රාවය

සිවිල් සංවිධාන හා මාධ්‍ය සමග 118 , ඇත්ත

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

මහ බැංකු බැඳුම්කර සිද්ධියේ ප්‍රධාන චූදිතයකු වන පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බව කියන පක්ෂ-විපක්ෂ දේශපාලනඥයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, ආගමික නායකයන්, මාධ්‍යවේදීන් ඇතුළු 166 ක හෝ 118 ක පිරිසක් පිළිබඳ මතු කරන ලද කතාබහ තවම අවසන් වී නොමැත. මෙහිදී සම්පූර්ණයෙන් ම පාහේ අවධානය යොමුව ඇත්තේ දේශපාලනඥයන් කෙරෙහි පමණක් වන අතර එයින් ද ආණ්ඩු බලය දරන පක්ෂවල මහජන නියෝජිතයන් ප්‍රධාන ඉලක්කය බවට පත්ව ඇති බව පෙනේ.
එපමණක් ද නොව දේශපාලනයේ කෙටි අභිමතාර්ථ ඉටු කරගැනීම උදෙසා ඇතැම්හු මේ සිද්ධිය මුවහත් අවියක් ලෙස පාවිච්චි කිරීමේ ප්‍රතිපත්තියකට ද මාරු වී සිටිති. මේ ‘118 හෝ 166 කතාව’ වෙනත් පිළක සිටින දේශපාලන සතුරන්ට එරෙහිව පමණක් නොව, තමන්ගේ පිළේ සිටින දේශපාලන සතුරන්ට පහරදීම උදෙසා බර අවියක් බවට පත් කරගෙන තිබෙන්නේ දැනුවත්ව ම අවස්ථාවාදී මාවතකට තල්ලුවෙමිනි.

ජනප්‍රිය කළ, උප ප්‍රධාන මාතෘකා

මේ ප්‍රධාන මාතෘකාව සමග බැඳුණු ජනප්‍රිය උප ප්‍රධාන මාතෘකා ද කිහිපයකි. එකක් නම් ඇලෝසියස් මහතාගෙන් මුදල් ගත් 166කගේ හෝ 118කගේ ලැයිස්තුවක්, මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සෙවීමට පත් කෙරුණ ජනාධිපති කොමිසම නිකුත් කළ වාර්තාව සමග තිබෙන බවය. ඒවා ඇත්තේ ප්‍රධාන වාර්තාවේ නොව ඊට අදාළ අමුණුම්වල ය.
එක රැයින් ජනප්‍රිය වූ තවත් උප ප්‍රධාන මාතෘකාවක් වන්නේ ඒ ඇමුණුම් ලේඛන ‘වසර 30 ක් ආවෘත කර (වසා) ඇති’ නිසා අවුරුදු 30 ක් යනතුරු එසේ මුදල් ගත්තේ කවුරුන් ද යන්න රටට හෙළි කරගත නොහැකි බවය.

නීතිය

නීතිය අනුව ජනාධිපති කොමිසම් වාර්තාවක් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කරන අතර එම දෙපාර්තමේන්තුව, එම ලේඛනවල භාරකරු ලෙස ක්‍රියා කරයි. කොමිසමේ අවශ්‍යතාවට අනුව එහි සභාපතිවරයාට ඇතැම් ලේඛන වසර 5කට, 10කට හෝ 30කට ආදී ලෙස ආවෘත කළ හැකිය. එහෙත් ජනාධිපති ලේකම්වරයාගේ ලිඛිත නියෝගයකින්, ජනාධිපති කොමිසමක් එසේ ආවෘත කළ ඇමුණුම් ලේඛනයක් වුව ද ඕනෑම මොහොතක ලබාගත හැක.

118කගේ ලේඛනයක් නෑ !

අනෙක් කාරණය නම් 118කගේ නාමලේඛනයක්, අදාළ ජනාධිපති කොමිසමේ වාර්තා ලියවිලි අතර නොමැති බව ජනාධිපති ලේකම්වරයා මෙන්ම කතානායකවරයා ද පැවසීමය. මේ 118 නාමලේඛනයක් ගැන පළමුව ප්‍රකාශ කළේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයායි. අනෙකුත් පුද්ගලයන් හා සංවිධාන පවා 118ක් ගැන කියන්නේ ඒ මත පිහිටා බව විශ්වාස කළ හැකිය.
අනෙක් පැත්තෙන් 166ක නාමලේඛනයක් ගැන ජවිපෙ පළාත් සභා මන්ත්‍රීවරයකු වන වසන්ත සමරසිංහ කියයි. ඔහුගේ තර්කය වන්නේ බැඳුම්කර වාර්තාවේ ප්‍රසිද්ධ නොකළ පිටු 106ක් ජනපති තමන් භාරයේ තබාගත් බවත්, එහි රුපියල් මිලියන 1190ක ඇලෝසියස් මහතාගේ සමාගම්වල මුදල්, සෙලාන් බැංකුවේ ගිණුමකින් 166 දෙනකු අතර බෙදාහැර ඇති බවත්ය. මේ කරුණ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇති බව ද ඒ අතර ආණ්ඩු පක්ෂවල පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිටින බව ද ඔහු ප්‍රකාශ කර තිබිණි.

