රාවය

විෂගෝර සර්පයා

විෂගෝර සර්පයා

ශාන්ති දිසානායක

මද්දහනේ සාර සුබාවට දිලෙන සූරිය දිව්‍ය රාජයාට යටත් වූවා වගේ ළමිස්සියන්ගේ ඇස් නිදිබරින් සැලී පියවී යයි. කෝල කතා, මුකුළු කතා, ඔමරි බැලුම්, ඇන හිටින මේ නිස්සාර දෙපැයේ බකන් නිලාගෙන ඉන්නට කැමති නොවන කෙල්ල හීන් සීරුවේ පිළිකන්නට වදියි. ඉස්සරහා මිදුල කිරි අම්මාගේත්, මුත්තම්මාගේත් සංග්‍රාම භූමියක් වගේය. එහි සටන් වදින අභීත සෙබළියන් මෙන් උන්දලා පොල් අතු හා පන් කොළ එක්ක හරි හරියට ඔට්ටු වෙති. ඒ උකුසු ඇසින් ගැලවී හිඳින්නට ඉඩ ලැබෙන මේ මද්දහනේ කෙල්ලට හරිහමන් ඉලක්කයකුත් නැති ගානය. කොල්ලා හිටියානං රහසින් කටු කුටු ගා මොනවා හරි තක්කඩි කමක් කරන්නට පිළිවන. එහෙත් කිරි අත්තා දම්පිටියේ ගියේ ඔහු ද කැටුවය.
“ඒක හොඳයි. කුරුල්ලා කොබෙයියා වගේ තට්ට තනියෙන් හතර දිග්බාගේ ඉගිල්ලිලා එනේකේ කොල්ලා එක්කාන යනේක.”
කිරි අම්මා කවදාවත් නැතුව තමාගේ පුරුෂයා සමඟ එකඟ වූවාය. එහෙත් මුත්තම්මාගේ මුවඟ නැගුණේ සරදම් හිනා ඇබිත්තකි.
“ඔව්වොව්….. එහෙට්ට යන අතරමඟ නැතැ අප්පේ අපේ කොලූගේ ලේ නෑයෝ අනන්ත අප්පරමාන……”
ඒ කතාව වැකුණේ කිරි අම්මාගේ කනේ පමණයි.
“මොකක් ද ඒ කතාව”
දණ්ඩෙන් පහර කෑ හැපින්නක මෙන් ඇඟ මස අඹරවා පොරයට වන් ගැහැනිය නොතැකු මැහැල්ල ඉවතට ගියාය.
“තේරෙන්නෙම නෑ බොට….. මං නං අපූරුවට සනිටුහං කරගෙන ඉන්නේ මයේ බෑණා ගමේ යතොත් යන්නේ එක්කෝ උඹ බඩිං ඉද්දි….එහෙම නැත්තං වදාපු හැටියේ….ඒ දින වකවානු අල්ලලාම ඒකා ඔය සුමානේ හමාරේ ඇවිදලා එන්නේ දස සිල් සමාදං වෙලා වෙන්ඩැති….”
කිරි අම්මා කට ඇරියත්, කට ඇරගෙන බලා ඉන්නා මිණිබිරිය දැක ඉවසුවාය.
“ කිව්වොත් කියන්නේ ඉතිං නෝබිනා කුප්පීදූ කතාවක් තමා… ආයේ හොඳ කතාවක් නම් මේ සම්මජාතියේ අහන්ඩ හම්බ වෙන්නේ නෑ ඔය කටින් අපිට” ඇසෙන නෑසෙන හඬින් බැන වැදීමෙන් හිත සනසා ගත්තාය.
