මහසෙන් යනු දේශපාලනයයි

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

මිනිසා ආගම තනයි. ආගම මිනිසා තනන්නේ නැත. වෙනත් වචනවලින් කිවහොත් ආගම යනු එක්කෝ තවමත් තමන් ව සොයා නොගත්තා වූත්, එසේ නැතහොත් ඒ වන විටත් තමන් ව අහිමි කර ගත්තා වූත් මිනිසුන්ගේ ස්වයං විඥානය සහ ස්වයං හැඟීමයි. එහෙත් මිනිසා යනු ලෝකයෙන් පිටස්තර ව උක්කුටිකයෙන් සිටින වියුක්ත ප්‍රාණියෙක් නොවේ. මිනිසා යනු මිනිසාගේ ලෝකයයි. රජයයි. සමාජයයි. මෙම රජය හා සමාජය ආගම නිපදවයි.
ජනතාවගේ මායාකාරී සන්තුෂ්ටිය වශයෙන් ආගම අහෝසි කිරීම, ඔවුන්ගේ සැබෑ සන්තුෂ්ටිය උදෙසා අවශ්‍ය වන්නේ ය. තත්ත්වයන් පිළිබඳව එහි පවත්නා මායාවන් අත්හරින ලෙස ඉල්ලීම යනු මායාවන් සඳහා අවශ්‍ය වන්නා වූ තත්ත්වයන් අත්හරින ලෙස ඉල්ලීම ය. එනිසා එහි කළල අවස්ථාවේදී ආගම පිළිබඳ විවේචනය යනු, ආගම රැස් වළල්ල වන්නාවූ දුක්ඛ දෝමනස්සය නම් මිථ්‍යාවක් පිළිබඳ විවේචනයයි. ආගම වනාහි මිනිසා තමා වටා භ්‍රමණය නොවන තාක් මිනිසා වටා භ්‍රමණය වන්නා වූ මායාකාරී සූර්යයා ය.
(Marx – Engels – Collected Works – 3 වෙ`ඵම – පරිවර්තනය ටී. අන්ද්‍රාදි)
ආගම සම්බන්ධයෙන් මාක්ස්ගේ ඉහත ප්‍රකාශය, පොදු සමාජය සහ ආගම අතර පවත්නා සම්බන්ධතාවත්, රජය සහ සමාජය විසින් ආගම නිෂ්පාදනය කරනු ලබන්නේය යන්නත් පැහැදිලි ව පෙන්වා දෙයි. මෙය අපේ ඉතිහාසයට අදාළව වුව පහසුවෙන් දැකිය හැක්කකි. පොදුවේ ගත් කල බොහෝ රාජ්‍ය පාලකයන් ඒ තත්ත්වයට අනුගතවීමක් විනා එය ප්‍රශ්න කිරීමක් දැකිය හැකි නොවේ. එහෙත් ඓතිහාසික ඇතැම් රජුන් හෝ පාලකයන් ඊට එරෙහි වූ අවස්ථා ද තිබේ. බොහෝ විට ඒවා ප්‍රකාශයට පත්වන්නේ පාලකයන් සහ ආගමික නායකයන් අතර හටගත් පෞද්ගලික ආරෝවන් මත ඇතිවූ ගැටුම් ලෙසිනි. ප්‍රශ්න කිරීමෙන් හටගත් සංවාදශීලි තත්ත්වයන් ලෙසින් ඒවා හඳුනාගත නොහැකි වන්නේ එහෙයිනි.
