වතු කම්කරුවෝ බාහිර නිෂ්පාදන ක්‍රමය හෙවත් කබලෙන් ළිපට වැටීම

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

වසර දෙසීයක් පමණ ගත වුවත් අද වන තුරුත් මෙරට සාමාන්‍ය පුරවැසියන්ට හිමිවිය යුතු අයිතිවාසිකම් සහ වරප්‍රසාද අහිමි වන මෙන්ම තවමත් යටත් විජිත යුගයේ මෙන් ජීවත් වන ජන කොට්ඨාසයක් ලෙස මෙරට වතු කම්කරු ප්‍රජාව සැලකිය හැකිය. වතුකරයෙන් ඇසෙන දුක්ගැනවිලිවලට වැඩිදෙනකුගේ අවධානය යොමුවන්නේ බොහෝ විට දෙවසරකට වරක් බව පෙනී ගිය ද ඔවුන්ගේ ජීවන අරගලය වසර දෙකකට වරක් පැන නගින අරගලයක් නම් නොවන බව වගකිව යුතු පාර්ශ්වයන් වටහාගත යුතුය. දෙවසරකට වරක් අත්සන් කිරීමට නියමිත සාමූහික ගිවිසුම ද තවත් වසර ගණන් ප්‍රමාද කරමින් වැඩි කරන සොච්චම් වැටුප් වර්ධකයට වඩා එම ජනයාගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමට තවමත් මෙරට බලධාරීහු අපොහොසත්ව සිටිති.

