රාවය

එළඹී තිබෙන්නේ කොරහා බිඳගෙන යන මොහොතද?

එළඹී තිබෙන්නේ කොරහා බිඳගෙන යන මොහොතද?

විමලනාත් වීරරත්න

වත්මන් ජනපති තරම් ‘මඟ හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී’ වර්ගයේ අර්බුදයකට ලක් වූ නායකයකු මෑත අවධියේ ලංකාවේ දේශපාලනය තුළ සිටියේ නැත. මෛත්‍රී පුවක් ගසකට ගියත් එහි දෙබලක් හමු වන තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී තිබේ. එය හක්ක පටස් එකක් කෑමට හිතෙන තරමේ මානසිකව මිනිසා බිම හෙළන ප්‍රශ්නයක් බවට පත් වෙයි. මෛත්‍රී සියලු අභියෝග මතුව තිබියදී ජනපති ලෙස තම විෂයට අනුගත වූවා නම් මේ සමහර දේවල් මේ සා දුර නොයවා බේරා ගැනීමට තිබුණි. එහෙත් සමහර දේවල් වලට ඔහු ඔහේ යාමට ඉඩ දුන් බවක් පෙනුණි. ඒ ඔහේ ගිය දේවල් ළිඳට වැටුණු පසු මම ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දුන් ජනාධිපති කෙනෙක් යනුවෙන් මෛත්‍රී කරන ප්‍රකාශය වලංගු වන්නේ නැත. එය එක්තරා ආකාරයකින් හාස්‍යයට ලක් වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් කරන්නට දොර හැර තැබීම නොවේ. වගකීම් සහගතව දොරටුව හැරීම හා වැසීම පාලකයාගේ කාර්යභාරයයි.

බලෙන් බැන්දූ ජෝඩුවක්

ජනපති හා අගමැති ක්‍රියාකර තිබෙන්නේ බලහත්කාරයෙන් කසාද බැන්ද වූ ජෝඩුවක් පරිද්දෙනි. ඥාතී මිත්‍රාදීන්ගේ පමණක් නොව ලක්ෂ හැට දෙකකගේ ආශිර්වාදයෙන් කසාද බැඳගත්තේ ඒ දෙදෙනාගේ කැමැත්තෙනි. එසේ තිබියදී දැන් ජනපති කියන්නේ බිරිඳ සොර සැමියාට පළා යන්නට හෙළිකොප්ටර් ලබා දී ඇති බවකි. එමෙන්ම බිරිඳ, සැමියාට හොරෙන් හොරු සමඟ එක් වී ගෙදර සල්ලි ලාච්චුව කඩා තිබේ. මේ දෙදෙනාම ජනතාව තමාට බලය දුන්නේ කුමක් අරභයාද යන්න පිළිබඳව අවබෝධයෙන් ක්‍රියා කළේ නම් මෙවැනි විසුළු සහගත හා නොමේරූ ප්‍රශ්න මතු වන්නේ නැත.දැන් බලන විට මුල සිටම දෙදෙනාම කර ඇත්තේ එකම ඔරුව දෙපැත්තට පැදීමකි. ජනපතිත්, අගමැතිත් මුලින්ම කළ යුතුව තිබුණේ ඉටු කළ යුතු වගකීම් පිළිබඳ ලැයිස්තු දෙකක් සකස් කර ගැනීමය. එකක් රටේ ප්‍රශ්න පිළිබඳ සැකසුණු ලැයිස්තුවය. අනෙක පසුගිය ආණ්ඩුවේ දූෂණ, වංචා හා පැහැර ගැනීම් මිනිස් ඝාතන ගැන පරීක්‍ෂා කිරීමේ ප්‍රමුඛතා ලැයිස්තුවය. එවැනි ලැයිස්තු සකස් නොකළ නමුත් වගකීම් ඉටු කිරීමට එකිනෙකා විසින් බාධා පැමිණ වූ බව ජනපති ඍජුවත් අගමැති අනියමාර්ථයෙනුත් දැන් කියති.

එසේ වූයේ මන්ද?

