රාවය

‘අදිසි ඉන්දියාව’ ගවේෂණය කරන අසාමාන්‍ය මාධ්‍යවේදිනිය: කල්පනා ශර්මා

‘අදිසි ඉන්දියාව’ ගවේෂණය කරන  අසාමාන්‍ය මාධ්‍යවේදිනිය: කල්පනා ශර්මා

මීට සති කිහිපයකට පෙර (2018 අප්‍රේල් 29) මා කතා කළේ ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල සංචාරය කරමින් ගැමි ජනයාගේ යථාර්ථය මාධ්‍ය වාර්තාකරණයට හසු කර ගන්නා පී. සයිනාත් ගැනයි.

සයිනාත්ගේ අසීමිත කැපවීම සෑම මාධ්‍යවේදියකුටම ප්‍රායෝගිකව අනුකරණය කළ නොහැකියි. සති ගණන් එක දිගට ක්ෂේත්‍රයේ සැරිසැරීම ඔහුගේ වාර්තාකරණයේ මූලික පිළිවෙතක්.

එහෙත් ඕනෑම වාර්තාකරණයක් සාර්ථක වීමට නම් ක්ෂේත්‍රයට – එනම් මාධ්‍ය කාර්යාලයෙන් පිටතට – යෑම අත්‍යවශ්‍යයි. තත්කාලීන සමාජයේ සැබෑ පිළිබිඹුවක් බවට මාධ්‍ය පත් වන්නේ එවිට පමණයි.

මාධ්‍ය කාර්යාල තුළට වී දුරකතනයෙන් තොරතුරු හා අදහස් සොයා ගෙන වාර්තා ලියන මාධ්‍යවේදීන් මෙරට පමණක් නොව ඉන්දියාවේද සිටිනවා. අද මාධ්‍ය ලෝකයේ වෘත්තියමය භාවය පිළිබඳ අර්බුදයට එක් හේතුවක් වන්නේද මෙම අලස වාර්තාකරණයයි.

තවත් මාධ්‍ය ප්‍රවණතාවක් නම් වෘත්තියේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ යන විට මාධ්‍යවේදීන් ක්ෂේත්‍රයට යෑම අඩු කිරීමයි. බොහෝ කතුවරුන් සමාජ යථාර්ථයෙන් දුරස් වන්නට මෙයද එක් හේතුවක්.

අද මා කතා කරන්නේ අලස නොවී, ජ්‍යෙෂ්ඨත්වය නොතකා හැමදාමත් ක්ෂේත්‍රයට ගොස් සියුම් නිරීක්ෂණ හා තියුණු විශ්ලේෂණ හරහා වාර්තාකරණයේ යෙදෙන ඉන්දියානු මාධ්‍යවේදිනියක් ගැනයි.

ඇගේ නම කල්පනා ශර්මා (Kalpana Sharma).වසර 40කට වැඩි කාලයක් පුරා මාධ්‍ය ලෝකයේ සක්‍රියව සිටින ඇය ස්ත්‍රී පුරුෂ සමාජභාවය (Gender) පිළිබඳ කෝණයකින් සංවර්ධනය, මානව හිමිකම් හා දිළිඳුබව පිළිබඳව විග්‍රහ කරන, ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම මාධ්‍ය චරිතයක්.
මා කල්පනා හඳුනා ගත්තේ මීට දශක දෙකකට පමණ පෙරයි. අප දෙදෙනා විවිධ සාකච්ඡා මණ්ඩපවලට එකවර සම්බන්ධ වීමෙන් හා පැනොස් දකුණු ආසියානු සංවිධානයේ පාලක මණ්ඩලයේ ස්වේච්ඡාවෙන් සේවය කිරීමෙන් නොයෙක් වර මුණ ගැසුණා. ඇය මගේ ගෞරවාදරය දිනාගත් ජ්‍යෙෂ්ඨ මිතුරියක්.

මාධ්‍යකරණයට ලේබල් ගසනවාට ඇය කැමති නැහැ. ‘පාරිසරික මාධ්‍යවේදය, ‘සංවර්ධන මාධ්‍යකරණය’ ආදී වශයෙන් වර්ගීකරණය කිරීම ඇය විශ්වාස කරන්නේත් නැහැ.

