රාවය

පාපන්දුවේ මනී

පාපන්දුවේ මනී

ඒ වික්‍රමසූරිය

මෙරට ක්‍රීඩාව ගැන ලිවීමට ඇති බොහෝ දේ කටුකය. නීරසය. ක්‍රීඩා සංගම්වල ක්‍රියාකලාපයන් ඔක්කාර නැගෙන තරම් පිළිකුල්ය. එහෙත් ඒ ගැන නොලියා කොහොමද?
මෙරට පාපන්දු ක්‍රීඩාව ගැන ආඩම්බරයෙන් කතා කළහැකි නම් ඒ තුළ ඇත්තේ අතීතයක් පමණි. ඒද මීට බොහෝ කාලයකට පෙර අතීතයකි. අනෙක් අතට ඉතිරිව ඇත්තේ පුද්ගලනාමකරණයක් පමණි. ඒ මනිලාල් ප්‍රනාන්දුය. පාපන්දුව නම් මනිලාල්ය. මනිලාල් නම් පාපන්දුවය. අදද එය එසේම වී ඇත. අනුරද සිල්වාගේ රූකඩ සභාපතිකම පිටුපස ඇති සියල්ල ක්‍රියාකරවන අදිසි බලවේගය ඔහුය. සියල්ල සිදුවන්නේ ඔහුට අවැසි පරිදිය. ඔහු මෙරට පාපන්දුවේ දෙවියන් වහන්සේ වී ඇත.
මේ ක්‍රමයන් බිඳ දැමිය නොහැකිද? මනිලාල්ගෙන් පාපන්දුවට වූ සෙතක් නැත. එහෙත් ඔහුට එයින් විශාල යහපතක් විය. ඒ නිසාම අදටත් මෙය හැර දිවි ගෙවීම ඔහුට ලේසි පහසු නැත.

ජාත්‍යන්තර තහනම

මනිලාල් ප්‍රනාන්දු ජාත්‍යන්තරව තහනමට ලක්වූ පුද්ගලයෙකි. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඔහුව ජීවිතාන්තය දක්වා තහනමට ලක් කොට ඇත්තේ පාපන්දු පිටියක අසලටවත් ඔහු දුටු නොහැකි ලෙසටය. එහෙව් ඔහු තවමත් මෙරට පාපන්දු බලධාරියාය. ෂැංග්‍රිලා හෝටලයේ සිට පාපන්දුව ගෙන යායුතු ආකාරය ගැන උපදෙස් දෙන උපදේශකයාය. ඔහු මේ සියල්ල කරනුයේ පාපන්දුවට ඇති ආදරයටද?

මෙරට තහනම

ජාත්‍යන්තරයෙන් මනිලාල් තහනම් කළද ඔහුට මෙරට නිදහසේ සිටීම බාධාවක් නොවීය. එයට හේතුව මෙරට පාපන්දු බලධාරීන් ඔහුගේ රූකඩ බැවිනි. මේ සිද්ධි වන විට මෙරට පාපන්දු ප්‍රධානියා රංජිත් රුද්‍රිගුය. ඔහු කළේ ජාත්‍යන්තර නීතිරීතිවලට හිස නමමින් මෙරටද මනිලාල්ට ඒ ආකාරයෙන්ම තහනම් කිරීමය. මෙය මනිලාල්ට දරාගත නොහැකි විය. ඔහු බලාපොරොත්තු නොවූවකි. එබැවින් ඔහුට අනුව රංජිත් රුද්‍රිගු ජුදාස් කෙනෙක් විය. කෙසේ වෙතත් මනිලාල්ගෙන් බලය රංජිත්ට ගියමුත් ඒ බලයේ ඔහුට සෙල්ලම් කරන්න ලැබුණේ ටික කාලයක්ය. ඒ නැවත මනිලාල් බලය ඇල්ලීම නිසාය. ඊට පෙර කිවයුතු අපූරු ටිකක් ඇත.

