රාවය

මං ලෝකයෙක් – සමන් අතාවුදහෙට්ටි

මං ලෝකයෙක් – සමන් අතාවුදහෙට්ටි

ප්‍රියන්ත ලියනගේ
ඡායා – ටී. නඩරාසා

ප්‍රවීණතම ගීත රචකයෙක්, නළුවෙක්, සාහිත්‍යකරුවෙක් වන සමන් වර්තමානයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා වෙයි. ඒ සියල්ල අතර ඔහු නිරහංකාර නිහඬ මිනිසෙකි. අපේ ඉල්ලීම පරිදි ඔහුගේ කාර්යබහුල කාලයෙන් බිඳක් රාවය පාඨකයන් වෙනුවෙන් වෙන් කරන්නට ද ඔහුට ඉස්පාසුවක් තිබිණ, මේ එම දොඩමලුවේ සංක්ෂිප්තයයි.
ඔබ ක්ෂේත්‍රයේ හුඟදෙනෙක් දන්නේ ප්‍රවීණ සන්නිවේදකයෙක් ලෙස, ඒත් ඔබේ ජීවන තතු බොහෝ දෙනෙක් දන්නේ නෑ.

මම උපන්නේ මීරිගම. මං උපදිනකොට අපේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. ඒ කාලේ ඒගොල්ලෝ ඉගැන්නුවෙ ඇහැටුවැවේ ඉස්කෝලේ. ඒක ගල්ගමුව ආසනයේ තිබුණු සුන්දර ගම්මානයක්. ඒ නිසා මම ඉපදිලා පළමුවැනි අවුරුදු තුන විතර හිටියේ ඇහැටුවැව. ඊට පස්සේ තාත්තට ආපහු මාරුවක් හම්බු වෙනවා සියඹලන්ගමුව කියන ගමේ ඉස්කෝලෙට. මට අවුරුදු හතක් අටක් විතර වෙනකම් මං ගියේ සියඹලන්ගමුව ඉස්කෝලෙට. අපේ අම්මයි තාත්තයි දෙන්නටම ගුරු පුහුණුවෙන් පස්සේ මුල්ම පත්වීම ලැබෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයට. ඒත් ඒ අවස්ථාව ඒ දෙන්නා පස්සේ අවස්ථාවකට තියාගෙන තමයි ජීවිතේ විඳින්න ඕනෙ කියල හිතාගෙන රට වටේ යන්න තීරණය කරලා තිබුණේ. එහෙම වන්නියේ සුන්දරත්වය විඳිමින් හිටිය ඒ අය මං දෙක වසරට එද්දි, අර මුල් පත්වීම ලැබුණු රාජකීයයට මාරුව හදා ගෙන කොළඹට එනවා.
අපේ තාත්තා පසුකාලයේ ගුරුවෘත්තියේ ඉඳලම විෂය මාලා සංවර්ධන කමිටුවට සම්බන්ධ වෙනවා පාසල් පෙළ පොත් සැකසීමට. ඒ කාලේ සිංහල හත පොතේ ඉතාම ප්‍රසිද්ධ පාඩමක් තිබුණ මීටර් සියය කියලා. ඒ මීටර් සියය තාත්ත ලියපු පාඩමක්.

ඔබත් රාජකීයයෙක්. රාජකීයේ මතකය කොහොමද?

මමයි අපේ මල්ලි අශෝක අතාවුදහෙට්ටියි රාජකීයෙට එනකොට ඒකෙ කනිෂ්ඨ විද්‍යාලෙ විදුහල්පති ලෙස හිටියෙ එච්.ඩී. සුගතපාල මහත්මයා. එතුමා ළමා කතා පුරෝගාමියෙක්. එයා තමයි නවමග පොත් පෙළ එහෙම ලිව්වෙ. සිබිල් වෙත්තසිංහගේ දක්ෂතා එහෙම මතුකරල ගත්තේ මේ සුගතපාල සර් තමයි. එතකොට සුගතපාල සර් තමයි නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති. ඒක නිසා නාට්‍යය, සාහිත්‍ය කලාව එක්ක එයාට ලොකු ගනුදෙනුවක් තිබුණා. ඒ ආභාෂය තමයි අපිටත් කාන්දු වුණේ. අනිත් අතට මගේ තාත්තත් කලාවට, සංගීතයට සම්බන්ධ කෙනෙක්. තාත්ත ඉස්කෝලෙ නාට්‍ය කළා. ඒවට අපි සම්බන්ධ වුණා. 67-68 පාසල් නාට්‍ය තරගෙ අපි කරපු නාට්‍ය හොඳම නාට්‍ය බවට පත් වුණා.