මේ දෙදෙනාටම උපදේශකයෝ සිටියහ. දැන් බලන විට පෙනී යන්නේ ඔවුන් තනිකරම කේවට්ටයන් පරිදි ක්‍රියා කර ඇති බවයි. නැත්නම් ඔවුන් නායක දෙපළට අද බලපා තිබෙන අවුල එදා පෙන්වා දිය යුතුව තිබිණි. මෛත්‍රී එදා ලැබුවේ අනපේක්ෂිත ජයග්‍රහණයකි. එවැනි ජයග්‍රහණයක් ලබන ඕනෑම කෙනකුගේ ඇස් ගිනිකන වැටීම නොවැළැක්විය හැකිය. එවිට දින සියයේ නොව දින පන්සියයේ වැඩසටහනක්, කරගෙන යාමට බැරි තරම් ජනතා සහන කොන්දේසි සහිතව හැදුවත් මධු සමයේ උපරිම අවස්ථාවක එහි බරක් පතලක් තේරෙන්නට විදිහක් නැත. අනෙක් අතට මන්ත්‍රීවරු 47 ක් නියෝජනය කරන පක්ෂයක නායකයාට අගමැති ධූරය හිමි වූ විට එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ඒමට හෝ නව ව්‍යවස්ථා සංශෝධනයකට පියවර ගත හැකි තාර්කික බලයක් යැයි ඒ මොහොතේ නොසිතෙන්නට පුළුවන. කෙසේ වෙතත් පරාජය කළ නොහැකි යැයි කියූ සතුරා පරාජය කිරීමේ හුදු වින්දනයෙන් රට කරන්නට යාමෙන් බරපතළ තත්ත්වයක් උදා වන බව දෙදෙනාටම නොතේරුණේ දෙදෙනාම හුඟක් බර නායකයන් නොවන නිසා විය යුතුය.

පරිචය

ජනපතිට වසර 47 ක ක්‍රියාකාරී දේශපාලන පරිචයක් තිබේ. අගමැතිගේ දේශපාලන භූමිකාවට ඒ වන විට වසර 40 කට ආසන්නය. ජනපති, සිරිමාවෝ, චන්ද්‍රිකා, මහින්ද, යන නායකයින් සමඟ වැඩ කර තිබේ. රනිල්ට ජේ.ආර් සහ ප්‍රේමදාස සමඟ වැඩ කිරීමට ලැබුණි. ඒ පුරෝගාමී නායකයන් රට දිගු කලක් පාලනය කළත් ඔවුන්ගෙන් කපටි චර්යාවන් මිස ගැඹුරු දේශපාලන ඥානයක් ලබා ගැනීමට මෛත්‍රීට හෝ රනිල්ට අවස්ථාව නොලැබුණි. ඒ ඔවුන්ගේ සෑම කාල වකවානුවකදීම අභ්‍යාස වූයේ දේශපාලන උපක්‍රම මිස සාර දේශපාලනයක් නොවන නිසාය. ඒ කිසිවෙක් සාම්භාව්‍ය දේශපාලනයකට අවතීර්ණය වී නොසිටි නිසාය. පුරෝගාමීන්, අනුප්‍රාප්තිකයන්ට හැම විටම සකලාකාරයෙන් බලපානවා යැයි කිව නොහැකිය. එසේ බලනවා නම් ඩී.එස්, ඩඞ්ලිගේ, බණ්ඩාරනායකගේ දේශපාලන සංදර්භය නොගැඹුරු වුවත් ඔවුන්ගේ මූල්‍ය විනිවිදභාවය සහිත දේශපාලනය හෝ වර්තමානයට කාන්දු වන්නට තිබිණි. එහෙත් එවැන්නක් සිදු වී නොතිබිණි. නොගැඹුරු සහ අසම්භාව්‍ය දේශපාලනයට මූල්‍ය විනයක් රහිත බව එක් වූ විට මහ බැංකුව මේ ජාතියේ ආනිසංශයක් අත්වෙන්නට පුළුවන. මෛත්‍රීගේ සරම යටින් හොරු මතුවන්නට පුළුවන. මෛත්‍රී මෙන්ම රනිල් මුහුණ පෑවේ මෙම අභාග්‍යසම්පන්න තත්වයටයි.