“මාධ්‍යවේදීන් වර්ග දෙකක් පමණයි සිටින්නේ. වෘත්තීයමය බවින් හා ආචාරධර්මීය ලෙසින් තම වගකීම් ඉටුකරන මාධ්‍යවේදීන් හා එසේ නොකරන මාධ්‍යවේදීන් වශයෙන්. මොන විෂය හෝ මාතෘකාව ගැන වාර්තා කළත්, විග්‍රහ කළත් අවසාන විනිශ්චයේදී මාධ්‍යවේදීන් ඔය වර්ග දෙකෙන් එකකට අයත් වනවා” යැයි කල්පනා කියනවා.

කල්පනා ශර්මා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ හසළ අත්දැකීම් ඇති අයෙක්. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා මෙන්ම ඉන්ඩියන් එක්ස්ප්‍රස් පත්‍රවල ඇය දිගු කලක් සේවය කළා. එහෙත් ඇගේ මාධ්‍ය ජීවිතයේ විචිත්‍රම අවධිය ලෙස ඇය සලකන්නේ හිම්මත් (Himmat) නමැති සතිපතා පුවත් සඟරාවේ සේවය කළ ඇගේ මාධ්‍ය ජීවිතයේ මුල් වසර කීපයයි :1972-1983*ග

මහත්මා ගාන්ධිගේ මුණුපුරකු වන රාජ්මෝහන් ගාන්ධි හා ආර්. එම්. ලාලා කතුකම දැරූ හිම්මත් 1964-1981 අතර කාලයේ පළ කෙරුණා. සාම්ප්‍රදායික වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් විචාරශීලීවත්, සානුකම්පිත ලෙසත් කාලීන ප්‍රශ්න විග්‍රහ කිරීම එම සඟරාවේ කැපී පෙනෙන ලක්ෂණයක් වුණා.

එසේම 1975දී ඉන්දිරා ගාන්ධි හදිසි අවස්ථාව ප්‍රකාශ කොට දැඩි මාධ්‍ය වාරණයකට යොමුවූ විට සූක්ෂ්ම ලෙස එම වාරණ නීතිවලින් රිංගා ගිය ප්‍රකාශන අතර හිම්මත් සඟරාවද සිටියා.

හිම්මත් සඟරාවේ කර්තෘ මණ්ඩලයේ කල්පනාගේ සහෘදයෙක් වූයේ එවකට තරුණයකු වූ විජිත යාපා නම් ලාංකිකයායි. (1970 දශකයේ වසර කිහිපයක් හිම්මත් මාණ්ඩලික ලේඛකයකු ලෙස ආසියාවේ විවිධ රටවලට සංචාරය කළ ඔහු පසුකලෙක මෙරට ජාතික පුවත්පත් තුනක ආරම්භක කතුවරයා වූවා.)

කල්පනාගේ හපන්කම්වලට හොඳින්ම ඉඩක් ලැබුණේ ඇය දිගු කලක් ‘ද හින්දු’ නම් ඉන්දියානු ඉංග්‍රීසි පුවත්පතේ නියෝජ්‍ය කතුවරිය ලෙස සේවය කළ වකවානුවෙයි.

නගර කේන්ද්‍රීය මාධ්‍ය නොදකින හෝ නොතකා හරින, එහෙත් බහුතරයක් ඉන්දියානුවන් අයත් වන දිළිඳු ස්ථරය ගැන ඇය විශේෂ අවධානයක් යොමු කළා. බිලියන් 1.2ක් වන සමස්ත ඉන්දීය ජනගහනය තුළ මිලියන් 400ක් පමණ අන්ත දිළිඳු ජනයා සිටිනවා. මේ අය ග්‍රාමීය ප්‍රදේශවල මෙන්ම අධික ලෙස ජනාකීර්ණ නාගරික ප්‍රදේශවලත් වෙසෙනවා.

මූලික ජීවන අවශ්‍යතා හෝ සපුරා නොගත්, අසරණ ලෙස දිවි ගෙවන මේ ජනයා බොහෝ මාධ්‍යවලට වැදගත් වන්නේ ආපදාවක්, කලහයක් වැනි ආන්තික අවස්ථාවල පමණයි.
එහෙත් කල්පනා මේ අයගේ ජීවන අරගල හා අභියෝග ගැන දිගින් දිගටම සානුකම්පිතවත්, විචාරශීලීවත් වාර්තා කළා. විශේෂාංග ලිපි හා තීරු ලිපි සිය ගණනක් ලියුවා.