ඔබට ගුවන්විදුලියට එන්න පාර කැපෙන්නේ කොහොමද?

ඒ කාලෙ ගුවන්විදුලියේ ළමා රංගපීඨය භාරව හිටපු ප්‍රභා රණසිංහ මහත්මයා 67 අපි කරපු නාට්‍ය බලලා ඒ නාට්‍යයේ කැපී පෙනුණු ළමයි තුන්හතර දෙනකුට ආරාධනා කළා, ගුවන්විදුලියේ ළමා වැඩසටහන්වලට එන්න කියලා. එහෙම තමයි මම ගුවන්විදුලියට සම්බන්ධ වෙන්නේ. ළමා පිටියට එනකොට මං හතරෙ පන්තියේ.

ඔබේ ආරම්භයේදී ගුවන්විදුලියේ හිටපු ජ්‍යෙෂ්ඨයෝ, ප්‍රවීණයෝ කවුද?

අපි තරුණ වියට එනකොට අපේ වටේ හිටිය ජ්‍යෙෂ්ඨයො රොත්තක්. ඒගොල්ලෝ එක්ක තමයි අපි වැඩුණේ. තිලක සුදර්මන් ද සිල්වා, අමරබන්දු රූපසිංහ, ප්‍රේමකීර්ති අල්විස්, බණ්ඩාර විජේතුංග, අසෝක තිලකරත්න, මහින්ද අල්ගම වගේ. අනෙක් එක ඒ කාලේ අද වගේ ගුවන්විදුලි ශිල්පය ඉගෙන ගන්න වෙන මාර්ග තිබුණේ නෑ. ගුවන්විදුලි ශිල්පය ගැන ඉගෙන ගන්න තිබුණේ එකම පොතයි. ඒකත් පරිවර්තනයක්. ස්ටුවට් වේවල් කියන බි්‍රතාන්‍ය ජාතිකයෙක් ඒක ලියල තිබුණේ. එච්. එම් ගුණසේකර මහත්මය තමයි මේ පොත පරිවර්තනය කරල තිබුණේ. ඊට පස්සේ ඒ මගේ ඉහළට ගිය තිලක් ජයරත්න, මඩවල එස්. රත්නායක, එම්.කේ. fff, පියදාස රත්නසිංහ, ගුණදාස කපුගේ, යූ ආරියවිමල්, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, විමල් අබේසුන්දර, ලූෂන් බුලත්සිංහල මේ අයගේ ඇසුරට වැටෙනවා. මේ ඇසුර තමයි අපේ කලා ජීවිතය පෝෂණය කළේ.

ගුවන්විදුලියේ නිවේදන වෘත්තිය ආරම්භ කරන්නේ කොයි කාලෙද?

1976දී. ඊට පස්සේ 1978- 79 විතර කාලේ ගුවන්විදුලිය පටන් ගන්නව තුන්වැනි සේවය කියලා ක්‍රීඩා සේවයක්. ඒකට ක්‍රීඩා වැඩසටහන් නිෂ්පාදකයෙක් විදිහට මං සම්බන්ධ වෙනවා. ඊට පස්සේ නිවේදන වෘත්තියයි නිෂ්පාදක වෘත්තියයි දෙකම කරනවා.
ඒ කාලේ මමයි කරුණාතිලක හඳුන්පතිරණයි එකතු වෙලා ලන්දේසි දූපත කියල නාට්‍යයක් රචනා කළා. ඒක තමයි ගුවන්විදුලි නාට්‍යය ඉතිහාසයේ විකාශය වුණු දීර්ඝතම ළමා නාට්‍යය. මේක මෙච්චර දීර්ඝව ලියන්න අපේ අදහසක් තිබුණේ නෑ.

