“මම කෙලින් මිනිහෙක්” ක්‍රමයේ අලුත් මුහුණුවරයි – නාට්‍යවේදී අසංක සායක්කාර

රසික ගුණවර්ධන

“සංගදාසගේ චූටි කලිසම” නිර්මාණය කරපු අසංක සායක්කාර ගේ නවතම නාට්‍ය ජුනි 15/16 දෙදින තුළ බොරැල්ලේ නාමෙල් මාලිනී පුංචි තියේටර් හිදී වේදිකා ගතවීමට නියමිතය. මේ ඔහුගේ නවතම නාට්‍ය නිර්මාණය වන ”මම කෙලින් මිනිහෙක්” නාට්‍ය ද පාදක කරගෙන ඔහු හා සමඟ සිදු කළ කෙටි සංවාදයකි.

මොකක්ද ”මම කෙලින් මිනිහෙක්” ඇතුළෙදි ඔබ සාකච්ඡා කරන්නෙ?

මූලික වශයෙන්ම ලිංගිකත්වය සහ දේශපාලනය අතර තියන සම්බන්ධය, සෙක්ස් සහ පවර් කියන දෙක අතර ගද්‍යතන ඉතිහාසයේ ඉඳල ගත්තත් ලොකු සම්බධයක් තියනව. ලංකාවෙ දේශපාලනය ඇතුලෙත් අපට පේන ගොඩක් තීන්දු තීරණ වල මේ දෙක අතර සම්බන්ධය පැහැදිලිව පේනව.
මම මේකෙදි චරිත දෙකක් කේන්ද්‍ර කරගෙන තමයි සෙක්ස් සහ පොලිටිකල් අතරෙ තියන අපි දන්නෙ නැති, නමුත් හැමදාමත් තිබ්බ සහ තියන මේ සම්බන්ධය වෙන විදිහකට අපි නාට්‍ය පෙලක් විදිහට ඉදිරිපත් කරන්නෙ.
වාමංශික මන්ත්‍රීවරයත් තක්ශිලා කියන තරුණියත් අතරවෙන සංවාදයක් ඇසුරු කරගෙන මේක ගොඩ නගල තියෙන්නෙ.

ඇයි ඔබ ”වමේ දේශපාලකයෙක්” තෝරන්නෙ?

ඒකට විශේෂ හේතුවක් තිබ්බ, මට පැහැදිලි විවේචනයක් තියනව වමේ ඉඳල දකුණට ගිය මිනිස්සු ගැන. පසුගිය දශක තුන හමාරක කාලය ගත්තොත් එහෙම, දක්ෂිණාංශිකයන්ට වඩා මේ බිමට වැඩිම හානියක් කරේ වමේ ඉඳල දකුණට ගිය මිනිස්සු සහ දකුණට වැඩකරන බොරුවට වමේ ඉන්න මිනිස්සු.
වමේ පාක්ෂිකයන්ට සහ වාම ප්‍රේමීන්ට ලොකු විශ්වාසයක් තිබ්බ වමේ අරගලය ගැන. ඒක යුගයකදී එක කාලෙකදී අපි එහෙම විශ්වාස කරපු මිනිහෙක් අනිත් පැත්තට පැනල ජරා දේවල් ටික ඔක්කොම කරන්ඩ ගත්තට පස්සේ අර විශ්වාසයට මහා බරපතල පහරක් වදිනව. අරගලය සම්බන්ධව මිනිස්සුන්ට තිබ්බ විශ්වාසයය කෙළවර උනේ වමේ ඉඳල දකුණට ගියපු මිනිස්සු හින්ද. අනාදිමත් කාලයක ඉඳල අපි දැක්කෙ මේ කෙළවීම තමයි. ඉතිහාසයේ ඉඳන් අද වෙනකන් පුද්ගල නාම සදහන් කළොත් බොහෝ පිරිසක් ඉන්නව.
ජේ ආර් දක්ෂිණාංශිකයෙක්, ජේ ආර් තමන්ගෙ පංතියට සේවය කරා. එතකොට අපි දන්නව, දැනගෙන හිටිය ජේ ආර් දක්ෂිණාංශිකයෙක් ජේ ආර් මේ දේ කරනව කියල. හැබැයි වමෙන් පටන් අරන් මිනිස්සුන්ට විප්ලවේ ගැන විශ්වාසෙ ඇති කරවල දකුණට වැඩ කරන්ඩ ගත්තහම තමයි කෙළවීම පටන් ගන්නෙ.
මේ කෙළවීම ගැන විවේචනයට පාදක වෙන චරිතයක් නිසා තයි මම මේ නාට්‍යට වමේ චරිතයක් තෝර ගත්තෙ.

