විස්ස ආවත් ව්‍යවස්ථාව ඇනහිටින්නේ නැහැ – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ

සංවාදය – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

විසිවන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ඒම කියන කාරණයත් එක්ක නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළේ අනාගතය කොහොමද?

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව අපි ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කළා. ඒ වගේම ඒක දෙසැම්බර් මාසයේ විවාදයට ලක්වුණා මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන්.
එහෙත් අයවැය, පළාත්පාලන මැතිවරණය, විශ්වාසභංගය සහ පාර්ලිමේන්තු සැසිවාරයක් කල් තැබීම වගේ සුවිශේෂී කාර්යයන් නිසා ඒ කටයුත්ත එක්තරා දුරකට ප්‍රමාද කරන්න සිද්ධ වුණා. මේ නිසා මාස පහක් විතර අවධානයෙන් ගිලිහුණත් අපි ආයෙම මැයි විසිහතරවැනිදා මෙහෙයුම් කමිටුව රැස්වෙලා නැවත ආරම්භ කළා අපේ කටයුත්ත. පාර්ලිමේන්තුව විසින් සම්මත කරලා තියෙන යෝජනාව අනුව දැන් මෙහෙයුම් කමිටුවට කරන්න තියෙන්නෙ අවසාන වාර්තාව ඉදිරිපත් කිරීම. ඒ නිසා විසිවන සංශෝධනය ආවා කියලා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කාරණා ඇනහිටින්නේ නෑ.

මෙහෙයුම් කමිටු අවසාන වාර්තාව ඉදිරිපත් කරන්න තව කොච්චර කාලයක් යයි කියලද ඔබ ගණන් බලන්නේ?

අවසාන වාර්තාව ඉදිරිපත් කරද්දී ඒ සමග යෝජිත ව්‍යවස්ථාවේ කෙටුම්පතකුත් ඉදිරිපත් වෙන්න ඕන. අපි දැනට සිදුකරගෙන යන්නේ ඒක තමයි. ඒ සඳහා දැනට අපි ඉදිරියේ තියෙනවා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සහ අනු කමිටු හයක වාර්තා, දවස් හයක පමණ විවාදවල මන්ත්‍රීවරුන් කියපු දේවල වාර්තා. ඒ වගේම මේ පිළිබඳව රටේ පැවති සහ නොයෙකුත් පුවත්පත් ආදී මාධ්‍ය මගින් ඇති කරනු ලැබූ සාකච්ඡාවන් පිළිබඳ වාර්තාත් අපි ළඟ තියෙනවා. ඒ සියල්ල සලකා බලලා තමයි අපි අවසාන වාර්තාව පිළිබඳ කටයුතු කරන්නේ.
ඒ විතරක් නෙමෙයි ඒකට පහසුවීමක් සඳහා මෙහෙයුම් කාරක සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට සහය දෙන විශේෂඥ මණ්ඩලයට කිව්වා කෙටුම්පතක් ඉදිරිපත් කරන්න කියලා. ඒත් ඒක කිසිසේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් නෙමෙයි.
ඒත් මම හිතන හැටියට ප්‍රධාන වාර්තා හතක් සලකා බලයි. ඒ වගේම සමහර දේවල් පිළිබඳව විවිධ පක්ෂ විවිධ මත ඉදිරිපත් කරලා තියෙනවා. උදාරණයක් විදිහට ජනාධිපති ක්‍රමයද පාර්ලිමේන්තු ක්‍රමයද කියන එක ගන්න පුළුවන්. ඒ නිසා විවිධ පක්ෂවල වෙනත් මතත් එතනදි සැලකිල්ලට ගැනෙයි.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරනවාද නැතිනම් ගෝඨාභය වගේ වෙනත් කෙනෙක් ජනාධිපති කරනවාද කියන ගැටලුවත් එක්ක අද, විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවාද නැද්ද කියන එක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කථිකාවෙන් ඈත්වෙලා ඒකාබද්ධ විපක්ෂයේ මූලික ගැටලුවක් වී ඇති බවයි පේන්න තියෙන්නේ?

