තිලංගටම ගිය ක්‍රිකට්

රජිඳු කාශ්‍යප

ක්‍රිකට් පළහිලව්ව ඉවරයක් නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති පුටුවට ඉව අල්ලන හිටපු ලේකම්වරයෙක් වූ නිශාන්ත රණතුංග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල එම ධුරය සඳහා යළි තරග කිරීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරුණ පෙත්සමකි. එය දීර්ඝ ලෙස විභාග කළ අභියාචනාධිකරණ විනිසුරුවන් නිලවරණය පැවැත්වීම මේ මස 14 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
මේ සිදුවන්නට තිබූ දේ ය. නිලවරණය පසුගිය මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර එය එදිනට නොපැවැත්වෙන බවට අප කල් තියාම ඉඟි තැබුවෙමු.
නිශාන්ත රණතුංග විසින් ගොනු කරනු ලැබූ එකී පෙත්සමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් සහ ක්‍රිකට් නිලවරණ කමිටුවේ සාමාජිකයින් ඇතුළු 27 දෙනකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි. එමෙන් ම නිලවරණය පැවැත්වීම සඳහා පත්කොට ඇති නිලවරණ කමිටුව ද මුළුමනින්ම නීතියට පටහැනි බැව්ය පෙත්සමේ සඳහන් වනුයේ.
තිලංග සුමතිපාලට එරෙහි නිශාන්ත රණතුංගගේ චෝදනා වී ඇත්තේ මඬේ දම දමා හෝදන චෝදනා ම මිස වෙනත් කිසිවක්ම නොවේ. සෘජුව සහ වක්‍රව ඔට්ටු ක්‍රීඩාවට සබඳතා පැවතීම, ක්‍රීඩා භාණ්ඩ වෙළෙඳාම, මාධ්‍ය ආයතනයක කොටස් සතුවීම ඒ අතුරින් ප්‍රමුඛ වන අතර ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී නීතිවලට පටහැනි ලෙසින් කටයුතු කිරීම ද මෙම පෙත්සමේ දැක්වෙන තිලංගට එරෙහි චෝදනා ය.
මේ චෝදනාවන් ම මීට ප්‍රථම ද තිලංග වෙත නැගී තිබුණි. සමාජයෙන්ද තිලංගට එරෙහි එකී චෝදනාවන්හී සම්බන්ධතා ඇති බවට ද ඇත්තේ ප්‍රකට විශ්වාසයකි. එහෙත් තිලංග මේ සියලු චෝදනාවන් පරාජය කරමින් මීට පෙර ද ක්‍රිකට් පරිපාලනයේ මුදුනා විය.
ඒ අනුව යමින් දෝ හෝ තිලංගගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට තරග වැදීම සඳහා ඔහුට කිසිදු ගැටලුවක් නොමැති බවයි.
ඉතිං, අපි ඒ සම්බන්ධයෙන් තවත් කතා නොකර අධිකරණමය තීරණය දෙස බලා ඉඳිමු.
මෙසේ සිටින අතර ය, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ක්‍රිකට් පාලනය වෙනුවෙන් නිසි බලධාරියෙක් පත් කරනු ලබන්නේ සහ අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ශාෂන්ක් මනෝහර් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී ඬේව් රිචඞ්සන් අතර හමුවක් පසුගිය දා ඩුබායි හි පිහිටි අන්තර් ජාතික ක්‍රිකට් මූලස්ථානයේදී පැවැත්වෙන්නේ. මෙම සංචාරය සඳහා ඇමැතිවරයා සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරී කමල් පත්මසිරි මෙන් ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ද සහභාගි වූහ.
ඊට ප්‍රධානතම හේතුව වන්නේ තිලංග සුමතිපාල විසින් එළැඹෙන තරග සංචාරයන් සම්බන්ධයෙන් සහ අන්තර් ජාතික ක්‍රිකට් සභාවෙන් ශ්‍රී ලංකාව වෙත ලැබීමට නියමිත මූල්‍යමය දායකත්වය නොලැබී යෑමේ අවදානමක් පවතින බවට කරනු ලැබූ ප්‍රසිද්ධ ප්‍රකාශය ය.