වෙනම වගකීමක්

ඉහත කී ඕනෑම නායකයකුගේ නායිකාවකගේ තත්ත්වයට වඩා මෛත්‍රී හා රනිල්ගේ තත්ත්වය වෙනස්ය. ඒ වෙනස වන්නේ වසර 67 ක් තිස්සේ රටේ ඔඩු දුවා තිබුණු ප්‍රශ්න කන්දරාවක් විසඳීම ඔවුන් දෙදෙනා අභිමුවේ මහත් වගකීමක් ලෙස තිබුණු නිසාය. ඊළඟට ඔවුන් දෙදෙනා විසින් ඒවා විසඳීමට මෙතෙක් ලංකාවේ අභ්‍යාස නොවුණු වර්ගයේ සම්මුතිවාදී ආණ්ඩුවක් බිහිකර ගැනුණි. ක්‍රියාවලිය තාර්කික අවසානයකට එනතුරු සම්මුතිය රැක ගැනීම ද නායක දෙපළ සතුව තිබුණු වගකීමකි.
දෙදහස් ගණක් වල මුල හරියේ ලංකාවේ සිවිල් සංවිධාන කිහිපයක් වෙතින් පැවති දේශපාලන අර්බුදයට විසඳුමක් ලෙස ජාතික ආණ්ඩුවක් යෝජනා කෙරුණි.ඒ සඳහා කැමැත්ත පළ කර විද්වතුන්ගේ අත්සන් ලබා ගැනීමට වැඩපිළිවෙළක් දියත් කැරුණු මුත් නාමධාරී විද්වතුන් බොහෝ දෙනෙක් එදා කීවේ ඔවුන් ජාතික ආණ්ඩුවකට විරුද්ධ බවයි. එය තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයත් අවසන් වන වැඩක් ලෙස ඔවුහු දුටුහ. එහෙත් වසර 15 කට පමණ පසු ඒ විත්වත්හු මෛත්‍රී ,රනිල් ජාතික ආණ්ඩුවක් ස්වරූපයේ වැඩපිළිවෙළට කැමැත්ත පළ කළහ. ඇතැම්හු සක්‍රියව සහය දුන්හ. එසේ වූයේ දැන් වෙන කරන්නට කිසිම දෙයක් නැති නිසා විය හැකිය. එහෙත් අවසානයේ දී සිදු වූයේ නැති කැමැත්තක් ඇති කර ගත් පිරිසගේ පවා බලාපොරොත්තු බිංදුවට වැටීමය. තම පූර්වගාමීන් වගකීම් සහගත දේශපාලනයක් නොකළ නිසා සම්මුතිවාදී වැඩපිළිවෙළට ඔහේ යන්නට දීම මේ නායකයන් නොකළ යුතුව තිබුණි. ඔවුන් කළ යුතුව තිබුණේ ඔවුන්ට සහය දුන් සිවිල් සංවිධානය හා බහුජනයාගේ සහයෝගය වැඩි වැඩියෙන් ලබාගෙන ඉහත ලැයිස්තු දෙකෙහි සඳහන් අවශ්‍යතා තෘප්ත කර දීම පිණිස කටයුතු කිරීමය.

