පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නරකද? – IIකොටස

හම්බන්තොට හිටපු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
මහා බි්‍රතාන්‍යයේ සවුත් වේල්ස් සරසවියේ
සෞඛ්‍ය ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ
වෛද්‍ය ජී.ජී. චමල් සංජීව

බොහෝ රටවල රාජ්‍ය ප්‍රතිපත්ති, අධ්‍යාපනය පෞද්ගලීකකරණය කිරීමට අනුබල දෙන ලෙස වෙනස්වීම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවීමටද හේතුවක් වී ඇත. ඉන්දියාව තුළ මේ තත්ත්වය 1980 දශකයේ මැද භාගයේ සිට ආරම්භ විය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ ව්‍යාපාරිකයන් හා දේශපාලනඥයන් රැසකට ආර්ථික වාසි හිමිවූහ. ඇතැම් කුඩා ජන වර්ග හා ආගමික කණ්ඩායම් වෙනුවෙන්ද වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට ඉන්දියානු ප්‍රාන්ත ආණ්ඩු කටයුතු කරමින් සිටින්නේ ඡන්ද පදනම බලාපොරොත්තුවෙනි.
ඇතැම් රටවල (සෝමාලියාව, නැමිබියාව, බොට්ස්වානා) වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලැබීම සම්පූර්ණයෙන්ම දුෂ්කර වේ. තවත් රටවල (කැනඩාව හා ඇමෙරිකාව) වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වීමේ ප්‍රතිපත්ති දුෂ්කරය. මේ නිසා මෙම රටවල සිසුහු වෙනත් රටවලට ගොස් වෛද්‍ය අධ්‍යාපනය ලබති.
වෛද්‍ය අධ්‍යාපනය රාජ්‍ය හෝ පෞද්ගලික අංශයෙන් ලබාගනිමින් වැඩි වෛද්‍යවරුන් ප්‍රමාණයක් බිහිවීම අවාසියක් නොවේ. එයට හේතුව ශීඝ්‍ර ජනගහන වර්ධනය සමග ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීම කළයුතු වීමයි. සමාජයේ සෑම තරාතිරමක පුද්ගලයින් වෙත වෛද්‍ය පහසුකම් සමාන ලෙස බෙදී යායුතුය. මේ තත්ත්වය සඳහා වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් වැඩි ප්‍රමාණයක් වෛද්‍ය විද්‍යාලවලින් බිහිවීම සිදුවිය යුතුය. ඒ සඳහා වැඩි වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාවක් තිබිය යුතුය. එසේ නොවුණහොත් විදේශ රටවලින් වෛද්‍යවරුන් ආනයනය කිරීමට සිදුවේ. එහෙත් ලංකාව තුළ එවැනි අන්දමට වෛද්‍යවරුන් හදිසියේ බිහිකර ගැනීමේ උවමනාවක් නැත.
වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකකරණය වීම නිසා දේශපාලනඥයන්ගේ ප්‍රතිපත්තිවලට අනුරූපව නිර්මාණය නොවූ ප්‍රතිපත්ති මාලාවකට අනුව අධ්‍යාපනය ලැබීමට සිසුන්ට අවස්ථාව හිමිවේ. බොහෝ පෞද්ගලික අංශයේ වෛද්‍ය විද්‍යාලවල ඉතා ඉහළ දියුණු තාක්ෂණික උපකරණ හා ශිල්ප ක්‍රම හැදෑරීමට අවස්ථාව උදාවී ඇත. එහෙත් රාජ්‍ය අංශයේ ඇතැම් වෛද්‍ය විද්‍යාලවල විද්‍යාගාර පහසුකම් ගමේ පාසලේ විද්‍යාගාරය තරම්වත් නොවන අවස්ථා පවතී. මේ තත්ත්වය රාජ්‍ය අංශයේ වෛද්‍ය අධ්‍යාපනය ලබන සිසුන් අධෛර්මත් කරන්නකි. ලංකාව තුළද මේ තත්ත්වය ඇතිවෙමින් පවතියි. රජයේ පාසල් පවතින විටත් අප පෞද්ගලික ටියුෂන් පංතිවල යොමුවන්නේද මේ හා සමාන සැලකිල්ලක් නිසාය.
වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකකරණය වීමේ අවාසිද රැසක් පවතී. පෞද්ගලික වෛද්‍ය ආයතන වල මූලික අරමුණ ලාභය ලැබීම පමණක් වන අවස්ථා මින් ප්‍රධාන වේ. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා වැය කළයුතු අධ්‍යාපන ගාස්තු මුදල පමණක් රුපියල් මිලියන දෙකේ සිට ඉහළ අගයකි. විශේෂඥ වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකව ලබන්නේ නම් මෙම අගය රුපියල් ලක්ෂ සියය ඉක්මවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සමාජයේ උගත් බුද්ධිමත් එහෙත් මිල මුදල් නොමැති පුද්ගලයින්ගේ දරුවන් බොහෝ දෙනකුට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ඇතුළුවීමේ අවස්ථාව අහිමි වෙයි. ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තීරණය වනුයේද ගෙවනු ලබන මුදල් ප්‍රමාණය මතය. මෙවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කරගැනීමේදී පවතින ඇතුළත් කරගැනීමේ මූලික සුදුසුකම් වල ගුණාත්මකභාවය රාජ්‍ය අංශයට වඩා පහළ මට්ටමක පවතී. මෙහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් බිහිවන වෛද්‍යවරුන් ‘බාල දොස්තරලා’ යි හංවඩු ගැසීම පුදුමයක් නොවේ.
පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපන රටාව හා ප්‍රායෝගික පුහුණුව ආදිය සම්බන්ධවද ගැටලු රැසකි. මෙම බොහෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල නිසි පරිදි සුදුසුකම්ලත් දක්ෂ දේශකයන් නොමැත. දේශකයන් සංඛ්‍යාවද අඩු ප්‍රමාණයකි. මේ නිසා එක් දේශකයකුට හිමිවන සිසුන් සංඛ්‍යාවද ඉහළ අගයකි. වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට තරම් හැකියාවක් ඇති දේශකයන්ද මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල නොමැත. රජයේ සේවයෙන් ප්‍රතික්ෂේප වූවන්, වියපත් වූවන්, මෙන්ම සමාජය කෙරෙහි කලකිරීම නිසා මුදල් උපයා ගැනීමේ චේතනාවෙන්ම එකතුවූවන් මේ දේශකයෝ අතර සිටිති. මෙම දේශකයන් බොහෝ දෙනකු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සේවය කරන්නේ තාවකාලික පදනමක් යටතේය. ඇතැම් අවස්ථාවලදී නිසි පරිදි ප්‍රායෝගික පුහුණුව ලබාදීමට තරම් උපකරණ, විද්‍යාගාර පහසුකම්, රසායන ද්‍රව්‍ය හා මෘත ශරීර-Cadavers මෙම පෞද්ගලික වෛද්‍ය ආයතන තුළ නොමැත.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ට සායනික පුහුණුව ලබාගැනීමට තරම් ප්‍රමාණවත් රෝගීන් සංඛ්‍යාවක් අධ්‍යයනය කිරීමටද අවස්ථාව නොලැබේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ට සායනික පුහුණුවට හිමිවන්නේ පෞද්ගලික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන ඉහළ පවුල්වල ධන බලය සහිත පුද්ගලයන් වන නිසා ඔවුහු වෛද්‍ය සිසුන් විසින් පරීක්ෂාවට ලක්කිරීම හෝ රෝග ඉතිහාස විමසීම ආදියට බොහෝවිට අකමැති වෙති.
සංවර්ධනය වෙමින් පවතින රටවල පෞද්ගලික රෝහල් තුළ නේවාසිකව වෛද්‍ය ප්‍රතිකාර ලබන්නේ ඉතා අඩු රෝගීන් සංඛ්‍යාවක් වන බැවින් පෞද්ගලික වෛද්‍ය සිසුන්ට රාජ්‍ය අංශයේ වෛද්‍ය සිසුන්ට මෙන් ප්‍රායෝගික පුහුණුව ලබාගැනීම පහසු නැත. ලැබෙන පුහුණුවද ප්‍රමාණවත් නැත. ඇතැම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල ප්‍රායෝගික පුහුණුව ලබාගැනීමට හිමිවන්නේ බෝනික්කන්ය. බෝනික්කකුගේ තුවාලයක් මැසීමත් සැබෑ පුද්ගලයකුගේ කැපුම් තුවාලයක් මැසීමත් අතර විශාල වෙනසක් ඇත. සාමාන්‍ය පුද්ගලයකු තුවාලයක් පිරිසිදු කරන විට හෝ අතට සේලයින් දෙන විට හෝ සමහරවිට කෑ ගසයි, දඟලයි. බෝනික්කකු එසේ නොවේ. විදේශීය වෛද්‍ය අධ්‍යාපනය ලද බොහෝ දෙනකුට රෝගියකු වේදනාවෙන් දඟලන විට ඔහුද කම්පාවට පත්වී රෝගියාට ප්‍රතිකාර කරගත නොහැකි වන අවස්ථා මා පෞද්ගලිකව දැක ඇත.
රාජ්‍ය අංශයේ වෛද්‍ය අධ්‍යාපනය සෑමවිටම ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන යාමට රජය උනන්දු වෙයි. රාජ්‍ය අංශයට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව සීමාසහිත බැවින් මෙම ප්‍රමිතිය පවත්වාගෙන යාම දුෂ්කර නොවේ. මුදල් ඇති ඕනෑම සිසුවකු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වීමේ ප්‍රතිඵලයක් ලෙස බිහිවන වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩිවුවද ඔවුනට ප්‍රායෝගික අවබෝධය ඉතා අඩුය.