තිලංගගේ ප්‍රකාශය එය වූවද ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් නිකුත් කරනු ලැබූ නිවේදනයක් මගින් කියැවුණේ අන්තර් ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකාවේ කටයුතු කෙරෙහි ඉතා සුබවාදීව බලා සිටින බවකි. තිලංග කෙන්දක්, කන්දක් කරන්නට ගත් උත්සාහය එසේ ඵලරහිත වුණි ද තවමත් ක්‍රිකට් ක්ෂේත්‍රයේ සැඟවුණු අමුත්තා තිලංග ම ය.
මේ අතර ක්ෂේත්‍රයේ පවතින ආරංචිය වනුයේ ක්‍රීඩා ඇමති මෙම සංචාරයේ නියැලුණේ ක්‍රිකට් ආයතනය වෙනුවෙන් අතුරු කමිටුවක් පත්කරන ලෙසින් විවිධ පාර්ශ්වයන්ගෙන් කෙරෙන ඉල්ලීම් සලකා බැලීමට බැව් ය. එහෙත් ඒ වෙනුවෙන් කෙරෙන උත්සාහයක් සම්බන්ධයෙන් ආරංචියක් නැත.
කෙසේ වෙතත් පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීද තිලංග සුමතිපාල ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් කළ යුතු බවට යෝජනා වී තිබුණි. ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාගේද අවධානය යොමුවූ බවක් ඒ දිනවල කියැවුණු නමුත් සිදුවූ වෙනසක් නැත. ක්‍රිකට් දෙබරයට පළමු ගල ගැසූ රංජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා පවසන්නේ ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් කුමාර සංගක්කාර, සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම, මහේල ජයවර්ධන වැනි ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විත කණ්ඩායමක් වෙත ක්‍රිකට් පරිපාලනය බාර දිය යුතු බවකි. ඒ සම්බන්ධයෙන් ද අගමැතිවරයාගේ එකඟතාවක් වී තිබූ බවට තැන තැන කතා වූව ද ඒ වෙනුවෙන් ද මෙතෙක් වූ දෙයක් නම් නැත.
සිදුවූ එක ම වෙනස නම් ඇමති මුස්තාපා විසින් තම අමාත්‍යාංශ ලේකම්වරයා ක්‍රිකට් ආයතනයේ පූර්ණ බලධාරියා ලෙසින් පත් කිරීම ය. තම පාර්ලිමේන්තු සගයා වන තිලංග සුමතිපාල මහතා වෙනුවෙන් තමන්ගේ ලේකම්වරයා ක්‍රිකට් මහ පුටුවට පත් කළ ද මේ වෙත්දීත් ක්‍රිකට් ආයතනයේ සියලු කටයුතු සිදු වෙන්නේ තිලංග සුමතිපාලට ඇවැසි ආකාරයට බැව්ය ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙන අන් කවරදාටත් වඩා අදායම් උපයන ආයතනයක් බවට තමන්ගේ කාලයේ පත් කළ බවට උජාරුවෙන් පවසන තිලංග සුමතිපාල තමන්ගේ කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් ජාත්‍යන්තර වර්ගීකරණයේ දී තිබුණාටත් වඩා පහළට වැටුණු බැව් පවසන්නේ නැත. එසේ ම වෙන අන් කවරදාටත් වඩා තරග පාවා දීම් සහ වෙනත් දූෂණ චෝදනාවන්ට ලක් වූ බැව් ද පවසන්නේ නැත.
