. අවශ්‍ය නම් එවැන්නක් ගෙන ඒමට තවමත් කල් ඇති බව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ආණ්ඩුවේ ප්‍රධානියා වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කර ඇති ප්‍රකාශය ද නොසලකා හැරිය නොහැක.

රනිල්

එජාප නායක රනිල් වික්‍රමසිංහ 20 ට එරෙහි වේයැයි අනුමාන කළ නොහැක. ඔහුට රටේ ම ඡන්දයකින් ජනාධිපතිවරණයක් ජයගත හැකි බවට ඔහුට ම විශ්වාසයක් නොමැති බව මහින්ද රාජපක්ෂට එරෙහිව දෙවරක් ම එජාපයේ නොවන පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට මූලික වීමෙන් ම පැහැදිලිය. මේ නිසා 20 එළියට එන්නේ ද රනිල්ගේ අශිර්වාදය නොඅඩුව ලබමින් බව විශ්වාස කළ හැකිය. ජනාධිපතිවරණය මගහැර පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස්, පෙර ගොඩනගා ගන්නා පොදු සන්ධානයකින් හෝ ඡන්දයෙන් පසුව ගොඩනගන හවුලකින් හෝ අගමැතිවීම ඔහුගේ උපාය බව සිතිය හැක. 20 සම්මත කරගත හොත් එහිදී පහසුවෙන් ම විධායක අගමැති ලෙස ආණ්ඩුවේ නායකයා වීම ඔහුගේ තක්සේරුව විය හැක. එජාපය තුළ ඇති ඔහුට එරෙහි කැරැල්ලට ද මේ තත්ත්වය ඉතා හොඳ පිළිතුරක් වීමට ඇති ඉඩකඩ වැඩිය. පළමුව එන ජනාධිපතිවරණයෙන් පැරදී ඊළඟට එන මහ මැතිවරණයෙන් අගමැති රනිල්ට වාසිදායක ප්‍රතිපලයක් ද අපේක්ෂා කළ නොහැක.

මෛත්‍රීපාල

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද මීළඟට එන තීරණාත්මක දේශපාලන අවස්ථාවන්හි සක්‍රීය චරිතයක් වීමට අපේක්ෂා කරන්නේ නම් ඔහුට යළි ජනාධිපතිවරණයක් ජයගත නොහැකි තත්ත්වයක් තුළ වුවත් මෛත්‍රීපාල මහතාට ඡන්දයක දී වඩාත් වාසිදායක වන්නේ ජනාධිපතිවරණයක් මිස මහ මැතිවරණයක් නොවේ. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ඇති එජනිස ලෙස මහින්ද රාජපක්ෂ කණ්ඩායම යළි මහ මැතිවරණයකට ඉදිරිපත්වේ යැයි සිතීමට කිසිදු ඉඩකඩක් නැත.
මේ අනුව ශ්‍රීලනිපයේ මෛත්‍රී පිල ද 20 ගැන තීරණය කරනු ඇත්තේ ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන මිස සැබෑ හරයාත්මක අර්ථයෙන් බවට අනුමාන කළ නොහැක.