විදේශ රටවල වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයන් රෝගී වූ විට නැවත මව් රටටම පැමිණ මෙරට වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගන්නේ මේ තත්ත්වය නිසාය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල උපාධිය ජාත්‍යන්තර වශයෙන් පිළිනොගන්නා අවස්ථා බොහෝය.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපනය ලබන බොහෝ දෙනකු සමාජයේ ඉහළ තලවල පුද්ගලයන් වන බැවින් ඔවුනට රාජ්‍ය අංශයේ වෛද්‍ය අධ්‍යාපනය ලබන සිසුන්ට මෙන් විවිධ තලවල පුද්ගලයන් ඇසුරු කිරීමට පවතින්නේ අඩු අවස්ථා ගණනකි. ඔවුනට පහළ සමාජයේ පුද්ගලයන්ගේ රෝග සමාජ, ආර්ථික, සංස්කෘතික රටාවන් අවබෝධයට තරම් හැකියාවක් නොමැති විය හැක. රාජ්‍ය අංශයේ වෛද්‍ය විද්‍යාලවල සිසුන් කිසිදු අපහසුවකින් තොරව ග්‍රාමීය රෝහල්වල සේවය කරන්නේ මේ නිසාය.
බොහෝ පෞද්ගලික වෛද්‍ය ආයතන අධ්‍යාපනය ලබාදීමේ කර්මාන්තශාලා බවට පත්ව ඇත. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය කෙරෙහි ඔවුන්ගේ අවධානයක් නැත. වෙනත් වචනයකින් පැවසුවහොත් ටියුෂන් පංති මෙන්ම අධ්‍යාපන කඩ බවට ඒවාද පත්වෙමින් පවතී.
මේ තත්ත්වය මඟ හරවාගෙන පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ඉහළ නැංවීමට නම් එම වෛද්‍ය විද්‍යාලවල අධ්‍යයන කටයුතු දැඩි අධීක්ෂණයකට ලක්විය යුතුය. රාජ්‍ය අංශය මගින් මෙම වෛද්‍ය විද්‍යාලවල ජාත්‍යන්තර ප්‍රමිතීන් පවතින්නේදැයි නිරන්තරවම විමසා බැලිය යුතුය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කරගැනීමේ සුදුසුකම් නිසි ක්‍රමවේදයකට අනුව සකස් කළ යුතුය. අය කරන මුදල් ප්‍රමාණයද සීමා කළ යුතුය.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ට නිසි ප්‍රායෝගික පුහුණුවක් ලබාගත හැකි පරිදි වැඩි රෝගීන් ප්‍රමාණයක් අධ්‍යයනය කිරීමට අවස්ථාව හිමිවිය යුතුය. ඔවුනට ප්‍රජාව සමග කටයුතු කිරීමට වැඩි අවස්ථාවක් ලබාදිය යුතුය.
සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීමට හැකි පරිදි වෛද්‍ය අධ්‍යාපනය ක්‍රමවත් කළ යුතුය. මෙම වෛද්‍ය විද්‍යාලවල විෂය මාලාව නූතන සියවසට ගැළපෙන පරිදි සාමාන්‍ය ජනතාවට සුලභව මුහුණපෑමට වන රෝග සම්බන්ධව අවබෝධය වැඩිවන පරිදි ක්‍රමික ලෙස සකස් විය යුතුය. සෑම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්ම නියමිත කාලපරිච්ඡේදයකදී විද්වත් මණ්ඩලයක අධීක්ෂණයට ලක්විය යුතුය. ශිෂ්‍ය කේන්ද්‍ර කරගත් විශ්වාසයකින් යුතුව රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි ගැටලු හඳුනාගත හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුළ බිහිවිය යුතුය.
පෞද්ගලික වෛද්‍ය පීඨවලට විරුද්ධ වීම වෟත්තීය සමිතිවල ඡන්ද ගුණ්ඩු බවට පත් නොවී සිදුවිය යුතුය. කාලයෙන් කාලයට දේශපාලකයින් බොරු කියමින් ජනතාව රවටන ලෙසින් ඇතැම් වෘත්තීය සමිතිද තම සාමාජිකයින්ට පවසන ජනප්‍රිය සටන් පාඨයක් බවට පෞද්ගලික වෛද්‍ය පීඨ පත් නොවිය යුතුය.
පෞද්ගලික වෛද්‍ය පීඨවලින් බිහිකරන දරුවන්ට අනාගතයේදී හිමිවන රැකියා අවස්ථා ගැනද ප්‍රතිපත්තියක් රජය ප්‍රකාශයට පත් කළ යුතුය. එසේ නොවුවහොත් එම දරුවන්ද හොර දොස්තරලා 50,000 අතරට එක් වුවහොත් එය ඛේදවාචකයක් වනු ඇත.