රාවය

එජාපයේ අර්බුදය සහ ‘රනිල් ප්‍රශ්නය’

එජාපයේ අර්බුදය සහ ‘රනිල් ප්‍රශ්නය’

ජයදේව උයන්ගොඩ

දේශපාලන පක්ෂයක් ලෙස එජාපය මුහුණදෙන අර්බුදය අවසන් වී ඇති බවක් නොපෙනේ. පල්ලෙහා මට්ටමේ සිටින තරුණ පෙළේ මන්ත්‍රී – ඇමතිවරුන් ප්‍රසිද්ධියේ පළකරන අපේක්ෂාභංගත්ව සහ විරෝධතා ප්‍රකාශවලට අලුතෙන්ම එකතු වී ඇත්තේ සුජීව සේනසිංහ ඇමතිවරයාය. 2015 මැතිවරණ ව්‍යාපාරයේ, ප්‍රධාන කථිකයකු හා ප්‍රචාරකයකු වූ ඒ මහතා, රනිල් වික්‍රමසිංහ නායකත්වය ගැන ඇති විශාල කලකිරීමත් දැන් ප්‍රසිද්ධියේම පළ කරයි.
එජාපයේ බොහෝ දෙනා පළකරන අදහස්වලින් පෙනෙන්නේ, ඔවුන් දැනටමත් 2019 හා 2020 වසරවලදී ලබන දේශපාලන පරාජය ගැන හිත හදාගෙන සිටින බවයි. ලංකාවේ පාර්ලිමේන්තු දේශපාලනයේ මෑතකාලයේ සිදුවී ඇති දේවල් දෙස බලනවිට, ඒතරම් දුක්වීමට ඒ බොහෝදෙනාට හේතුවක්ද නැත. රාජපක්ෂ පවුලෙන් කවුරු දිනුවත්, ඊළඟ ආණ්ඩුවේ ඇමති ධුර ලබාගැනීම දුෂ්කර කාර්යයක් නොවනු ඇත. කරන්නට තිබෙන්නේ තැඹිලි පාට කමිස සාරි මිලදී ගැනීමය. එය සතියක් තුළ කළ හැකි කාර්යයකි. පක්ෂවලටත්, පක්ෂ නායකයාටත් ඇති දේශපාලන බැඳීම සහ පක්ෂපාතීත්වය අතිශයින්ම නම්‍යශීලීවීම, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සංවිධානමය මූලධර්මයක් වී ඇති ලංකාවේ, බොහෝ මන්ත්‍රීවරුන්ට, ආණ්ඩු වෙනසක් යනු විසඳුමක් නැති ගැටලුවක් නොවේ. එය ගැටලුවක් වන්නේ ගම් මට්ටමෙන් සිටින පාක්ෂිකයන්ට සහ ඡන්දදායකයන්ටය.
මේ අතර, එජාපය දැනට මුහුණදී තිබෙන සුවිශේෂ ප්‍රශ්නයක් තිබේ. එය ගැන තරමක් විභාග කිරීම මේ ලිපියේ අරමුණයි. එය වනාහී උම්මග්ග ජාතකයේ මහෞෂධ පඬිතුමාටත් විසඳිය නොහැකි ප්‍රශ්නයකි. එය අන් කිසිවක් නොව එජාපයේ ‘රනිල් ප්‍රශ්නය’යි. එය ප්‍රහේළිකාවක් ලෙස ප්‍රකාශවන්නේ මෙපරිදිය. “එජාපයට ඇතුවත් බැරි නැතුවත් බැරි නායකයා – රනිල් වික්‍රමසිංහ.”