මේ පිළිබඳ ඔවුන් තුළ සාකච්ඡාවක් යනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඔවුන්ගේ සාකච්ඡාව විසිවන සංශෝධනයත් එක්ක තවදුරටත් ඉදිරියට ගිහින් තියෙන බව කියනවා.
විසිවන සංශෝධනය කියන එක මම දකින්නේ දහනමවැනි සංශෝධනයෙන් අපිට කරගන්න බැරිවුණ දේවල් ඉස්සරහට ගෙනියපු වැදගත් සංශෝධනයක් කියලා. ඒ නිසා ඒක පාර්ලිමේන්තුවට ආවොත් ඒකට අපි සහයෝගය දෙනවා. ඇතැම් වෙලාවට ඒකෙ සියලුම වගන්තිවලට අපි කැමති නොවෙන්න පුළුවන්. ඒත් ඒක ධනාත්මක එකක්.
ඒ වගේම මම පැහැදිලිව කියන්න ඕන මමත් මම නියෝජනය කරන එක්සත් වාමාංශික පෙරමුණ සහ ලංකා සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායම පෞද්ගලිකව විශ්වාස කරන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යන්න අපිට තවමත් ඉඩකඩ තියෙනවා කියලා. ඒ වගේම රටට අවශ්‍ය වන්නෙත් තවත් සංශෝධනයකට වඩා අලුත් ව්‍යවස්ථාවක් කියලා. හැබැයි ඒකට විශාල දේශපාලනික කැපවීමක් කරන්න හැමෝටම සිදුවෙනවා. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකමුතු වෙනවා නම් අපිට ඒ දේ පහසුවෙන් කරන්න පුළුවන්.

දහනමවන සංශෝධනය එක්තරා දුරකට ගැටලුසහගත එකක්වීමට බලපෑවේ මේ දෙපක්ෂය අතර තිබුණු කඹ ඇදිල්ලද? ව්‍යවස්ථා සම්පාදකයින්ගේ දුර්වලතා ද?