ඒ සම්බන්ධයෙන් මුනිවත රකින තිලංග සුමතිපාල නැවත බලයට පැමිණීමට නම් උපරිමයෙන් කැස කවන්නේ ය. නැවත පරිපාලනය තමන් වෙත ම තබා ගැනීමට හැකි සෑම උත්සාහයක් ම දරන්නේ ය. ඒ වෙනුවෙන් තම හිත මිතුරු ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපාගේ ද සහයෝගය නොඅඩුව ලැබෙන බවකි පැවැසෙන්නේ.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පත් ව ඇති මේ තත්ත්වය සම්බන්ධයෙන් තමන්ගේ ආණ්ඩුව කිසිවක් නොකරන්නේ යැයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක, ඇමති අර්ජුන රණතුංගද පසුවෙන්නේ මහත් කනගාටුවෙනි. තම ආණ්ඩුව වෙත කෙළින් ම ඇඟිල්ල දිගු කළ ද ඊට සුදුසු පුද්ගලයා කවුද යන්න ඇමති රණතුංග නොපැවැසීමට පරිස්සම් වේ. ඒ තම සහෝදරයා ද ක්‍රිකට් මහ පුටුව වෙනුවෙන් තරග වදින හේතුවෙන් විය යුතු ය. එසේ නොවේ නම් ඔහුගේ ක්‍රිකට් පැටිකිරිය ද එතරම් ම සුදු නොවන නිසා විය හැකි ය.
කෙසේ වෙතත් පසුගියදා අර්ජුන රණතුංග විසින් මාධ්‍ය වෙත පැවැසුවේ ක්‍රිකට් පරිපාලනය අනවශ්‍ය පුද්ගලයින් අතට යාමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මේ තත්ත්වය උදා වී ඇති බවයි. ක්‍රිකට් ප්‍රශ්නයේ දී වගකිව යුතු කිසිවෙක් ඇහුම්කන් නොදේ යැයි තමන්ගේ රජය දැඩිව විවේචනය කරන අර්ජුන රණතුංග, ජනාධිපතිවරයා සේ ම අගමැතිවරයා ද මේ සම්බන්ධයෙන් ඇල්මැරුණු ආකාරයෙන් කටයුතු කිරීම ගැන දැඩිව විචේනය කර තිබේ.
මේ අතර මීට කලකට ඉහත ඉන්දීය ක්‍රිකට් පරිපාලනයට එරට දේශපාලනඥයන් සම්බන්ධවීම තහනම් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා ගත්තා සේ මෙරට ක්‍රිකට් පරිපාලනයට ද එවැන්නක අවශ්‍යතාව දැඩිව දැනී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ සූදානමක් ද ක්ෂේත්‍රෙය් පවතී. මේ සම්බන්ධයෙන් දැනටමත් හිටපු ක්‍රිකට් අතුරු කමිටු නිලධාරීන් කිහිප දෙනෙක්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් අවශ්‍ය විධි විධාන යොදමින් සිටිති.
මීට කාලයකට ප්‍රථමයෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් දේශපාලනඥයන් ඉවත් කර තැබිය යුතු බවට වූ යෝජනාවක් මෙම කණ්ඩායම විසින් කර තිබූ අතර ඊට අමතර ව ක්‍රිකට් නිලවරණය සඳහා පවතින ඡන්ද ප්‍රමාණය ද කප්පාදු කළ යුතු බවට වන යෝජනාවන් ද එකී කණ්ඩායම විසින් ඉදිරිපත් කර තිබුණි.
මේ සියලු කටයුතු වෙනුවෙන් අභියාචනාධිකරණයේ නඩු තීන්දුව එනතෙක් සිටීම ඔවුන්ගේ අදහස ය. එහෙත් එතෙක් ක්‍රීඩාව විනාශ වෙනතුරු බලා සිටිය නොහැකි බැව් ද ඔවුන්ගේ මතය වී තිබේ. ඔවුන් පවසන්නේ මේ වෙනුවෙන් තීරණයක් ගතයුතු ප්‍රමුඛයා විය යුත්තේ ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා බවය. එහෙත් ක්‍රිකට් ප්‍රශ්නයේ දී ක්‍රීඩා ඇමතිවරයා තවමත් පටන් ගත් තැනින් අඩියක්වත් තබා නැති බවකි අපට නම් හැඟෙන්නේ. ඔහු තවමත් කැරකෙන්නේ තම හිත මිතුරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල වටේ ම ය. ඔහු ක්‍රිකට් දකින්නේ තිලංග සුමතිපාල වෙතින් ම පමණකි. ඒ අනුව කුමන නාටකයක් නැටුව ද ක්‍රිකට් ක්‍රීඩාවේ තවමත් නිසි බලධාරියා වී ඇත්තේ තිලංග ම මිස අන් කවරෙක් ද?