ඇතුව බැරි රනිල්
එජාප නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘ඇතුවත් බැරි’ පැත්ත ගැන පළමුවෙන් බලමු. එජාපයේ සමහර ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම මෙන්ම පක්ෂ විනය යන සාම්ප්‍රදායික දේශපාලන ගුණධර්මද නොතකමින් ප්‍රසිද්ධියේම කියන්නට පටන් ගෙන තිබෙන දෙයක් නම් “අගමැති රනිල් වික්‍රමසිංහගේ කාලය අවසන් වී ඇත” යන්නයි. ඔහු නායකත්වයේ තවදුරටත් සිටීම පක්ෂයේ ඉදිරි ගමනට සහ ඉදිරි ජයග්‍රහණවලට ඇති ප්‍රධානම බාධාව බවද ඔවුහු ව්‍යංගයෙන් කියා සිටිති. “පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීම” යනුවෙන් වික්‍රමසිංහ ඇත්තටම කෙළේ බොරුවක් බව පක්ෂයේ ළාබාලම මන්ත්‍රීවරුන් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ වසන්ත සේනානායක වැනි අය විවෘතවම කියා සිටියහ.
සුජීව සේනසිංහ මන්ත්‍රීවරයාද දැන් එම සමූහ ගායනයට එකතු වී සිටින්නේ, එජාපයේ පහළ පෙළේ පාක්ෂිකයන්ද අතර වේගයෙන් පැතිරෙන අදහසක් ප්‍රකාශ කරමිනි. එනම්, එජාපයට තවදුරටත් ඉදිරියට යන්නට නම් රනිල් වික්‍රමසිංහ විශ්‍රාම ගතයුතු බවත්, අලුත් නායකත්වයකට ඉඩදිය යුතු බවත්ය. එම අලුත් නායකයා වශයෙන් ඔවුන් සිතන බව පෙනෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාය.
අලස අගමැති
අගමැති රනිල් වික්‍රමසිංහ තම පක්ෂයට දැන් බරක් වී ඇතැයි සිතන්නට එජාපයේ ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට සහ පාක්ෂිකයන්ට නොයෙකුත් හේතු තිබෙන්නට පුළුවන. ඒ අතර ස්වාධීන දේශපාලන නිරීක්ෂකයන්ටද පෙනෙන, අති මූලික කරුණක් තිබේ. එය නම්, ඉතා අමාරුවෙන් ලබාගත් අගමැති ධුරයේ අවුරුදු හතරකටත් වඩා හිඳගෙන ලබා දුන් සාධනීය දේශපාලන ජයග්‍රහණ පිළිබඳ වාර්තාවක් මෙරට ඡන්දදායකයන් ඉදිරියේ තැබීමට අගමැති රනිල් වික්‍රමසිංහට 2019-2020දී නොහැකිවීමයි. මෙම ගැටලුවට මුහුණදීමට අලුත් ආරම්භයක් ගැනීමේ අවකාශය පසුගිය විශ්වාසභංග යෝජනාව ජයගැනීමෙන් පසු ඔහුට ලැබුණත්, ඒ වෙනුවට ඔහු ප්‍රදර්ශනය කරන්නේ සුපුරුදු අකාර්යක්ෂමභාවය, දේශපාලන කම්මැලිකම සහ ඉදිරි දර්ශනයක් නැතිකමය. ඉදිරි දර්ශනයක් නැති ගෝඨාභය රාජපක්ෂට ගැලවුම්කරුවකු ලෙස ඉදිරියට පැමිණෙන්නට ඉඩ සලසන්නේද, අලස අගමැතිවරයකු වී ඇති රනිල් වික්‍රමසිංහ මහතාය. ‘යහපාලනය’ යනු ‘අලස පාලනය’ ලෙස වරදවා තේරුම් ගැනීම ඔහු තවමත් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයේ සිටීමෙන්, එජාපයේ දේශපාලන අනාගතය කඩා වැටෙන බවට පාක්ෂිකයන් අතර ඇතිවී තිබෙන දුක්ඛදායක සංවේදනා සාධාරණය. එහෙත් ප්‍රශ්නයවන්නේ, රනිල් නැති එජාපයට කවර අනාගතයක් තිබෙන්නේද යන්නය.