මෑතකදී අප විසින් කියවන ලද කෘතියක් හේතුවෙන් මේ සිතුවිල්ල යළිත් වරක් අප තුළ තහවුරු වී තිබේ. ඒ, කැත්ලීන් ජයවර්ධනගේ ‘මහසෙන්’ නවකතාවයි. එහි එන ‘මහසෙන්’ චරිතය සාම්ප්‍රදායික ඉතිහාසය හඳුනාගන්නේ පෙර කී ආකාරයට ආගමික නායකයන් සමග පෞද්ගලික ආරාවුලක් ඇතිකර ගත්තෙකු වශයෙනි. එහෙත් මහසෙන් යනු එවැනි පටු කෝන්තරකාරයකු ලෙස දැක්විය හැකි නැත. සවිඤ්ඤානකත්වයෙන් යුතු වූ මහසෙන් රාජ්‍ය පාලකයකුගේ රාජ්‍යතාන්ත්‍රික හැසිරීම පිළිබඳවත් ලෝකෝත්තර පැවැත්ම පිළිබඳවත් මනා අවබෝධයක් සිය අධ්‍යාපනයෙන් ද ලැබූවෙකි. ඒ නිසාම මහසෙන් සහ මහා විහාරය අතර ඇති වූ ගැටුම හුදු කෝන්තරයක් ලෙසින් ගැනීම වුව එක්තරා ආකාරයක කෝන්තරයක් පිරිමසා ගැනීමක් විය හැකි ය.
‘මහසෙන් යනු දේශපාලනයයි’ යනුවෙන් අප කියන්නේ මෙකී නොකී බොහෝ කරුණු අවධානයට ලක් කරමිනි.
ලංකා ඉතිහාසය තුළ දුටුගැමුණුට අවශ්‍ය වූයේ බල ව්‍යාප්තියකි. එහිදී විය යුතු ආකාරයෙන් ම එළාර ඔහුට ගොදුරු විය. දුටුගැමුණු රට එක්සේසත් කළේ යැයි කීව ද කන්ද උඩරට මෙන් ම තවත් ප්‍රාදේශීය පාලකයන් විසින් ද ඔහු පිළිනොගැනුණ බව අපි දනිමු. එහෙත් පරාක්‍රමබාහුට අවශ්‍ය වූයේ ඒ වන විට රජරටින් පොළොන්නරුවට තල්ලු වී තිබූ රාජධානිය යළි ඉන් එහාට තල්ලු වී නොයන අයුරින් ස්ථාපිත කර ගැනීමට යි. ඒ සඳහා පරම සාධකය වශයෙන් ඔහු තෝරාගත්තේ ආර්ථික සංවර්ධනය යිග නාවික හමුදාව ද ඒ සඳහා උපයෝගී කරගන්නා අතරේ ඔහු අසල්වැසි රාජ්‍යයන් ද තමන්ට අවනත කර ගැනීමේ උත්සාහයක යෙදෙයි. එවැනි පාලකයෙකු මූලික අවධානය යොමු කරන්නේ ශ්‍රම සහ ආර්ථික සම්පත් ලබා ගැනීම හා සිය නිෂ්පාදන අලෙවි කර ගැනීම වෙනුවෙන් දේශීය සහ විදේශීය වෙළෙඳපොළ තමන් යටතට ගැනීමට ය. අදටත් ලෝක ආර්ථිකය හැසිරෙන්නේ ඒ ආකාරයට ය. ඒ නිසා උක්ත කරුණේදී පරාක්‍රමබාහු පමණක් ඊට අදාළ ව හුදෙකලා වරදකරුවකු වන්නේ නැත.
මෙවැනි සන්දර්භයක් තුළ මහසෙන් කුමක් නම් කළේ ද? ‘මහසෙන් යනු දේශපාලනය යි’ යනුවෙන් අප ප්‍රකාශ කරන්නේ මෙතැනදී ඉස්මතු වන මහසෙන්ගේ විශේෂතා සැලකිල්ලට ගනිමිනි. මහා පරාක්‍රමබාහු ද යම් ආකාරයකින් මහසෙන්ට සම කළ හැකි වෙතත් සාම්ප්‍රදායික ඉතිහාසඥයාගේ නො සියුම් බව නිසා ඔහුගේ දේශපාලන ඉවසීම, නිර්දය ක්‍රියාකාරීත්වය, විචක්ෂණ දෘෂ්ටිය යන මේ සියල්ල ම යටපත් වී පරාක්‍රම සමුද්‍රය මුල් කොටගත් ආර්ථික සංවර්ධනය පමණක් උත්කර්ෂයට නැගී තිබේ. අනිත් අතට මහසෙන් යනු ද දූරදර්ශී ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් නිර්දය අයුරින් සිය දේශපාලන බලය යෙදවූවෙකි. එහෙත් සාම්ප්‍රදායික ඉතිහාසය ඔහු සම්බන්ධයෙන් විචාරශීලි වූයේ නැත. ඔහු සංඝමිත්‍ර නම් මහායාන භික්ෂුවකට රැවටී හීනයාන බුද්ධාගම සුන්බුන් කළ දුෂ්ටයෙක් බවට පත්වූයේ ඒ නිසා ය.