දහනමවන ව්‍යවස්ථා සංශෝධනය කරන කාලයේ මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නෙමෙයි. ඒත් එහි මුල් කෙටුම්පත හදපු කමිටුවේ මම සාමාජිකයෙක් වෙලා හිටියා. එහෙත් අද වනවිට ඇතැම් අය කියනවා ඇහිලා තියෙනවා ඒක කෙටුම්පත්කරුවන් හිතුමතේ කළ එකක් කියලා. හැත්තෑ දෙකේ ව්‍යවස්ථාව හදපු කාලේ ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා වුණේ කොල්වින් ආර් ද සිල්වා. ඒ ව්‍යවස්ථාවේ බුද්ධාගම පිළිබඳ වගන්තිය එහෙම නිර්මාණය කළේ ඇයි කියලා එතුමාගෙන් අහද්දි එතුමා කිව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නේ ව්‍යවස්ථා කටයුතු ඇමති නෙමෙයි කියලා. ඒ වගේම වාමාංශිකයකු හැටියට තමන් කැමති අනාගමික රාජ්‍යයකට බව එතුමා හෙළි කළා. ඉතිං කොල්වින් ආර් ද සිල්වා වගේ කෙනෙක්ට ඒ වගේ දෙයක් කරන්න බැරිනම් අපි වගේ ව්‍යවස්ථා සම්පාදකයින්ට කොහොමද තනියෙන් ව්‍යවස්ථා ගොඩනගන්න පුළුවන් වෙන්නේ.
මට මතකයි හැත්තෑදෙක ව්‍යවස්ථාවේ මුලින්ම සම්මත කළ යෝජනාව තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබෙනවා කියලා තිබුණේ නෑ. ප්‍රමුඛස්ථානය කියන එක වෙනුවට තිබ්බෙ බුද්ධාගමට නිසි තැන ලැබෙනවා කියලා. එහෙත් අවසාන කෙටුම්පතට යනකොට මේක ප්‍රමුඛස්ථානය වුණා. මේ ගැන පස්සෙ කාලෙක අපි කීපදෙනෙක් කොල්වින් ආර් ද සිල්වාගෙන් ඇහුවා. එතකොට එතුමා මතක් කරලා දුන්නා මේ කාලයේදී එකපාරටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කීපදෙනෙක් බුදුදහම රාජ්‍ය ආගම කරන්න ඕන කියලා කියපු විත්තිය. ඒ වෙලාවෙ එතුමා කළේ ටීබී ඉලංගරත්න සහ ටීබී සුබසිංහ හමුවුණ එක. මොකද මේ දෙන්නාම වමට බර දෙන්නෙක්. මේ ගැටලුව විසඳා දෙන්නම් කියලා ටීබී ඉලංගරත්න මහත්තයා අර මන්ත්‍රීවරුන් කණ්ඩායම කැඳෙව්වා. ඒ වෙලාවේ තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ බුද්ධාගම රාජ්‍ය ආගම කළ යුතුයි කියලා කියන්ඩ කියලා අදාළ මන්ත්‍රීවරුන්ට උපදෙස් දීලා තිබ්බෙ උග්‍ර ක්‍රිස්තියානි භක්තිකයකු වූ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක. මොකද ඒ වන විට සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයේ අපි ඉතාමත් ශක්තිමත්. අන්ත දක්ෂිණාංශිකයෙක් වූ ෆිලික්ස් ඩයස්ට ඕනවුණේ අපි හදන්න ගිය ව්‍යවස්ථාව කොයි විදිහෙන් හරි කඩාකප්පල් කරන්න. ඒ නිසයි අර මන්ත්‍රීවරුන්ට අරෙහෙම උපදෙසක් දුන්නේ. ඉතිං පස්සෙ ඉලංගරත්න මහත්තයා ඇතුළු කණ්ඩායමේ මැදිහත්වීම මත තමයි ‘නිසි තැන’ දෙනවා කියන එක, ‘රාජ්‍ය ආගම’ කරනවා කියන තැනට ගෙනියන්නේ නැතිව ටිකක් මැදට ගෙනත් ‘ප්‍රමුඛස්ථානය, දෙනවා කියලා ව්‍යවස්ථාවට ඇතුළු කළේ.
ඒ විතරක් නෙමෙයි මේ ව්‍යවස්ථාවේ මුල් ම කෙටුම්පත තුළ ලංකාව ‘ඒකීය රාජ්‍යයක්’ කියලා තිබ්බෙ නෑ. ඒ කාලයේ අධිකරණ ලේකම්වරයාව හිටි ආචාර්ය නිහාල් ජයවික්‍රම මහත්තයා පසුකාලයේදී හෙළිදරවු කළ විදිහට මේ කෙටුම්පත ගේන වෙලාවේ ‘මේක ඒකීය රාජ්‍යයක් වුණදෙන්, නමුත් ඒකීය රාජ්‍යයක් කියන වචනය දාලා ලේබල් ගහන්න අවශ්‍ය නෑ’ කියලා කොල්වින් ආර් ද සිල්වා කියලා තිබ්බා. එහෙත් ප්‍රබල අමාත්‍යවරයකුගේ බලපෑම් මත ‘ඒකීය රාජ්‍යය’ කියන වචනය ඇතුල් කරන්න වුණා කියලා ජයවික්‍රම මහත්තයා කියලා තිබ්බා. ඒ ප්‍රබල ඇමතිවරයා ෆිලික්ස් ඩයස් බව සැකයක් නෑ.