කාන්තාවන්ගේ ප්‍රශ්න ගැන විශේෂ උනන්දුවක් දැක්වූවද ඇය සැමවිට කරන්නේ පවත්නා විසම යථාර්ථය තුළ කාන්තාව වඩාත් පීඩිත වන සැටි පෙන්වාදීම පමණයි.

සිය ගණනක් ඉන්දියානු කුඩා පරිමාණ ගොවීන් සියදිවි හානිකර ගැනීමට පොළඹවන සාධක කවරේද? එසේ ඛේදජනක ලෙස සැමියා අකාලයේ මියගිය පසු වැන්දඹු වන කාන්තාවන් දිවි ගැට ගසා ගන්නේ කෙසේද? එවන් පවුල්වල දරුවන්ට අත්වන ඉරණම කුමක්ද?

කල්පනා මේ ගැන විවිධ මානයන් හසුකර ගනිමින් විග්‍රහ කොට තිබෙනවා. ගොවීන් සිය දිවි නසා ගැනීම ගැන ප්‍රවෘත්තිමය මට්ටමට එහා ගොස් කරන වාර්තාකරණයන් දුර්ලභයි.

දරුවකු ඉපදීමට පෙර කළල අවස්ථාවේ ස්ත්‍රී පුරුෂ බව නිර්ණය කළ හැකි තාක්ෂණය 1990 ගණන්වල ප්‍රචලිත වුණා. සාම්ප්‍රදායිකව පිරිමි දරුවන් පතන හා ඔවුන්ට මුල් තැන දෙන ඉන්දියානු සමාජයේ ගැහැනු කළලයන් ගර්භාෂයේදීම (නීති විරෝධී ලෙස) විනාශ කර දැමීම ඇරඹුණා. මේ අපරාධය හා එහි බිහිසුණු දිගු කාලීන ආදීනව ගැන දිගින් දිගටම කල්පනා එරට ජන අවධානය යොමු කළා.

එසේම කාන්තාවන් හා ගැහැනු ළමුන් මුහුණදෙන බොහෝ සමාජ ප්‍රශ්නවලට මූලික වන පුරුෂාධිපත්‍යය සමාජය (Patriarchy) ඇගේ වාර්තාකරණයේ නිරතුරු විවේචනයට හසු වනවා.

එහෙත් ඇය ජනප්‍රිය මට්ටමේ ස්ත්‍රීවාදය (feminism) කර පින්නා ගත්, නිතර ඒ ගැන කෑමොර දෙන අයෙක් නම් නොවෙයි. කාන්තාවන්ට විශේෂ වරප්‍රසාද ලබා දීමට වඩා අවශ්‍ය වන්නේ ඔවුන්ගේ මානව අයිතිවාසිකම් රැකෙන පරිදි සමාජයේ සියලු දෙනා ක්‍රියා කිරීම බව ඇගේ ස්ථාවරයයි.

“නැති බැරි ජනයා සමාජයේ කොන් වී සිටින බව ප්‍රකටයි. එහෙත් එසේ කොන්වූ ජන පිරිස් අතර සිටින කාන්තාවන් එතුළද නැවතත් කොන් වනවා. දිළිඳුබව, ගතානුගතිකත්වය හා පුරුෂ මූලික සමාජතන්ත්‍රය යන සාධක සියල්ලෙන්ම එකවර බැට කන ගැහැනු දරුවන් හා කාන්තාවන් ඒ සියල්ල දරාගෙන දිවි ගෙවනා සැටි දකින සෑම විටම මා සිතන්නේ ඔවුන් සුපිරි කාන්තාවන්
(Super women) බවයි,” කල්පනා කියනවා.

කිසිදා ඇගැයීමකට ලක් නොවන, බොහෝ සමාජ ක්‍රියාකාරිකයන් හමුවේ පවා අදිසි වන මේ සුපිරි කතුන් නොමැති වූවොත්, නොඑසේ නම් ඔවුන් වැඩවර්ජනය කළොත් කුමක් සිදු විය හැකිද?