ගිවිසුමේ බලය

ඉන්දියාවේ සිට මෙරටට කම්කරුවන් ලෙස පැමිණ මෙරට ප්‍රධානම ආදායම් මාර්ගයක් වූ වැවිලි කර්මාන්තය හා බැඳුණු ඔවුහු වහල් කම්කරුවන් ලෙස තම ශ්‍රමය කැප කළහ. එම වතු කර්මාන්තය මෙරට රජය යටතට පත්වන්නේ 1972 දීය. එතැන් සිට වසර විස්සක පමණ කාලයක් රජයේ ආයතන වන ශ්‍රී ලංකා වැවිලි සංස්ථාවත් ජනතා වතු සංවර්ධන මණ්ඩලයත් යටතේ වතු කර්මාන්තය පැවතියෙන් කම්කරු වැටුප්, සුබසාධන ආදී ක්‍රියාවලිය රජයේ මැදිහත්වීමෙන් සිදුව තිබුණි. එහෙත් 1992 සිට අද දක්වා නැවතත් වතු පාලනය පෞද්ගලික සමාගම් සතුවීම සමග වතු කම්කරු ජනයාගේ ජීවන තත්ත්වයන්ට වගකිවයුතු පාර්ශ්වය කුමක් ද යන්න පිළිබඳ ගැටලු රාශියක් මතුවේ. එතැන් සිට පාර්ශ්ව තුනක් විසින් දෙවසරකට වරක් අත්සන් කරන සාමූහික ගිවිසුම මගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය තීරණය වේ. වතු හාම්පුතුන්ගේ සංගමය හා වෘත්තීය සමිති තුනක් (ලංකා කම්කරු කොංග්‍රසය, ලංකා ජාතික සේවක සංගමය, ඒකාබද්ධ වෘත්තීය සමිතිය) එක්ව එම ගිවිසුම අත්සන් කරයි. එම ගිවිසුමට අනුව වර්ධනය විය යුත්තේ වතු කම්කරු වැටුප පමණක් නොවන අතර කම්කරු සුභසාධනය, පහසුකම් ආදිය ද වර්ධනය විය යුතුය. එහෙත් ඒවා ඉටුවන බවක් නම් පෙනෙන්නට නැත. 1992 දක්වා රජය මූලිකව සිදුකළ සුභසාධනය කටයුතු වතු සමාගම් වෙත පැවරෙන බැවින් වතු සමාගම් විසින් ඒ වෙනුවෙන් අරමුදලක් ආරම්භ කරනු ලබන අතර එමගින් කම්කරු සුභසාධන කටයුතු සිදුවේ. 1996 දී වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය ඇති කිරීම සමග වතු සමාගම් විසින් කළ සුභසාධන ක්‍රියාවලිය අඩපණවේ. එහෙත් වතුකම්කරු ජනයා වෙනුවෙන් එම අමාත්‍යාංශය යටතේ ආයතන නොතිබුණි. ඒ අනුව වසර ගණනාවක් ගතවුව ද වතුකරයේ කම්කරු ජනයා අදටත් යටත්විජිත යුගයක වහලුන් බවට පත්ව සිටිති.
“කොහොම වැඩ කළත් කැපෙන ගණන් කැපිලා අතට ලැබෙන්නේ රු. 10,000ට අඩුවෙන්. ඒ මුදල ජීවත්වෙන්න මදි. පවුලේ පස්දෙනෙක් ඉන්නවා. හැමදාම ණයවෙලා තමයි ජීවත් වෙන්නේ. ඉස්සර අපි ළඟ රත්‍රං බඩු තිබුණා. දැන් ඒවා ඔක්කෝම උකස් තියලා. මේ අවුරුද්දේත් ලොකු ගණනකින් පඩි වැඩිවෙයි කියලා අපිට හිතන්න බැහැ. කවදාවත් අපි හිතන ගණන් ලැබිලා නැහැ. දැන් වතුවල වැඩ කරන්නත් අමාරුයි. ඉස්සර වත්ත සුද්ද කරන්න වෙනම අය ඉන්නවා. දැන් එහෙම නැහැ. දළු කඩන කෙනාම ඒවාත් කරගන්න ඕනෑ. ගොඩක් අය දැන් ගොඩනැගිලි හදන වැඩවලට අත්උදව්වට කොළඹට එහෙම යනවා. මීට වඩා මුදලක් එතකොට ලැබෙනවා.” ඒ හඬ හැටන් ලොක්හිල් වතු යායේ පදිංචි ටී.සින්නසාමි (52) ගේය.
“අපි දැන් ඉන්නේ දරාගන්න අමාරු මට්ටමකයි. අපේ පරම්පරාවේ අය අවුරුදු 200කට කලියෙන් තමයි ලංකාවට ඇවිත් තිනේනේ. අපි තාමත් මෙහෙම ඉන්න එක ගැන ලොකු කනගාටුවක් තියනවා. මේ ලයින් කාමරයක දහදෙනෙක් විතර ඉන්නවා. පවුල් දෙක තුනක් එකට ඉන්නවා. අපිට වෙන් වෙන්ව ගෙවල් තිබුණා නම් හොඳයි. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනෑ. අපේ දරුවෝ මේකෙම ඉන්නවාට අපි කැමති නෑ. අපේ කැමැත්ත ඒ අය ඉගෙනගෙන වෙන රැකියාවලට යනවාටයි. අපි පරම්පරා ගණනක් දුක් විඳිනවා. තවත් පරම්පරා ගණනකට මෙහෙම වෙන්න ඉඩදෙන්න අපිට ඕනෑ නෑ.” ඬේවිඞ් මාග්‍රට් (57) පැවසුවේ වේදනාව මුසු හඬිනි.