අනුරගේ ගමන

2015 ක්‍රීඩා පනතේ සංශෝධනයත් සමග බොහෝ අයට නැවත තරග වැදීමේ අවස්ථාව අහිමි විය. එවිට කළයුත්තේ කුමක්ද? ඒ වෙනුවට තම කිට්ටුවන්තයෙක් දැමීමය. රංජිත්ට මේ නීතිය නිසා ඉතා කෙටි කලකින් විසිවන්නට විය. ඔහු ඒ වෙනුවට ආදේශ කළේ අනුරය. අනුර යනු ඒ මොහොතේ ඔහුට සිටි විශ්වාසවන්තයාය. සහෝදරයාය. එතෙක් අනුර බලා කියා ගත්තේද ඔහුය.
රංජිත් බලය ලබාගන්නා විට අනුර එහි රු 36,000ට රැකියාවක නියැළි සේවකයෙකි. ඔහු උප විධායක නිලධාරියාය. එහෙම තනතුරක් ඇත්තේද නැත. ඒ නිසා රංජිත් කරනුයේ ඒ තනතුර ඉවත් කොට මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස අනුර උසස් කොට වැටුපද රු. 75,000ක් දක්වා ඉහළ දැමීමය. එයින්ද නොනැවතී පාපන්දු සම්මේලනයට එන විදේශීය පුද්ගලයන් එහා මෙහා ගෙනයෑමට කියාගන්නා වාහනයද අනුර සතු කරන්නේය. එතැනින්ද නොනැවතී විධායක නිලධාරී තනතුර එපා කියා හිටපු විධායක නිලධාරි ක්‍රිෂාන්ත පෙරේරා පන්නා දැමූ රංජිත්ම තම හිතවතා වූ අනුරව සී.ඕ. තනතුරේ පිහිටු විය. රංජිත්ගේ කාලයේ මේ සියල්ල ඔහු කරනුයේ ඒ මොහොතේ ඔහුට සිටි ළඟම හිතවතා නෑයා අනුර නිසාය. 2015 නීතිය හරස් වනවිට රංජිත්ට ඇති විකල්පය අනුරය. ඒ මොහොතේ රංජිත් සතු බලයට ඡන්දය දිනීම සිම්පල් බව ඔහු දනී. ඒ නිසා රංජිත් පාර්ශ්වයෙන් කවුරු දැම්මද දිනන බවද ස්ථිරය. එබැවින් ඔහු කළේ ඊට වඩා වැදගත් මිත්‍රයා දැමීමය. අනුර සභාපතිකමට ඉල්ලන්නේ නම් ඔහු ඉහත තනතුරුවලින් ඉවත් විය යුතුය. එවිට රැකියාවක් නැති ක්‍රීඩාවම රැකියාව කරගත් මේ අය නන්නත්තාර වන්නේය. රංජිත්ට ඕන මනිලාල්ගේ කෙනකු වෙනුවට තමනගේ කෙනකු රජකරවීමය. ඒ නිසා ඔහු කරනුයේ අනුර නඩත්තු කිරීම පටන් ගැනීමය. පොරොන්දුවීමය. මනිලාල් 2015දී තම නියෝජනයක් ලෙස පකීර් අලීව දමන විට රංජිත් තරගයට දැම්මේ අනුර ද සිල්වාය. සියල්ල රංජිත් හිතූ ආකාරයටම විය. මනිලාල් පරාජය වී රංජිත් ජය ලැබීය. එතැන් සිට ඊළඟ ඡන්දය තෙක් අනුරගේ භාරකාරයාද රංජිත්ම විය. එහිදී රංජිත් නිල නොලත් සභාපති විය. ඇත්ත එයය. එයම පසුකාලීනව හරහට හිටිණ. මනිලාල් කළේ හෙමිහිට එයම උපයෝගී කරගෙන අනුරව පිස්සු වැට්ටීමය. පිනට ලැබුණු සභාපතිකමේ බලය කියාදීමය. රංජිත් නිසා එය තමාට ඇහිරී ඇති බව ඇඟට ඇඟිල්ලෙන් ඇන පෙන්වාදීමය. රංජිත්ගෙන් මිදෙන්න බැරි එකම බාධාව ඔහුගෙන් යැපීම නම් ඊට වඩා ගාණකට ඔහුව රැකබලා ගැනීමට මනිලාල් පැත්තෙන් ආ පොරොන්දුවය. අනුර එක පයින් කැමති විය. කල් ගොස් නැවත නිලවරණයක් එනවිට රංජිත්ට තරග කළ හැකිය. රංජිත් මහ උජාරුව තරගයට එනවිට ප්‍රතිවාදියා වී ඇත්තේ අනුරය. ඒ මනිලාල් පාර්ශ්වයෙනි. මනිලාල් යනු ලේසි පහසු පුද්ගලයෙක් නොවන බව එයින්ම පැහැදිලි විය. ඔහු රංජිත්ට කළේ එකට එකය. ඔහු ගෙනා අනුර ලවාම පහරදීමය. රංජිත්ට වඩා රිදෙන්නේ එවිට බව ඔහු දැන සිටියේය. එය එසේම විය. ඒ රිදුම තවමත් රංජිත්ට ඇතිවාට සැක නැත.