ටීඑන්ඒ, චම්පික, මනෝ, හකීම්

ආණ්ඩුවේ සිටින හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ ද (මනෝ ගනේෂන්, දිගම්බරන්, රාධා ක්‍රිෂ්ණන් ඇතුළු) 20 වන සංශෝධනයට පක්ෂ නොමැති වටපිටාවක් තුළ දෙමළ ජාතික සන්ධානය කෙසේ ක්‍රියා කරනු ඇද්ද? සැබෑ ලෙස ම ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. ටීඑන්ඒ බරපතළ ලෙස උනන්දු වූයේ ද උනන්දුවෙමින් සිටින්නේ ද ඒ වෙනුවෙනි. ඔවුන්ට ම කියා විධායක ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීමේ දේශපාලන ඉඩකඩක් නොමැති නිසා ජනාධිපතිවරණයකට වඩා මහ මැතිවරණයකට අකැමැති වේ යැයි සිතිය නොහැක.
එහෙත් සම්පූර්ණයෙන් ම අලුත් ව්‍යවස්ථාවක් සකස් නොකර කෑලි කෑලි ලෙස වෙනස් කිරීමෙන් ඔවුන් දෙමළ ජනතාවට ලබාදීමට අපේක්ෂා කරන සැබෑ ව්‍යවස්ථාමය විසඳුම් ලබාගැනීමේ හැකියාවක් පවතීද? එම ප්‍රශ්නයට පිළිතුරක් නොමැතිව 20ට එකඟවීමේ ප්‍රතිපත්තියකට මාරුවීමට ටීඑන්ඒ තීන්දු කළහොත් එය සැලකිය හැක්කේ දෙමළ ජනයාට ඔවුන් ලබාදීමට අපේක්ෂා කරන ස්ථිර ව්‍යවස්ථාමය විසඳුමට වඩා, පවතින දේශපාලන වාතාවරණයට මුහුණදීමේ තීන්දුවක් ලෙසය. ජනාධිපතිවරණයක් නොමැති දේශපාලන භූමියක මහ මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා විධායක අගමැති ධුරයේ හිඳුවන සන්ධානයකින්, රටේ පාලනයට සම්බන්ධ වීමේ උපක්‍රමය මිස වෙනත් හරයක් එවැනි උපායක පවතී යැයි සිතිය නොහැක.

පාර්ලිමේන්තුවේ සංයුතිය

පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව එජාපයට (එජාපෙ හා මුස්ලිම් කොංග්‍රසය ලෙස) මන්ත්‍රීවරු 107 ක් ද එජනිසට (ආණ්ඩුවේ සිටින මෛත්‍රිපාල පිලේ 23ද සමග) 95ක්ද, දෙමළ ජාතික සන්ධානයට 16ක්ද, ජවිපෙට 6ක්ද, ඊපීඩීපී 01ක්ද සිටිති. එජාපය යටතේ සිටින මනෝ ගනේෂන්ගේ මන්ත්‍රීවරුන් 5 දෙනාද, මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 7 දෙනාද, හෙළ උරුමයේ 3 දෙනා ද අඩු කළහොත් එජාපයට සිටින්නේ මන්ත්‍රීවරුන් 92 ක් වන අතර ඊට ටීඑන්ඒ 16 හා ජවිපෙ 6 එකතු කළවිට ලැබෙන්නේ 114කි. (මෙහිදී රිසාඞ් බදියුදීන් ඇමතිවරයාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනා සලකා බලා නැත). මෛත්‍රීපාල මහතා සමග ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප 23 දෙනා, හදිසියේ හෝ 20ට සහාය දීමට තීරණය කළහොත් යන උපකල්පනය ඇතිකර ගත්තත් 20ට සහාය දිය හැකි සමස්ත මන්ත්‍රී සංඛ්‍යාව 137කි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය සඳහා මන්ත්‍රීවරුන් 150කගේ සහාය ලබාගත යුතුය.
මේ අනුව ජවිපෙ ගෙන ආ එජාපය කැමති, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේදී අත්වීමට යන ඉරණම කුමක්දැයි අනුමාන කළ හැකිය. විධායක ජනාධිපති ක්‍රමය පමණක් නොව මෙරට ක්‍රියාත්මක පාර්ලිමේන්තු ක්‍රමය ඇතුළු සියල්ල සාධනීය වෙනසකට පරිවර්තනය කිරීම උදෙසා මහා වැඩපිළිවෙළක අත්‍යවශ්‍යතාව සියලු දේශපාලන පක්ෂවලට පෙනුණත් ඔවුන් සියල්ලන් තවමත් සිටින්නේ අවස්ථාව මගහැර හෝ අවස්ථාව තමන්ට වාසිදායක පරිදි ජයගෙන ඒ මොහොතේ එගොඩවීමේ ප්‍රතිපත්තියක නම් රටේ ඉරණම යහපතට පෙරළෙන්නේ යැයි සිතිය හැකිද?