එහෙනම් කොහොමද ඒක දීර්ඝ වුණේ?

ගුවන්විදුලියේ ළමා රංග පීඨයට ඉඳල හිටලා රහස් පරීක්ෂක කතා ලිවීමේ පුරුද්දක් ඒ කාලේ තිබුණා. ඒක එක්කෙනෙක් කරපු එකක් නෙමෙයි. මම, හඳුවල, කපිල කුමාර කාලිංග සහ තවත් අය ඒකට කතා ලිව්වා. හැබැයි අපි සියලු දෙනාම පොදු කරගත් එක කාරණයක් තිබුණා. ඒක තමයි හැම නාට්‍යයකම ළමා චරිත හතරක් විතර තිබුණා. සේන, අජිත් වගේ නම් මට මතකයි. අනිත් නම් දැන් මතකේ නෑ. මේවා පොදු කරගෙන තමයි ලිව්වෙ. එහෙම ලියාගෙන යද්දි මට හිතුණා ටිකක් වෙනස් විදිහෙ නාට්‍යයක් ලියන්න ඕනෙ කියලා. එහෙම හිතලා ඒක නිෂ්පානය කරපු මහින්ද අල්ගම මහත්තයත් එක්ක කිව්වා මගේ හිතේ තියෙනවා ටිකක් වෙනස් විදිහේ නාට්‍යයක් කරන්න. හැබැයි ඒක කොටසකින් නවත්තන්න අමාරුයි කොටස් දෙකකට මම ලියන්නම් කියලා. ඉන් පළමුවැනි කොටස මම මුලින් ලිව්වා. මේකෙ ‘ජිල්ජෝන් ’ කියල චරිතයක් තිබුණා. මේ ජිල්ජෝන් කියන නම කලින් කපිල කුමාර කාලිංග යොදාගෙන තිබුණු නමක්. හැබැයි ඒක වෙනම චරිතයක්. ඒත් මෙතෙන්දි මම ජිල්ජෝන් කියල ඉදිරිපත් කරන්නේ වෙනස් විදිහේ චරිතයක්. පළමුවැනි කොටස විකාශය වුණා. අපි දෙවැනි කොටසකුත් විකාශය කරන්න ලැහැස්ති වෙලා හිටියේ. ඒ කාලේ ප්‍රතිචාර මනින්න අද වගේ ක්‍රමයක් තිබුණේ නෑ. තැපැල්මාර්ගික ප්‍රතිචාරවලින් තමයි ඒක දැනගන්න වෙන්නේ. සිකුරාද නාට්‍යය විකාශය වුණා. සඳුදා, අඟහරුවාද වෙනකොට තැපැල්පත් ලියුම් ගෝනි ගණනක් ඇවිල්ලා තිබුණා නාට්‍යයට හොඳ කියලා. මේ ප්‍රතිචාර දැකපු ගුවන් විදුලි බලධාරීන් කිව්වා මේක කොටස් හතරකට ලියන්න කියලා. තුන්වැනි කොටසත් මම ලිව්වා ඒක ලිව්වම ලැබුණ ප්‍රතිචාර ඉතාම ඉහළයි. විශේෂයෙන් සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන වැනි ප්‍රවීණ නාට්‍යකාරයෝ කිව්වා මේ වගේ ප්‍රතිචාර ලැබුණු වෙන නාට්‍යයක් නෑ ඒක නිසා අඩුගානෙ මේක මාස තුනක්වත් ගෙනියන්න කියලා. මාස තුනක් එක දිගට නාට්‍යය ලියන්න කිව්වම මම මහින්ද අල්ගම මහත්තයට යෝජනා කළා මම හඳුවලත් එක්ක මේක ලියන්නම් කියලා. හඳුවල ලන්දේසි දූපතට සම්බන්ධ වුණේ ඒ විදිහට.