සෙක්ස් කියන වචනෙටත් බය සමාජයකට ඔබ කොහොමද ඔබේ ප්‍රකාශනය ඉදිරිපත් කරන්නෙ?

මේ ගොඩක් නාට්‍ය ඇතුලෙ ඔය ”සෙක්ස්” කියන දේ වක්‍රව කතා කෙරුව. සංගදාසගේ චූටි කලිසම නාට්‍යයේදිත් ලිංගික තේමාවක් තමයි වක්‍රව කතා කරේ.
හැබැයි පළවෙනි වතාවට තමයි මගේ නාට්‍යයක ලිංගිකත්වය ඝෘජුවම කතා කරන්නෙ. මේකෙ ඝෘජුව ලිංගිකත්වය කතා කරන අතරෙ යටි පෙලේ දේශපාලනය කතා කරනව.
අපි ලිංගිකත්වයට බය වෙන්ඩ ඕනෙ නෑ. ”සෙක්ස්” වලය බය වෙනව කියන්නෙ බොරු කතන්දරයක්. සෙක්ස් කියන එක වහගෙන කතා කරන්ඩ ඕනෙ කියන එක අපි හදාගෙන තියන දෙයක්. අපි ”සෙක්ස්” ගැන විවෘතව කතා කළොත් මීට වැඩිය සුඛිත මුදිත තැනකට ”සෙක්ස්” ගේන්ඩ තිබ්බ.

ලංකාවෙ ප්‍රේක්ෂකන් පිරිසට ”නාට්‍ය භාෂාව” තේරෙනවද?

නෑ. නාට්‍ය බලන්ඩම හුරුවෙලා ඉන්න නාට්‍ය ප්‍රේක්ෂකයන්ට තේරෙයි. හුදු ප්‍රේක්ෂකයා කියන ගොනුව ගත්තොත් එහෙම නාට්‍ය භාෂාව තේරෙන්නෙ නෑ. නාට්‍ය භාෂාව විතරක් නෙවෙයි, කලාව තේරෙන්නෙත් නෑ. හුදු ප්‍රේක්ෂකයා කලාවත් එක්ක නෑ.

ඔබ ඒ අභියෝගය ජය ගන්නවද?

මෙතුවක් අභියෝගය ජය ගන්ඩ පුලුවන් වෙලා නෑ. හොඳම උදාහරණය තමයි සංගදාසගේ චුටි කළිසම නාට්‍යය.
ඒකෙ අපි කතා කරන්නෙ පීඩිත පංතිය ගැන. සුභසාධන රාජ්‍යක් තුළ සුභසාධනයන් අත්පත් කරගැනීමේදී පීඩිතයාට වෙන ඛේදවාචකය වෙන විදිහකට අපි එතනදි කතා කරනව. එහෙනම් මේ ගනුදෙනුව අපි කරන්ඩ ඕනෙ පීඩිතයත් එක්කනෙ. මේ නාට්‍ය බලන්ඩ ඕනෙ වතු කම්කරු ජනතාව, කම්කරු ජනතාව. පොදුවේ මේ පීඩිතයි කියන පීඩිත ජනතාව. නමුත් මේක දර්ශන වාර පනහකට ආසන්න ප්‍රමානයක් කළා. මේ පනහෙන් කීයක් ඇත්ත පීඩිත ජනයා බැලුවද කියන එක ප්‍රශ්නයක්. ඇත්තටම පීඩිත ජනතාව මේකට සම්බන්ධ උනේ නෑ. ඒ කට්ටිය සමීප කරගන්ඩ බෑ. ඇත්තටම ඒ අය කලාවත් එක්ක නෑ. අපි මේ කතා කරන කලාව ඇතුලෙ ඔවුන් නෑ. මේව ඔවුන්ට යන්නෙ නෑ. ඒ නිසා මම කියන්නෙ, තාම ඔය පොදු ප්‍රේක්ෂකයා නාට්‍යය කෙරෙහි සවිඥානික නෑ.