“නාගරික මධ්‍යම පාන්තික නිවෙස්වල ඉවුම් පිහුම් හා පිරිසිදු කිරීමට පැය කිහිපයකට ඇවිත් යන කාන්තාවන් දහස් ගණනක් සිටිනවා. මහාමාර්ග අතුගෑම, කසළ බැහැර කිරීම මෙන්ම මහා පරිමාණ රෙදි සේදීම, ගොවිපළේ කම්කරු වැඩ කිරීම ආදියේ නිරත වන කාන්තාවන් ලක්ෂ ගණන් හමු වනවා. කිසිදු කම්කරු නීති රැකවරණයකින් තොරව, සම වැඩට පිරිමින්ට වඩා අඩු ගෙවීම් ලබමින් වැඩ කරන මේ කතුන් නොමැති වූවොත් අපේ බොහෝ ගේ දොර මෙන්ම නගරද අකර්මණ්‍යවීම නොඅනුමානයි.” ඇය වරක් ලිපියක ලියුවා.

මෙවන් අදිසි කතුන්ගේ සැබෑ කතා සොයමින් කල්පනා ඉන්දියාවේ නොයෙක් නාගරික, අර්ධ නාගරික හා ග්‍රාමීය පෙදෙස්වල සැරිසරා තිබෙනවා.

වසර ගණනක් පුරා ඇය ද හින්දු පත්‍රයට සතිපතා ලියූ ‘The Other Half’ (අනෙක් අඩ) නම් තීරුලිපිය වෙන්වූයේ සාමාන්‍යයෙන් මාධ්‍යවල හඬක් අහිමි, කොන්වූ කාන්තාවන්ගේ ප්‍රශ්න මතු කරන්නයි.

කල්පනා ජීවත්වන්නේ මුම්බායි මහ නගරයේ. එහි නාගරික සීමාවේ ජනගහනය මිලියන් 13ක් පමණ වන අතර තදාසන්න ප්‍රදේශද සමග ගත් විට මිලියන් 21කට වැඩි දෙනෙක් වාසය කරනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය වර්ග කිලෝමීටර් 600ක තරම් සීමිත ප්‍රදේශයකට පිරවූවොත් ඇතිවන අන්දමේ අධික ජනාකීර්ණත්වයක් එහි තිබෙනවා.

ඩොලර් කෝටිපතියන්, ඉහළ මධ්‍යම පාන්තිකයන් හා බොලිවුඞ් නළු නිළියන් අතරේ මිලියන් ගණනක් දුගී ජනයාද මේ ප්‍රදේශයේ ජීවත්වනවා. ලෝකයේ තෙවන විශාලතම මුඩුක්කු (slum) සංකේන්ද්‍රණය වන ධාරාවි (Dharavi) ඇත්තේද මුම්බායි නගරයේ මැදයි. ලක්ෂ 6-10ක් අතර ජනකායක් මෙහි වෙසෙනවා. (හරියටම කොපමන තෙනකු එහි සිටීදැයි නිල දත්ත නැහැග)

ධාරාවි ප්‍රදේශය කල්පනා ශර්මා කලෙක සිට අධ්‍යයනය කරන්නක්. දුගී වුවද අගහිඟකම් මැද නීතිගරුකව ජීවත් වන්නට, දරුවන්ට උගන්වන්නට, කිසිවකුට බැගෑපත් නොවී අභිමානයෙන් යුතුව ජීවත් වන්නට ධාරාවි වැසියන් ගන්නා ප්‍රයත්නයන් ගැන කල්පනා 2000දී පොතක් ලියුවා. Rediscovering Dharavi නම් වූ එය ආසියාවේ ලොකුම මුඩුක්කු සංකීර්ණය ගැන සානුකම්පිත හා යථාර්ථවාදී විග්‍රහයක් ඉදිරිපත් කළා.

බි්‍රතාන්‍ය-ඉන්දීය සාමූහික ප්‍රයත්නයක් ලෙස Slumdog Millionaire චිත්‍රපටය නිපදවුණේ 2008දී. එම කතාවේ බොහෝ සිදුවීම් දිග හැරෙන්නෙත් ධාරාවි ප්‍රදේශයෙයි. එහෙත් එම චිත්‍රපටයේ සංත්‍රාසය පිණිස උද්දීපනය කරන ලද සිදුවීම්වලට වඩා සංකීර්ණ වූත්, සියුම් වූත් යථාර්ථයක් එහි තිබෙන බව කල්පනා කියනවා.