මනිලාල් ඡන්ද මෙහෙයුම භාර ගත් අතර ඒ සඳහා ඔහු උපරිමය කළේය. හාවයි ඉබ්බයි මෙන් රංජිත් හාවාගේ රංගනයට පණ පෙව්වේ තමා ගෙනා අනුර මොන කජ්ජක්ද යැයි සිතාය. එහෙත් ඉබ්බා දින්නේය. දින්නා පමණක් නොව එතැන් සිට පෙරළා රංජිත්ට ගහන තැනට තල්ලු විය.
රංජිත් ඉවත් කළ සියලුදෙනා නැවත ඇතුළට ගත්තේය. එහි ප්‍රධානියකු වන්නේ මනිල් ප්‍රනාන්දුය. ඒ මනිලාල් ප්‍රනාන්දුගේ පුත්‍රයාය. ඔහු ක්‍රීඩකයකුගේ ප්‍රෙෂර් හෝ චෙක් කරනවාද සැකය. එහෙත් ඔහු වෛද්‍ය අංශයේ ප්‍රධානියාය. එතෙක් සිටි වෛද්‍ය ලාල් ඒකනායක නොදන්වාම ඉවත් කොට තිබුණි. යන එන මං නැති සුනිල් සෙනෙවිත් අද නවාතැන බවට පත්කරගෙන ඇත්තේද බැද්දගාන පාපන්දු සංකීර්ණයය. ඔහුට මාසික වැටුපක්ද ලැබේ. දැන් අනුර කරන එකම රාජකාරිය රට යෑමය. ඔහු ලංකාවේ සිටිනවාට වඩා සිටිනුයේ රටය. ලේකම්ද එසේමය. දැන් සිටින සියල්ලම මනිලාල්ගේ මිනිස්සුය. දැන් සියල්ල සිදුවන්නේ ඔහුට අවැසි විදිහටය. ළඟදීම ක්‍රිෂාන්ත පෙරේරාව නැවත සී.ඕ. කරන්නට ඇති ඉඩද ඉහළය. ඔහු එෆ්.සී.අයි.ඩී. එකට පවා රැගෙන ගිය කෙනකි. එහෙත් දැන් නැවත ඇත්තේ ඔවුන්ගේම පාලනයකි. එබැවින් හොරු ඇල්ලිලි අහවරය. මනිලාල්ට ඕනෑ වී ඇත්තේ ඊළඟ වාරයේ තම පුත්‍රයා මනිල් ප්‍රනාන්දු පාපන්දු සම්මේලනයේ සභාපති කිරීමටය. ඊට අනුර උදව් කරනු නියතය. එවිට අනුර සී.ඕ. තනතුර ඉල්ලා ගනු ඇතිය. ඔහුට ඕනෑ. මාසිකව වැටුපකි. ජීවත් වන්නට ක්‍රමයකි. ඔහු ඒ වෙනුවෙන් ඕනෑම දහජරා වැඩක් කරනු ඇතිය.
අප මේ කතා කළේ පුද්ගල චරිත කිහිපයක ක්‍රියාකලාපය ගැනය. මේ තුළ ක්‍රීඩාවක් වේද? අප කියන්නේද? එයමය. මේ අය ක්‍රීඩාව සංවර්ධනය කරයිද? පාපන්දු ක්‍රීඩාව නැත්තටම නැතිවීම අමුතුවක්ද? මනිලාල්ට ඕනෑ මෙය තම පවුලේ බූදලයට කරගන්නටය. ඒ සඳහා අනුර වැනි ආත්මයක් නැති අයකු නියමට ගැළපෙන්නේය. තම පැවැත්මට ඕනෑම දෙයක් පාවා දෙන අනුර වැන්නකු පාපන්දුව නගා සිටුවීමට ඇප කැප වෙයිද? පාපන්දුවට ඇප නැතිවීම අහන්නටත් දෙයක්ද?
ක්‍රීඩාවක් නගා සිටුවීමට අවශ්‍ය වන්නේ හොඳ පරිපාලනයක්ය. එහෙත් බලයට කෑදර මෙවැනි පුද්ගලයන්ගෙන් කුමන ක්‍රීඩාවක්ද? පාපන්දු ක්‍රීඩා කළ අනුර සිල්වාගේ හැසිරීමක් මේ තරම් පහත් නම් ක්‍රීඩාව උසස් කරතැයි සිතීම කවර මුලාවක්ද? පාපන්දු කොඩි විනය රංජිත් කපතැයි සිතුවද අවසානයේ සිද්ධ වූයේ ඒ කොඩිවිනය ඔහුටම කැපීමය. පාපන්දු සභාපති පුටුවට නම් කලින් කලට කවුරු හෝ එනු ඇතිය. එහෙත් පාපන්දුව නම් සදා අනාථය. ගොඩඒමක් නැතිය.