කෙටුම්පත්කරුවන් සතුව ව්‍යවස්ථාවට බලපෑම් කිරීමේ කිසිම හැකියාවක් නෑ කියන එකද ඒකෙන් අදහස් වෙන්නේ?

දහනමවන සංශෝධනය සඳහා තාක්ෂණික කමිටුව කටයුතු කළේ අගමැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතු දේශපාලනික කමිටුවේ මැදිහත්වීම මත. ඒ දේශපාලන කමිටුවේ ඒ වෙලාවේ ආණ්ඩුවට සම්බන්ධ සියලුම දේශපාලන පක්ෂවල මැති ඇමතිවරුන් ඇතුළු සාමාජිකයින් හිටියා. ඒ අනුව කෙටුම්පත් දහයකට ආසන්න සංඛ්‍යාවක් ඒ දේශපාලන කමිටුවේ අවධානයට ලක් වුණා. ඒ සියලුම කෙටුම්පත් මගේ පරිගණකයේ තියෙනවා. හැම කෙටුම්පතක්ම මුද්‍රණය කරලා හැම රැස්වීමකදීම හැම සාමාජිකයෙක්ට ම දුන්නා. ඒ අනුව අදාළ දේශපාලන කමිටුවට අනුව තමයි අපි ඒක හැදුවේ.
එහෙත් කෙටුම්පත්කරුවන් විදිහට අපිට කරන්න පුළුවන් එක දෙයක් තිබුණා. ඒ ඇතැම් දේවල් යෝජනා කිරීම. උදාහරණයක් විදිහට මැතිවරණ ප්‍රකාශයේ තිබුණා තොරතුරු ලබාගැනීමේ අයිතිය පිළිබඳ පනතක් ගේනවා කියලා. ඒත් මං එහෙම යෝජනා කළ එකක් තමයි තොරතුරු දැනගැනීම එතනින් එහාට ගිහින් මූලික අයිතිවාසිකමක් කරන්න ඕන කියන එක. ඒක දේශපාලන කමිටුව පිළිගත්තා.
අන්තිමට දේශපාලන කමිටුව එකතුවෙලා නිර්මාණය කළ කෙටුම්පත පවා වෙනස් කළා. අපි කෙටුම්පත හැදුවට පස්සේ ඒක ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට දාලා එයින් සම්මත කරගත්තා. පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ විවෘත සාකච්ඡාවට පක්ෂ විපක්ෂ සියලු දේශපාලනඥයන් එතන හිටියා. එතනදි තමයි අපේ කෙටුම්පත සම්පූර්ණයෙන් සැර බාල කළේ. ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්.

විසිවන ව්‍යවස්ථා සංශෝධනය තුළ තියෙනවායැ’යි ඔබ කියූ ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් වැදගත් ලක්ෂණ මොනවාද?