සෙලාන් බැංකුව හා ලංකා බැංකුව

දයාසිරි මන්ත්‍රීවරයාට දුන් චෙක්පතට මුදල් ගොස් ඇත්තේ ලංකා බැංකුවේ ගිණුමකිනි. එහෙත් වසන්ත සමරසිංහ කියන්නේ සෙලාන් බැංකුවේ ගිණුමකින් 166කට මිලියන 1190ක් ගිය බවය. මේ නිසා 118 සත්‍ය නම් එය හා 166, එකක් නොව දෙකක් වීමටද ඉඩකඩ තිබේ.

දයාසිරි හා ෆොන්සේකා කරමින් සිටින දේ

මේ සියල්ල එළියට එන්නේ ම ඡන්ද සමයේ රුපියල් දශ ලක්ෂයක මුදලක් දයාසිරි මන්ත්‍රීවරයා, ඇලෝසියස් මහතාගෙන් ලබාගත් බව ඔප්පුවීමත් සමගිනි. එහිදී දයාසිරි ජයසේකර ක්‍රියා කළේ හා ක්‍රියා කරමින් සිටින්නේ ඡන්ද සමයේ ව්‍යාපාරිකයන් තමන්ට පමණක් නොව, සියලු දේශපාලනඥයන්ට (ජනාධිපති අපේක්ෂකයන්ට පවා) මුදල් දෙන බවත් ඒවා රැගෙන ඒ අය වෙනුවෙන් පෙනී නොසිටීම නිසා තමන් කළ දේ, වරදක් නොවන බව සෘජුව හා වක්‍රව ප්‍රකාශ කරමිනි.
දෙවනුව සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ද තමන්ට ඡන්ද සමයේ ඇලෝසියස් මහතා රුපියල් ලක්ෂයක් දුන් බව පිළිගත්තේය. එහෙත් එම මුදල් තමන් මැතිවරණ කටයුතුවලට යොදා නොගත් නිසා එය වරදක් නොවන බව ඔහුගේ පැහැදිලි කිරීමේ හරය විය. ඔහු තවදුරටත් කියා තිබුණේ ලක්ෂය නොව දශ ලක්ෂය වැදගත් බවය. මේ ජනාධිපති කොමිසමේ පරීක්ෂණ යන අතරේ රවී කරුණානායක මන්ත්‍රීවරයාට මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට සිදුවූයේ හෝ ඉවත් කරවනු ලැබුවේ ද අර්ජුන් ඇලෝසියස්ගෙන් නිවසක් ලබා ගැනීමේ සිද්ධියකට අදාළ සාක්ෂි ඉදිරිපත්වීමත් සමගිනි.

සුජීව, පොත හා රෝසි

මේ අතර පසුගිය ඉරිදා දිවයින පුවත්පත ද සිය මුල් පුවත හා දෙවන මුල් පුවත පළ කර තිබුණේ මීට අදාළව ය. මුල් පුවතේ සඳහන් වූ අන්දමට එජාපයේ තරුණ රාජ්‍ය අමාත්‍යවරයකු (කලක් අගමැති රනිල්ට එරෙහිව ක්‍රියා කළ) අර්ජුන් ඇලෝසියස්ගෙන් රු. හතළිස් ලක්ෂයක්ද එම පක්ෂයේම ප්‍රබල දේශපාලනඥවරියක් (පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක නොවන) රු. දශ ලක්ෂයක් ද පසුගිය ඡන්ද සමයේ ලබාගෙන තිබේ. දෙවන මුල් පුවතේ දැක්වුණේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත නොහැකි වූ බවත් කොළඹ පුරපතිනි රෝසි සේනානායක විදේශගතව සිටින බවත්ය.
පසුගිය 4 වැනිදා ලංකාදීප පුවත්පතේ මුල් පිටුව, සන්ඬේ ටයිම්ස් වාර්තාවක් උපුටා දක්වමින් කියා තිබුණේ ‘බැඳුම්කර නිකුතුවේදී වංචාවක් සිදුවී නැතැයි පෙන්වීමට මහත් උත්සාහයක් දැරූ, තනතුරුවලට කෑදර රාජ්‍ය අමාත්‍යවරයකුගේ නමද රහස් පොලිස් පරීක්ෂණවලදී මතුවී ඇති බවත් මොහු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සමග කිට්ටු සබඳතා පවත්වාගෙන යන පුද්ගලයකු’ බවත්ය. මේ කියන්නේ සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පිළිබඳව නම් ‘මහබැංකු බැඳුම්කර නිකුතුව; ඇත්ත නැත්ත’ නමින් ඔහු පොතක් ද ලියා පළ කළ බව මෙතැනට එකතු විය යුතුය.
‘හූ’ සහ ‘හුරේ’
මේ සියල්ල චිත්‍රපටයක ජවනිකා පෙළක් මෙනි. චිත්‍රපටය නරඹන අතරතුර ප්‍රේක්ෂක ජනතාව ඇතැම් ජවනිකාවලට ‘හූ’ කියන අතර ඇතැම් ඒවාට ‘හුරේ’ දමති. චිත්‍රපටය අවසන් වී නිවාස කරා යන ඔවුහු, සිය සුපුරුදු විසඳුම් නැති ප්‍රශ්න ගොඬේ, ගිලී දිගට ම ජීවත් වෙති.
ජනතාව බලා සිටින්නේ, දේශපාලනඥයන් හෝ මාධ්‍ය පෙන්වන දේ දෙස ය. නම් 166 අතර හෝ 118 අතර හෝ සිටින්නේ කවුරුන්ද? නොසිටින්නේ කවුරුන්ද? යන්න, ඔවුන්ට, වඩා වැදගත් වී ඇත්තේ ඒ නිසාය. මුදල් ගත්තේ ඇලෝසියස්ගේ පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමෙන්ද? මෙන්ඩිස් සමාගමෙන්ද? ගත් ප්‍රමාණය ලක්ෂ 40ද? 10ද? ලක්ෂයද? යන ප්‍රශ්නවලට ද ආරෝපණය කර ඇත්තේ ඒ හා සමාන වූ වැදගත්කමකි.

