රාවය

ජාතික පාසල්වල විදුහල්පති අර්බුදය

ජාතික පාසල්වල විදුහල්පති අර්බුදය

ජාතික පාසල්වලින් 74%කටම වැඩ බලන විදුහල්පතිවරුන් අනුයුක්ත කර තිබීම පාසල් පරිපාලනයෙහි බරපතළ ප්‍රශ්න රැසක් මතුකරන්නක් බවට පත්ව තිබේ. මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම ගුරු සංගම් හා ජනාධ්‍ය කරුණු අනාවරණය කර තිබුණත් ඒ සම්බන්ධයෙන් මෙරට අධ්‍යාපන බලධාරීන් පියවර ගන්නා බවක් පෙනෙන්නට නැත. රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින්ද ජාතික පාසල්වලට විදුහල්පතිවරුන් පත්කිරීමේ අනුමැතිය ලබාදී ඇති බව ගුරු සංගම් තහවුරු කරන නමුත් මේ ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පුවත්පතකට කියා තිබුණේ ඊට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී නැති බවකි.
ලංකාවේ තිබෙන ජාතික පාසල් සංඛ්‍යාව 352කි. ගුරු සංගම් පෙන්වා දෙන්නේ ඉන් 260කම වැඩ බලන විදුහල්පතිවරුන් කටයුතු කරන බවය. බරපතළම කාරණය වන්නේ 1 ශ්‍රේණියේ විදුහල්පතිවරුන් 7000ක් පෝලිමේ සිටියදී ඔවුන් ජාතික පාසල්වල විදුහල්පති තනතුරු සඳහා බඳවා නොගැනීමය. කොළඹ ප්‍රධාන පාසල් කිහිපය හැරුණු විට ජාතික පාසල් රැසකම මේ තත්ත්වය නරක ආකාරයට බලපා තිබේ. මෙසේ සිදුව තිබෙන්නේ ඇයි?
ජනප්‍රිය පාසල් සියල්ලෙහිම වැඩි බලයක් දරන්නේ ආදි ශිෂ්‍ය සංගම් බව නොරහසකි. බොහෝවිට වැඩබලන විදුහල්පතිවරු පත්කර තිබෙන්නේ ඔවුන්ගේ ඕනෑකම මත විෂය භාර ඇමතිවරයා විසිනි. එසේ පත්වීම් ලබන අය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය කෙසේ වෙතත් තමා තනතුරට පත් කළ පුද්ගලයාගේ හෝ පුද්ගල කණ්ඩායමේ මනෝරථය ඉෂ්ට කිරීමට පෙළැඹීම සාමාන්‍යයෙන් බලාපොරොත්තු විය යුත්තකි. ගුරු සංගම් පෙන්වා දෙන්නේ වැඩබලන විදුහල්පතිවරුන් දේශපාලන පත්වීම් ලබා සිටින බොහෝ පාසල්වල තත්ත්වය එය බවය. ආදි ශිෂ්‍ය සංගම් මෙම ක්‍රියාවලිය දිගින් දිගටම නඩත්තු කරන්නේ හුදෙක් තමන්ගේ ළමයා පාසලට ඇතුළත් කර ගැනීම යන අහිංසක වුවමනාව මත නොවේ. මෙය ආදි ශිෂ්‍ය සංගම්, වැඩබලන විදුහල්පතිවරුන් හා ඇතැම් අධ්‍යාපන බලධාරීන් එක්ව කරන විශාල ජාවාරමක් බව පසුගිය කාලයේ තොරතුරු අනාවරණය විය. දේශපාලන අධිකාරියටද අනුගත පුද්ගලයකු ජාතික පාසලක මුල් පුටුව හෙබවීම දේශපාලන අධිකාරියට පහසුවකි. අනෙක් අතට ආදි ශිෂ්‍ය සංගම්වල