සහෘදස්පන්දන – සුරාසල් කවි

පියන්කාරගේ බන්දුල ජයවීර
piyankaragebandulajwr6@gmail.com

දොඩමට දෙමින් ඉඩ මළ පැණි දොඩම් මල
දෙළුමට දෙමින් ඉඩ මළ රතු දෙළුම් මල
කරලට දෙමින් ඉඩ මළ සියඹලා මල
ගමටම දෙමින් පණ මළ මයෙ කිතුල් මල

පොල්කටු අටක් හිස්කෙරුවා සිහියෙ ඇති
නවයෙ ඉඳන් ඉස්සරහට සිහියෙ නැති
ළමාතැනී මළ දුක උතුරන්ඩ ඇති
මගෙම හේන මහ රෑ මං ගාල කැති

කළුබෝවිල පොල්වත්තේ රා පොළටත් ගියා
බෙල්ලන්විල මල්නයිදෙගෙ රා පොළටත් ගියා
තුම්බෝවිල රතුහාමිගෙ රා පොළටත් ගියා
කොහෙවත් ගියෙ නැති විදිහට පිනා ගෙදර ගියා

කුරුඳු කෝටු ගොඩ තලලා ඉවර වෙලා
අප්පුයි මමයි රා කළයක් ඉවර කළා
වැනි වැනි ඇවිත් අපි හිටියදි දොළට වෙලා
දොළ ගල් අතර හිර වී හඳමාමා මළා

තොටුපළ ළඟදි වත්කරලා ඔරුවකට
තෙලිකඩ රාළ රා පෙව්වලු කිඹුලෙකුට
හිනාවුණු ගමන්මලු දැන් උගේ කට
කරදර කරන්නෑ කිව්වලු ඌ ගමට

කිරි වවුලෙක් රංවල මූකලානේ
ගිගිරි බැඳන් රෑ තිරිහන් කළානේ
අබිං ටිකක් කාලා ගිය සුමානේ
සක්වල මැදින් මං ගහගෙන ගියානේ

පේරාදෙණිය හරියෙදි හරි වැඩක් වුණා
රූරා ගලපු ගඟ ගල උඩ නතරවුණා
මීරා පොළේ කොයි කවුරුත් එකතු වුණා
තල්ලු දෙකක් දැම්මම ගඟ පිටත් වුණා

බිම්මල නැගෙන තැන කලියෙන් කවුරු දනී
එකම දේට වෙන වෙනමත් කඳුළු පනී
රා වාඩියේ මහ පන්දම නිවෙනු පෙනී
ගල් අම්බලම ඇවිදින් මා ඇහිඳ ගනී

