රාවය

“බහුචිතවාදියා” ආදරය යනු මෝටර් සයිකලයකින් ඩිලිවර් කළහැකි තෑගි පාර්සලයක්ද ?

“බහුචිතවාදියා” ආදරය යනු මෝටර් සයිකලයකින් ඩිලිවර් කළහැකි තෑගි පාර්සලයක්ද ?

මහාචාර්ය ලියනගේ අමරකීර්ති

මාලක දේවප්‍රියගේ බහුවිතචාදියා චිත්‍රපටය මට නරඹන්නට හැකි වූයේ පසුගිය සාක් සිනමා උළෙලේදීය. ඊට පසු දින පැවැත්වුණු සාක් සිනමා සම්මාන උළෙලේදී එම චිත්‍රපටයට ජූරියේ විශේෂ සම්මානයක් හිමිවිය. එමෙන්ම 2017 දෙරණ සිනමා සම්මාන උළෙලේදී හෙට දවසේ සිනමා කෘතියට හිමිවන හොඳම චිත්‍රපටය සම්මානයත්, 40 වන මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ නෙට්පැක් තරගකාරී අංශයේත් ප්‍රදර්ශනය විය.
බහුචිතවාදියා මා මෑතකදී නැරඹූ ඉතා හොඳ සිනමා කෘතියකි. මා මේ නිගමනය කරන්නේ අවුරුදු තිහකවත් අතීතයක් ඇති චිත්‍රපට පිස්සකු ලෙස මිස චිත්‍රපට ගැන බසන්, ලකාන්, සිසෙක් (ජිජෙක්” චිචෙක්) හෝ වෙන යම් කෙනෙක් කියූ දේ ඇසුරින් නොවේ. එවැනි අය සිනමා කෘති ගැන ඉතා වැදගත් දේවල් කියා ඇති බව ඇත්තකි. බහුචිතවාදියා හොඳ නිර්මාණයක් වන්නේ වර්තමාන ධනවාදී ලංකාවේ තරුණ පරම්පරාවේ පැවැත්ම පිළිබඳ ඇතැම් අර්බුද ඉතා හොඳින් විෂය කරගෙන එය අපූරු සිනමා අත්දැකීමක් බවට පෙරළන නිසාය.
තම සමීපතමයන්ගෙන් දුරස්ව ලංකාවේ හෝ වෙන යම් තැනක වෙසෙන අය තමන් ආදරය කරන අයට අන්තර්ජාලයෙන් ත්‍යාග යැවීම නම් ක්‍රියාවලියම ධනේශ්වර වර්ධනයේ එක් නිශ්චිත අවස්ථාවක් ඉඟි කරයි. මෙම අන්තර්ජාලයෙන් තෑගි ඇණවුම් කරන ආයතනයේ “ඩිලිවරි බෝයි” තමන් තෑගි යවන සහ ලබන ඇතැම් ස්ත්‍රීන් සමග ඇති කරගන්නා ලිංගික සම්බන්ධතා මාලාවක් චිත්‍රපටයට විෂය වේ. ඒ ස්ත්‍රීන් තමන් ආදරය කරන අය සමග සම්බන්ධ වන්නේ යම්කිසි ත්‍යාග වස්තුවක් ඔස්සේය. නිදර්ශනයක් මෙසේය. ලන්ඩනයේ වසන එක් පිරිමියකුගේ බිරිඳ සිය දරුවා සමග හුදෙකලාව ලංකාවේ වසයි. ඒ සැමියාගේ ආදරය ඇය වෙත එන්නේ ඔහු එවන ත්‍යාග වස්තු විලාසයෙනි. එය මානව-මානව සම්බන්ධයක් නොවේ. මානව-භාණ්ඩ සම්බන්ධයකි. ඒ නිසා ඒ ත්‍යාග බෙදාහරින තරුණ පිරිමියා සමග මිනිස් ඇසුරක් ඇතිකර ගැනීමට ඇය පෙළඹේ. මෙවැනි ස්ත්‍රීන් ගණනාවක් චිත්‍රපටයෙහි අපට දැකිය හැකිය. ඔහු හුදෙක් ගනුදෙනුකරුවකු නොවී ඒ ස්ත්‍රීන්ගේ ජීවන ගමනේ සහකරුවකුද, සවන්දෙන්නකුද, ලිංගික ප්‍රීතිය සපයන්නකුද බවට පත් වේ. එහෙත් ඔහු ඒ ස්ත්‍රීන් සලකන්නේ තමන්ගේ ඉලක්ක කරා යාමට භාවිත කළ හැකි උපකරණ ලෙසිනි.