මේ කාලෙ නාට්‍ය පිටපතකට කීයක් ගෙව්වද?

රුපියල් 75යි. ඒකත් අපිට ලොකු මුදලක්. ඉතින් 37.50 ගානෙ දෙකට බෙදාගෙන හඳුවලයි මායි නාට්‍යය මාස තුනක් ලිව්වා. මුලින් අපි දෙන්න එකට එකතුවෙලා ලිව්ව නාට්‍යය පස්සේ අපිට පුළුවන් වෙනවා ඔහු එක කොටසකුත් මං එක කොටසකුත් වශයෙන් ලියන්න. මේක අවුරුදු හයක් ලිව්වා. ඊට පස්සේ 79දි ස්වාධීන රූපවාහිනියටයි, 83දී ජාතික රූපවාහිනියටයි සම්බන්ධ වුණා. ‘මනෝහාරි’ වැඩසටහනේ පූරක වුණේ මම. ඒකෙන් සංගීත වැඩසටහන් කලාවේ අලුත් වෙනසක් කළ හැකිවුණා. පසුව සංස්ථා සේවයෙන් රාජ්‍ය සේවයට ගියා.

ගීත රචනය ආරම්භ කරන්නේ කොයි කාලෙද?

ඉස්සෙල්ලම ළමා ගීත කීපයක් ලිව්වා. ප්‍රසිද්ධ ගායකයකුට ලිව්ව පළමු ගීතය ‘කවුරුන් ද ඔබ මගේ.’ ඒ කාලේ කපුගේ කළා ‘නව පදමාලා’ කියලා වැඩසටහනක්. මේක මම ලිව්වේ ඒකට. මම සින්දුව ලියල දුන්න කපුගේ තමයි නිෂ්පාදක විදිහට ගායකය, සංගීතඥයා තෝරගන්නේ. ඔහු කිව්වා අපි මේක සුනිල් එදිරිසිංහට දෙමු කියලා. ඔහු සංගීතයට තෝරගත්තේ රෝහණ වීරසිංහව. ඒක තමයි රෝහණ සහ සුනිල් එකතු වුණු පළමුවැනි ගීතය.

ගුවන්විදුලියේ ළමා පිටියෙන් ආරම්භ කරලා සන්නිවේදකයෙක් හරහා ඇවිත් අවසානයේ ඔබ නතර වෙන්නේ සන්නිවේදන ආයතනයක ප්‍රධාන පරිපාලන පුටුවට ඇවිත් ඒ ගැන කතා කරමුද?