වැදගත් ම දේ තමයි විධායක ජනාධිපති ක්‍රමයේ බලතල කොටසක් ඉවත් කිරීම. ඒ වගේම ඊට අනුව ජනාධිපතිවරයා පත්කරන්නේ ඍජුව නෙමෙයි පාර්ලිමේන්තුවෙන්. ඒක ඉතාම හොඳ ක්‍රමයක් Arend Lijphart කියන නෙදර්ලන්ත දේශපාලන විද්‍යාඥයා කියනවා බහු සංස්කෘතික ජනවාර්ගික කොටස් ගණනාවක් ඉන්න රටකට පාර්ලිමේන්තුව තමයි හොඳ. එවිට හැමෝම එකතුවෙලා තීරණ ගන්නේ සහ ජනාධිපති ක්‍රමයේ විධායකයකින් වෙන්නේ ඔහු හෝ ඇය පත්කරන මැතිවරණය අනිවාර්යයෙන් ම බහුතරවාදී වෙනවා කියලා. එහෙම වෙද්දී කුඩා ජනවාර්ගික කණ්ඩායම්වලට අවාසියක් වනවා. ඊට අමතරව ්රුබා ඛසවචය්රඑ කියනවා පාර්ලිමේන්තු ක්‍රමයකට යනවනම් කවදාවත් රාජ්‍ය නායකයා ඍජු ඡන්දයකින් පත්කරන්න එපා කියලා. මොකද කොච්චර බලය අඩු වුණත් ජනාධිපතිවරයා පත්වෙන්නේ ඍජුව නම් ඔහු ගැටලුසහගත අවස්ථාවක අගමැතිට කියයි ඔබ පත්වෙලා ඉන්නේ පාර්ලිමේන්තුවෙන් සහ මම පත්වෙලා ඉන්නෙ ඍජු ඡන්දෙන් කියලා. ඒ අනුව අදාළ අර්බුදකාරී තත්ත්වය වාසියකට අරන් පාර්ලිමේන්තු ක්‍රමය අර්ධ ජනාධිපති ක්‍රමයකට හරවයි කියලා Lijphart කියනවා.
සමහර නායකයින් සහ විචාරකයින් කියනවා ඇහිලා තියෙනවා ජනාධිපති ක්‍රමයකදී කුඩා ජන කණ්ඩායම්වලට කේවල් කරන්න පුළුවන් එකක් කියලා. ඒත් අපි අත්දැකලා තියෙන්නේ එහෙම නෙමෙයිනේ. අපි දැක්කා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති තනතුරට ආවේ සුළු ජාතීන්ගේ ඡන්ද විශාල ප්‍රමාණයක් අරන්. ඒත් ඔහු ඇවිත් ටික දවසක් යන්න කලින් කළු ජූලිය ආවා. ඒ වෙලාවේ හදිසි නීතිය දාන්න ඔහුට කොච්චර දවස් ගියාද. භීෂණය දවස් ගාණක් ගියත් තොණ්ඩමන් මහත්තයා නුවර ඉඳන් ඇවිත් ප්‍රශ්න කරද්දි තමයි ඔහු හදිසි නීතිය දැම්මේ. ඒ වගේම ජේ.ආර්. ජනාධිපතිතුමා 1983 ජූලි 11 ලන්ඩන් ඬේලි ටෙලිග්‍රාෆ් පත්තරේට කියනවා හිතාගන්නවත් අමාරු කතාවක්. ඒ කතාවෙ කියවුණේ යාපනේ ජනතාවගේ අදහස් තමන්ට වැදගත් නොවන බව සහ ඒ අයගේ ජීවිත හෝ අදහස් පිළිබඳව තමන් එච්චර හිතන්නේ නෑ කියන එක. ඒ වගේම සිංහල ජනතාව සතුටු වෙන්නේ උතුරට පීඩනය වැඩි කරන තරමට බව ජේ.ආර්. කිව්වා. ඒ විතරක් නෙමෙයි, තමන් දෙමළ ජාතීන්ට බඩගින්නේ මැරෙන්න ඇරියොත් සිංහල ජනතාව සතුටුවෙයි කියන එක එතුමා කිව්වා.
දෙදහස් පහළොවේ අත්දැකීම අරන් බලන්නකො. මේ ජනාධිපතිවරයාව බලයට ගෙනාවෙ විශේෂයෙන් මේ රටේ සුළු ජන කණ්ඩායම්වල සහාය අනුව. ඒ කුඩා ජන කණ්ඩායම්වල නායකයින්ම තමයි අද පැමිණිලි කරන්නේ ජනාධිපති ධුරය අන්තවාදී බලවේගවලට යටවෙලා තියෙනවා කියන එක. ඒ නිසා අපි හැත්තෑ අටේ ඉඳන් දන්න කාරණය තමයි ජනාධිපති ක්‍රමය තුළ කේවල් කරන්න හැකි සුළුතර ජනකණ්ඩායම්වලට නෙමෙයි ඒවායේ වරප්‍රසාදලත් නායකයින්ට විතරයි කියන එක.