නැතිවත් බැරි රනිල්
එජාපය අවාසනාවන්ත වන්නේ මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදීය. රනිල් වික්‍රමසිංහගෙන් පසු නායකත්වය ගැනීමට පරිණත, දුර දක්නා, කාර්යශූර සහ උපායික නුවණ ඇති දෙවැනි පෙළේ නායකත්වයක් ගොඩනගා ගැනීමට එජාපය අසමත් වී ඇත. වික්‍රමසිංහ වෙනුවට නායකත්වය ගැනීමට අපේක්ෂාවෙන් සිටින සජිත් ප්‍රේමදාස මහතා තවමත් ප්‍රදර්ශනය කර තිබෙන්නේ දේශපාලන ශක්තීන්ට වඩා අඩුපාඩුකම්ය. ඔහුගේ ප්‍රධානම අඩුපාඩුව නම් ඔහුට මනා ලෙස සකස් වූ සහ තමාගේම වූ දේශපාලන දෘෂ්ටියක් හෝ ඉදිරි දර්ශනයක් හෝ නොවීමයි. ඔහු ජනතාව අමතා දිනපතාම වාගේ පවත්වන කතා පුවත්පත්වල කියවන විට කෙනකුට මතක් වන්නේ ජනාධිපති සිරිසේන මහතා පවත්වන කතාය. ඒවා වනාහී හරයාත්මක දේශපාලන පණිවුඩයක් නැති, දේශපාලන වශයෙන් හිස් ඒවාය.
තමන්ගේ පියා ගැන සෑම කතාවකදීම කතා කිරීමට ජනතාවට දෙන දේශපාලන පණිවුඩයක් නොවන බවත්, රටේ නායකයාවීමට අපේක්ෂා කරන කෙනකුගේ සංවර්ධන වැඩපිළිවෙළ ගෙවල් හැදීමට වඩා පුළුල් එකක් බවත්, පන්සල් ප්‍රතිසංස්කරණය කිරීමට චෙක්පත් ප්‍රදානය කිරීම, සාර්ථක දේශපාලන පණිවුඩයක් නොවන බවත් එතුමාට තවමත් වැටහී නැත. බහුජනවාර්ගික සමාජයක දේශපාලන නායකයකු ඇති කරගත යුතු දේශපාලන ආයාචනය ගැන ප්‍රේමදාස මහතා තවමත් සිතන්නටවත් පටන් ගෙන නැත.
දුර්වල ප්‍රජාතන්ත්‍රවාදියා
රනිල් වික්‍රමසිංහගේ විශේෂත්වය පෙනෙන්නේ, එජාපයේ සිටින ඔහුට අමතරව සිටින සහ පහළ පෙළේද නායකයන් සමග ඔහු සසඳන විටයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන වශයෙන් ලංකාව ගමන් කළ යුතු ඉදිරිමග පිළිබඳව වඩාත්ම නිවැරදි සහ නිරවුල් වැටහීමක් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහට පමණි. එජාපයේ බොහෝ දෙනා, ශ්‍රීලනිපයේ මෙන්ම පොදුජන පෙරමුණේද බොහෝ දෙනා මෙන්, ‘ප්‍රජාතන්ත්‍රවාදය’ යන්න දකින්නේ, හුදෙක් උපකරණාත්මක ප්‍රවේශයකිනි. එනම් බලයට පැමිණීමේත්, ආත්මාර්ථයේත් මාර්ගයක් ලෙසින් පමණි. රනිල්ගේ වෙනස නම්, ප්‍රජාතන්ත්‍රවාදය දෙස උපකරණාත්මක ප්‍රවේශයකින් බලන ගමන්ම, ප්‍රජාතන්ත්‍රවාදයේ දේශපාලන වටිනාකම් සහ මූලධර්ම ගැන අවබෝධයක් සහ කැපකිරීමක්ද තිබීමයි. එහෙත් ඔහුගේ බරපතළම අඩුපාඩුව නම් එම කැපවීම අධිෂ්ඨානසහගතව ඉදිරියට ගෙන නොයෑමයි. තමන් ආරම්භ කළ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට, වික්‍රමසිංහට තිබුණේ හුදෙක් බුද්ධිමය කැපවීමක් පමණි. දේශපාලන කැපවීමක් නොවේ. රනිල් වික්‍රමසිංහ වනාහී “දුර්වල ප්‍රජාතන්ත්‍රවාදියෙකි, දුර්වල බහුත්වවාදියෙකි.” එබැවින් දැන් ඔහු කර ඇත්තේ, එම ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අතහැර දැමීමයි. එයට පුනර්ජීවනය දියහැකි විකල්ප නායකයකු එජාපයේ සිටින බවට කිසිදු සලකුණක්ද නැත.