ඒක ගැන කියලා විශේෂයෙන් කියන්න දෙයක් නෑ. මම කරන වැඬේ හරියට කළා. කැපවීමෙන් කළා. අවංකව කළා. ඉතින් ඒක ගැන මට සතුටක් තියෙනවා. පසුතැවීමක් නෑ.
එහෙම කරපු ඔබ දැන් ස්වාධීන රූපවාහිනියේ සභාපති නෙමෙයි. පසුගිය දවසක එහි පරිපාලන පුටුවට වෙන පත්කිරීමක් කරනවා. මේකට බලපාපු විශේෂ හේතුවක් තියෙනවද?
නෑ. මම අයිටීඑන් එකට ආවෙ තාවකාලිකව. එතනට වෙන කෙනෙක් පත් කරනකම් තාවකාලිකව ඒක බාරගන්න කියල අගමැතිතුමයි, එවකට ජනමාධ්‍ය ඇමති විදිහට හිටිය ගයන්ත කරුණාතිලක මැතිතුමයි, මලික් සමරවික්‍රම මැතිතුමයි තමයි මගෙන් මේ ඉල්ලීම කළේ. මාස දෙක තුනක් ඇතුළත ඒ පුරප්පාඩුව පුරෝගන්න කියන ඉල්ලීම පිටයි මං ආවෙ. හැබැයි ඒගොල්ලො ඊට පස්සෙ ඉල්ලුවා තව ටික කාලයක් ඉන්න කියලා. ඉතින් මං හිටියා. මොකද ආයතනික වශයෙන් අයිටීඑන් එකේ විශාල ප්‍රශ්නයක් තිබුණා. අයිටීඑන් එක තමයි අනුමත සේවක කාඩර් එකක් නොතිබුණු එකම ආයතනය. මේ කාඩර් එක හදාගන්න බැරුව අවුරුදු 12ක් 13ක් තිබුණෙ. ඒ වගකීම අරන් මං ඒ කාඩර් එක හැදුවා. හදල ඒක අනුමත කර ගත්තා. ඊට කලින් අයිටීඑන් එක හදපු හැම කාඩර් එකක්ම ඒවයෙ තිබුණු අවිධිමත්භාවය නිසා ප්‍රතික්ෂේප වෙලා තිබුණෙ. ආයතනයක් ඉස්සරහට යන්න නම් තිරයෙන් පේන දේවල් වගේම ඇතුළෙ තියෙන දේවලුත් විධිමත් වෙන්න ඕනෙ. අයිටීඑන් එක කඩා වැටෙන්න එක හේතුවක් තමයි මේ අවිධිමත් සේවක සංඛ්‍යාව, අවිධිමත් සේවක සැලසුම. ඉතින් අපි ඒක විධිමත් කරලා ඒක වැටුප් හා සේවක කොමිසමෙනුයි කළමනාකරණ දෙපාර්තමේන්තුවෙනුයි අනුමත කරගත්තා. ඊට පස්සෙ මං අගමැතිතුමාට කිව්වා මං දැන් මේකෙ තිබුණ ලොකුම ප්‍රශ්නෙ විසඳල තියෙන්නේ. ඒක නිසා දැන් මට වෙච්චි පොරොන්දුව ඉෂ්ටකළොත් හොඳයි කියලා.

එහෙම නැතුව අර කරපු වෙනස්කම් පාරාවළල්ලක් වුණේ නෑනෙ?

(හිනාවෙමින්) නෑ. මං හිතන්නේ නෑ.

‘කූඹියෝ, සහෝදරයා,’ වගේ ගුණාත්මක ටෙලිනට්‍ය ස්වාධීන රූපවාහිනියට ආවෙ ඔබේ කාලේ. ඒ ගැන මොනව හරි කියන්න තියෙනවද?

