රාවය

ටී.එන්.එල්. සිද්ධි ඔස්සේ මතුවෙන යහපාලනයේ මාධ්‍ය භීතිකාව

ටී.එන්.එල්. සිද්ධි ඔස්සේ මතුවෙන යහපාලනයේ මාධ්‍ය භීතිකාව

නිමල් අබේසිංහ

ඉකුත් 05දා ටී.එන්.එල්. ආයතනයේ පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානයට පැමිණි විදුලි සංදේශන කොමිසමේ නිලධාරීන් හා රහස් පොලිසියේ නිලධාරීන් එහි තිබූ විකාශන යන්ත්‍ර අත්අඩංගුවට ගෙන තිබේ. මේ සඳහා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබේ. නීති ක්‍රියාදාමය එසේ වුවත් විදුලි සංදේශ නියාමන කොමිසම ටී.එන්.එල්. ආයතනයට මේ පිළිබඳව පූර්ව දැනුම්දීමක් කර නැති බව එහි පාලනාධිකාරිය පවසයි.
මාධ්‍ය මර්දනයක් නොකරන බවට පොරොන්දු වී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව මෙයට පෙර ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ ප්‍රචාරණ කාර්යයද අවහිර කර තිබුණේ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරවය. මාධ්‍යයට එරෙහිව ආණ්ඩුවෙන් සිදුවන මේ අකටයුතුකම් මාධ්‍ය ප්‍රජාව මෙන්ම රටේ මධ්‍යස්ථා නිදහස් මතධාරීන්ද අනුමත නොකරනු ඇත. රාවය මේ ගැන මාධ්‍ය සංගම් ප්‍රධානීන් ඇතුළුව කිහිපදෙනකුන්ගෙන් විමසූ අතර ඔවුන් පළ කළ අදහස් මෙහි සටහන් වේ.

පරීක්ෂණයක් කරනවා
නීතිඥ සුදර්ශන ගුණවර්ධන
ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

මේ ගැන මම දැනගත්තෙත් මාධ්‍යකරුවන්ගෙන්. අපට දැනුම්දීමක් කර නැහැ. ඊට පස්සේ මම ශාන් වික්‍රමසිංහ මහත්තයත් එක්කත් කතා කළා. එයා කීවේ ඒ අයගේ පැත්තෙන් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ කියලයි. ඊට පස්සේ මම අමාත්‍යාංශයට දැනුම් දුන්නා. අමාත්‍යාංශයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම් දුන්නා. එවිට කොමිසම කීවේ මෙය ගෙවීම් පිළිබඳ ප්‍රශ්නයක් කියලයි.
ජනමාධ්‍ය ඇමතිතුමත් මේක දැනගෙන තිබෙන්නේ පාර්ලිමේන්තුවේදීයි. එතුමා කියන්නෙත් මේ ගැන හොයලා පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නම් කියලයි. මේ වනවිට මේ ගැන පරීක්ෂණයක් පවත්වනවා. පරීක්ෂණයෙන් පස්සේ තමයි තීන්දුවකට එන්න වෙන්නේ.

මේ යහපාලන ආණ්ඩුව කළ පළමු මාධ්‍ය මර්දනය නොවෙයි
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් දුමින්ද සම්පත්

මේ සිදුවීම ඉතා දැඩි ලෙස අපි හෙළා දකිනවා. යහපාලන ආණ්ඩුව මෙයට පෙරත් සී නිව්ස් වෙබ් අඩවිය අවහිර කිරීම කළා. එනිසා මෙය ‘යහපාලන ආණ්ඩුවේ මාධ්‍යයට එරෙහිව ක්‍රියා කළ පළමු අවස්ථාව නොවෙයි. රටේ ජනතාව, මාධ්‍යකරුවන්ට යහපාලනයක් ගැන කියමින් බලයට පත්වූ ආණ්ඩුවකින් මෙවැනි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ගුවන්විදුලි තරංග කියන්නේ රටේ ජනතාවගේ දේපොළක්. මේ අයිතිය අහිමි කරන්න කිසිවකුටත් බැහැ. මෙවැනි දේවල් සිදුවන්නේ මාධ්‍යයට බලපෑම් සිදුකළ හැකි ආයතන දේශපාලනීකරණය වීම හේතුකොටගෙනයි. අපි කියන්නේ මේ වගේ ආයතන ස්වාධීන පාලනයකට යටත් කළ යුතුය කියලයි. මේවා දේශපාලනීකරණය වූ විට ඒවාට පත්කරන නිලධාරීන්ද ඒ දේශපාලකයන්ගේ ඕනෑඑපාකම් අනුව ක්‍රියාකරනවා. මෙහිදීත් සිදුව තිබෙන්නේ එවැනි දෙයක්. මාධ්‍ය නිදහස ඇති කරන්න නම් යහපාලන ආණ්ඩුව කළයුත්තේ මාධ්‍යයට බලපෑම් කළ හැකි ආයතන දේශපාලනයෙන් නිදහස් ආයතන බවට පත්කිරීමයි.