සිවිල් සංවිධාන

ආණ්ඩුව බලයට පත් කිරීමේ දී සිවිල් සංවිධාන නියෝජිතයෝ සක්‍රීය කාර්යභාරයක් ඉටු කළහ. ඉන් පසුවත් ඔවුහු මෛත්‍රී හා රනිල් සමඟ සමාන්තර ගමනක ගියෝය. කිහිපදෙනෙක් රක්‍ෂා සහ වරප්‍රසාද ගත් අතර එසේ නොගත් බහුතර ක්‍රියාකාරීහු මෛත්‍රී හා රනිල් තරමටම, එනම් අනවශ්‍ය තරමට රටේ දැවෙන ප්‍රශ්න අරභයා ප්‍රජාතන්ත්‍රවාදී වූහ. ඔවුන් ආණ්ඩුවේ වැරදි පිළිවෙත් හමුවේ විරෝධය පළ කළේ අද මෛත්‍රී මැසිවිලි නගන ආකාරයටමය. එවැනි අවස්ථා කිහිපයක් වුවත් පෙන්වා දිය හැකිය. මෛත්‍රී එහිදි සිවිල් සංවිධාන වලට කරන්න දෙයක් නැහැ, නොකර බැරි වුණා, මිනිහා මං වෙනුවෙන් හයමාසයක් ලිව්වා වැනි සමහර අමු ගැමියන් සතු කපටි ව්‍රතය ගෙනහැර පෑවේය. ඊට පිළිතුරු වශයෙන් සිවිල් නායකයෝ ජනපති ඉදිරියේ දී මෙන්ම ප්‍රසිද්ධ සමාජයේ දී නිවට ප්‍රතිචාර දැක්වූහ. ඔවුහු එක් අතකින් මෛත්‍රීට රැවටුනු අතර රනිල්ට එරෙහිව කෙළින්ම කිසිවක් කීමට බිය වූහ. ඒ රනිල් සිවිල් සංවිධානවල සමහර කිනිතුලු කොටස් ගසා බසා දමන හෙවත් ගණන් නොගන්නා ප්‍රභූ පංතියේ රනිල්ටම සුවිශේෂ වූ ස්ථාවරය නිසාය.
මහ බැංකු වංචාවේ රහස් යම් පමණකට හෝ හෙළි වූයේ ජනාධිපති කොමිසම නිසාය. එහිදි සිවිල් සංවිධාන නරඹන්නාගේ භූමිකාවේ සිටියා විනා ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවා ගැනීම දක්වා යා හැකි බරපතළ ක්‍රියාවලියකට අත නොගැසූහ. සිවිල් සංවිධාන වල සමහරුන්ට එසේ වූයේ ප්‍රභූ පංතියේ අක්‍රමිකතාවකට අත ගැසීමට තිබුණු බිය නිසා විය හැකිය. තවත් පිරිසකට දිවි ගලවා ගෙන සිටීමට නාඩි වැටෙන යහපාලනය හෝ වුවමනාය. මහින්ද පාර්ශ්වයේ කිසියම් ප්‍රචණ්ඩ නායකයකු බලයට පත්වුවහොත් වත්මන් ආණ්ඩුවට වැඩකළ බොහෝ දෙනකුට බරපතළ අවදානමකට මුහුණ පෑමට ඉඩ තිබේ යන්න අමතක කළ නොහැකි යථාර්ථයකි.

අවසන්ද?

වැරඳුණේ කොතැනද යන්න සොයා බැලීමට දැන් නායකයන් දෙදෙනාටම කාල වේලාව නැති බවක් පෙනේ. ජනපති කොරහා බිඳගෙන යන කතාවක් කළේ ඒ නිසා විය යුතුය. රනිල් කොරහා බිඳගෙන යන පාටක් නැත. බෙල්ල යන වේලාවක වුවත් ඉවසීමෙන් තත්ත්වය මෙනෙහි කරගෙන මැරෙන්නට හිත හදා ගැනීම එක් අතකින් ගෞරවනීයය. රනිල් උලත් එකයි, පිළත් එකයි වර්ගයේ නායකයකු නිසා එසේ නිස්කලංකව සිටිනවා වන්නට පුළුවන. එහෙත් මෛත්‍රීට උලත් පිලත් එක නොවේ. ඔහු ක්‍රමයෙන් මතු බලාපොරොත්තු සහිත නායකයකු වූයේය. එහෙත් මෙවර ගියොත් එනු බැරිය. එබැවින් කළ යුත්තේ ඉදිරි වසර එකහමාර තුළ හෝ එක්ව බැරි නිසා වෙන වෙනමවත් මහජනයාගේ පැත්තෙන් පළදායක වැඩකට අතගැසීමය. එමගින් “ඇති යාන්තං ඒකවත් කළා” කියන අස්වැසුම යහපාලනය පතුරු හරින ජනතාවට ලබා දීමය.