ලංකාවේ දෙමළ සහ මුස්ලිම් සුළු ජන ප්‍රජාවගේ දේශපාලන විශ්වාසය දිනාගත හැකි දැනට සිටින එකම සිංහල නායකයා රනිල් වික්‍රමසිංහ වීමද, ඔහු පිළිබඳ දේශපාලන ගැටලුවේම කොටසකි. මෛත්‍රී, මහින්ද, බැසිල් සහ ගෝඨාභය යනු සිංහල සමාජයේ ලංකාවේ දේශපාලන නායකයෝය. ලංකාවේ දේශපාලන නායකයෝ වෙති. එම සීමාව ඉක්මවා යෑමට මෛත්‍රීපාල සිරිසේන මහතාට තිබූ අවකාශය දැන් එතුමා නැති කරගෙන තිබේ. එතුමා දැන් පත්වී තිබෙන්නේ සිංහල-බෞද්ධ සමාජයේ කුඩා නායකයකුගේ තත්ත්වයටය. ඊට වෙනස්ව රනිල් වික්‍රමසිංහ බුද්ධිමය වශයෙන් වැටහීමක් තිබෙන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී හා බහුත්වවාදී දේශපාලනඥයෙකි. එහෙත් ඔහු, අප දුටු පරිදි දුර්වල ප්‍රජාතන්ත්‍රවාදියෙකි. දුර්වල බහුත්වවාදියෙකි. කාරණා දෙකකින් ඔහුගේ මෙම ලක්ෂණය පිළිබිඹු වේ. පළමුවැන්න, එජාපයේ දෙවැනි සහ තෙවැනි පෙළේ නායකයන් බුද්ධිමය වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදීන් සහ බහුත්වවාදීන් කිරීමට ඔහු උනන්දු නොවීමයි. දෙවැන්න ප්‍රජාතන්ත්‍රවාදය සහ බහුත්වවාදය පදනම් කොටගත් දේශපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ආරම්භ කර එය අතරමග අතහැර දැමීමයි. ඒ ව්‍යාපෘතිය අලුත් කළ හැකි විකල්ප නායකයකු එජාපයේ නැතිවීමට, රනිල් වික්‍රමසිංහ වගකිව යුතුය.
2019-2020 මැතිවරණවලදී එජාපය පරාජයවීමට තිබෙන ඉඩකඩ බොහෝය. එජාපයේ අනාගත නායකයාවීමට බලා සිටින දෙවැනි පෙළේ නායකයන් රනිල් වික්‍රමසිංහ ගැන සිත්තැවුලෙන් සිටියත්, ඔහු නායකත්වයෙන් එළවීමට එතරම් උත්සාහ නොගන්නට හොඳටම ඉඩ තිබෙන්නේ එහෙයිනි. එහෙත් එජාපයේ අර්බුදය ඇතුළෙන් කැකෑරෙමින් දිගටම පවතිනු ඇත.