පර්පචුවල් සල්ලි ගත් 166 හෙළි නොකිරීමෙන් ජනපති ලේකම් හිරවෙයි

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

ආන්දෝලනාත්මක පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමෙන් හෝ ඊට අනුබද්ධ සමාගම්වලින් මුදල් ලබාගත් බව කියන දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්, ආගමික නායකයන්, මාධ්‍යවේදීන් 166 දෙනාගේ හෝ 118 දෙනාගේ නම් ඇතුළත් බව කියන, මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිසමේ C 350 ලේඛනය හා ඊට අදාළ තොරතුරු ඇතුළත් අනෙකුත් ලේඛන පාර්ලිමේන්තුවට හා රටට හෙළි නොකිරීම නිසා ජනාධිපති ලේකම් කාර්යාලය බරපතළ වරදක් කරමින් සිටින බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටී.
මේ සම්බන්ධයෙන් විමසීමේදී කතානායක කරු ජයසූරිය රාවයට කියා සිටියේ අදාළ ලේඛන, තමන් වෙත එවන ලෙස ජනාධිපති ලේකම්වරයාට දැනුම් දුන් බවත්, ඒ අනුව ඒවා ලැබුණු වහාම රටට හෙළිකිරීමට තමන් සූදානම් බවත්ය.
අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු රාවයට ප්‍රකාශ කළත් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නදීරා රූපසිංහ පැවසුවේ ජනාධිපති ලේකම්වරයාගේ නියෝගයක් නොමැතිව තමන්ට එම ඇමුණුම් ලබාදිය නොහැකි බවය. කොමිසමේ අවසාන වාර්තාව දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි වුවත් ඇමුණුම් 2 නමින් ලකුණු කළ C 350 කොටස ජනාධිපති ලේකම්වරයාගේ අවසරයකින් තොරව වසර 30කින් මිස ඊට පෙර ලබාදිය නොහැකි ආකාරයට අදාළ පනත අනුව එය වසා දමා ඇති බවද ඇය කියා සිටියාය.
මෙම C 350 ලියවිල්ලේ මුල් පිටපත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැගෙන ගිය බවත් එහි පිටපත් පමණක් තම දෙපාර්තමේන්තුව භාරයේ ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
කෙසේ වෙතත් රාවයට දැනගන්නට ලැබෙන පරිදි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හා නීතිපතිවරයා අවසර දෙන්නේ නම් මෙම ලියවිලි අයදුම් කරන්නන්ට ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයාට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් ලබාදිය හැකිය.
මේ අතර දයාසිරි ජයසේකර හා සරත් ෆොන්සේකා විසින් තමන්ට පර්පචුවල් ටේ‍රෂරීස් හෝ ඊට අනුබද්ධ සමාගම්වලින් චෙක්පත් හා මුදල් ලැබුණු බව පිළිගැනීමෙන් පසුව එසේ නොගත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අදාළ නාමලේඛනය ඇතුළත් කොමිසමේ ඇමුණුම් වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කතානායකවරයා වෙත බලපෑම් කරමින් සිටිති.
මේ තත්ත්වය මත අදාළ නම් ඇතුළත් ලේඛන ප්‍රසිද්ධ කිරීමට නිසි ක්‍රියාමාර්ග ගන්නවා හැර වෙනත් විකල්පයක් ජනාධිපති ලේකම් කාර්යාලයට නොමැති බව වාර්තා වේ. ■