කටයුතු කිරීම ලාභදායී ව්‍යාපාරයක් බවට පත්කරගෙන සිටින පිරිසටත් මෙය හොඳ ඉල්ලමකි. මේ තත්ත්වය ගැන ගුරු සංගම්, අධ්‍යාපන ඇමතිවරයා අවස්ථා කිහිපයකදීම දැනුවත් කර තිබෙන නමුත් මෙතෙක් ඒ ගැන පියවරක් නොගෙන තිබීම කනගාටුදායකය. මේ ගැන සාකච්ඡා කැරුණු සෑම අවස්ථාවකදීම ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ විදුහල්පතිවරුන් නොමැති බවය. ඊළඟට ඔහු කියා ඇත්තේ බඳවා ගැනීම් සඳහා ගැසට් කරන බවය. අවස්ථා දෙකකදී පමණ ගැසට් කර ඇතත් විදුහල්පතිවරුන් බඳවා ගැනීම සිදුවී නැත.
අධ්‍යාපන පරිපාලන විෂයෙහි නිලධාරී කණ්ඩායම් දෙකක් දැක්විය හැකිය. එකක් සාමාන්‍ය සේවක සංඛ්‍යාවය. විදුහල්පතිවරුන් අදාළවන්නේ එම ප්‍රභේදයටය. අනෙක විශේෂ සේවක සංඛ්‍යාවය. විෂය අධ්‍යක්ෂවරු එම ප්‍රවර්ගයට ඇතුළත් වෙති. දැනට වැඩ බලන විදුහල්පතිවරුන් බහුතරය සමන්විතවන්නේ විශේෂ සේවක සංඛ්‍යාවේ ගණයෙනි. බඳවා ගැනීම් සඳහා ගැසට් කළහොත් දැනට වැඩබලන පත්වීම් ලබා සිටින විශේෂ සේවක සංඛ්‍යා ගණයට අයත් විදුහල්පතිවරුන්ට අවශ්‍ය සුදුසුකම් නොමැති හෙයින් අවස්ථා අහිමිවනු ඇත. මන්දයත් ගැසට් කැරෙන්නේම සාමාන්‍ය සේවක සංඛ්‍යාව යන ගණය නියෝජනය කරන අය සඳහා වන බැවිනි.
ඉකුත් සමයේ උපාලි මාරසිංහ මහතා අධ්‍යාපන ලේකම් ධුරය දැරූ සමයේ විදුහල්පතිවරුන් බඳවා ගැනීම සඳහා ගැසට් කැරුණි. මූලික සුදුසුකම්වලට අමතරව ප්‍රායෝගික පරීක්ෂණයකින් අයදුම්කරුවන් සමර්ථ විය යුතු බවට එහිදී කොන්දේසියක් පනවා තිබුණි. එහෙත් බඳවා ගැනීම් සිදුනොවුණේ දේශපාලන වුවමනාවන් තෘප්ත කරන පිරිස් බඳවා ගැනීමට ඉන් අවස්ථාව නොලැබුණු නිසාය. එය බොහෝවිට සෑම අධ්‍යාපන ලේකම්වරයකුම මුහුණදෙමින් සිටින පොදු ප්‍රශ්නයක් විය හැකිය.
මෙම ආරාවුල නිසා සිදුවිය හැක්කේ පාසල් පරිපාලනයේ හා අධ්‍යාපනයේ බිඳ වැටීමකි. වැඩ බලන විදුහල්පතිවරුන් අතර පරිපාලනයෙහි නිපුණ අය සිටිය හැකිය. එහෙත් පළමු ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 7000ක් පෝලිමේ සිටින තත්ත්වය තුළ මෙසේ විවාදයට තුඩු දුන් දේශපාලන අනුග්‍රහය ලබන පිරිසක් පාසල් පද්ධතිය තුළ දිගින් දිගටම ප්‍රධානත්වය දරමින් සිටීම දැඩි ව්‍යාකූල තත්ත්වයක් ඇති කරන්නකි. මේ පිළිබඳව අධ්‍යාපන බලධාරීන් පියවරක් නොගන්නවා නම් අප කරන්නේ කුමක්දැයි යන්න මෙතැන් සිට සිතා බැලිය යුතුය.