එතකොට ඔබ කරන්නෙ කොළඹ ඉන්න ”ධනපති ප්‍රේක්ෂකයන්ට” විනෝදයක් දෙන වැඩක් ?

නෑ. මේක ආතල් එකක් දෙන වැඩක් නෙවෙයි. ඔවුන් කවද හරි සවිඤ්ඤානික වෙලා නාට්‍යය බලනකන් අපිට අපේ ප්‍රකාශනය හිර කරගෙන ඉන්ඩ බෑ. අපි ඒක එළියට දාන්ඩ ඕනෙ. අපිට මේ සමාජය ගැන යම් විවේචනයක්, මතයක් තියනව. ඒ මතය අපි කොයි වෙලේ හරි පිට කරන්ඩ ඕනෙ.
මට මගේ මතය පිට කරන්ඩ කරන්ඩ මාධ්‍ය කිහිපයක් තියනව. නවකතාව ටෙලි නාට්‍ය ඔය වගේ මාධ්‍ය ගොඩක් තියනව. හැබැයි ඒ හැම එකක්ම කර්මාන්ත. ටෙලි නාට්‍ය තුළින් මට මේ දේ කියන්ඩ බෑ. මොකද ටෙලි නාට්‍ය කර්මාන්තයක්. මට ඕනෙ දේම කරන්ඩ හම්බවෙන්නෙ නෑ.
ලේඛන කලාව, නවකතාව ගත්තත් ඒකත් එක විදිහක කර්මාන්තයක්. පොත් විකුණුනොත් තමයි පබ්ලිෂර් කෙනෙකුට පොත් ටික කරගෙන යන්ඩ පුලුවන් වෙන්නෙ. එතකොට අපි කියන හැමදේම කරන්ඩ පබ්ලිෂර් කෙනෙක් සූදානම් නෑ.
හැබැයි වේදිකා නාට්‍ය කර්මාන්තයක් උනත්, වේදිකාව උඩ මට මගේ දේ කියන්ඩ පුලුවන්. මොකද ඒ මම. මගෙන් කවුරුත් අහන්නෙ නෑ ඔයාට ලාබ උනා ද පාඩු උනා ද කියල. ඒ පාඩුව මම විඳ දරා ගන්නව. ඒ නිසා මම පිට කරන්ඩ ඕනෙ දේ වේදිකාවේදී මම පිට කරනව. එතනදි මම ට්‍රයි කරනව උපරිම ප්‍රමාණයක් මේක මිනිස්සු එක්ක බෙදා ගන්ඩ. තනි මිනිහෙක්ට යන්ඩ පුලුවන් සීමාවක් තියනව. ඒක අතික්‍රමණය කිරීම තමයි ගේම.

මම කීවොත් ඔබ එකම ධාරාවේ රැදෙන නාට්‍ය කරුවෙක් කියල.