සඟවන ගැඹුර

මේ කිසිවෙක් නොපෙන්වන, එහෙත් මෙහි තිබෙන, ජනතාව අවශ්‍යයෙන් ම බැලිය යුතු ගැඹුරක් තිබෙන්නේය.

ඇලෝසියස් මහතාගෙන් හෝ වෙනත් ඕනෑ ම ව්‍යාපාරිකයකුගෙන් හෝ පුද්ගලයකුගෙන් මුදල් ගත්තේ නම් ඒ දේශපාලනඥයා, මාධ්‍යවේදියා, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයා, ආගමික නායකයා තවදුරටත් සිය වෘත්තීයභාවය රැකගත් වෘත්තියේදී ස්වාධීන පුද්ගලයකු විය හැකිද?
පවතින ඡන්ද ක්‍රමය යටතේ මුදල් නොගෙන ඡන්ද කරන්නේ කෙසේද යන්න දේශපාලනඥයන් පෙරළා විමසිය හැකි වුවත් අඩු ගණනේ ඒ ගත් මුදල් ප්‍රමාණ ද සමග දුන් පුද්ගලයන්ගේ නාමලේඛනයක් මෙන්ම අය-වැයක් ඡන්දයෙන් පසුව ප්‍රසිද්ධ නොකරන්නේ මන්ද යන ප්‍රශ්නයට ඔවුන් පිළිතුරු දිය යුතුය. ඒවා ද විගණනය වන ක්‍රමයක් වෙනුවෙන් අවංකව පෙනී සිටින ප්‍රතිපත්තියක් උදෙසා සටන් නොකරන්නේ මන්ද යන්න ජනතාවට කිව යුතුය.

මාධ්‍ය හා සිවිල් සංවිධාන

හැමවිටම ඕනෑම කරුණකට දේශපාලනඥයන්ට බැණ බැණ සිටින රටක අනෙකුත් වෘත්තිකයන් ශුද්ධවන්තයන් යැයි අනුමාන කළ හැකි ද ?
විශේෂයෙන් යහපත් දිශාවක් වෙත රට හරවා ගැනීම උදෙසා පෙනී සිටින බව කියන, ක්‍රියා කරන බව කියන; සත්‍ය ලෙස ම එසේ කළ යුතු, මාධ්‍යවේදියෝ හා සිවිල් සංවිධාන නියෝජිතයෝ ද බහුතරයක් ඒ වළට ම ඇද වැටෙමින් සිටිති. එවැනි මාධ්‍යවේදීන් සිටින රටක ජනමාධ්‍ය සිවුවන ආණ්ඩුව යැයි කිව හැකි ද ? වැරදි කර ඒවා හසු වූ පසු එය වරදක් නොව නිවැරැද්දක් ලෙස ජනතාවට ඒත්තු ගන්වන්නට උත්සාහ දරන දේශපාලන සංස්කෘතිය සේ ම ඒවා පිළිගන්නා නොගැඹුරු රටවැසි සංස්කෘතිය ද දෙකක් නොව එකකි. අවංක නොවන මාධ්‍ය සංස්කෘතිය ද එහි ම පිළිබිඹුවක් නොවීම වැළැක්විය හැකි ද ?