අයිටීඑන් එකේ ටෙලිනාට්‍ය තිබුණෙ විශාල වංචා, දූෂණ, අපචාර ගොඩක් මැද්දේ. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේම අය චෝදනා කළා මේකෙ ඇමැතිගෙ ඉඳන් පහළටම මුදල් දෙන්න ඕනෙ, නිළියො දෙන්න ඕනෙ කියලා. ඒවායේ සත්‍ය අසත්‍ය මොනව වුණත් එහෙම චෝදනා තිබුණා. ඊට අමතරව අයිටීඑන් එකේ ටෙලිනාට්‍යවල තත්ත්වය ඉතාම පහළ වැටිල තිබුණේ. ඒක නිසා ගිය ගමන් ම මම මේ තත්ත්වය වෙනස් කරන්න ඕනෙයි කියන මතේ තදින් හිටියා. ඒ නිසා මම මුලින්ම අයිටීඑන් එකට ටෙලිනාට්‍ය ගන්න එක සම්පූර්ණයෙන් නැවැත්තුවා. ඊට පස්සේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය නගා සිටුවන්න අවංකව කැපවුණු විවිධ පුද්ගලයින්, විවිධ ආයතන එක්ක මම සාකච්ඡා කළා. ඊට පස්සේ ඒ අයගෙ අදහස් උදහසුත් විමසලා අපි අලුත් ක්‍රමවේදයක් හැදුවා. ඒ අනුව කිසිම බාහිර පුද්ගලයකුට ටෙලිනාට්‍ය තෝරාගැනීමේ දී ඇඟිලි ගහන්න බෑ. දූෂණයට මුල් වෙච්චි තව දෙයක් තමයි ටෙලිනාට්‍යයක් මිලදී ගැනීමේදී මුදල තීරණය කරන්නේ සාකච්ඡා මාර්ගයෙන්. එහෙම කරද්දි දූෂණයක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. ඒ නිසා ඒ ක්‍රමයත් නවත්තලා ටෙලිනට්‍ය නරඹන ස්වාධීන මණ්ඩලයක් හැදුවා. ඒ මණ්ඩලය ටෙලිනාට්‍ය නරඹලා ඒ අය ඒකට ශ්‍රේණියක් දෙනවා. එතකොට අපි කලින්ම කියල තියෙනව මේ ශ්‍රේණියේ ටෙලි නාට්‍යයකට අපි ගෙවන මුදල මේච්චරයි. මේකට මෙච්චරයි කියලා. ඊට පස්සේ අපි ගෙවන්නේ එයාට ලැබෙන ශ්‍රේණියට අනුව ඒ නිසා එයා ඒක කලින්ම දන්නවා. අනිත් නාලිකා ගෙවන මුදල බලපුවාම ඒක සාධාරණ මුදලක්. ඒ විතරක් නෙමෙයි අපි ඊට පස්සෙ ඒ ක්‍රමවේදයට ඇතුල් කළා ටෙලි නාට්‍යයක් වඩාත් ජනප්‍රිය වීමෙදි, ටෙලිනාට්‍යයක් නිසා ආයතනයට ලැබෙන ආදායම වැඩිවෙනවා නම් අනුමත ගිවිසුම්ගත මුදලට අමතරව ලැබෙන ආදායමට සාපේක්ෂව තවත් මුදලක් දෙන්න. උදාහරණයක් විදිහට ගත්තොත් කූඹියෝ නාට්‍යයට ගිවිසුම්ගත මුදලට වඩා වැඩි ගාණක් අපි නාට්‍යයේ අවසන් කාලේ වෙනකොට ගෙව්වා. ඒ වගේ ක්‍රමවේදයක් මාධ්‍ය ආයතනයක් අනුගමනය කරපු පළමුවැනි වතාව. මේ සියල්ල හරහා අපිට පුළුවන් වුණා උසස් ගණයේ නාට්‍ය, අවරගණයේ නොවන නාට්‍ය විකාශය කරන්න පදනමක් හදා ගන්න.
මීට අමතරව ඇත් පවුර, මහාචාර්ය යෞවනය, Youth with Talent Over, the Shoulder වගේ අලුත් ආරක වැඩසටහන් ඇතුළත් වෙනත් පැතිමානයන්ටත් අපේ අවධානය යොමු වුණා.

ඔබ සංස්ථා සේවයෙන් රාජ්‍ය සේවයට ගියා කිව්වනේ. ඒ ගැනත් කතා කරමුද?

මට රාජ්‍ය සේවයට සෑහෙන කාලෙක ඉඳල ආරාධනා ලැබිල තිබුණේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මගෙන් අහනව රාජ්‍ය සේවයට ඇවිල්ලා එතුමගේ මාධ්‍ය ලේකම් විදිහට එතුමගේ මාධ්‍ය කටයුතු කරන්න පුළුවන්ද කියලා. එතුමා මේක කීප වතාවක්ම මගෙන් අහලා තිබුණා. මොකද ජාතික තරුණ සේවා සභාවෙ කාර්යයන්වලදි මං එතුමත් එක්ක ඉතාම කිට්ටුවෙන් වැඩ කරල තිබුණා. ඊට පස්සෙ මම ඒකට එකඟ වෙලා 92දි මම සහකාර අධ්‍යක්ෂවරයෙක් විදිහට රාජ්‍ය සේවයට එකතු වෙලා කර්මාන්ත අමාත්‍යාංශයට සම්බන්ධ වෙනවා.

නැතුව රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක තිබුණෙ රාජකීය සම්බන්ධයක් නෙමෙයි?