වැටුප් වර්ධක ප්‍රෝඩාව

මෙරට ජීවන වියදම් කෙසේ ඉහළ ගිය ද මෙරට අනෙකුත් සේවයන්හි යෙදෙන්නන්ගේ වැටුප් කෙලෙස වර්ධනය වුව ද පහසුකම් කෙසේ සැලසුන ද එම හිමිකම් මේ වතු කම්කරු ජනයාට තවමත් හිමි නොවන්නේ ඇයි ද යන්න ඉතා කඩිනමින් සොයා බලා විසඳුම් ලබාදිය යුතු ගැටලුවකි. දෙවසරකට වරක් වැඩිවිය යුතු වැටුප් වර්ධකය 2015 වසරේ වැඩිවිය යුතුව තිබියදී වතු සමාගම් පාඩු ලබන බව පවසමින් එය මාස 18ක් ප්‍රමාද කැරිණි. එසේ ප්‍රමාද කළ මාස 18 වෙනුවෙන් හිඟ වැටුප් ද නොලබා වතුකම්කරුවන්ට මුනිවත රැකීමට අවසානයේ සිදුවිය. ඒ සියල්ලටම වඩා වසර දෙකකට වරක් මෙලෙස කේවල් කර ලැබෙන වැටුපේ වටිනාකම හාස්‍යජනක විය. ජීවන වියදම් අහස උසට නැග්ග ද ලංකාවේ පොදු මහජනතාවට කුමන වරප්‍රසාද හිමිවුව ද වතුකම්කරුවන් වෙනත් ලෝකයක වාසය කරන කොට්ඨාසයක් සේ සලකා මෙන් 2016 වසරේ ද ඔවුන්ගේ මූලික වැටුප වර්ධනය වූයේ රු. 50කිනි. එතෙක් රු. 450ක් වූ මූලික වැටුප ඒ අනුව රු. 500 දක්වා වර්ධනය විය.
“ගිය සැරේ පඩි වැඩි කිරීම ප්‍රමාද වුණු වෙලාවේ උද්ඝෝෂණය කළ අටදෙනෙක්ට නඩු දැම්මා. කොළඹ ඉඳලා නිලධාරියෙක් වත්තට ඇවිත් යද්දී පාර හරස් කළ නිසා කියලා තමයි නඩු දාලා තිබුණේ. ඒ නිසා දැන් අපිට උද්ඝෝෂණ කරන්නත් බයයි. කොහොම ජීවත්වෙන්න ද කියලා හිතාගන්න බෑ. වතුවල වැඩත් එන්න එන්නම අමාරු වෙනවා. වෙනදා කීපදෙනෙක් කළ වැඩ දැන් එක්කෙනාම කරගන්න ඕනෑ.” ඒ පිච්චයි සුබ්‍රමනියන් (55)ය.
හැටන් ලොක්හිල් වත්තේම වාසය කළ විසිදෙහැවිරිදි සුබ්‍රමනියම් මනුප්‍රියා පාසලක ඉගැන්වීමේ කටයුතුවල යෙදුණාය. ඇයට පවසන්නට තිබුණේ මෙවන් කතාවකි. “මගේ තාත්තා වත්තේ වැඩ කරලා මාසෙට ගන්නේ රු. 7000ක වගේ මුදලක් විතරයි. ඒත් ගෙදර වියදම ඊට වඩා වැඩියි. ගොඩක් තරුණ අය වතු අත්හැරලා කොළඹ යනවා. වත්තේ ලයිම් කාමරවල ජීවත්වෙන අයගේ ජීවිත දියුණු කරන්න වැඩපිළිවෙළක් නෑ. අපි අපේ අනන්‍යතාවට කැමතියි. වත්ත දියුණු වෙනවා නම් වත්තේම ඉන්න කැමතියි.”
මෙරට වැවිලි ක්ෂේත්‍රයේ පෞද්ගලික සමාගම් 22ක් සහ රජයේ ආයතන 2ක් (ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ලංකා වැවිලි සංස්ථාව) තිබේ. ඒ සියල්ලට අයත් වතු සංඛ්‍යාව 500කට වැඩිය. “ඉස්සර වතුකම්කරුවෝ ලක්ෂ පහක් පමණ හිටියා. දැන් ඉන්නේ එක්ලක්ෂ තිස්දාහක් වැනි සංඛ්‍යාවක් විතරයි. වැටුප් අඩු නිසා ගොඩක් අය වෙනත් කුලී වැඩවලට යනවා. ඒ නමුත් ලක්ෂ 10ක් පමණ මෙයින් යැපෙනවා.” ඒ ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ ලේකම් ඇන්ටන් ලෝරන්ස් මහතාය. ඔහු පැවසූයේ මේ වන විට වතු සමාගම් විසින් සුභසාධන කටයුතු සිදුකිරීම පැහැරහැර තිබෙන බවයි. අතීතයේ දී ලයින් කාමර අලුත්වැඩියාව, ජල විදුලි පහසුකම් සැපයීම, වත්ත ශුද්ධ පවිත්‍ර කිරීම, අඩු මිලට ආහාර ද්‍රව්‍ය ලබාදීම ආදිය ද වතු සමාගම් විසින් සිදු කළත් අද වන විට ඒ කිසිවක් සිදු නොකරන බව ඒ. ලෝරන්ස් මහතා පැවසුවේය. ඒවා සාමූහික ගිවිසුමේ කොන්දේසි වුව ද එවැනි පහසුකම් කිසිවක් වතු කම්කරුවන් වෙනුවෙන් අද ඉටු නොවේ.