විකාශන මධ්‍යස්ථානයට
යන්නට කලින් අපට කීවේ නෑ
ටී.එන්.එල්. හිමිකරු
ශාන් වික්‍රමසිංහ

මේ වසර අවසානය වන තෙක් ආයතනය සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමට ගෙවීමට ඇති සියලුම ගෙවීම් අපි ගෙවලයි තියෙන්නේ. මීට කලින් 2016 වසරේ දෙසැම්බර්වලදී විදුලි සංදේශ නියාමන කොමිසම කීවා පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානයේ අපේ විකාශන සංඛ්‍යාත නිසා බාධාවන් සිද්ධ වෙන බව. ඒ නිසා ඒවා මාරුකර ගන්න කීවා. අපි ඒ බාධාවන් වෙන විදිය මොකක්ද කියලා කොමිසමෙන් ඇහැව්වා. ඊට පස්සේ ඒ අය සංයුක්ත තැටියක් අපිට එව්වා. ඒ වුණත් ඒකේ තිබුණේ ටීඑන්එල් සංඛ්‍යාත නොවෙයි, වෙනස් සංඛ්‍යාතයක්. පොල්ගහවෙල අපේ විකාශනාගාරයේ තිබෙන්නේ අංක 3 සංඛ්‍යාතය. ඊට පස්සේ ඒ අය 03 සංඛ්‍යාතයෙන් 11 සංඛ්‍යාතයට මාරු වෙන්න කීවා. ඒ සඳහා ඇප්ලිකේෂන් එකක් එවන්න කීවා. ඒ අනුව අපි ඇප්ලිකේෂන් දෙකක් දෙපාරකදි යැව්වා. ඒත් උත්තර ලැබුණේ නෑ. මේ සිදුවීම වෙන්නට පෙර පොලිසියෙන් හෝ විදුලි සංදේශන නියාමන කොමිසමෙන් අපට කිසිදු දැනුම්දීමක් කළෙත් නෑ.

දේශපාලන පළිගැනීමක්
තරිඳු උඩුවරගෙදර
සභාපති – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

ටීඑන්එල් රූපවාහිනියේ පොල්ගහවෙල විකාශනාගාරයට සීල් තැබීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කිරීම ගැන නෛතික මුහුණුවරක් පෙන්වීමට උත්සාහ කළද එය දේශපාලන කාරණයක් මුල්කරගෙන කළ මාධ්‍ය මර්දනයක් ලෙස අපි සලකමු.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ ජනාධිපති ලේකම්වරයාය. මෙය ජනාධිපතිවරයා යටතේ ඇති ආයතනයකි. පසුගිය ජනාධිපතිවරණය සමයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සබාවට ලබා දුන් නීති විරෝධී නියෝග හරහා මුදල් අවභාවිත කළ බවටද චෝදනාවක් එල්ල වූ අතර මහාධිකරණයේ පැවති නඩු විභාගයෙන් පසු ජනාධිපති ලේකම්වරයා මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්ද වරදකරු විය. මෙවරද ටීඑන්එල් විකාශනාගාරයට සීල් තැබීමට හේතුවද එවැනි නීති විරෝධී නියෝගයක් බව අපගේ විශ්වාසයයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස පැවති පළමු මාධ්‍ය හමුවේ සිට රාජපක්ෂ රජයෙන් ජනමාධ්‍යයට එල්ල වූ බලපෑම් ගැන කතා කළේය. මාධ්‍ය නිදහස ලබාදෙන බවත්, සාධාරණ විවේචනයන්ට ඉඩදෙන බවත් පුන පුනා කීවේය. ඒ සියල්ල හුදෙක් අන් රජයන් සේ ම ලබා දුන් බොරු ඡන්ද පොරොන්දු බව පෙන්වමින් ජනමාධ්‍ය සංවිධාන විරෝධය දක්වද්දී පුවත්පත් මණ්ඩලයට සාමාජිකයන් පත්කිරීමට ජනාධිපතිවරයා මුලින්ම පියවර ගත්තේය.
පසුගිය දශකයේ ජනමාධ්‍යවේදීන් ඝාතනය සහ මාධ්‍යවේදීන්ට මෙන්ම මාධ්‍ය ආයතනවලටද එල්ල වූ බලපෑම් ගැන සොයන්නට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු ජනමාධ්‍ය සංවිධාන අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියත් එවැනි කොමිසමක් පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ නැත. එසේම පසුගිය වකවානුවේ පීඩාවට පත් මාධ්‍යවේදීන්ට වන්දි පිරිනැමීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවද වත්මන් රජය බලයට පත්වී වසර තුනකට අධික කාලයක් ගතවුවද ලැබුණු වන්දියක් නැත.