නෑ. නෑ. පාසලේදි කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ.
රනිල් වික්‍රමසිංහ මහත්තය ගැන අපි වැඩිපුර අහල තියෙන්නෙ දේශපාලකයෝ කියන කතා. වසර ගණනාවක සිට ඔබ ඔහුගේ සමීතමයෙක්. ඔබට මේ සමීපතමයව දැනෙන්නේ කොහොමද?
ඔබ කිව්වා මං ආවට පස්සේ ස්වාධීන රූපවාහිනිය ඇත්තටම ස්වාධීන වුණා කියලා. එහෙම ස්වාධීන කරන්න පුළුවන් වුණේ රනිල් වික්‍රමසිංහ මහත්මය නිසා. එතුමා ප්‍රජාතන්ත්‍රවාදියි. අනෙක් අදහස්වලට ගරු කරනවා. අන් මතයන්ට වැඩෙන්න ඉඩ දෙනවා. අද දවසේ දේවලින් කලබලයට හෝ කම්පාවට පත්වෙන්නේ නෑ. දුර හිතනවා. එතුමගේ අතේ ඔරලෝසුවක් නැති වුණාට වෙලාවට වැඩ කරනවා. එතුමා එක්ක වැඩ කරද්දි දේශපාලනඥයකු එක්ක වැඩ කරනවා කියන හැඟීම මට අද වෙනකම් ඇවිත් නෑ. ඒ වගේ දේවල් නිසා තමයි රාජ්‍ය සේවය සතුටක් වුණේ.

ඔබ සැරිසරන්න කැමති කෙනෙක්. ඒක පටන් ගන්නේ මොන කාලෙද?

පුංචි කාලෙ ඉඳලම මං ඇවිදින්න ආසයි. පුංචි කාලෙ ඉඳලම කොතනකට හරි ගියහම දකින දෙයට වඩා වෙන දෙයක් හොයාගන්න ආශාවක් මට තිබුණා. හැබැයි ඒව ලියන්න මගෙ අදහසක් තිබුණෙ නෑ. ඒත් වෙනස් දෙයක් අලුත් දෙයක් සටහන් කරගන්න පුංචි නෝට් පොතක් සාක්කුවේ දාගෙන යන එක මගේ පුරුද්දක්. ඊට අමතරව තැනකට ගියාම ඒ පිළිබඳව ලියවුණු පොත් තියෙනව නම් කීය වුණත් ඒව සල්ලිවලට ගන්නව. මගේ ජීවිතේදී මං වියදම් කරලා තියෙන්නෙ පොත්වලට විතරයි.
දැන් අවුරුදු දහයකට විතර කලින්. දවසක් හැන්දෑවක අඩියක් ගගහා මමයි, ලංකාදීප පත්තරේ සිරි රණසිංහ මහත්මයයි, පී.බී. ඉලංගසිංහ මහත්මයයි කතා කර කර ඉද්දි මං ජපානෙ තිබුණු දේවාලයක පෙරහැරකදි දැකපු දෙයක් ගැන කියපු විස්තර වගයක් අහගෙන ඉඳලා රණසිංහ මහත්මයයි, ඉලංගසිංහ මහත්මයයි ඇහුව ඇයි ඕව ලියන්නේ නැත්තේ කියලා. මං ඇහුව මොකට ලියන්නද කියලා ඒගොල්ලො කිව්ව ලංකාදීප පත්තරේට ඕව ලියන්න කියලා. එහෙම තමයි ලිවීම ආරම්භ වුණේ. පස්සෙ ඒව කියවපු බොහොම දෙනෙක් මගෙන් ඇහුවා ඇයි මේවා පොතක් කරන්නෙ නැත්තෙ කියලා. ටික කලකින් පත්තරේට ලියන එක නතර වුණා. ඒත් මං එකතු කරපු තොරතුරු විටින් විට ලියලා පොත් වශයෙන් පළ කළා. ‘හනමිචිය දිගේ’ කියන්නෙ මං ජපානයෙ ගිහින් ජපානෙ ගැන ලියපු පොත. ඊට පස්සෙ චීනෙ ගැන පොත් දෙකක් කළා. ‘සේද මාවත දිගේ’ සහ ‘සක්වල පියස දිගේ’ කියල. ‘සරවක් නදිය දිගේ කියන්නෙ’ මං මැලේසියාවෙ සංචාරය ගැන ලියපු පොත.

