මගේ නොවන මගේ කවියක් – එන්.ඩබ්ලිව්.පි. ලාල් වැලිගම

දිනී ජයසේකර

ඔබ විසින් කවියක් රචනා කළ පසු ඒ කවියේ අයිතිය ඔබ සතුව ඇතැයි කියා ඔබ සිතනවාද?

ඇත්තටම නැහැ. මගේම නිර්මාණයක් කියල හිතන්න අමාරුයි ඒක. මොකද මේ සමාජයේ සමස්ත ජනතාව අතරින් ගත්ත දෙයක් තමයි මම ප්‍රතිනිර්මාණය කරන්නේ. එතනදි මේ කවියෙ නියම අයිති කරුවා මම නෙවේ. මම ලියපු කවිය කියවන කෙනා. අනිත් කාරණාව කවියට අනන්‍යතාවක් අවශ්‍යය වන්නෙත් නැහැ. අපි ඇත්තටම කවියට නමක් දාගන්නවා. මේ කවිය මගේ කියල කියන්න. ඒත් ඒක හරි වැරදියි. අපි සමාජෙන් ගන්න දේවල් තමයි ප්‍රතිනිර්මාණය කරල ආයෙමත් සමාජයට මුදා හරින්නේ. එතනදි කවියේ වැඩි අයිතිය තියෙන්නෙ සමාජෙට.
අපි කවිය ලියල සමාජෙට දුන්නහම අපි ඒ කවියෙන් උද්දීපනය කරන්න හදන තේරුම පාඨකයා විසින් ප්‍රතික්ෂේප කරන්න පුලුවන්. මොකද පාඨකයාට ඒ කවියෙන් වෙනම රසයක් උද්දීපනය කිරීමේ හැකියාව තියෙනවා. උදාහරණයකට අපි හඳ ගැන දැකල ලිවුවොත් සමහර විට මම දකින විදියට නෙවේ තව කෙනෙක් හඳ ගැන දකින්නේ. එතනදි කවියේ රස පුද්ගලානුබද්දයි කීවොත් නිවැරදියි. අන්න ඒකත් එක හේතුවක් වෙනවා කවියට අනන්‍යතාවක් අවශ්‍යය නැහැයි කියන්න.

කොළඹ යුගයේ කවීන්ගේ ඇති සුවිශේෂී ලක්ෂණ මොනවාද? සහ ඒවා නව පරපුරේ කවීන්ට වැදගත්වන ආකාරය පැහැදිලි කළොත්?

අපි කොළඹ යුගයේ කවීන් ගත්තාම ඔවුන් ගැන බොහෝ සෙයින්ම කතාබහකට ලක් වෙනවා. අපේ කවීන්ව ගත්තාම ජීවන දර්ශනයක් ගැන කතා කරනවා. ඒත් අතන සුන්දරත්වය කියන දේ තියෙනවා. මානව දයාව, මානව ගුණධර්ම, ආදරය, කරුණාව යන සියල්ල ඉතාමත් සරළ බසින් ඔවුන් කතා කළා. ඒත් අපේ කවීන් (නූතන යුගයේ කවීන්) ඉන්නව සමහරක් ව්‍යංගාර්ථයෙන් කවි කියනවා. ව්‍යංගාර්ථය කවියට අවශ්‍යයි. හැබැයි ඒක පාඨකයාට කොපමණ ගෝචර වනවාද කියල ප්‍රශ්නයක් තියෙනවා. එතනදි කොළඹ යුගයේ කවිය ගත්තාම මම දකින දෙයක් තමා කවි එකතුවක් තියෙනව ඔවුන්ට. ඒත් නූතන කවියාට කවි එකතුවක් නැහැ. මම හිතන්නෙ එතන මොකද්දෝ වෙනම ගනුදෙනුවක් ඇති කියලා. ඒත් කොළඹ යුගයේ කවීන්ගේ ආභාෂය ඇති අති දක්ෂ කවීන් කිහිප දෙනෙක් අද මේ වන විටත් ඉන්නවා. නැත්තෙමත් නැහැ.
අද කවියට කුල හැදිල ගමන් කිරීමක් තියෙනවා. ඒ වගේම තව දෙයක් තමා අපි අසමත් වෙලා තියෙනවා කවිය ජනතාව අතරට අරගෙන යන්න. ඒක අද කවියේ ලොකු දුර්වලකමක් විදියට මම දකිනවා. ඇත්තටම කොළඹ යුගයේ කවීන් කවිය ජනතාව අතරට අරගෙන ගියා. හරවත් කවියක් ලිවුවොත් ඒක සමාජගත කළ යුතුයි. ඒක සමාජ ගත නොකිරීම තුළින් කවියට හිමි තැන ටික ටික දුරස් වීමක් සිදු වන්නේ.