වෙන්ඩ ඇති. මට කියන්ඩ තියන දේ එකයි. දහයක් දොළහක් නෑ. මම විශ්වාසකරන දේශපාලනයක් තියනව. මේ සමාජය සම්බන්ධව විවේචනයක් තියනව. ඒ විවේචනය මම නාට්‍ය අනුසාරයෙන් ඉදිරිපත් කරනව. ඒ විවේචනය වෙනස් වෙන්ඩ විදිහක් නෑ. මොකද සමාජය වෙනස් උනේ නෑ. මම නාට්‍ය කරන්ඩ පටන් ගත්ත වෙලේ ඉඳල මේ වෙනකන් සමාජය එකම විදිහට තියෙන්නෙ. ඉතින් සිස්ටම් එක සම්බන්ධ විවේචනය වෙනස් වෙන්ඩ විදිහක් නෑ. ඒකෙ අලුත්ම මුහුණුවර තමයි ”මම කෙලින් මිනිහෙක්”.

”මම කෙලින් මිනිහෙක්” නාට්‍යයේ ප්‍රචාරක දැන්වීම සුවිශේෂී, අපි ඒක ගැනත් කතා කළොත්.

අපි නාට්‍යෙයේ ප්‍රචාරක කටයුතු පටන් ගත්ත මොහොතේ ඉඳල අපට වැඩියෙන්ම අවධානය ආවෙ මේ පෝස්ටර් එකෙන්. සංජය ඈපා තමයි මේ පෝස්ටර් එක නිර්මාණය කරන්නෙ. ඔහු වෙනස් විදිහට හිතන්ඩ පුලුවන් කෙනෙක්.
සංජයට ස්ක්‍රිප්ට් එක දීල කතාව ගැන කීවට පස්සෙ ඔහු ඒක හරියටම ග්‍රහනය කරගත්ත. මුලු නාට්‍යම ඔහු නිමාණය කරපු ලෝගෝ එක ඇතුලෙ තියනව. නාට්‍යයේ කැම්පේන් එකෙන් සීයට පණහක්ම සංජයගෙ ලෝගෝ එක හරහ දෙනව.

නාට්‍යයේ චරිත ගැන සඳහනක් කළොත්.

මේ නාට්‍යට සම්බන්ධ වෙන්නෙ මගේ මුල් නාට්‍යයේ ඉඳල වැඩ කරපු සමිත. මට මේ නාට්‍යයේ ෆ්ලොට් එක ආපු වෙලේම මට හිතුනෙ මේකට සමිත ම ඕනෙ කියල. මට විශ්වාසයක් තිබ්බ මේ වැඬේ සමිත එක්ක කරන්ඩ පුලුවන් කියන එක. මෙතනදි මගේ දේශපාලන අදහස ඔහු තේරුම් ගන්න ප්‍රමාණය ගැන මට විශ්වාසයක් තිබ්බ. ඒ නිසා සමිත ලංකාවට එනකන් මම අවුරුදු හතරක් බලාගෙන හිටිය. සමිත මේකෙ ප්‍රධාන භූමිකාව.
මේ නාට්‍යයේ කාන්තා චරිතය සම්බන්ධයෙන් විශේෂයෙන් කතා කරන්ඩ ඕනෙ. මොකද මේක වැඩිහිටියන්ට පමණයි ගනයේ නාට්‍යක්. අපිට කාන්තාවන් මේ සඳහා තෝරා ගනිද්දි විවිධ අදියරයන් පසු කරන්ඩ සිද්ධ උනා. විවිධ අය විවිධ හේතු නිසා මේක අතඇරිය. සමහරුන්ට දේශපාලන ප්‍රශ්න තිබ්බ. තව කෙනෙකුට අපි මේ නාට්‍යයේ කතා කරන දේවල් වේදිකාව උඩ රඟපාන්ඩ අපහසුතාවයන් තිබ්බ. ඒනිසා විවිධ හේතු කියල නිළියො ගොඩක් මේ චරිතය දාල ගියා.
කොහොම හරි අවසානෙදි අපිට කැලුම් ගම්ලත් කියන අතිදක්ෂ නිළිය හම්බවුනා. කැලුම් පළවෙනි තැන ඉඳලම වැඬේ අල්ල ගත්ත. අද වෙනකොට කැලුම් ලංකාවෙ වේදිකාවෙ ඉතාම අභියෝගාත්මක චරිතයක් කරනව.