වෙනත් ක්‍රමයක ලකුණු

“මේ සාමූහික ගිවිසුම නොමැතිව වෙනත් ක්‍රමවේදයකට යොමුවීම පිළිබඳ සාකච්ඡාවක් මේ වන විට සිදුවෙනවා. ඒ අනුව කුඩා තේ වතු ක්‍රමය හෝ බාහිර නිෂ්පාදන ක්‍රමයට යොමුවීමේ අදහසක් දැනට සාකච්ඡා වෙනවා. “ඇන්ටන් ලෝරන්ස් මහතාය. කෙසේ වෙතත් දැනටමත් රාගල පිහිටි මතුරට වැවිලි සමාගමට අයත් සෙන්ට්ලෙයනාඞ්ස් වත්තේ ද එම සමාගමටම අයත් මහ ඌව වත්තේ ද දැනටමත් බාහිර නිෂ්පාදන ක්‍රමය ක්‍රියාත්මක වන බව වාර්තා විය. එම ක්‍රමයට අනුව වතු කම්කරුවන්ට නිශ්චිත තේ ගස් ප්‍රමාණයක් වෙන් කරන අතර ඒවා නඩත්තු කිරීමේ කටයුතු සියල්ල වතු කම්කරුවා විසින් කළ යුතුවේ. දළු ප්‍රමාණය අනුව ඊට මුදල් ගෙවීම සිදුකරනු ලැබේ. එවිට කම්කරුවාට අර්ථසාධක, පාරිතෝෂික හෝ කිසිවක් හිමි නොවන අතර නිෂ්පාදන ප්‍රමාණය අනුව මුදල් ලැබේ. ඒ අනුව ක්‍රමය මාරු වුව ද වතුකම්කරු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට අවශ්‍ය පියවර ගැනේද යන්න පිළිබඳ තිබෙන්නේ ගැටලුවකි. “වතු කම්කරුවන් තවම පොදු ප්‍රවාහයට එකතු කර නැහැ. යටත් විජිත සමයේ ලක්ෂණ තවම තියනවා. දේශපාලන වශයෙන් තවම ඒ අය සමාන ලෙස පිළිගැනීමක් නැහැ.” ඇන්ටන් ලෝරන්ස් මහතාය.
“දැනටමත් සමහර වතුවල බාහිර නිෂ්පාදන ක්‍රමය සිදුවෙනවා. ඒකට අනුමැතිය දුන්නේ කොහොමද කියන ගැටලුවක් තියනවා. කිසිම සාකච්ඡාවක් නැතිව මේ ක්‍රමය සමහර තැන්වල පටන්ගෙන තියෙනවා. මේවා නිසා කම්කරු අයිතිවාසිකම් තවත් කඩවෙනවා. අර්ථසාධක, පාරිතෝෂික කිසිවක් නෑ. ඒවාට නීතිරීති නෑ. මේවාට රජයේ මැදිහත්වීම අවශ්‍යයි. වැටුප් ප්‍රශ්නය මෙවර අවසන් වන්නේ මේ බාහිර නිෂ්පාදන ක්‍රමයෙන්.” ඒ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලක රාජා මහතාය.