ඔට්ටු දුවන්නට කොල්ලා නැති හින්දාම ඔහේ වත්ත පහළට ගාටන කෙල්ලට ඒ කතා බහ ඇහෙන්න ඇහෙන්නා වාගේය. ඒ මදිවාට මේ නිහඩ නිසංසල බව මධ්‍යයේ තමා කළ යුත්තේ කුමක් දැයි තෝරා බේරා ගත නුහුණුව විපිළිසර වූවාය. අවාරයේ හින්දා අඹ ගහකට, කජු ගහකට නගින්නට ද නොසිතුවාය. ගිරා බෙනයකට එබී බලන්නට නාටු පොල් ගසක නැගිය යුතුය. එහෙත් කොල්ලාට මෙන් ඒ හපන්කම ඇයට කළ නොහැක. පොල් ගහේ.් අතු ඉති තිබුණා නම් ඇයට ගිරා බෙනයකට එබී ගිරා බිත්තරයක් හෝ පැටවෙක් දැක බලාගෙන කුරුම්බා ගෙඩියකුත් කඩාගෙනම බිමට බහින්නට ඉඩ තිබිණ.
ළිඳ වට කරගත් සෙබළ මුළුවක් වාගේ උසට මහතට හා හත්තියට නැඟී ඉන්නා පුවක් ගස් අරඹ වෙත කෙල්ල ගමන් කළේ කවදාවත් නැති තරමේ අලස උදාසීන බවකින් වෙළෙමිනි. නොසිතූ විරූ ලෙස ඒ සියුම් සරසරය ඇගේ දෙකනේ ඔබා දෙපයේ කඩිසරකම හොරා ගන්නට සමත් වූ අපාවා මත ඇගේ ඇස්ගෙඩි නැවතිණි. කෝටු බෝටු කෙල්ලට හාත්පසින්ම වෙනස් ආකාරයෙන් ඒ කාලවර්ණ උරගයා මහා කඩිසර කමකින් දිය පාර කරා ඇදී යයි.
සර්පයකු සමීපයේ සිටින බව දැනගත් කෙනෙහි තැති ගන්නා ඔනෑම මනුස්ස පරාණයක් මෙන් කෙල්ල ද තැති ගත්තාය. එහෙත් “අම්මේ” යි බෙරිහන් නොදෙන්නට තරයේ වග බලා ගත්තාය. තැති ගැන්ම කුහුලකට පෙරළුණු බැවිනි.තමාට වඩා කීප ගුණයකින් විශාල මනුසතෙක් සමීපයෙහි හුස්ම ඉහළ පහළ හෙළන බව නොදත් ලෙසින් සර්පයා දිය පහර අබිමුව නැවතිණ. ඇය ඒ බියජනක හා මාරාන්තික විෂ දළගේ සඟවාගත් පුදුමාකාර සත්ත්වයා දෙස බලාගත් වනම සිටියාය. කිරි අම්මලා කිරි අත්තලා කවදාවත් සර්පයකු තළා පෙළා මරා නොදැමුව ද මාමලා වහා දණ්ඩක් මුගුරක් සොයති.
“විසගෝර සර්පයා දැක නෑරූ මෝඩයා” යි කියමින් ඒ ත්‍රිකෝණාකාර කුඩා හිස තලා දමති. නළියන කඳ ගින්නෙහිලා පුළුස්සන්නේ වෛර බැඳීම වලක්වන අටියෙනි. පලි ගන්නට පස්සෙන් පන්නාගෙන ඒම එයින් නවතී.ඇදහිය නොහැකි තරමට සුන්දර හා වසඟකාරී ගිනිදැල් මධ්‍යයේ ඇඹරි ඇඹරි දැවී යන සර්පයන් ද පුළුටු ගඳ ද කෙල්ලකගේ ඇබිත්තන් හදවත ද දවාළු වග ඒ නාඹර ඉලන්දාරියෝ කිසි කලෙකත් සැක නොකළා සහතිකය.
ඉතිං ඒ නිසල කාරණා සිහියට නැගුණෙන් කෙල්ල අතකින් ද මුව වසා ගන්මින් මේ කාල වර්ණයට ළං වූ සෝබමාන සත්ත්වයා මත රැඳුණු දෙනෙතින් ගල් ගැහුණාය. කොහොමටත් ඇයට බිම බඩගාන උරගයන්ට ද නිල්ඹර සරණ සියොතුන් සේම අතිශය සොඳුරුය.