ඔබ පුද්ගලිකව අනෙක් කවි රසවින්දනය කරනවාද?

ඔව්. මට රහක් දැනෙන කවියත් එක්ක මම ඉන්නවා. මොනම කවියෙක් වුණත් තම සියලුම කවි රහක් ඇතිව ලියනවා කියල කියන්න අමාරුයි. මමත් එහෙමයි. මොකද එක දිගට රස උද්දීපනය වන කවි රචනාවෙනවා අඩුයි. ගොඩක් වෙලාවට අපි හොඳම කවියා තෝරනව කියල හිතමුකො. මම හිතන්නෑ ඒක හරි මිම්මක් කියලා. එතනදි තේරිය යුත්තේ හොඳම කවියා නොවේ හොඳම කවියයි. සමහර වෙලාවට ප්‍රවීණ කවින් අතරට පැමිණි ආධුනික කවියකුගේ කවිය ඉතා හරවත් හොඳ කවියක් විය හැකියි. ඉතින් එතනදි ඒ ආධුනිකයට ලොකු අසාධාරණයක් වෙන්නේ. එතනදී හොඳම කවිය මිස හොඳම කවියා තේරිය නොහැකියි කියන දේ පැහැදිලියි.

කවියකුගේ පැවැත්මට කවි පොතක් එළි දැක්විය යුතුමද?

එක එක්කෙනාගේ අරමුණු පොත් කියන්නේ. මම දකින විදිය තමයි මම මුලින්ම කවි ලිව්වෙ මගේ ආත්ම තෘප්තිය නිසා. එතනදි කවි ලියන්න ගිහිල්ලා කවි පොතක් කරපු කෙනා තුළින් පත්තරේකට කවියක් ලියවෙනව අඩුයි. පොත කරපු පුද්ගලයාගේ අරමුණ කවි ලිය ලිය එකතු කරල නැවතත් පොතක් එළි දැක්විම. ඒකෙ ඊළඟ අරමුණ සම්මානය. සම්මානය ගත්තාම කවිය එතන හිර වෙනවා. ඊටපස්සෙ කවි ලියන්නෙ නැහැ. මොකද සම්මානයක් ගත්තා කියල ඒ කවියාට බැහැනෙ හැමදාම හොඳ කවි ලියන්න. එහෙම ලිවීම තුළින් කවියේ අර්ථ ශූන්‍ය වුණොත් කවියාට හොඳ නැහැ කියල මතයක් තියෙනවා. ඒ නිසා ඔවුන් කවි ලිවීම සිමා කරනවා. ඒක ඉතිං ලොකු අපරාධයක්. ආත්ම තෘප්තිය නැති කරගන්න මමනම් හරි බයයි. කවි පොතක් කිරීම තුළින් සමාජයට පණිවිඩයක් දිය යුතු වෙනවා. ඒත් මම හිතන් නැහැ තවම මගේ කිසිදු කවියකින්වත් සමාජයට පණිවිඩයක් දෙන්න හැකි වෙලා ඇති කියලා. ඒ නිසා මම පොතක් කිරීමට තවම පෙළඹිලා නැහැ. අනික කවියෙක් කවි පොතක් කිරීම උවමනාමයි කියල හිතන් බැහැ.

කවියෙකුගේ ඉදිරි පැවැත්මකට රාජ්‍යය සම්මානයක් අවශ්‍යයමද?

ඇත්තටම කවියකුගේ ඉදිරි පැවැත්මට සම්මානයක් අවශ්‍ය නැහැ. හැබැයි කවියකුගේ භෞතික පැවැත්මට නම් සම්මානයක් අවශ්‍යයි තමා. මම දකින විදියට කවියකුගේ වේවා ඕනෑම කලා කාරයකුගේ සම්මානය වන්නේ ජනතාව විසින් ඉදිරිපත් කරන ඔවුන්ගේ අදහස්. බොහොමයක් කලාවට සම්බන්ධ අය සම්මාන පස්සෙ යනවා. ඒ යෑම තුළින් සිදු වන්නේ යම් තැනක අපි හිරවෙනවා. ඒත් ජනතාවගේ, පාඨකයාගේ, රසවිදින්නාගේ සම්මානය තුළින් අපි හිර වීමකට ලක් වෙන්නෙ නැහැ. අපිට තව තවත් ඉදිරියට යෑමට ආසාවක් හැකියාවක් ඇති වෙනවා. එතනදි වැදගත් රාජ්‍යය සම්මාන වලට වඩා ජනතාවගේ සම්මානය පමණයි.