මේ සියල්ල සිදුවන ලංකාවේ අගනගරය වේගයෙන් ධනවාදී වර්ධනය කරා යනු පෙනේ. පසුබිමින් ඇතැම්විට ඇසෙන රූපවාහිනී වැඩසටහන්වල ලංකාවේ සංස්කෘතික පාරිශුද්ධත්වය සහ අද්විතීයත්වය ගැන ජාතිකවාදී ටෙලි ෂෝ සංදර්ශනය පැවැත්වේ. ඒවා සුපර් ස්ටාර් වැනි සංදර්ශනවලින් වෙනස් නැති බවට සිනමා බසින් අපට කියවේ. මව්බිමෙහි උදාරත්වය ගැන කතිකා සංදර්ශන පසුබිමින් ඇසෙද්දී පෙරබිමෙහි අප දකින්නේ මැදපෙරදිග විවිධ රැකියාවලට ගොස් හුදෙකලා වූ, විවිධ පිරිමින් විසින් සූරා කැවෙන අසරණ ස්ත්‍රීන්ය. චිත්‍රපටයේ ප්‍රතිවීරයා තැත් කරන්නේ මේ ලෝකෙන් උතුම් රටෙන් ඈතට පැන ගන්නටය. ඇමරිකාවට, යුරෝපයට, ඔස්ටේ්‍රලියාව බැරිනම් ඉන්දියාවට හෝ පැන ගැනීමටය. ඒ සඳහා මාර්ගය ලෙස මෙම තරුණයාට පෙනෙන්නේ පිටරට සිටින ස්ත්‍රියක දපනෙ දා ගැනීමය. ඔහුට ආකර්ෂණය වන ස්ත්‍රීන් සොයන්නේ නවතින්නට තැනකි. ඔහුට ඒ ස්ත්‍රීන් පෙනෙන්නේ වෙන තැනකට නැගිය හැකි ඉණිමගක් ලෙසකි. ඔහුට ඔවුන් සිය ගමනෙහි උපකරණයක් පමණි. ඒ සෑම ස්ත්‍රියකම ඔහු වෙතින් අපේක්ෂා කරන්නේ ඔවුන්ගේ ගමනෙහි ගමනාන්තය බවට පත්වීමය. ඒ නිසා මේ ජෝඩු කෙදිනකවත් එකතැන නවතින්නේ නැත. මනුෂ්‍ය සම්බන්ධතාවල මෙම ඛාදනය සිදු වී ඇත්තේ ඇයි? එය හුදෙක් ආර්ථික නිර්ණයවාදීව පමණක් විස්තර කළ හැකිද?
අලූත් පරම්පරාවක පැවැත්ම පිළිබඳ මේ අර්බුදය, එනම් මනුෂ්‍යයන් එකිනෙකාගෙන් වෙන් කර හුදෙකලා කරනු ලැබීම පිළිබඳ අර්බුදය, සිනමා කෘතියට හසුවෙන්නේ පශ්චාත්-නූතන ගෝලීයකරණය පිළිබඳ ඇතැම් යථාර්ථයද හසුවන ලෙසය. ආර්ථික ගෝලීයකරණය ප්‍රාග්ධනයට දේශසීමා පනින්නට ලබා දෙන ඉඩ ශ්‍රමිකයාට ලබා දෙන්නේ නැත. ශ්‍රමිකයාට දේශසීමා ඉක්මවා යන්නට ලැබුණද ඔහුට හෝ ඇයට ඒ ගමන යාමට ලැබෙන්නේ ශ්‍රමිකයකු ලෙසම පමණි. ආදරවන්තයකු ලෙස සිය ආදරවන්තියද රැගෙන, සැමියකු ලෙස සිය බිරිඳද රැගෙන, පියකු ලෙස සිය දරුවන්ද රැගෙන දේශසීමාව පනින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ඒ අවස්ථාව ලැබෙන්නේ ඉහළ පුහුණු ශ්‍රමිකයන්ට පමණි. අනෙක් කායික ශ්‍රමිකයන්ට දේශසීමාව පැනිය හැක්කේ තනි ශරීරයක ශ්‍රමය විකුණන්නකු ලෙස පමණි. ඒ නිසා එවන් සංක්‍රමණික ශ්‍රමිකයන්ට තම ආදරවන්තියට, ආදරවන්තයාට ආදරය එවන්නට සිදුවන්නේ තෑගි පාර්සලයක වේශයෙනි. එවැන්නවුන්ට ලිංගික ප්‍රීතිය ලබා ගන්නට සිදුවන්නේ තාවකාලික පදනමකින් ලබන පරිභෝජන සේවාවක් ලෙස මිස ආදරයේ දිගුවක් ලෙස නොවේ. ආර්ථික ගෝලීයකරණයේ නිදහස මූලික වශයෙන් ප්‍රාග්ධන නිදහසකි. එහෙත් සංස්කෘතික ගෝලීයකරණය මනුෂ්‍ය ජීවන විලාසිතා සාපේක්ෂ වශයෙන් සමජාතිීය බවට පත් කරයි. මේ වූකලි සම්භාව්‍ය මාක්ස්වාදයේ ආර්ථික නිර්ණයවාදය ඇසුරින් හරියටම විස්තර කළ නොහැකි නව තත්ත්වයකි. නැතිනම් අධෝ ව්‍යුහය සහ එහි උපරිව්‍යුහමය ප්‍රතිබිම්බනය අතර ඇත්තේ දැවන්ත පැල්මකි. පරතරයකි. මේ කාරණය හසුවීමම චිත්‍රපටයේ වැදගත් ජයග්‍රහණයකි.