හිරිමල් ළමිස්සියක නාඹර ඉලන්දාරියකුට ප්‍රේම කරන්නාක් මෙන් ඇය කඹරගොයාට තලගොයාට පවා ප්‍රේම කළාය. එහෙත් තලගොයා මෙන් නොව කබරගොයා අතීත කෘරත්වයක සලකුණු සහිතව උදාරම් ලෙස ඇදී එන කල කෙල්ල භීතියද කුකුස ද විස්මය ද මුසු චමත්කාරයක ගිලුණාය.
දැන් මේ පිනිබර මද්දහනේ ඇය පුබුදුවාලන්නේ කුඩා වුව ද මාරාන්තික බවින් අඩු නැති වෙසෙස් සත්වයෙකි.
දිගු කලක් මුළුල්ලේ දිය පොදක් නොලත් එකකු පරිද්දෙන් සර්පයා දිය බොයි. සියල්ල ද සියලු දෙනාද ඇගේ මතකයෙන් ගිලිහිණි. පිපාසය සංසිඳුවා ගන්නා උරගයා පමණක් ඉතිරිව අන් සියල්ල බොඳවී සැඟව ගියේය.
එහෙමත් තිබහක්,එහෙමත් තිබහ සංසිඳුවීමක් ෟ රිසි සේ දිය බොන සර්පයා විෂගෝර වූවා මෙන් ම අනුරාගී විය. ඒ සිහි කටයුතු මද්දහනේ දී කෙල්ල විස්මයෙන් මෙන්ම වේදනාවෙන් ද මිරිකුණාය. රාත්තිරියේ කිරි අත්තා උගුර පාදන කල හීං සිරුවේ පැදුරින් නැගිට ගෙපිලට ගාටන කිරි අම්මා ආපසු එන්නට ගතවන කෙටි කාල සීමාව කෙල්ලට කල්පයකි. එහෙත් කොයිම දවසක හෝ ඇය “කිරි අම්මේ” යි හඬ නොනැගුවාය. තද නින්දේ පසුවන ලෙසින් ඇස් පියාගෙන දර ලීයක් මෙන්දරදඬුව සිටියාය.
ගෙපිලේ ලණු ඇද මත යමක් සිදුවන බව ද එය ගැහැනු පිරිමි දෙපාර්ශ්වය සතු මිහිරි රහසක් බව ද දැන නොදැන වුව අනුමානයෙන්, සැකයෙන් හා ගැහෙන හදවතින් පැදුරේ හැකිතාක් ගුලි වී වකුටු වී නිද්‍රාවේ ගිලෙන්නට වෑයම් කළාය. කාටත් හොර රහසේ තිත්ත කළුවරේ සිදුවන එකී ක්‍රියාදාමයෙන් පසුව ගැහැනියක තුළ තවත් යමක් දිගු කලක් මුළුල්ලේ සෙමින් වුව ද තිරසාර ලෙස සිදුවන බව ද වටහා ගන්නට කෙල්ල සමත් වීම සැබැවින්ම අකලට මේරීමකි.
“ මේකි පැහිලා ඉදිලා” යි ඇතැම් විට ළමිස්සිය කාගෙන් හෝ සැර ටොක්කක් කන්නට සිදු වන්නේ ද ඒ ඕනෑ නැති පැහිච්චකම් නිසාය. මේ මද්දහනේ දිය බොන සර්පයා දෙස පිබිදෙන කයින් මනසින් බලාගත් වනම ඉන්න කෙල්ලට ටොක්කක් අනින්නට අයෙක් අහළ පහළ නැත්තේය. වර්ණයේ භයංකාර බව ද රමණයේ අනුරාගික විවධත්වය ද නොමඳව ගෙන හැර පාමින් දිය බොන සර්පයා වෙතින් කෙල්ල ඉවතට ඇද්දේ කිසිවකුගේ අතක් නොවේ. මද්දහනේ නිශ්ශබ්දතාව සුණු විසුණු කර දැමූ උච්ච ස්වරයකි. ඒ විලාපය ගම්මැද්ද වසාගත් නිහැඩියාවේ කඩතිරය ඉරා දැමුවේය.