මුලින් ම මහසෙන්ගේ ආර්ථික ක්‍රමෝපායික සැලසුම ගැන කතා කරමු. දූපතක් වශයෙන් ශ්‍රී ලංකාව සැමවිටම වාගේ විදේශ ආක්‍රමණ පිළිබඳ අවදානමට මුහුණු දී සිටියේ ය. මහසෙන් එය දැන සිටි අයුරින් ම තවත් කරුණක් ගැන ද මනා අවබෝධයකින් පසු වුණේ ය. ඒ, රටක ආර්ථික සංවර්ධනය එක් රාජධානියකට සීමා වී පැවැතීමේ අවදානම පිළිබඳවයි. විදේශීය ආක්‍රමණ සඳහා විවෘත ව පවතින රටක් මේ කරුණ විශේෂයෙන් ම කල්පනාවට ගත යුතු වෙයි. දුටුගැමුණු සිය බල ප්‍රදේශය ව්‍යාප්ත කර ගැනීමට ගත් ප්‍රයත්නය වෙනුවට මහසෙන් කළේ ආර්ථික සංවර්ධනය සිය බල ප්‍රදේශයෙන් ඔබ්බට ව්‍යාප්ත කිරීමයි. ඒ අනුව එතෙක් රජරට කේන්ද්‍රීය ව පැවැති රටේ වාරි සහ ආර්ථික සංවර්ධනය මහසෙන් යුගයේදී උතුරු නැගෙනහිර කලාපය දෙසට නව ගමනක් අරඹනු දැකිය හැකි වෙයි.
භක්තිමත් උපාසකයෙකු වශයෙන් ජනතාව හමුවේ පෙනී සිටීමට යොමු නොවූ මහසෙන් විචක්ෂණ හා විමර්ශනශීලී රජ කෙනෙකු වශයෙන් හඳුනා ගත හැකි ය. ‘මහසෙන් යනු දේශපාලනයයි’ යනුවෙන් අප යළිත් වරක් කියන්නේ ඒ නිසා ය. සංවාදයකින් තොර ව හුදෙක් භක්තිය මත පදනම්ව සංස්කෘතික, ආගමික ආයතන සඳහා ධනය වැය කරමින් සංස්කෘතික අධිපතිවාදයක් කරා යන ගමන ඔහු නො ඉවසුවේ එහෙයිනි. විශේෂයෙන් ම මහාවිහාරයට ඔහු අභියෝග කළේ ද ඒ අනුව ය. මහා විහාර භූමියේ කාටත් හොඳින් පෙනෙන තැනක කිරිගරුඬින් කළ සෙල් ලිපියක් මහසෙන් විසින් ස්ථාපිත කරනු ලැබ තිබේ.
සිල්වත් වූත් භික්ෂු විනය කඩ නොකරන්නා වූත් යම් භික්ෂුවක් මහා විහාරය තුළ වේ නම්, ඒ බව ඔප්පු කළ හැකි නම්, තමා ඒ යතිවරයාව රන් කහවනුවලින් පුදන බව එයින් ප්‍රකාශයට පත් කොට තිබිණ. සාම්ප්‍රදායික සංඝ සමාජයට එවැනි අභියෝගයක් කිරීම ඔහුගේ දේශපාලනික පැවැත්ම අභියෝගයට ලක් කරන්නක් වුණ ද පූර්ණ දේශපාලනික නායකයෙකු වූ මහසෙන් ඒ කෙරෙහි සංවේදී වූයේ නැත.