නීතිමය බාධා

වතු ආශ්‍රිත ජනාවාසවල සංවර්ධනයට පළාත් සභාවට මැදිහත්වීමේ නීතිමය බාධාවක් ද පවතී. නීතිරීති සැකසී තිබෙන්නේ ද රටේ වෙනත් ජනාවාස ප්‍රදේශ සංවර්ධනය කිරීමට ප්‍රාදේශීය සභාවලට හැකියාව තිබුණ ද වතුකම්කරු ජනතාවගේ ජනාවාස වෙනුවෙන් පළාත් සභාවට ද මැදිහත් විය නොහැකි වන ලෙසය. 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 33 වන වගන්තියට අනුව ඒ සඳහා ප්‍රාදේශීය සභාවට මැදිහත් විය නොහැකිය. “මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ වහාම මගේ පළමු පාර්ලිමේන්තු යෝජනාව වුණේ මේ වගන්තිය සංශෝධනය කිරීමයි. 2015 දෙසැම්බර් සිට මේ දක්වාම ඒක තවම වෙනස් කරන්න මමත් ඇතුළත්වන මේ ආණ්ඩුවට බැරිවුණා. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල, තොරතුරු පනත වගේ දැවැන්ත ඒවා ගෙනාවත් තවම මේ වචන කීපය වෙනස් කරන්න බැරි වුණා. මේ මිනිස්සු රටේ අනෙක් ප්‍රදේශවල වගේම ප්‍රාදේශීය සභාවට ඡන්දය දෙනවා. මේ අය ඡන්ද මැෂින් විධියට පාවිච්චි කරනවා. ඒත් ඒ ජනතාවට සේවයක් කරන්න බෑ. එකම වත්තෙන් කැබිනට් ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා ඇමතිවරු පත්වෙලා තියනවා. ඒත් ගමට වැඩක් කරන්න විධියක් නැහැ. එහෙම කරන්න නම් මේ පනත සංශෝධනය වෙන්න ඕනෑ. ඒක ඉදිරි මාස දෙකක පමණ කාලයක් තුළ වෙයි කියා බලාපොරොත්තු විය හැකියි.” එම්. තිලක රාජා මහතාය. පවතින තත්ත්වය මත වතු ආශ්‍රිතව පවතින ජනාවාස සංවර්ධනයට රජයේ හෝ වතු සමාගම්වල හෝ මැදිහත්වීමක් සිදුනොවීම නිසා එම ප්‍රජාවට කිසිදු පාර්ශ්වයක සහයෝගයක් නොලැබෙන තත්ත්වයක් උද්ගතව තිබේ. එබැවින් ප්‍රාදේශීය සභා පනත සංශෝධනය වූ පසු වතුකම්කරු ප්‍රජාවගේ ජීවන තත්ත්වය යම් අයුරකින් වෙනස්වීමට දොරටු විවරවේ යැයි සිතිය හැකිය.
“කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය යටතේ රජයේ මුදල් භාවිත කර වතු කම්කරු ජනයා වෙනුවෙන් වැඩ කළ හැකි වගකීමක් සහිත ආයතනයක් එහෙම නැත්නම් කඳුරට නව ගම්මාන අධිකාරියක් සඳහා කළ යෝජනාවට මේ වන විට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. එහි තාක්ෂණික ගැටලු නිරාකරණය වූ පසු පාර්ලිමේන්තුවේ සම්මත වීම සිදුවෙයි.” පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලක රාජා මහතා සඳහන් කළේය.
දීර්ඝ කාලයක් පුරා වතු කම්කරුවන් යටත්ව සිටියේ රජයේ පාලනයට නොව වතු කළමනාකාරුවන්ගේ පාලනය යටතේය. වතු කම්කරුවන්ගේ දරු උපතක් පවා දැනුම් දුන්නේ වතු කළමනාකරුය. තවමත් උප්පැන්න සහතික හෝ හැඳුනුම්පත් නොමැති වතු කම්කරු ප්‍රජාවට අයත් පුද්ගලයෝ මෙරට සිටිති. යටත්විජිත යුගයේ සිට අද දක්වාම ඔවුහු මෙරට පොදු ප්‍රවාහයෙන් බොහෝ දුරට අත්හැරී සිටිති.