දිව යා යුත්තේ කොයිබටදැයි ඇය ඉන්තේරුවෙන්ම දැන සිටියාය. ඒ වෙන කොතනකටවත් නොව ගුණහාමි මාමාගේ ගෙදරටය. වෙද ගෙදරටය.
විෂ වෙදකමේ හසළ පාරම්පරික වෙදදුරකු වුව ද දෙතුන් මසකට වරක් වෙද මාමාගේ වෙද ගෙදරින් එවන් විලාපයක් පැන නැගීම අරුමයක් නොවේ.
“ඉරිසින්නාන්සෙටවත් ගොඩ දාන්ඩ බෑ…..ගෙනා ආවිස තමා ඉතිං…..”
ගුණහාමිගේ උපේක්‍ෂා සහගත හඬ තවමත් උණුසුම රැඳි සිරුර බදාගෙන හඬා වැටෙන ගැහැනියක හෝ මිනිසකු සනසන්නට සමත් නොවේ.
හැමදාම අසා පුරුදු වචන වෙනුවට මෙදා වෙද ගෙදරින් ඇසෙන්නේ නුපුරුදු වචනය.
“මුස්ලිම් ගම්මානේ ළමයෙක්….පොළගා කාලා තියෙන්නේ ඉර මුදුන් ජාමේ…..ජීවකයා ආවත් ගොඩ දානවා බොරු…..අපරාදේ යස ඉලන්දාරියා….”
ඈතින් මෑතින් දිව එන ගැහැනුන් මිනිසුන් ළමයින් වෙනුවෙන් එසේ පහදා දුන් මිනිසා ද හූල්ලා වැටුණේය.
වැලහින්නක වාගේ වැලපෙන පාතිමා නැන්දා අල්ලා බදාගත් කිරි අම්මා දකිත්ම මහ සෙනඟක් මැද්දේ කෙල්ලට දැනුණු තනිකම දුරු වී ගියාය. අන්‍ය ජාතික ස්ත්‍රිය අස්වසනවා වෙනුවට කිරි අම්මා ද කඳුළු සලන අයුරු දැකීමෙන් කෙල්ලගේ ඇස් ගෙඩි ද කඳුලින් පිරී ඉතිරී ගියේය.
කෙසෙල් කොළය මත නව යව්වන සිරුර සැනෙකින් නැගිට හිනහී දිව යනු ඇතැයි ඕනෑම කෙනකු හට සිතෙන තරමට ජීවයෙන් හා තාරුණ්‍යයෙන් පිරිපුන්ය. ජීවිතය විනා මරණය අකැප බව සනාථ කරන ඒ අජීවි සිරුර දෙස කෙල්ල බලා සිටියේ කඳුළු පටලයෙන් බොඳව ගිය දෙනෙතිනි. දරු දුක ජාති ආගම් කුල ගොත් අතික්‍රමණය කරන ගොරතර දුකක් බව ඇය ඒ සින්නිකිතර වයසේ දීම වටහා ගත්තේ ඉසිලිය නොහෙන දුකින් මිරිකෙමිනි.අවුරුදු තිහක යුද්ධයකට පස්සෙත් නිමක් නැති ලේ වැගිරීම් හා මිනී කඳු මතින් ඇවිද එන්නට සිදු වීමේ ඛේදවාචකයෙන් රිදුම් තැලුම් ලබමින් වුව තවමත් අපි අපේ අසල්වැසියා සදාතනික පිටස්තරයකු ලෙස කෝපයෙන් හා පිළිකුලේ කෙවිටෙන් බැහැර කරන්නෙමු.