කළු මාමට කළු සුරුට්ටු පෙට්ටි දෙකක් මදි
හපුමලීට තලු මරන්ඩ පැණි දුම්කොළ මදි
කෝල්බුරුක් සාමිතුමා තාම පැහිල මදි
රටේ ලොකුම මල මැද්දත් මලේ අපට මදි…!
– රුවන් බන්දුජීව -(මුහුණු පොතේ පළ වූවකි.)
කායිකව හෝ මානසිකව වෙහෙසට, කරදරයට පත් වූ අවස්ථාවලදීත්, බෙහෙවින් ම සතුටුදායක හෝ දුක්ඛදායක අවස්ථාවලදීත්, පිරිසක් එකතු වී සාමූහිකව මධුවිත පානය කිරීම අපේ සමාජය තුළ දක්නට ලැබෙන පුරුද්දකි. ඇත්තටම අද අපේ රට තුළ කවර හෝ අරුතකින් ‘සමාජය’ දකිත හැක්කේ ද මධුවිත බෙදා හදා ගන්නා තැනක ම පමණි! අනෙක් තැන්වල ඇත්තේ මිනිසුන්, නොමිනිසුන් බවට පත්කරලන, ගෙවල් ය, පාරවල් ය, කාර්යාල ය, වැඩබිම් ය, පොදු හා පෞද්ගලික ප්‍රවාහන සේවාවන් ය. කෙනකු සිහිය විකල් වන තුරු මත්පැන් පානය නොකර ‘මඳ පමණකට’ ගන්නා මධුවිතකින් සිත මෘදු වී සිතුවිලි ලිහිල් වනු ඇත! කලකට ඉහත ‘සමාජවාදී සමානතා පක්ෂයේ’ නායක ‘විජේ ඩයස් සහෝදරයා’ ‘රාවය” පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබුණේ ඉඳහිට ගන්නා සිහින් මධුවිතකින් තමාගේ සිතුවිලි මෘදු කරවන බව ය. අපේ රටේ කොළඹ යුගයේ ඇතැම් කවීන් (මීමන ප්‍රේමතිලක) මධුවිත ඇසුරු කරමින් තම නිර්මාණ සඳහා අවැසි නිර්මාණාවේෂය ලද බවට ප්‍රකට කතන්දර ඇත. එහි තේරුම, කවි ලිවීම පිණිස අනිවාර්යයෙන් ම මධුවිත පානය කිරීම අවැසි බව නොවේ! එහෙත් සමහර හොඳ කවි රස විඳි කල්හී මඳ පමණට ගත් මධුවිතකින් ලබන අහ්ලාදය ම ලද හැකිය! ඒ සඳහා මෑතකාලීන අතිසමීපතම උදාහරණය සපයන්නේ මුහුණු පොතේ පළවූ , ‘රුවන් බන්දුජීව’ කවියා ගේ ‘සුරාසල් කවි’ නමැති කවිය යි. මෙම කවිය අප සිත් කවි රසින් මත් කරවයි!
ශාකයක යම් ඵලයක් හටගන්නේ එහි පළමුව හට ගන්නා පුෂ්පය මිය යෑමෙන් හෙවත් එහි ඊළඟ වර්ධන අවස්ථාව ලෙසිනි. ඉතින් දොඩම් ඵල හටගන්නේ පැණි දොඩම් මල මරණයට පත්වීමෙනි. දෙළුම් ඵල හටගන්නේ දෙළුම් මල මරණයට පත්වීමෙනි. සියඹලා කරල් හටගන්නේ සියඹලා මලට මරණය අත්කර දීමෙනි. කිතුල් මල, මළගම් යන්නේ ගමටම පණ දෙන කිතුල් රා උපදවමිනි!
“දොඩමට දෙමින් ඉඩ මළ පැණි දොඩම් මල
දෙළුමට දෙමින් ඉඩ මළ රතු දෙළුම් මල
කරලට දෙමින් ඉඩ මළ සියඹලා මල
ගමටම දෙමින් පණ මළ මයෙ කිතුල් මල”
මෙහිදී මධුවිත ලෙස ගන්නා කිතුල් රා පමණ ඉක්මවා ගැනීමෙන් කවියේ කථකයා ගේ සිහිය තරමක් විකල් වෙයි. තම ප්‍රියම්බිකාව මළ ශෝකය තීව්‍ර වීමෙන් ද සිහිය අහිමි කර ගන්නා ඔහු තමාගේ ම හේන කැති ගා දමයි!
“පොල්කටු අටක් හිස් කෙරුවා සිහියෙ ඇති
නවයෙ ඉඳන් ඉස්සරහට සිහියෙ නැති
ළමාතැනී මළ දුක උතුරන්ඩ ඇති
මගෙම හේන මහ රෑ මං ගාලා කැති”
තැන තැන ඇති රා පොළවල් ගාණේ රා බොමින් ඇවිද්දත්, ඒ කිසිවගක් නැතුව ගෙදර යන උදවිය ද සිටිති! ‘පිනා’ එවැන්නෙකි. ‘පිනා’ යනුවෙන් හඳුන්වා ඇත්තේ තමාගේ මුදල් වැය නොකොට අනුන්ගේ මුදලින් ‘පින් අඩි’ ගසන අයෙකු වන්නට ද හැකිය!
“කළුබෝවිල පොල්වත්තේ රා පොළටත් ගියා
බෙල්ලන්විල මල්නයිදෙගෙ රා පොළටත් ගියා
තුම්බෝවිල රතුහාමිගෙ රා පොළටත් ගියා
කොහෙවත් ගියෙ නැති විදිහට පිනා ගෙදර ගියා”
කුරුඳු තැලීමේ රාජකාරියෙන් වෙහෙස වූ ගත සිත සනහා ගන්නට මිතුරෝ දෙදෙන රා කළයකට වග කියති. පමණ ඉක්මවා පානය කළ බැවින් ඔවුනට තමන් සිටින හාත්පස පෙන්නුයේ යම් හාස්‍යජනක විපරීත ස්වරූපයකිනි. දොළෙහි ගල් අතර ඇති දියෙහි පෙනෙන සඳ පිළිබිඹුව ඔවුනට පෙනෙනුයේ සඳ මාමාගේ මරණය ලෙසිනි?
“කුරුඳු කෝටු ගොඩ තලලා ඉවර වෙලා
අප්පුයි මමයි රා කළයක් ඉවර කළා
වැනි වැනි ඇවිත් අපි හිටියදි දොළට වෙලා
දොළ ගල් අතර හිර වී හඳ මාමා මළා”
මත් වීමෙන් උපදින හාස්‍යප්‍රිය මනෝභාවය විසින් ඔවුන්ගේ මුවින් අභව්‍ය, රසවත් කථා ගලා එන්නට වෙයි!
“තොටුපළ ළඟදි වත්කරලා ඔරුවකට
තෙලිකඩ රාළ රා පෙව්වලු කිඹුලෙකුට
හිනාවුණු ගමන්මලු දැන් උගේ කට
කරදර කරන්නෑ කිව්වලු ඌ ගමට