කැත්ලීන් ජයවර්ධනගේ ‘මහසෙන්’ නවකතාව විශේෂ වන්නේ ඇය පෙර කී මහසෙන් නම් වූ දේශපාලන සංසිද්ධිය වටා බැඳී ඇති සාම්ප්‍රදායික ඇදහීම් සහ පිළිගැනීම් ඉවතලමින් එය වෙනත් මානයකින් දැකීමට හා විස්තර කිරීමට උත්සාහ ගැනීම නිසා ය. ඒ හා සමගම මෙතැන දී මෙරට දේශපාලන නවකතාවේ සහ නවකතාකරුවන්ගේ නො වැඩුණු ලක්ෂණයක් ද පෙන්වා දීමේ වරදක් වේ යැයි නොසිතමි.
මේ රටේ සාහිත්‍යකරුවන්, විචාරකයන් බහුතරයක් දේශපාලන නවකතාවක් සම්බන්ධයෙන් වේවා ඒ හා සම්බන්ධ වෙනත් ලේඛනයක් සම්බන්ධයෙන් හෝ වේවා පාදක කාලය වශයෙන් යොදා ගන්නේ 1948න් පසු යුගය යි. ඔවුන් සිතන ආකාරයට අනුව ඊට පෙර යුගය ඓතිහාසික ය. ඒ ඉතිහාසය තුළ වුව මහසෙන්ලා, පරාක්‍රමබාහුලා, දුටුගැමුණුලා නිරත වූයේ දේශපාලනයක බව මොවුනට නොපෙනෙයි. ඊට හේතුව ඔවුන් ඒ ඉතිහාසයට අතතැබීමට බියවීම හා ඉතිහාසය අභිවන්දනය කිරීමට සෑම විටම යොමුවීමයි. ඉතිහාසය ප්‍රශ්න කිරීම, විශ්ලේෂණය කිරීම ඒ ඇතැමකුට අනුව නොකළ යුත්තකි. ඔවුන්ගේ ඇතැම් ප්‍රශ්න කිරීම් වුව බොහෝ ගැඹුරට නොයන්නේ එහෙයිනි. මෑතකාලීනව බොහෝ විට සිදුවුණේ තෝරාගත් ඉතිහාස කාලපරිච්ඡේදයක් සම්බන්ධයෙන් තමන්ගේ හිතලු අර්ථකථන වශයෙන් ඉදිරිපත් කරමින් නිර්මාණාත්මක ලියවිලි සම්පාදනය වීමයි.
‘මහසෙන්’ ඓතිහාසික නවකතාවක් ද, හොඳ දේශපාලන නවකතාවක් ද යන්න නිවැරදිව විමසා බැලීම සඳහා සියුම් පරිකල්පන ශක්තියක්, නිර්භීතකමක් මෙන් ම විමර්ශනශීලී භාවයක් ද සාහිත්‍යකරුවෙකුට තිබිය යුතු වෙයි. යුරෝපා සාහිත්‍යයට ඉග්නාසියො සිලොනි වැනි කෘතහස්ත දේශපාලන නවකතාකරුවන් පිවිසෙන්නේ ඒ ආකාරයට ය. අපේ සාහිත්‍යකරුවන්, විචාරකයන් සතු නොවන්නේ ද මේ උජුපටිපන්න ගුණය යි. නැතහොත් ඍජු ලෙස යමක් විමසීමේ හැකියාව යි. ඔවුන් ඉතිහාසගත චරිතවලට ආරෝපණය කර ඇති බිය මුසු ගෞරවයට, අභිවන්දනයට අභියෝග කළ හැක්කේ කියවීමෙන් ලත් දැනුමෙන් හා විමසා අවබෝධ කරගත් ඥානයෙනි.
කැත්ලීන් ජයවර්ධන සිය ‘මහසෙන්’ නවකතාව තුළින් අරගල කරන්නේ යට කී ද්වන්දය සමග බව පැහැදිලි වන්නේ එය ඉවසීමෙන් කියවන්නෙකුට ය. ඉතිහාසය යනු ඉතිහාසය යි යන තැනට පමණක් සීමාවීම තුළ එකී ඓතිහාසික චරිත තුළින් මතුකර ගතහැකි සාරය සාහිත්‍යයට අහිමි වී තිබේ. කෙසේ වෙතත් ජී. බී. සේනානායක වැනි නවකතාකරුවන් සිය ඓතිහාසික ආඛ්‍යානයන් පෙර කී තත්ත්වයට එරෙහි ව යොදා ගත් බව ඔහුට ගෞරව පිණිස ලියා තැබිය යුතුය. එහි දී විශේෂයෙන් කැපී පෙනෙන්නේ මනෝ විශ්ලේෂණය සම්බන්ධයෙන් ජී. බී. තුළ තිබූ තදබල උනන්දුව යි.