එකම රටක ජාතීන් දෙකක් අතර ගැටුමේ දී මිය ගිය වුන් සැමරීමට අනෙක් ජාතියට අයිතියක් නැතැයි සිතීමට මොනතරම් අමානුෂික හා අසෝබන දැයි සිතන්නට අවබෝධ කර ගන්නට නොවෙහෙසෙමු. මියගියවුන් සැමරීම මෙන්ම ප්‍රණාමය දැක්වීමට ද ජීවත්වන්නවුන් වශයෙන් අප කළ යුත්තේ තව දුරටත් ජාතීන් වශයෙන් බෙදී වෙන් වී ඇන කොටා ගැනීම නොවේ. දේශපාලනඥයින් යුද්ධය සේම මේ සැමරීම ද ආශිර්වාදයක් කරගත් බව පැහැදිලිව දැකිය හැක.ඒ අතරේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා උතුරේ දෙමළ ජනයා විසින් යුද්ධයේ දී මිය ගිය තම දරුවන් ඥාතීන් හා හිතමිත්‍රයින් සැමරීම අනුමත කරමින් කළ ප්‍රකාශය මාධ්‍යවේදීන්ගේ පමණක් නොව බහුතරයකගේ අප්‍රසාදයට හා විරෝධයට ලක් වී තිබේ. සැබවින්ම ඇමතිවරයාගේ පැටිකිරිය හා අතීත ක්‍රියා ගලපනවා වෙනුවට උතුරේ දකුණේ සැමරුම් පිළිබඳ ඔහු දැක් වූ අදහස් සලකා බැලිය යුතුව තිබේ.
යුද්ධයෙන් මිය ගිය උතුරේ දකුණේ පිරිස් රණවිරුවන් යනුවෙන් උත්කර්ෂයට නංවා බුහුමන් දැක්වීම ද ත්‍රස්තවාදීන් යනුවෙන් අවමන් කොට හෙළා දැකීම ද සංහිඳියාවට මෙන්ම රටක් ලෙස නව ජවයකින් ගොඩ නැඟීමට ද බාධා පමුණුවන බව කොයි කව්රුත් වටහාගත යුතුය.
දහස් ගණනක් මිය ගියේ එකම රටක වැසියන් බව ද දෙමළ ජනතාව යුද්ධයක් කරා තල්ලු කර දමන්නට සිංහල දෙමළ දේශපාලනඥයින් මෙන්ම ජාතිවාදයෙන් හා ආගම් වාදයෙන් ඔද්දල් වූ සිංහල බෞද්ධ ජනතාව ද නොමසුරුව දායක වූ බව අමතක කළ යුතු නැත.
කිසිවකු උපතින් ත්‍රාස්තවාදියකු නොවන බව ද අපි පහසුවෙන් අමතක කර දමමු. යුද්ධය ද කිසි විටෙකත් ඕපපාතික නොවේ. යුද්ධයෙන් මියගිය පිරිස් සිහි කිරීම ද යුද්ධයක් බවට පත් කරගන්නා තරමට අපි අඥාන වෙමු.
මේ අමන හා අදූරදර්ශී බවේ කෙළවරක් ඇත්තේම නැද්ද? නැවත යුද්ධයක බිහිසුණු බව අත් නොදකින්නට නම් තිස් වසරක් පුරා පැවති යුද්ධයෙන් මිය ගියේ එකම රටක දරුවන් බව මුළු රටම අවබෝධ කර ගත යුතුය. ඒ බව රටට හඬගා කියන්නට තරම් නිරභය වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා උඩ දැමීම හෝ බිම හෙළීම වෙනුවට අප කළ යුත්තේ ඒ මතය සමාජගත කිරීමය. දරුවන් මිය යන තවත් යුද්ධයක් ඕනෑ නැති බව හඟින්නට, දේශපාලඥයන් හා ජාතීවාදීන් හට රටක් හෝ මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කරන්නට ඉඩ නොදෙන්නට තරයේ වග බලා ගැනීමය.