ආධුනික සංචාරක සටහන් ලියන්නන්ට ඔබට කියන්න දෙයක් තියෙනවද?

මෙහෙම දෙයක් තියෙනවා. අතීත දේශාටන සටහන් ලියන ලේඛකයෙක් අපි හිතමු, ඉබන් බතූතා වෙන්න පුළුවන්, මාර්කෝ පෝලෝ වෙන්න පුළුවන්, පාහියන් භික්ෂුව වෙන්න පුළුවන්, මේ කවුරු වුණත් ඒ අත්දැකීම විඳින්න පුළුවන් ඔවුන්ට විතරයි. අනෙක් අය ඒ සටහන් කියවල තමයි ඒ දේවල් දැන කියා ගන්නේ. ඒත් අද එහෙම නෙමෙයි අපි ලියන ඕනෙ දෙයක් ඉන්ටර්නෙට් තියෙන කොම්පියුටරයක් ඉදිරියෙ වාඩි වුණාම එතන තියෙන සේරම විස්තර දැක බලා ගන්න පුළුවන්. ඒත් අපිට පුළුවන්නම් අර සියල්ලට හසු නොවන දෙයක් ඒ විස්තරත් ලියන ගමන් ම මතු කරල ගන්න ඒක තමයි වර්තමානයේ සංචාරක සටහන් ලිවීමෙදි වැදගත් වෙන්නේ. ඒක තමයි වර්තමාන සංචාරක ලේඛකයන්ට තියෙන ලොකුම අභියෝගෙ. ඉස්සර සංචාරක සටහන් කියන්නේ වාර්තාවක්. ඒත් දැන් සංචාරක සටහන් කියන්නේ වාර්තා නෙමෙයි. සමහරවිට ඒක කෙටිකතාවක් එහෙමත් නැත්නම් ඒක නවකතාවක්. ඒ වෙනස අපි ඇති කරගන්න ඕනේ. නැත්නම් වර්තමානයත් එක්ක මුහුණ දෙන්න අමාරුයි. අපි වර්තමානය ගැන ලියනකොට අනාගතය ගැන හිතාගෙන ලියන්න ඕනේ.

ඔබේ සංචාරක සටහන්වල අපි දකින විශේෂ දෙයක් තමයි ඔබ ඒවයෙදි සංස්කෘතික සහජීවනය ඉතා හොඳින් මතුකරනවා. මේ පිළිබඳව කතා කළොත්?

ඇත්තටම කිව්වොත් අපි අනාගතයට යනකොට අපි ළඟ තියෙන පටු කොටුවලින් අපිට මිදෙන්න වෙනවා. ලෝකය විවෘත වෙලා තියෙන්නේ. අපි ලෝකවාසීන් බවට පත්වෙමින් යන්නේ. එතකොට අපිට මේ රටකට කලාපෙකට සීමාවෙන්න බෑ. අපි දන්නවා අපේ රටේ අයට දැන් වීසා නැතුව යන්න පුළුවන් රටවල් කීපයක් තියෙනවා. එන්න එන්න මේ තත්ත්වය පුළුල් වෙනවා මිසක් පටුවෙන්නේ නෑ. ඒ පුළුල් වෙන සමාජයට අවශ්‍ය සංස්කෘතික සහජීවනය මිසක් සංස්කෘතික විරසකය නෙවෙයි.

මගේ වර්ගීකරණයට අනුව අපේ රටේ ඉන්නව හද්ද ගැමියො, ගැමි නාගරිකයෝ, නාගරික ගැමියෝ සහ නාගරිකයෝ කියල හතර කොට්ඨාසයක්. මේ වර්ගීකරණය මම කරන්නේ පදිංචිය අනුව නෙමෙයි චින්තනය අනුව. ඔබ මේ වර්ගීකරණයෙන් කෝකටද අයිති?

මං ලෝකයෙක්. (සිනහවෙමින්) මං කිව්වෙ මං ලෝක ප්‍රජාවට අයිති මනුස්සයෙක් කියන එක.