මහසෙන් යනු දේශපාලන සංසිද්ධියකි. එතැනදී ඔහු තමන් තෝරාගත් දේශපාලන ඉලක්කය නොපැකිළ හඹා ගිය නිර්දය චරිත ලක්ෂණ ඇති අයෙකු ලෙස ද හඳුනාගත හැකි ය. ආසියානු දේශපාලනය තුළ ඓතිහාසික වශයෙන් එවැනි දේශපාලන ගමන් නිර්මාණය වූයේ පක්ෂ ක්‍රියාකාරීත්වයක් තුළ නොව පුද්ගල ක්‍රියාකාරීත්වයන් තුළ ය. මහසෙන්, මහා පරාක්‍රමබාහු දේශපාලන සංසිද්ධීන් බවට පත්වන්නේ ඔවුන්ගේ පුද්ගල ක්‍රියාකාරකම් සහ ශක්‍යතාවන් හේතුවෙනි. ඒ අනුව අවසානයේ දී ඉතිහාසයට එක්ව ඇත්තේ ඔවුන්ගේ පුද්ගල පෞරුෂයන් ය.
ආසියානු පැවැත්ම තුළින් ම උපන් මහසෙන් ඒ සියල්ල අබිබවා සිය අනන්‍යතාව ප්‍රකට කරන්නේ ඔහුගේ ජීවිතයේ අවසාන සමයේ දී ය. ‘මහසෙන්’ නවකතාව ඉතා සියුම් ලෙසින් එය විස්තර කරන්නේ මෙසේ ය.
‘කිරුළ හිමි කුමරෙකු කිසිදා අභිධර්මය හැදෑරිය යුතු නැතැයි දූරදර්ශී ව පැවසූ සඟමිත් හිමියන්ගේ අවධාරණය යළි යළිත් මට සිහි වෙයි. නාගර්ජුනපාදයන්ගේ ශූන්‍යතා දර්ශනය හදාරන්නට මට බොහෝ කල් ගත වූයේ ද උන් වහන්සේ ගේ මේ අවධාරණය නිසාම ය.’
‘සඟමිත් හිමියන් හා ශුන්‍යතා දර්ශනය ඔස්සේ වෙනත් ගමනක් යන මගේ සිතට නාගාර්ජුනපාදයෝ ප්‍රවිෂ්ට වෙති. කණිෂ්ක රජු දවස විසූ මේ ශ්‍රේෂ්ඨ මහායාන පඬිවරයාගේ මධ්‍යාමිකකාරිකාවේ ‘නිර්වාණය’ පිළිබඳ ව පවා විවේචනාත්මක ව සිද්ධාන්ත දකින්නට ලැබෙන්නේ යැයි සඟමිත් හිමියන් මට පැවසුවේ පසු කලෙක ය. ඒ අනුව නිර්වාණය වූ කලී ස්ථවිරවාදීන් කියන පරිදි නිත්‍ය ද නොවූ උච්ඡේදයක් ද නැති භාව අභාව දෙකින් ම විනිර්මුක්තව පවත්නා අනිර්වචනීය වූත් පරම වූත් තත්ත්වයකි.’
මහසෙන් යනු එවැනි කියවීමකි. සාම්ප්‍රදායික ඉතිහාසය මේ කියැවීම හඳුනාගන්නේ හුදෙක් බෞද්ධ නිකායන් දෙකක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ය. එහෙත් ඉතිහාසයේ සීමාමායිම් අතික්‍රමණය කර, ‘මහසෙන්’ නම් වූ ඒ දේශපාලනයට (දේශපාලන චරිතයට) සාධාරණය ඉටු කරන්නට කැත්ලීන් ජයවර්ධන ගෙන ඇති ප්‍රයත්නය සාපේක්ෂ වටිනාකමකින් යුක්ත වේ. සංවාදය ඇත්තේ මෙතැනින් එහාට ය.