කල්පනා ශර්මා ජ්‍යෙෂ්ඨ කතුවරියක්ව සිටියදී පවා නිතිපතා ක්ෂේත්‍රයට යෑම පුරුද්දක්. විශේෂයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා හෝ ආපදා සිදුවූ ප්‍රදේශවලට ගොස් දින ගණන් ගත කරමින් සංවේදී ලෙස වාර්තාකරණයට ඇය ඉතා සමත්.

භූමිකම්පා, නියඟ, ගංවතුර, කුණාටු හා සුළි සුළං වැනි විවිධ ආපදා පිළිබඳව ඇය ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල සිට වාර්තා කොට තිබෙනවා.

“දිළිඳු බවින් මිරිකී, සමාජයේ කොන් වී සිටින ප්‍රජාවන්ට ආපදා නිසා තවත් ලොකු පහරක් එල්ල වනවා. එහෙත් බොහෝ ආපදා තත්ත්වයන් මේ ප්‍රජාවන් නිරතුරුව අත්විඳින දුක් ගැහැටවල තාවකාලික උච්ච වීමක් පමණයි. සැබැවින්ම අප කළ යුත්තේ සොබාවික ප්‍රවාහයන්ට මෙතරම් නිරාවරණය වී සිටින ප්‍රජාවන්ට දිගු කාලීනව ප්‍රත්‍යාස්ථිතිය (resilience) ලබා දීම ගැන වැඩි අවධානය යොමු කිරීමයි. එසේ නැතිව ආපදාවක් හට ගත් විට පමණක් ක්ෂේත්‍රයට දුව යන මාධ්‍යවේදීන් හා එවන් අවස්ථාවල ඡන්දදායකයන්ට සහනාධාර රැගෙන එන සටකපට දේශපාලකයන් අතර වෙනසක් තිබේද?” ඇය විමසනවා.

ආපදා පිළිබඳ පසුවිපරම මාධ්‍යවේදීන්ගේ ලොකු වගකීමක්. තත්ත්වය උණුසුම්ව තිබෙන මුල් දින කිහිපයේ රජය හා ස්වේච්ඡා සංවිධාන දෙන පොරොන්දු ඉනික්බිති ඔවුන් ඉටු කරනවාද? දිගු කාලීන විසඳුම් නොලැබේ නම් එයට හේතු මොනවාද? ආපදා පෙර සූදානමට ප්‍රජාව තුළින්ම කළ හැකි බලගැන්වීම් සිදුවනවාද?

මෙවන් ප්‍රශ්න නගමින් ඇය ආපදාවට ලක් වූ ප්‍රදේශවලට සිදුවීමෙන් මාස 3, 6 හා 12කට පසු යෑම සිරිතක් කර ගත්තා. මේ හරහා ආපදා වාර්තාකරණයේ නව මං හෙළි කළා.

එනිසාම ආපදා සන්නිවේදනය ගැන 2007දී මා සංස්කරණය කළ ආසියානු කලාපීය අත්පොතක (Communicating Disasters) අවසන් පරිච්ඡේදය ලිවීමට මා ඇරයුම් කළේ කල්පනාටයි.

එහිදී ඇය කළ විග්‍රහය අදටත් අදාළයි.

“ආපදා වාර්තා කරන්නට යන මාධ්‍යවේදීන් බොහෝ සෙයින් ඒකාකාරී වාර්තාකරණයක නියැලෙන බව පෙනෙනවා. හේතුව මතුපිටින් පෙනෙන දෙයින් ඔබ්බට ඔවුන් විමර්ශනය නොකිරීමයි. බලපෑමට පත් ප්‍රජාවේ සමාජ සබඳතා මොනවාද? ප්‍රදේශයේ පළාත් පාලන ආයතන කෙතරම් සක්‍රියද? සංවර්ධනයේ නාමයෙන් ඉදි කර ඇති යටිතල පහසුකම් සාර්ථකව ක්‍රියාත්මකද? ප්‍රාදේශීය දේශපාලකයන්ගේ ආකල්ප හා කෙරුවාව කෙසේද? මේ සාධක සැලකිල්ලට නොගෙන හරිහැටි ආපදා වාර්තාකරණයක යෙදීමට බැහැ.”

ද හින්දු පත්‍රයෙන් විශ්‍රාම ගියද ඇය තවමත් EPW (Economic & Political Weekly) නම් සඟරාවේ උපදේශක කර්තෘ ලෙස මාධ්‍යකරණයේ සක්‍රිය සිටිනවා.