මේ සියල්ල අතරෙහි මෙම යුගයෙහි පරම්පරාව විශේෂයෙන් පිරිමියා ඉතා වගකීම් විරහිත සත්ත්වයකු බවට පත්ව තිබේ. චිත්‍රපටයෙහි හමුවන සියලුම පිරිමින් පාහේ ආචාර්ධාර්මිකව බංකොළොත් වූ අය බව පෙනේ. එහෙත් ඉතා දරුණු උපකරණීය තර්කනය (කරණීය තර්කනයකට) හසු වූ මේ පිරිමි තුළ මනුෂ්‍යත්වය පිළිබඳ යම් අපේක්ෂාවක් ඉතිරිව තිබේ. කතාවේ ප්‍රධාන චරිතය වන ඩිලිවරි බෝයි ස්ත්‍රීන් රවටන්නකු වුවද ස්ත්‍රීන් හිංසනයට ලක් කරන්නෙක් නොවේ. ඔහු හා සම්බන්ධයක් පවත්වන මැදිවියේ ගැහැනියක යම් නොදන්නා රෝගයකින් පෙළෙයි. එය ආර්ථවහරණය හා සම්බන්ධ ගැටලුවක්ද විය හැකිය. ඇය රෝගී වූ අවස්ථාවක රෝහලට ගෙනයාම වැනි දේ අපේ කතානායකයා කරයි. ඔහු තමා ඇසුරු කරන ස්ත්‍රීන් සමග යාන්ත්‍රික ලිංගික සම්බන්ධතා පවත්වන්නෙක් නොවේ. ඔවුන් සමග කතාබහ කරමින් කාලය ගත කරන බවද පෙනේ. ඔවුන්ගේ හුදෙකලාව ගැන අනුකම්පාවක් ඔහු තුළ තිබෙන බවද පෙනෙන්නට තිබේ.
එසේ ගෝලීය ප්‍රාග්ධනය හෝ ගෝලීය මට්ටමේ පරිභෝජන ආශාව විසින් විසුරුවා හරින ලද න්‍යෂ්ටික පවුල තුළ ස්ත්‍රිය යනු අකර්මණ්‍ය වැලපෙන්නියක්ද නොවේ. ඇයද තම ඉරණමට මුහුණ දෙන්නේ කාරක ශක්තියෙන් යුතුවය. එක් පවුලක ස්වාමි පුරුෂයා එංගලන්තයේය. ඔහුගේ බිරිඳ ඩිලිවරි බෝයි වෙතින් ලිංගික තෘප්තිය සහ සහකාරිත්වය ලබා ගත්තද පවුලද පවත්වාගෙන යයි. ඇය ඩිලිවරි බෝයිට පවුල කඩන්නට ඉඩ නොදෙයි. ඔහු හා පැන යන්නටද තැත් නොකරයි. ඔහුට විශේෂ ආදරයක්ද නොදක්වයි. බොළඳ වචනද නොකියයි. සමනලී ෆොන්සේකා මේ චරිතය සිත්ගන්නා සේ ගොඩනගයි. කූඹියෝ ටෙලි නාට්‍යයේද ඩිලිවරි බෝයි කෙනෙකුගේ චරිතයක් තිබේ. එහෙත් ඊට වැඩි සංකීර්ණතාවකින් මෙම චිත්‍රපටයේදී ඒ ඩිලිවරි බෝයි චරිතය අපට දක්නට ලැබේ. කළණ ගුණසේකර බහුචිතවාදියා චිත්‍රපටයෙහි කරන රඟපෑම අගනේය. කූඹියෝ ටෙලියෙහි වුවද මගේ කැමතිම රංගනය කරන්නේ ඔහුය. (ඊළඟට කැමති රඟපෑම කරන්නේ ටිරාන් ලෙස රඟපාන නළුවාය.) බහුචිතවාදියා අපේ යුගයේ පාරදිගේ වැනිය. එනමුත් ඊට වැඩි පැතිමාන මෙහි තිබේ. අපේ යුගයේ තාරුණ්‍යයෙහි ජීවිතය කළණ ගුණසේකර නිරූපණය කරන්නේ ඒ චරිතය ගැන යම් දයාවක්ද ඇති වන ලෙසය.