කිරි වවුලෙක් රංවල මූකලානේ
ගිගිරි බැඳන් රෑ තිරිහන් කළානේ
අබිං ටිකක් කාලා ගිය සුමානේ
සක්වල මැදින් මං ගහගෙන ගියානේ”
ඊළඟ හතර පදය බඩ අල්ලාගෙන සිනාසිය හැකි හාස්‍ය රසයෙන් අනූන එකකි. මේ තරුණ දක්ෂ කවියා ඇත්තට ම අපව කවි රසයෙන් මත් කරවනවා නොවේ ද?
“පේරාදෙණිය හරියෙදි හරි වැඩක් වුණා
රූරා ගලපු ගඟ ගල උඩ නතරවුණා
මීරා පොළේ කොයිකවුරුත් එකතු වුණා
තල්ලු දෙකක් දැම්මම ගඟ පිටත් වුණා
ජීවිතයට සැප සම්පත් සේම දුක් කරදර ද එන්නේ කිය කියා නොවේ. හතු පිපෙන්නාක් මෙන් ක්ෂණිකව ය. එකම ශෝකී අත්දැකීමට අදාළ එකිනෙකාගේ දුක්ඛ දෝමනස්සයන් විවිධාකාර ය.
දුක තුනී කර ගන්නට බිව්වාට, රාත්‍රියේ රා පොළේ නවාතැන් දෙන්නේ නැත! ඉතින් රෑට නවාතැන් ගන්නට සිදුවන්නේ ගල් අම්බලමේ ය!
“බිම්මල නැගෙන තැන කලියෙන් කවුරු දනී
එකම දේට වෙන වෙනමත් කඳුළු පනී
රා වාඩියේ මහ පන්දම නිවෙනු පෙනී
ගල් අම්බලම ඇවිදින් මා ඇහිඳ ගනී”
අද කාලයේ ‘මතට තිත’ වැනි ‘ගොන් පාට්’ වාරණ නීති වාගේ ම කෝල්බෲක් ආණ්ඩුකාරවරයා ගේ සමයේ ද මත්පැන්,මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් යම් යම් තහංචි තිබෙන්නට ඇත. එහෙත් ඒවායින් අපේ උදවිය තම්බන්නට කෝල්බෲක් සාමි පැහුණා මදිය! රටේ ම තිබෙන ලොකුම මල මැද්දත් අපේ උන්ට එයින් ලැබෙන රා ප්‍රමාණයවත් ප්‍රමාණවත් වන්නේ නැත! අපේ උන් එහෙම ලෙහෙසියෙන් පදම් කරන්නට බැරිය!
“කළු මාමට කළු සුරුට්ටු පෙට්ටි දෙකක් මදි
හපුමලීට තලු මරන්ඩ පැණි දුම්කොළ මදි
කෝල්බුරුක් සාමිතුමා තාම පැහිල මදි
රටේ ලොකුම මල මැද්දත් මලේ අපට මදි”