විදේශගත ස්ත්‍රීන් ස්කයිප් ඔස්සේ ලංකාවේ සිටින ඩිලිවරි බෝයිට හසුවන ආකාරය ස්කයිප් ඔස්සේම නිරූපණය වන සැටි අපූරුය. ස්කයිප් තිරය ඒ ස්ත්‍රිය ඉලෙක්ට්‍රොනික හිරගෙයක සිරවූ ආකාරයකට අපට පෙන්වයි. මනුෂ්‍ය ස්ත්‍රිය ඉලෙක්ට්‍රොනික රූපයක් බවට පත් වී ඇත. පිරිමියා ගනුදෙනු කරන්නේ ඉලෙක්ට්‍රොනික සංඥා සමූහයක් ලෙස හීලෑ කරගත් ස්ත්‍රියක සමගය. ඒ ඉලෙක්ට්‍රොනික ස්ත්‍රිය සමීප රූපයක් බවට පත් කරන පරිගණක තිරය මත එක් පසෙක ඉතා කුඩා කොටුවක මේ චිත්‍රපටයේ වීරයාද සිර වී සිටියි. ඔහු වීරයකු නොව අසරණ ප්‍රතිවීරයකු බව කියන්නට ඒ අඟලක පමණ කොටුවේ සිට කළණ ගුණසේකර විශිෂ්ට ලෙස රඟපායි.
ආදරය යනු මෝටර් සයිකලයකින් ගොස් ඩිලිවර් කළ හැකි තෑගි පාර්සලයක්ද? වේගයෙන් වර්ධනය වන අගනගරය තුළ අපේක්ෂා භංගයට පත්වන මේ තරුණයාත්, න්‍යෂ්ටික පවුල් තුළට ආදරය සහ රැකවරණය සොයා එළැඹුණු ස්ත්‍රීන්ගේ අතෘප්තියෙන් බරවුණු හුදෙකලාවත් ගැන මේ චිත්‍රපටය කියන කතාව වර්තමානය ගැන චිත්‍රණයක්ද? අනාගතය ගැන අනතුරු ඇඟවීමක්ද? න්‍යෂ්ටික පවුල තවදුරටත් නොබෙදිය හැකි පරමාණුවක් සේ සැලකුණු යුගයක් තිබිණි. අද එය තවදුරටත් පරමාණුවක් නොවේ. එයද කැඩී තවත් කුඩා කෑලිවලට කැඬේ. එසේ කැඩී විසිවුණු මනුෂ්‍ය දූවිලිවල කතාව සිනමාත්මකව කීම අපේ සිනමාව බාරගත යුතු අභියෝගයකි. එය රජකතාකාර සිනමාකරුවන්ට බැරිවැඩකි. ඒ අය රජකතා කියන අතර තව පිරිසක් මේ අපේ කතාව කිව යුතුය. ඒ කතා වර්ග දෙකම කියන සිනමාවක් අපට තිබිය යුතුය. මේ දෙවැනි කතාව කියන දක්ෂ සිනමාකරුවෝ පේළියක්ම පෙළ ගැසී සිටිති. එහෙත් මේ චිත්‍රපටි ටික ඉක්මනට පෙන්නන්නට කිසිවෙක් ඉදිරිපත් නොවෙති.